එංගලන්තයට පහසු ජයක්

පාකිස්තානයට එරෙහිව සදම්ප්ටන් හී රෝස් බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 44 ක ජයක් අත්කරගැනීමට එංගලන්තය සමත්විය. පිත්තෙන් දස්කම් පාමින් ලබන්නට තිබූ විශිෂ්ට ජයග්‍රහණයක අවසන් තීන්දුව වර්ෂාව බාරගනු ලැබුවත් එක්දින තරගාවලියේ පෙරමුණ ගැනීමට හැකිවීම ගැන එංගලන්ත ක්‍රීඩකයෝ උද්දාමයට පත්වූහ.


මෙය පාකිස්තානයට එරෙහිව පැවැති අවසන් එක්දින තරග 10 දී එංගලන්තය ලැබූ 9 වැනි ජයග්‍රහණය ලෙස වාර්තා වූවත් සත්කාරකයෝ වඩාත් තෘප්තියට පත්වූයේ එය සදම්ප්ටන් හීදී එක දිගට එක්දින තරග 5 ක් පරාජයට පත්වී සිටීමේ ශාපය නිමා කරගැනිමට හැකිවීමය.


පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 42.1 දී කඩුලු 4 ක් දැවී ලකුණු 218 ක් ලබා සිටියත් වර්ෂාව ඇද වැටීම නිසා ලද විරාමයෙන් පසුව යළි ප්‍රාණවත් වූ එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ඕවර 50 නිමාවනවිට පාකිස්තානයට රැස් කිරිමට හැකිවූයේ කඩුලු 6 කට ලකුණු 260 ක් පමණි.


වාසනාව නිසාම එංගලන්තයේ ආධිපත්‍යයට තරගය නතු වූ අවස්ථා දෙකක් ද මේ තරගයේදී පාකිස්තානයට හරහට හිටියේ දෛවයේ සරදමකට මෙනි. ආදිල් රෂීඞ්ගේ පන්දුවකට බාබර් අසාම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම එහි පළමුවැන්න වූ අතර සැබැවින්ම එංගලන්ත පිලේ ක්‍රීඩකයන්ගේ ඉල්ලීම ඉවත නොදැමීමට තරම් පිටියේ විනිසුරු අන්දමන්ද වී සිටියේය. එය අභියෝගයකට ලක් කරමින් තුන්වැනි විනිසුරුගේ පිහිට පැතීමට අසාම්ට අවස්ථාවක් ඉතිරිව නොතිබුණේ ඒ වනවිටත් මාක් වුඞ්ගේ පන්දුවකට සාර්ජිල් ඛාන් සිය පිත්තේ වැදී කඩුලු රකින්නා අතට ගිය සැබෑ උඩපන්දුවකට එරෙහිව තුන්වැනි විනිසුරුගේ පිහිට පතා එය අහිමිකරගත් නිසාය. මේ තෘෂ්ණාවත්, ආත්මාර්ථකාමීත්වයත් අන්තිමේදී බාබර් අසාම්ගේ පිත්තේ අග වැදී පිටතට ගිය පන්දුවකට අන්තිමේදී ඔහු කඩුල්ල මුවා කිරීමේ නොතිබු වරදට නිකරුණේ දැවී ගියේය.


එංගලන්තයට වාසනාව ගෙනා ඊළඟ සිදුවීම වූයේ පාකිස්තානුවන් ඉතා හොඳින් ප්‍රතිවාදී පන්දු යවන්නන් මෙල්ල කරගනිමින් සිටියදී වර්ෂාව කඩා පාත්වීමය. ඊට කළින් සර්ෆ්‍රාස් අහමඞ් සිය නායකයා වූ අසාර් අලී සමග ලකුණු 65 ක යස සම්බන්ධතාවක් ගොඩනගා සිටියේය. පාකිස්තානුවන්ගේ වැඩිම ලකුණු ලාභියා වූ අසාර් ලකුණු 9 ක් ලබා සිටියදී ගලී කලාපයේ සිටි ඇලෙක්ස් හේල්ස්ට දුන් ඉතා පහසු උඩපන්දුවකින් ද, කඩුලු රකින ජොස් බට්ලර්ට දුන් ඉතා අපහසු උඩපන්දුවකින් ද කඩුල්ල බේරා ගත්තේ යාන්තමිනි.


පිතිකරුවන්ටම කියාපු රෝස් බෝල් තණතීරුවේ පාකිස්තානුවන් රැස් කළ ලකුණු සංඛ්‍යාව කොහෙත්ම  ප්‍රමාණවත් නොවන බව මුලදිම පෙනෙන්නට තිබිණි. යසීර් ෂා තරගයට ඇතුලත් නොකිරීමට තීරණය කිරීමෙන්ම ජයග්‍රහණයට තිබූ සංචාරකයන්ගේ බලාපොරොත්තුවේ අඩුලුහුඩුකම් පෙනෙන්නට තිබිණි.


ජේසන් රෝයි සහ ජෝ රූට් එක්ව දෙවැනි කඩුල්ලට නිදහසේ ලකුණු 89 ක්ම එකතු කරද්දී එංගලන්ත විවේකාගාරය සැනසුම් සුසුම්වලින් පිරී ගොස් තිබිණි.


වර්ෂාවේ කලබගෑනිය නිසා එංගලන්තයේ ඉලක්කය පළමුවරට ඕවර 48 කදී ලකුණු 252 ක් වෙද්දී ඔවුන් ඕවර 34 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටි අතර ඊට පන්දු තුනකට පසුව දෙවැනි වරටත් වර්ෂාව කඩාපාත්වීමෙන් තරගය නතරකිරීමට සිදුවෙද්දී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එතැන වැඩිපුරත් ලකුණු 44 ක් තිබිණි.


පාකිස්තානය ඕවර 50 කදී කඩුලු 6ක් දැවී 250
(අසාර් අලී 82, බාබර් අසාම් 40, සර්ෆ්‍රාස් අහමඞ් 55, ආදිල් රෂීඞ් 51/2)


එංගලන්තය ඕවර 34.3 කදී කඩුලු 3ක් දැවී 194
(ජේසන් රෝයි 65, ජෝ රූට් 61, ඔයින් මෝගන් නොදැවී 33, උමාර් ගුල් 46/1, මොහොමඞ් නවාස් 31/1)


- 077

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>