වෝනර් හයිද්‍රාබාද් පිල අවසන් තරගයට රැගෙන යයි

ඬේවිඞ් වෝනර්ගේ නායකත්වයේ ඉනිම නිසා අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අද (27 වැනිදා) සමත් විය.

 

අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා දිල්ලිහිදී පැවැති දෙවැනි තරගයේදී ගුජරාට් ලයන්ස් කණ්ඩායම කඩුලූ 4 කින් පරාජය කරමින් හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසියේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ඩේවිඞ් වෝනර් පන්දු 58 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 93 ක් රැස්කළේය.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ඩේවිඞ් වෝනර්, බිපුල් ශර්මා (නොදැවී 27) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21 කදී ලකුණු 48 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය. පන්දු 11 කදී වාර්තා වූ බිපුල් ශර්මාගේ ඉනිමට හයේ පහර 3 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ලයන්ස් ගුජරාට් ලයන්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඒරන් ෆින්ච් පන්දු 32 කදී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. රවින්ද්‍ර ජදේජා (නොදැවී 19) සමග එක්ව ගුජරාට් කණ්ඩායමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඒරන් ෆින්ච් සමත් විය.

ගුජරාට් ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී පන්දු 10 කින් ලකුණු 20 ක් රැස්කිරීමට ඞ්වේන් බ‍්‍රාවෝ සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 29 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 32 ක් රැස්කළ අතර දිනේෂ් කාර්තික් පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 26 ක් රැස්කළේය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් කඩුලූ 2 බැගින් දවාගැනීමට බුවනේෂ්වර් කුමාර් සහ බෙන් කටිං සමත් වූහ.

කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ගුජරාට් ලයන්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

 

ගුජරාට් ලයන්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 162
(බ්‍රෙන්ඩන් මැකලම් 32, දිනේෂ් කාර්තික් 26, ඒරන් ෆින්ච් 50, රවින්ද්‍ර ජදේජා නොදැවී 19, ඞ්වේන් බ‍්‍රාවෝ 20, බෙන් කටිං 20/2, බුවනේෂ්වර් කුමාර් 27/2)

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම –  ඕවර 19.2 කදී කඩුලූ 6 ක් දැවී 163
(ඬේවිඞ් වෝනර් නොදැවී 93, බිපුල් ශර්මා නොදැවී 27, ශිවිල්  කෞෂික් 22/2, ඞ්වේන් බ‍්‍රාවෝ 32/2)
 


- 036

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>