ඵෙතිහාසික 500 වැනි තරගයේදී ඉන්දියාවට ජය

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට ස්වර්ණමය මතක සටහනක් එක් කළ විරාට් කෝලි ඇතුළු පිරිවර ඉන්දියාවේ 500 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 197 ක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත් වූහ. කාන්පූර් නුවර ග්‍රීන් පාක් ක්‍රීඩාංගණයේදී අද නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයේදී ඉන්දියානුවෝ නවසීලන්තයට එරෙහිව මෙම ජයග්‍රහණය අත්කරගත්හ.

ඉන්දීය පිල අභියෝග කළ ලකුණු 434 ක ඉලක්කය හඹායාමට ඊයේ පස්වරුවේ පිටියට පිවිසි නවසීලන්ත පිල අද දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසුව සම්පූර්ණයෙන්ම දැවී ගියේය. දඟ පන්දු යවන්නන්ගේ මැජික්කාරයා, රවිචන්ද්‍රන් අශ්වින් විසින් නවසීලන්ත පිලේ අවසන් පිතිකරු නීල් වැග්නර් කඩුල්ල මුවා කිරිමට හසුකර ගනු ලැබීමත් සමග තරගය නිමාවට පත්විය.

නවසීලන්ත දෙවැනි ඉනිමේ දී කඩුලු 6 ක්ම උදුරාගත් 30 හැවිරිදි දඟ පන්දු යවන්නා මෙම තරගයේදී දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 10 කි.

ඊයේ දිනය නිමාවනවිට ලකුණු 93 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබූ නවසීලන්ත ඉනිම ලකණු 236 කට සීමා කළ අශ්වින් සිය ටෙස්ට් තරග දිවියේ දී 19 වැනි වතාවටත් කඩුලු 5 සීමාව පසුකළ අතර රවීන්ද්‍ර ජදේජා සමග එක්වී ප්‍රතිවාදින්ගේ කඩුලු 20 න් 16 ක් බෙදා හදා ගත්තේය.

ඊයේ පස්වරුවේ නොදැවී සිටි ලුක් රොන්කි සහ මිචෙල් සැන්ට්නර් අද උදෑසන නැවතත් අශ්වින්ගේ සහ ජදේජාගේ පරික්ෂා කිරිම් ගණනාවකින් කඩුලු බේරාගනිමින් සිය කණ්ඩායමේ ගෞරවය රැකදීමට නොගත් උත්සාහයක් නැත.

මුරකරු පිතිකරු ලෙස ඊයේ පස්වරුවේ පිටියට පිවිසි සැන්ට්නර් සිය රාජකාරිය අකුරටම ඉටු කරමින් රොන්කිට  දුන් අගනා සහය නිසාම පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩ නැගිණි.

කෙසේවෙතත් අද දිවා ආහාරයට පෙර ලැබුණු අවසන් සිසිල්පැන් පානයෙන් පසුව වමතින් දඟපන්දු යවන ජදේජා යැවූ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවෙන් රොන්කි දැවීයාමත් සමග ඉන්දීය ක්‍රීඩකයන් ජයග්‍රහණයේ සතුට සැමරීමට කල් මැරුවේ පුදුමාකාර ඉවසීමකිනි.

රොන්කිට නොදෙවැනි පිතිහරඹයක යෙදුණු සැන්ට්නර් සත්කාරකයන්ගේ ජයග්‍රහණය තරමක් දුරට පමා කළේ සටන්කාමී අර්ධ ශතකයකට හිමිකම් කියමිනි. ඒ කෙසේවෙතත්  මුලු ලකුණු සංඛ්‍යාව 223 දී අශ්වින් හමුවේ ඔහු දැවීයාමත් සමග ඉනිම නිමාවීමට වැඩිවේලාවක් ගතවූයේ නැත.


ඉන්දියාව පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 318 යි
(ලෝකේෂ් රාහුල් 32, මුරලි විජේ 65, චෙට්ස්වර් පුජාරා 62, රෝහිත් ෂර්මා 35, රවිචන්ද්‍රන් අශ්වින් 40, රවීන්ද්‍ර ජදේජා නොදැවී 42, ටේ‍රන්ට් බෝල්ට් 67/3, නීල් වැග්නර් 42/2, මිචෙල් සැන්ට්නර් 94/3, මාක් ක්‍රෙග් 59/1, ඉෂ් සෝදි 50/1)

නවසීලන්තය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 262 යි.
(මාටින් ගප්ටිල් 21, ටොම් ලේතම් 58, කේන් විලියම්සන් 75, ලූක් රොන්කි 38, මිචෙල් සැන්ට්නර් 32, බී.ජේ.වොට්ලිං 21,  උමේෂ් යාදෙව් 33/1, රවීන්ද්‍ර ජදේජා 73/5, රවිචන්ද්‍රන් අශ්වින් 93/4)

ඉන්දියාව දෙවැනි ඉනිම – කඩුලු 5 ක් දැවී ලකුණු 377 යි
(ලෝකේශ් රාහුල් 38, මුරලි විජේ 76, චෙට්ස්වර් පුජාරා 78, විරාට් කෝලි 18, අජින්ක්‍යා රහනේ 40, රෝහිත් ෂර්මා නොදැවී 68, රවීන්ද්‍ර ජදේජා නොදැවී 50, මිචෙල් සැන්ට්නර් 79/2, ඉෂ් සෝදි 99/2)

නවසීලන්තය දෙවැනි ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 236 යි.
කේන් විලියම්සන් 25, ලුක් රොන්කී 80, මිචෙල් සැන්ට්නර් 71, බී.ජේ.වොට්ලිං 18, ඉෂ් සෝදී 17, මොහොමඞ් සමී 18/2, රවිචන්ද්‍රන් අශ්වින් 132/6, රවීන්ද්‍ර ජදේජා 56/1)


- 077

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>