හයිද්‍රාබාද් පිල අයි. පී. එල්. ශූරතාව දිනයි

නමවැනි අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඩේවිඩ් වෝනර් නායකත්වය දැරූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අද (29 වැනිදා) සමත් විය. බැංගලෝර්හිදී පැවැති අවසන් මහ තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 8 කින් පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 200 ක් පමණි. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කි‍්‍රස් ගේල් (76) සහ නායක විරාට් කෝලි (54) සමත් වුවත් බැංගලෝර් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.

පන්දු 38 කින් වාර්තා වූ ගේල්ගේ ප‍්‍රවේගකාරී ඉනිමට හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 35 කදී වාර්තා වූ කෝලිගේ හත්වැනි අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ත් අන්තර්ගත විය.

හයිද්‍රාබාද් කණ්ඩායමේ සාර්ථකම පන්දුයවන්නා වූ බෙන් කටින් ඕවර 4 ක් යවා ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත් වූ අතර තරග 16 කදී ලකුණු 973 ක් ලබාගත් විරාට් කෝලි තරගාවලියේ වීරයා බවට පත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 208 ක් ලබාගත්තේය. එය අයි. පී. එල්. තරගාවලියක අවසන් මහ තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. 

වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ නායක ඩේවිඩ් වෝනර් පන්දු 38 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 69 ක් රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන්නේය.

ශිකර් ධවාන් (28) සමග එක්ව හයිද්‍රාබාද් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වෝනර් සමත් විය. පන්දු 25 කදී වාර්තා වූ ධවාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 38 ක් රැස්කිරීමට යුවරාජ් සිං සමත් වූ අතර අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ බෙන් කටින් පන්දු 15 කදී නොදැවී ලකුණු 39 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

දක්ෂ පන්දුයැවීමක නිතර වූ කි‍්‍රස් ජෝදාන් ලකුණු 45 කට කඩුලූ 3 ක් දවාගත් අතර ශ්‍රීනාත් අරවින්ද් ලකුණු 30 කට කඩුලූ 2 ක් දවාගත්තේය.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේගපන්දු යවන කී‍්‍රඩක ෂේන් වොට්සන් මෙම තරගයේදී ඉතා දරුණු පහර කෑමකට ලක්වූ අතර ඔහුගේ  ඕවර හතරේදී ලකුණු 61 රැස්කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායමේ පිතිකරුවෝ සමත් වූහ. එය අයි. පී. එල්. ඉතිහාසයේ අවසන් මහ තරගයකදී පන්දුයවන්නෙකු ප‍්‍රතිවාදීන්ට ලබාදුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්විය.

 

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 7 කට 208
(ඩේවිඩ් වෝනර් 69, ශිකර් ධවාන් 28, යුවරාජ් සිං 38, බෙන් කටින් නොදැවී 39, කි‍්‍රස් ජෝදාන් 45/3, ශ්‍රීනාත් අරවින්ද් 30/2)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 7 කට 200
(කි‍්‍රස් ගේල් 76, විරාට් කෝලි 54, සචින් බේබි 18, බෙන් කටින් 35/2)

 

- 036

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>