බැංගලෝර් පිල තුන්වැනි උත්සාහයට සැරසෙයි


දෙවරක්ම අසාර්ථක වූ උත්සහය මෙවර සාර්ථක කරගැනීමේ අදිටනින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හෙට (29 වැනිදා) බැංගලෝර්හිදී පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලියේ අවසන් මහ තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙයි.

2009 වසරේදී ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 6 කින් පරාජය වීමත්, 2011 වසරේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හමුවේ ලකුණු 58 කින් පරාජය වීමත් නිසා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මින් පෙර අයි. පී. එල්. ශූරතාව දිනාගැනීමට තිබූ අවස්ථා මගහැරී ගියේය.

මෙවර තරගාවලියේ මුල් භාගයේදී ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම් 3 අතර රැදී සිටි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අවසන් මහ තරගය දක්වා ගෙන ඒමට නායක විරාට් කෝලි පුරෝගාමී විය. ශතක 4 ක් සහ අර්ධ ශතක 6 ක් සමග වාර්තාගත ලකුණු 919 ක් රැස්කරමින් ඔහු තරගයෙන් තරගය සිය කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට රැගෙන ආවේය.

එහිදී කෝලිට අගනා සහයක් දුන් ඒ. බී. ඩිවිලියර්ස් ශතකයක් සහ අර්ධ ශතක 6 ක් සමගින් ලකුණු 682 ක් ලබා මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත්ව සිටියි. ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටි ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති ඉතාමත් තීර්ණාත්මක වූ පළමු අවසන් පූර්ව තරගයේදී කෝලි ලකුණු නොලබා දැවී ගියේය. එහිදී ලකුණු පුවරුව ලකුණු 29 කට කඩුලූ 5 ක් ලෙස සටහන් වූ අවස්ථාවක  කණ්ඩායමේ බර තම කර මතට ගෙන, පසු පෙළ පිතිකරුවන් සමග එක්ව ලකුණු 159 ක ඉලක්කයක් හඹාගොස් බැංගලෝර් කණ්ඩායම අවසන් මහ තරගයට ගෙන ආවේද ඩිවිලියර්ස්ය.

යුස්වින්දර් චාහල් දඟ පන්දුයැවීමෙන් දැක්වූ දස්කම් සහ ෂේන් වොට්සන් වේග පන්දුයැවීමෙන් දැක්වූ දස්කම්ද බැංගලෝර් කණ්ඩායමේ අවසන් මහ තරගය දක්වා පැමිණි ගමන් මග එළිපෙහෙලි කරලීමට මනා දායකත්වයක් සැපයීය. එම දස්කම් හේතුවෙන් යුස්වින්දර් චාහල් තරග 12 කදී කඩුලූ 20 ක් ලබා වැඩිම කඩුලූ ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ෂේන් වොට්සන් තරග 15 කදී කඩුලූ 20 ක් ලබා එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවේ.

පළමු වරට අවසන් අයි. පී. එල්. තරගාවලියක අවසන් මහ තරගයට සහභාගි වන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඒ දක්වා රැගෙන එ්මේ පූර්ණ ගෞරවය නායක ඬේවිඞ් වෝනර් සහ බුවනේෂ්වර් කුමාර් අතරේ සම සමව බෙදී යනු ඇත. ආරම්භක පිතිකරු භූමිකාවට පණ පොවන ඬේවිඞ් වෝනර් තරග 16 කදී අර්ධ ශතක 8 ක් සමග ලකුණු 779 ක් රැස්කරමින්ද, වේග පන්දුයවන කී‍්‍රඩක බුවනේෂ්වර් කුමාර් තරග 16 කදී කඩුලූ 23 ක් දවාගනිමින්ද හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් මහ තරගය කරා රැගෙන යෑමට මග පෑදුහ.

මූලික වටයේ තරග අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසු වූ හයිද්‍රාබාද් කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමේ තරගයේදී දෙවරක් අයි. පී. එල්. ශූරතාව දිනා සිටි (2012 සහ 2014 වසර වලදී) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කළේය. ඉන් පසුව දෙවැනි අවසන් පූර්ව තරගයේදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටි ගුජරාට් ලයන්ස් කණ්ඩායමට නොසිතූ විරූ පරාජයක් අත්කර දෙමින් හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

එම තරගයේදී නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ඬේවිඞ් වෝනර්, සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී පන්දු 58 කින් නොදැවී ලකුණු 93 ක් රැස්කරමින් පසුපෙළ නවක පිතිකරුවකු වන බිපුල් ශර්මා සමග එක්ව හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් මහ තරගය කරා රැගෙන ගියේය.

ආරම්භක පිතකරු ශිකර් ධවාන් තරග 16 කදී අර්ධ ශතක 4 ක් සමගනින් රැස්කළ ලකුණු 473 සහ වේග පන්දුයවන කී‍්‍රඩක මුස්තෆිසුර් රෙහෙමාන් තරග 15 කදී දවාගත් කඩුලූ 16 ද හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් මහ තරගය පැමිණි ගමනට මනා අඩිතාලමක් විය.  

තරගාවලියේ මූලික වටයේදී මෙම කණ්ඩායම් දෙක අතර පැවැති තරග දෙකෙන් පළමු තරගයේදී ලකුණු 45 ක ජයක් අත්කරගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වූ අතර දෙවැනි තරගයේදී ලකුණු 15 ක ජයක් අත්කරගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

එම තරග දෙකේදීම බැංගලෝර් කණ්ඩායමට එරෙහිව අර්ධ ශතක ලබාගැනීමට හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඬේවිඞ් වෝනර් (58 සහ 92) සමත් වූ අතර කේන් විලියම්සන් (50) දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් ලබාගත්තේය. හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පළමු තරගයේදී අර්ධ ශතක ලබාගැනීමට බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි (75) සහ ඒ. බී. ඩිවිලියස් (82) සමත් වූ අතර ලෝකේෂ් රාහුල් (51) දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් ලබාගත්තේය.

ඒ අනුව බලන කල මෙවර අයි. පී. එල්. තරගාවලියේ ශූරතාව කණ්ඩායම් දෙකටම විවෘතව පවතින අතර මේ දක්වා කී‍්‍රඩකයන් දක්වා ඇති දක්ෂතා අතින්ද කණ්ඩායම් දෙක සමබර තත්ත්වයක පවතී. අවසන් මහ තරගයේදී කණ්ඩායම් දෙක නියෝජනය කිරීමට වැඩි ඉඩක් ඇති කී‍්‍රඩකයන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම -

විරාට් කෝලි (නායක), ක‍්‍රිස් ගේල්, ඒ. බී. ඩිවිලියස්, ලෝකේෂ් රාහුල්, ෂේන් වොට්සන්, ස්ටුවට් බිනී, සචින් බේබි, කි‍්‍රස් ජෝදාන්, ඉක්බාල් අබ්දුල්ලා, එස්. අරවින්ද් සහ යුස්වින්දර් චාහල්


සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම -
ඬේවිඞ් වෝනර් (නායක), ශිකර් ධවාන්, මොයිසස් හෙන්රික්ස්, යුවරාජ් සිං, දීපක් හූඩා, බෙන් කටින්, නාමන්  ඕජා, බුවනේෂ්වර් කුමාර්, බිපුල් ශර්මා, බරින්දර් ස‍්‍රාන් සහ මුස්තෆිසුර් රෙහෙමාන් හෝ ටෙ‍්‍රන්ට් බෝල්ට්


- 036

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>