පරාජය ලොකු ප්‍රශ්නයක් නොවෙයි – මැතිව්ස්

ශ්‍රී ලංකා පිල එංගලන්ත සංචාරයෙන් පරාජයට පත්වුවත් ලොකු ප්‍රශ්නයක් නොමැති බවත් කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය 2019 ලෝක කුසලාන තරගාවලිය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (07) පැවසීය.


ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්ත සංචාරය අවසන් කර අද නැවත පැමිණි අතර සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගි විය.


එම මාධ්‍ය හමුවේදී මැතිව්ස් සංචාරය පිළිබඳව වැඩි දුරටත් මෙසේ ද පැවසීය.


“මෙම සංචාරය අනිවාර්යෙන්ම අපිට දැඩි අභියෝගයක් වුණා. පළමු ටෙස්ට් තරග දෙකේ ලැබූ දැවැන්ත පරාජය එහිදී විශේෂයි. තනි තනි දස්කම් ගත්තොත් කුසල් මෙන්ඩිස්, චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක හොඳින් ලකුණු රැස් කළා. නමුත් අවාසනාවකට ඒවා ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නෑ”


“කුසල් ඇතුළු වැඩි සංඛ්‍යාවක් එංගලන්තයේ තරගාවලියකට සහභාගි වුණේ පළමු වතාවටයි. එහිදී කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න එංගලන්තයේ ශීත සහ පන්දුව දෝලනවන පරිසරය තුළ ජෙම්ස් ඇන්ඩසන්ට සහ ස්ටුවට් බ්‍රෝඞ්ට හොඳින් ක්‍රීඩා කළා”


“මම දැනට නායකයා හැටියට සෑහීමකට පත්වෙන්නේ නෑ. අපි සියලුම අංශවලින් දියුණු විය යුතුයි. අපේ ක්‍රීඩකයෝ පුහුණුවීම් ඉතාමත් හොඳින් කරනවා. නමුත් අවාසනාවකට වගේ ආබාධයන්ට ලක්වෙනවා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.


එක්දින තරගාවලියට ලබාදුන් කණ්ඩායම පිළිබඳව සෑහීමට පත්වෙනවාද යන ප්‍රශ්නයට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.


“ලසිත් මාලිංග, ජෙෆ්රි වැන්ඩසේ, ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර, ඒ වගේම අවාසනාවකට ශමින්ද එරංග අහිමිවීම තුළ තරගාවලිය පුරාම අපේ පන්දු යවන්නන්ගේ යම්කිසි පසු බෑමක් තිබුණා. මම හිතන්නේ ඒ අපිට තෝරන්න පුළුවන් උපරිම කන්ඩායම තමයි”


“අපේ ප්‍රධාන පන්දු යවන්නන් පස් දෙනාගෙන් සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් දෙදෙනා හැර අනෙක් සියලුම ක්‍රීඩකයන් නවකයෝ. ඒ නිසා ඒ දෙපළට ටෙස්ට් සහ එක්දින තරගාවලිවලදී සෑහෙන්න වැඩ කොටසක් කරන්න වුණා”


ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් ආදේශ කිරීමේදී නම් නොදැරූ ක්‍රීඩකයන් ආදේශ කිරීම පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා මෙසේ පිළිතුරු සැපයීය.


“අපි සංචිතය නම් කළත් අතිරේක ක්‍රීඩකයන් නම් කර තිබුණේ නෑ. ඒ නිසා ඕනෑම කෙනෙක් තෝරන්න අවස්ථාව තිබුණා. සියලු දෙනාම කථා කරලා ඔහුව තෝරා ගත්තේ. එම ක්‍රීඩකයා අපේ වේග පන්දු පුහුණුකරු සමඟත් කටයුතු කර තිබුණා”


“විස්සයි20 තරගයට රමිත් තෝරා ගැනීමට විනය ප්‍රශ්නයක් තිබුණේ නෑ. එහිදී ඒ කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන්ගෙන් මැඳ පෙළ පිතිකරුවකු ලෙස වේගයෙන් ලකුණු රැස්කළ හැකි සහ පන්දු යැවිය හැකි ක්‍රීඩකයකු ලෙස ඔහුව තෝරාගත්තා. ඔහු විස්සයි20 තරගවලට ක්‍රීඩා කර තිබුණු නිසා අත්දැකීම් ද තිබුණා. එක තරගයකින් ක්‍රීඩකයකු මනින්න බෑ”


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්‍ෂතා වර්ධනය කිරීමේ පුහුණුකරු පවසා ඇති සංචිතයක් තෝරා ගැනීමට පෙර ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව බැලිය යුතුයි යන ප්‍රකාශය පිළිබඳව කළ විමසුමේදී සනත් ජයසූරිය මහතා මෙසේ පැවසීය.


“තේරීම් කමිටුවේ වගකීම හොඳම සංචිතය තේරීමයි. සයිමන් විලිස්ගේ අදහස එක පැත්තකින් හරි. නමුත් මගේ අදහස නම් මේක ගොඩක් කල්සිට පවතින තත්ත්වයක්. මේකට හේතුව මොකක්ද කියලා සභාපති, ලේකම්, උප සභාපති සමඟ සාකාච්ඡා කරලා තියෙනවා”


“අපිට මේ සඳහා අවශ්‍ය වෙලා තියෙනවා ක්‍රීඩකයන්ගේ කැපවීමත්, අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ.

ක්‍රීඩකයන්ට ඕනෑ තරම් ක්‍රිකට් තියෙනවා. ක්‍රීඩකයන් කැපවීමක් කළ යුතුයි. අපි, ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ සයිමන් කොපමණ කැපවීවත් කළත් ක්‍රීඩකයන්ගේ කැපවීම නැත්නම් ඒක කරන්න බෑ” යැයි ජයසූරිය මහතා පැවසීය.


මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස, ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමණාකරු චරිත් සේනානායක යන මහත්වරු ද සහභාගි වූහ.    

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>