වෝනර්ගේ ශතකය හයිද්‍රාබාද් පිලට ජය ගෙනෙයි

 

ඬේවිඞ් වෝනර්ගේ විශිෂ්ට ශතකය හමුවේ දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ හයිද්‍රාබාද් හිදී පැවැති 37 වන තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව ලකුණු 48 ක ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල අද (30 වැනිදා) සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 161 ක් පමණි.


වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රොබින් උතප්පා පන්දු 28 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 53 ක් රැස්කරමින් මනීෂ් පාන්ඬේ සමගින් එක්ව පන්දු 51 කදී ලකුණු 78 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත්විය.


සිද්ධාර්ත් කෞවුල්, මොහොමඩි සිරාජ් සහ බුවනේෂ්වර් කුමාර් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.


පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 209 ක් රැස්කිරීමට සමත්විය.


වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 20 කදී අර්ධ ශතකයත් පන්දු 43 කදී ශතකයත් සම්පූර්ණ කළ ඬේවිඞ් වෝනර් දැවී යන විටදී ලකුණු 126 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 59 කදී වාර්තාවූ ඬේවිඞ් වෝනර්ගේ ඉනිම හයේ පහර අටකින් සහ හතරේ පහර 10 කින් අලංකාර විය.


පළමු කඩුල්ල සදහා පන්දු 76 කදී ලකුණු 139 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඬේවිඞ් වෝනර් සහ ශීකර් ධාවන් (29) සමත්වූහ.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අයි.පී.එල්. තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට අද සමත්වූ අතර කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව කණ්ඩායම රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වන්නේය.


කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායක ගෞතම් ගාම්බීර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

සන්රයිසස් හයිද්‍රාබාද් – ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 209
(ඬේවිඞ් වෝනර් 126, ශීකර් ධාවන් 29, කේන් විලියම්සන් 40)

කොල්කටා නයිට් රයිඩර්ස් – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 161
(රොබින් උතප්පා 53, මනීෂ් පාන්ඬේ 39, සිද්ධාර්ත් කෞවුල් 26/2, මොහොමඩි සිරාජ් 26/2, බුවනේෂ්වර් කුමාර් 29/2)

 

 

වේග පන්දු යවන්නන් පුහුණුවට ඇලන් ඩොනල්ඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සඳහා වන පුහුණු උපදේශකවරයා දකුණු අප්‍රිකානු පිලේ හිටපු විශිෂ්ටතම වේග පන්දු යවන්නකු වූ ඇලන් ඩොනල්ඞ් මහතා පත්කර තිබේ. ජූනි මස 1 වැනිදා ආරම්භ වන ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් මාස දෙකක කාලයක් සඳහා එම පත්කිරීම කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම 1991 දී නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පැමිණි දා සිටම දකුණු අප්‍රිකානු කණ්ඩායම ගොඩනැංවීම සඳහා වේග පන්දු යවන්නකු වශයෙන් අමිල මෙහෙවරක් කළ ඇලන් ඩොනල්ඞ් දකුණු අප්‍රිකානු, එංගලන්ත මෙන්ම ඕස්ටේ්‍රලියානු කණ්ඩායම් වලද වේග පන්දු යැවීමේ උපදේශකවරයා වශයෙන් කටයුතු කර තිබේ. ක්‍රීඩා කළ සමයේදී ‘සුදු විදුලිය’ යනුවෙන් හැඳින්වූ ඇලන් ඩොනල්ඞ් මේ මස 9 වැනිදා සිට 16 වැනිදා දක්වා පල්ලෙකැළේදී පැවැත්වෙන විශේෂ පුහුණු කඳවුරේදී ශ්‍රී ලංකා පිලට එක්වීමට නියමිතය.

මේ වන විට එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ සහාය පුහුණුකරුවකු වශයෙන් දැනටමත් කටයුතු කරමින් සිටින ඇලන් ඩොනල්ඞ් මාස දෙකක කාලයක් සඳහා නිදහස් කිරීමට කෙන්ට් බලධාරීන් එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු යැවීමේ අංශයේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් චම්පක රාමනායක මහතා කටයුතු කරයි. 2014 – 2015 කාලසීමාවේදී ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වූයේ චමින්ද වාස් මහතාය. 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව චමින්ද වාස් සිය තනතුරෙන් ඉවත්ව යාමෙන් පසුව චම්පක රාමනායක මහතා නැවතත් එම තනතුරට පත්විය. චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් අතරට එක්වූ නමුත් මේ වන විට වාස්ගේ කාර්යභාරයන් අතර ඇත්තේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පන්දු යවන්නන් සහ කනිෂ්ඨ කණ්ඩායම් වල වේග පන්දු යවන්නන් පිළිබඳ අවධානයෙන් සිටීමයි.

ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයන් වන චමින්ද වාස්, චම්පක රාමනායක, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ නුවන් සොයිසා ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් පුහුණු කිරීමේ අංශයේ පුහුණුකරුවන් ලෙස දැනටත් කටයුතු කරති.

 

කිංග්ස් XI පිලට පහසු ජයක්

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ මොහාලි හිදී පැවැති 36 වන තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල අද (30 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 68 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස් XI පන්ජාබ් පිල ඕවර 7.5 කදී කිසිවකු නොදැවී පහසුවෙන් ඉලක්කය පසුකිරීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ මාටින් ගප්ටිල් පන්දු 27 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර හයක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් පිතිතෙන් දස්කම් දැක්වීය.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට ඕවර 17.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 67 ක් පමණි. කිංග්ස් XI පිලේ පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට ලක්වූ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ පිතිකරුවන්ට ලකුණු අතට ඒමට අවස්ථාවක් හිමි නොවිය. දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ වැඩිම ලකුණු ලාභියා වීමට ලකුණු 18 ක් රැස්කළ කොරී ඇන්ඩර්සන් සමත්විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ සංදීප් ශර්මා ඕවර හතරක් යවමින් ලකුණු 20 කට කඩුලු හතරක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර අසාර් පටෙල් සහ වරුන් ඒරන් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ නායක සහීර් ඛාන් අද තරගයට ක්‍රීඩා නොකළ බැවින් කරුන් නායර්ට නායකත්වයේ වගකීම හිමිවිය.

කාසියේ වාසිය දිනූ කිංග්ස් ඞෂ පන්ජාබ් පිලේ නායක ග්ලේන් මැක්ස්වෙල් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් – ඕවර 17.1 කදී සියලුදෙනා දැවී 67
(කොරී ඇන්ඩර්සන් 18, සංදීප් ශර්මා 20/4, වරුන් ඒරන් 03/2, අසාර් පටෙල් 22/2)

කිංග්ස් XI පන්ජාබ් – ඕවර 7.5 කදී කිසිවකු නොදැවී ලකුණු 68
(මාටින් ගප්ටිල් නොදැවී 50)

 

 

 

පාකිස්තානුවෝ ඓතිහාසික ජයක් සොයති

මේ වනවිටත් කොදෙව්වන්ට එරෙහිව තරග 1-0 කින් ටෙස්ට් තරගමාලාවේ පෙරමුණ ගෙන සිටින සංචාරක පාකිස්තානු පිල  බාබඩෝස් හී බ්‍රිජ්ටවුන් නුවර කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා – ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට) ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයට පිවිසෙන්නේ බටහිර ඉන්දීය දූපත් සමූහයේදී  ටෙස්ට් තරගමාලාවක් ජයගත් පළමු පාකිස්තානු කණ්ඩායම වීමේ සිහිනයට පණ පෙවීමේ ඒකායන අරමුණ ඇතිවය.

එතෙක් මෙතෙක් පාකිස්තානයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් රැසකගේ නායකත්වයෙන් යුත් පාකිස්තානු කණ්ඩායම් පවා මීට පෙර අට වතාවකදීම බටහිර ඉන්දීය දූපත් සමූහය කරා ගිය නමුත් ටෙස්ට් තරගමාලාවක් ජයගැනීමට අපොහොසත් විය. මෙවර ටෙස්ට් තරගමාලාවෙන් පසුව  ටෙස්ට් පිටිියෙන් සමුගැනීමට බලා සිටින පාකිස්තානු පිලේ නායක මිස්බා උල් හක්ට සිය ජීවිතයට අමරණීය සිහිවටනයක් එකතු කරගැනීමේ කදිම අවස්ථාවක් මෙවර ලැබී තිබේ.

ජැමෙයිකාවේ සබීනා උද්‍යාන පිටියේදී පසුගියදා පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 7 කින් ජයගැනීමට පාකිස්තානු පිල සමත්වූ අතර එම තමාට ඒ ජයග්‍රහණයේ ත්‍යාගය දුන් සිය ක්‍රීඩකයන්ට මිස්බා නොසෑහෙන්න ස්තූති කළේය.

“ක්‍රීඩාවේ නිරතවීමෙන් ඔබට සතුටක් ලැබෙන්නේ නැතිනම් ක්‍රීඩා කිරීමේ කිසිම ඵලයක් නෑ”
“සතුටක් නැතිනම් මමත් මේ ක්‍රීඩාවේ එල්ලිලා ඉන්නෙ නෑ. මේ ජයග්‍රහණය මගේ කණ්ඩායම මට දුන් තවත් තෑග්ගක්
.” මිස්බා එසේ කීවේය.

වසර 1957- 58 කාලයේ පළමුවරට බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරය කළ පාකිස්තානු පිල ආපසු ගියේ තරගයක් පරාජයෙන් බේරාගත් හනීෆ් මොහොමඞ් ලකුණු 337 ක් රැස් කරමින් ලෝක වාර්තාවක් තැබීමෙන් පසුවය. මිනිත්තු 970 ක් පිටියේ රැඳී සිටි හනීෆ් මොහොමඞ් දීර්ඝතම ටෙස්ට් ඉනිමට හිමිකම් කීවේය.

කොදෙව් දේශයේ සිය පළමු ටෙස්ට් තරගමාලා ජයග්‍රහණය වාර්තා කිරීමේ අනගි අවස්ථාවක් පාකිස්තානුවන්ට ලැබුණේ අසහාය ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් 1987-88 කාලයේ පැවැති ඔවුන්ගේ කොදෙව් සංචාරයේදීය. එවකට බටහිර ඉන්දීය කොදෙව් පිල නොම්මර එකේ කණ්ඩායම බවට පත්වී සිටියේය. 
පළමු ටෙස්ට් තරගය ජයගත්  පාකිස්තානු පිල දෙවැනි ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව බේරා ගත්තේය. තීරණාත්මක තුන්වැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානුවන් කොදෙව් පිලට දුන් ඉලක්කය ලකුණු 266 ක් විය. එක් අවස්ථාවක කොදෙව් පිල ලකුණු 207 කට කඩුලු 8 ක්ම බිඳ වැටෙද්දී පාකිස්තානුවන් සිටියේ කොදෙව් දේශයේ පළමු ටෙස්ට් තරගමාලා ජය අත්කරගෙන ඉතිහාසයට එක්වීමේ එළිපත්තේය. නමුත් 9 වැනි කඩුල්ලට ලකුණු 61 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නැගූ ජෙෆ්රි ඩුජෝන් සහ වින්ස්ටන් බෙන්ජමින් තරගය දිනා කොදෙව්වන්ට තරගමාලාව සමකර දුන්නේය.

මෑත කාලයේ කොදෙව් පිල එවැනි ප්‍රබලත්වයක් පෙන්නුම් කළ කණ්ඩායමක් නොවූවත් සටන්කාමීත්වය අතින් අවතක්සේරු කළ නොහැකි ජවසම්පන්න යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත එකකි. 2015 දී එංගලන්තයට දෙවැනි ටෙස්ට් තරගය පරාජය වුවත් තරගමාලා ජයග්‍රහණය නොදී තුන්වැනි ටෙස්ට් තරගය විිශිෂ්ට අයුරින් ජයගත්තේ තරගමාලාව සමකරමිනි.

පළමු ටෙස්ට් තරගයේදී කොදෙව් පිලේ දෙවැනි ඉනිම අනපේක්ෂිත ලෙස බිඳ වැටුණේ යසිර් ෂාගේ විස්මිත පන්දු යැවීම හමුවේය. තරගය පරාජයෙන් බේරාගැනීමට වලිකෑ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සෙසු ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසය හොඳ නැති බව කියමින් තරගයෙන් පසුව සිය ක්‍රීඩකයන්ට හොඳටෝම දෙහි කැපුවේය. එබැවින් අද ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානුවන්ට දිනුම දී කරබාගෙන යාමේ සූදානමක් නම් කොදෙව් පිලට කොහෙත්ම නැති බව පෙනේ. 

මිස්බා සමග ඔවුන්ගේ තවත් ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන යූනිස් ඛාන් ද මේ ටෙස්ට් තරගමාලාවෙන් පසුව ටෙස්ට් පිටියට සමුදීමේ බලාපොරොත්තුවෙන් පසුවන බැවින් පාකිස්තානුවන් අද ඇරැඹෙන ටෙස්ට් තරගයේදී පිටියට බසින්නේ පාකිස්තානු ඉතිහාසයට නව පිටුවක් එක් කිරීමේ බලාපොරොත්තුව කරපින්නාගෙනය. 

මීට පෙර දශක 6ක් පුරා සිය භූමියේදී පාකිස්තානුවන් හමුවේ දණ නොනැමූ කොදෙව් පිල අද තරගයට එක්වන්නේ  සංචාරකයන්ගේ බලාපොරොත්තු තවත් කාලයකට තල්ලු කර හැරීමේ අරමුණ පෙරදැරිවය.

 

- 077

ශූරතාව කොළඹට

දිනේෂ් චන්දිමාල්ගේ පිතිහරඹයත් තිසර පෙරේරාගේ පන්දු යැවීමත් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලැබූ නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 137 ක ජයක් හිමිකරගත් කොළඹ කණ්ඩායම ශූරතාව දිනාගැනීමට අද (29 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 308 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට ඕවර 30.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 170 ක් පමණි.

ලකුණු 59 කට කඩුලු හතරක් දැවී තිබියදී පස්වැනි කඩුල්ල සදහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සම්මු අශාන් (30) සහ චතුරංග ද සිල්වා (34) සමත්වු අතර නවවැනි කඩුල්ල සදහා වේගවත් පිතිහරඹයක නිරතවූ අකිල ධනංජය (24) සහ මාලින්ද පුෂ්පකුමාර (15) පන්දු 29 කදී ලකුණු 43 සම්බන්ධතාවයක් පැවැත්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

ගාල්ල කණ්ඩායමේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දු යැවූ තිසර පෙරේරා ලකුණු 42 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර සචිත්‍ර සේනානායක සහ දුෂ්මන්ත චමීර කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 307 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 96 කට කඩුලු 4 ක් දැවී තිබියදී දිනේශ් චන්දිමාල් සහ ශෙහාන් ජයසූරිය එක්ව පස්වැනි කඩුල්ල සදහා පන්දු 133 කදී පැවැත්වූ ලකුණු 139 ක සම්බන්ධතාවය හේතුවෙන් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට කොළඹ කණ්ඩායමට හැකිවිය.

තරගාවලියේ දෙවැනි ශතකයත් වාර්තා කළ දිනේශ් චන්දිමාල් පන්දු 116 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 113 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය. චන්දිමාල්ට අනගි සහයක් ලබාදුන් ශෙහාන් ජයසූරිය දැවීයන විටදී පන්දු 63 කට මුහුණදී හයේ පහරක් සහ හතරේ පහර අටක් සමගින් ලකුණු 77 ක් රැස්කිරීමට සමත්විය.

 


කොළඹ කණ්ඩායම – ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 307
(ඩිල්ශාන් මුණවීර 27, කිත්රුවන් විතානගේ 25, දිනේෂ් චන්දිමාල් නොදැවී 113, ශෙහාන් ජයසූරිය 77, මාලින්ද පුෂ්පකුමාර 32/2, චතුරංග ද සිල්වා 53/2, අකිල ධනංජය 56/2, දසුන් ශානක 63/2)

ගාල්ල කණ්ඩායම – ඕවර 30.3 කදී සියලුදෙනා දැවී ලකුණු 170    
(සධීර සමරවික්‍රම 29, සම්මු අශාන් 30, චතුරංග ද සිල්වා 34, අකිල ධනංජය 24, තිසර පෙරේරා 42/4, සචිත්‍ර සේනානායක 34/2, දුෂ්මන්ත චමීර 40/2)

 

සුපිරි ඕවරයේ ජය මුම්බායි පිලට

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ලයන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර රාජ්කොට් හිදී පැවැති 35 වන තරගයේදී ලකුණු සමවීම හේතුවෙන් යැවූ සුපිරි ඕවරයේදී ජය හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල අද (29 වැනිදා) සමත්විය.


සුපිරි ඕවරයේදී ගුජරාට් ලයන්ස් පිලට ජයග්‍රහණය සදහා ලකුණු 12 ක් ලබාගැනීමට අවශ්‍ය වුවද ජස්ප්‍රීට් බුම්රාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලබාගැනීමට හැකිවූයේ ලකුණු හයක් පමණි. පළමු පන්දුව නිපන්දුවක්වූ අතර ඊළඟ පන්දුවේදී පාදයේ වැදිගිය ලකුණක් ලෙස පැති මාරු කරගැනිමට ඒරන් ෆින්ච්ට සිදුවිය. දෙවැනි පන්දුව වයිඞ් පන්දුවක් ලෙස විනිසුරු විසින් සටහන් කරනු ලැබූ අතර ඊළඟ පන්දුවේදී ලකුණක් ලබාගැනීමට බ්‍රෙන්ඩන් මැකලම්ට අවස්ථාවක් හිමි නොවීය. තෙවැනි පන්දුව කඩුලු රකින්නා විසින් අතහැරීම හේතුවෙන් ලකුණක් සදහා පිතිකරුවන් පැති මාරු කරගත් අතර සිවුවැනි පන්දුවේදී ලකුණක් ලබාගැනීමට ඒරන් ෆින්ච්ට අවස්ථාවක් හිමිනොවීය. අවසන් පන්දු දෙකේදී ඒරන් ෆින්ච්ට සහ බ්‍රෙන්ඩන් මැකලම්ට ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණ බැගින් පමණි.


සුපිරි ඕවරයේදී පළමුවෙන් පන්දුවට පහරදීම සදහා මුම්බායි ඉන්දියන්ස් පිල පිටියට පිවිසි අතර ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 11 ක් පමණි. ජේම්ස් ෆෝක්නර් යැවූ පළමු පන්දුවට ලකුණක් ලබාගනිමින් ජොස් බට්ලර් පැති මාරු කරගත් අතර දෙවැනි පන්දුවට හතරේ පහරක් සහ තෙවැනි පන්දුවට හයේ පහරක් ගැසීමට කරන් පොලාඞ් සමත්විය. සිවුවැනි පන්දුවේදී කරන් පොලාඞ් දැවී ගිය අතර පස්වැනි පන්දුවේදී ජොස් බට්ලර් දැවීයාමත් සමගින් එක් පන්දුවක් ඉතිරිව තිබියදීම මුම්බායි ඉන්දියන්ස් ඉනිම අවසන්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 153 ක් පමණි. ලකුණු සමවීම හේතුවෙන් ජයග්‍රහණය තීරණය කිරීම සදහා මෙවර තරගාවලියේදී පළමු වරට සුපිරි ඕවරයේ පිහිට පැතීමට සිදුවිය.


අවසන් ඕවරයේදී ජයග්‍රහණය සදහා මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 11 ක් ලබාගැනීමට අවශ්‍ය වුවද ලකුණු 10 කට සීමා කිරීමට ඉර්ෆාන් පතාන් සමත්විය. මුම්බායි ඉන්දියන්ස් පිලේ අවසන් ඕවර දෙකෙහිදී ලකුණු 14 කට කඩුලු පහක් දවාගැනීමට ගුජරාට් ලයන්ස් පන්දු යවන්නෝ සමත්වූහ.


වේගවත් පිතිහරඹයක නිරතවූ පාර්තිව් පතෙල් පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 70 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය. බැසිල් තම්පි ලකුණු 29 කට කඩුලු තුනක් දවාගත් අතර ජේම්ස් ෆෝක්නර් ලකුණු 34 කට කඩුලු දෙකක් දවාගැනීමට සමත්විය.


කාසියේ වාසිය දිනූ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ලයන්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 153 ක් රැස්කිරීමට සමත්විය. ගුජරාට් ලයන්ස් පිලේ වැඩිම ලකුණු ලාභියාවූ ඉෂාන් කිෂාන් පන්දු 35 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 48 ක් රැස්කිරීමට සමත් වූයේය.


ලකුණු 101 කට කඩලු 7 ක් දැවී තිබියදී අටවැනි කඩුල්ල සදහා පන්දු 19 කදී ලකුණු 43 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඇන්ඩෲ ටේ සහ ජේම්ස් ෆෝක්නර් සමත්වූහ.


විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ කෘනල් පාණ්ඩ්‍යා ඕවර 4 ක් යවමින් ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

ගුජරාට් ලයන්ස් – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 153
(ඉෂාන් කිෂාන් 48, රවින්ද්‍ර ජදේජා 28, ජේම්ස් ෆෝක්නර් 21, ඇන්ඩෲ ටේ 25, කෘනල් පාණ්ඩ්‍යා 14/3, ජස්ප්‍රීට් බුම්රා 32/2, ලසිත් මාලිංග 33/2)

මුම්බායි ඉන්දියන්ස් – ඕවර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 153
(පාර්තිව් පතෙල් 70, කෘනල් පාණ්ඩ්‍යා 29, බැසිල් තම්පි 29/3, ජේම්ස් ෆෝක්නර් 34/2)

 

වර්ජනය කරන්න අපට පුළුවන් – ගවස්කාර්

ජූනි මස 1 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශුරයන්ගේ ක්‍රිකට් තරගාවලිය වර්ජනය කිරීමේ හැකියාව ඉන්දියාවට ඇතැයි ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර් මහතා කියයි. එවන් තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට දක්වන සහයෝගයක් ලෙසින් ලෝකයේ සෙසු කණ්ඩායම්ද ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමේ අවස්ථාවක් ඇති බවද ගවස්කාර් මහතා පවසන බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය බදාදා (26 වැනිදා) ගත් තීරණයට එකට එක කිරීමක් වශයෙන් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඉන්දියාව කරුණු සලකා බලමින් සිටී.  

අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය 26 වැනිදා එහි නව මූල්‍ය සැලසුම් අනුමත කළේ වසර 2014 දී සිටි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති එන්. ශ්‍රීනිවාසන් මහතාගේ නායකත්වයෙන් යුත් සැලසුම් සියල්ලම බල රහිත කරමිනි. 2014 මූල්‍ය සැලැස්මට අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ආදායම් වලින් විශාල කොටසක් මහ බලවතුන් තිදෙනා යනුවෙන් හැඳින්වූ ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතරේ බෙදී යා යුතුව තිබිණ.

කෙසේ වෙතත් පසුගියදා ඩුබායිහිදී පැවැති රැස්වීමේදී මුදල් බෙදී යාම සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීම 9-1 ක් ලෙසින් අවසන් වී ඇත්තේ ඉන්දියාව පමණක් අකමැති පාර්ශ්වය ගැනීමෙනි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම වෙනස්කම් අනුව ඉදිරි වසර 8 ක කාලයේදී ඉන්දියාවට හිමිවිය යුතු මුදලින් ඩොලර් මිලියන 277 ක් අඩුවන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කළේය.

ශූරයන්ගේ කුසලාන තරගාවලියට කණ්ඩායම නම් කිරීමේ අවසන් දිනය ලෙස අප්‍රේල් මස 25 වැනිදා නියම කර තිබුණද අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ අවසන් තීරණය ලැබෙන දිනය තෙක් කණ්ඩායම නම් කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කල්මරමින් සිටියේය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම තීරණයෙන් කැළඹීමට පත්ව සිටින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා කියා සිටියේ මැයි මස 7 වැනිදා සිය සාමාජිකයන්ගේ අතිවිශේෂ මහ සභා රැස්වීමක්  කැඳවන බවත් සභාවේ තීරණය අනුව පියවරක් ගන්නා බවත්ය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව නැවත වරක් දෙපසට වී කඹ අදිමින් සිටිති. ඉදිරි දින කිහිපයේදී මෙම ප්‍රශ්නයට සතුටුදායක විසඳුමක් නොලැබුණහොත් ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ඉන්දියාව සූදානම් වෙමින් සිටී.

සුනිල් ගවස්කාර් මහතා පවසන්නේ 2014 දී අත්සන් කරන ලද එකඟතාව පිළිබඳ ආදර්ශයට අදාළ සාමාජිකයන්ගේ සහභාගිවීමේ ගිවිසුම සම්බන්ධයෙන් යටහත් ඉල්ලීමක් කරමින් තරගාවලියෙන් ඉවත්වීමේ අවස්ථාව ඉන්දියාවට ඇති බවයි.

“2014 එකඟතාව පිළිබඳ ආදර්ශය නීිත්‍යානුකූල ලියවිල්ලක්. සහභාගිවීමේ ගිවිසුම තියෙන්නේත් ඒ එකඟතාව පිළිබඳ ආදර්ශයට යටත්වයි”

“ඔවුන් පොතේ හැටියටම කටයුතු කරනවා නම්, 2014 එකඟතාව පිළිබඳ ආදර්ශය දැන් ක්‍රියාත්මක වෙන්නේ නෑනේ. ඒ නිසා ඔවුන්ට (ඉන්දියාවට) 2014 එකඟතාව පිළිබඳ ආදර්ශය සම්බන්ධයෙන් යටහත් ඉල්ලීමක් කරලා ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත්වීමේ නීතිමය අයිතිය තියෙනවා කියන එක අපි අමතක කරන්න ඕන නෑ” යයි සුනිල් ගවස්කාර් මහතා එන්.ඩී.ටී.වී. පුවත් සේවයට පවසා තිබිණ.

“දැන් 2014 එකඟතාව පිළිබඳ ආදර්ශය නොසලකා හැරලා. ඒ වගේම තවත් මාසයකින් නැත්නම් දෙකකින් 2017 එකඟතාව පිළිබඳ ආදර්ශයත් නොසලකාහරින්න පුළුවන්…හැම දෙයක්ම, හැම බැඳීමක්ම, හැම යාළු මිත්‍රකමක්ම සැණෙකින් වෙනස් වන ලෝකයක ඕන දෙයක් වෙන්න පුළුවන්” යයිද සුනිල් ගවස්කාර් මහතා එන්.ඩී.ටී.වී. රූපවාහිනී සේවයට පවසා තිබිණ.

ඉන්දියාව කොන්කර දමා සෙසු ක්‍රිකට් ලෝකයට ඉදිරියට ගියහොත් එයින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට හානියක් වේය යන මතවාදය ගවස්කාර් මහතා සැහැල්ලුවෙන් බැහැර කරයි.

වෙනත් රටවල දේශීය ක්‍රිකට් තරගාවලි වලදී ක්‍රීඩකයන්ට ගෙවනු ලබන මුදල මෙන් පස්ගුණයක් අයි.පී.එල්. තරගාවලියේදී එම ක්‍රීඩකයන්ට ගෙවන බව පැවසූ ගවස්කාර් මහතා ඉන්දියාව සහභාගි වන ද්විපාර්ශ්වික අන්තර්ජාතික තරගාවලි වලදී රූපවාහිනී විකාශය අයිතියේ ආදායමද ඒ ඒ රටවල් වලට විශාල බලපෑමක් ඇතිකරන බවත් පැවසීය. එබැවින් ඉන්දියාව කොන්කර දමා ක්‍රිකට් ක්‍රීඩා කරන සෙසු රටවලට ඉදිරියට යා නොහැකි බවද ගවස්කාර් මහතා පැවසීය.

“හරි මොනවාද වෙන්නේ කියලා හිතල බලමු….”
“ඕස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතර තරගාවලිය 1877 ඉඳන්ම තියෙනවා. ඒක කිසියම් සංඛේතාත්මක තරගාවලියක්…ඒත් අනෙක් රටවල් අතර තරගාවලි බැලුවොත් ඒ තරගාවලි වලට ඒ තරම් මුදලක් ලැබෙන්නේ නෑ”

“ඒත් ඉන්දියාව ඒ රටවල සංචාරය කරද්දී වෙනත් රටක් සමග ක්‍රීඩා කරද්දී ලැබෙන මුදල දෙගුණ වෙනවා, තුන්ගුණයක් නැත්නම් සිවුගුණයක් වෙන අවස්ථාත් තියෙනවා. ඒක කොයිතරම්ද කියන්න මා හරියට දන්නේ නෑ…ඒ නිසා කිසිම ආකාරයකින් ඉන්දියාව කොන්කර දමන්න කාටවත් පුළුවන් කමක් නෑ” යයිද ගවස්කාර් මහතා පැවසීය.

තත්ත්වය එසේ වුවත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කිසියම් බලපෑමක් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තිබූ ශක්තිය හීනවී ඇති බවත් ගවස්කාර් මහතා පැවසීය.

“අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කිසියම් බලපෑමක් කිරීමේ ශක්තිය දිගටම රඳාවා පවත්වාගත්තා නම් ඒ එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාවයි. ඉන්දියාව මීට වසර දෙකකට තුනකට ඉහතදී තිබුණ බලය රඳවාගෙන නෑ”
“ඒත් ඒ ගැන සිතා බැලිය යුත්තේත් ඉන්දියාවමයි. සිද්ධවුණ දේවල් නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ” යයි කී ගවස්කාර් මහතා 2014 එකඟතාව පිළිබඳ ආදර්ශය නොසලකා හැරීම තුළින් සෑම රටකටම සමාන ලෙස මුදල් බෙදී යන බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව කරන ප්‍රකාශය දඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

“අපට ලැබෙන්න තිබුණ ඩොලර් මිලියන 590 නැත්නම් ඊට ආසන්න ගණන වැරදි නම් දැන් ඩොලර් මිලියන 290 කුයි තවත් මිලියන 100 කුත් දෙන එක හරි වෙන්නේ කොහොමද? සෑම රටකටම සම සමව මුදල් බෙදී යා යුතු නම් සෑම රටකටම එකම ගණනක් ලැබෙන්න ඕනෑනේ” යයිද ගවස්කාර් මහතා පවසා තිබිණ.

 

 

පන්දු යවන්නෝ පූනේ පිලට ජය ගෙනෙති

 

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ පූනේ හිදී පැවැති 34 වන තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහින ලකුණු 61 ක ජයක් හිමිකර ගැනීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අද (29 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 96 ක් පමණි. තනි සටනක නිරතවූ විරාට් කෝලී පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 55 ක් රැස්කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. විරාට් කෝලී හැර කිසිදු පිතිකරුවකුට ලකුණු දහයේ සීමාව පසුකිරීමට අවස්ථාවක් පූනේ සුපර්ජයන්ට්ස් පන්දු යවන්නෝ ලබානොදුන්හ.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලොකී ෆර්ගියුෂන් ඕවර හතරක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 7 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ලොකීට අනගි සහයක් ලබාදුන් ඉම්රාන් තහීර් ඕවර හතරක් යවමින් ලකුණු 18 කට කඩුලු තුනක් දවාගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 157 ක් රැස්කිරීමට සමත්විය.

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලේ වැඩිම ලකුණු ලාභියාවූ ස්ටීවන් ස්මිත් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 45 ක් රැස්කළ අතර මනෝජ් තිවාරී පන්දු 35 කදි හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 44 ක් ලබාගත්තේය. ස්ටීවන් ස්මිත් සමගින් තෙවැනි කඩුල්ල සදහා පන්දු 33 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මනෝජ් තිවාරී සිවුවැනි කඩුල්ල සදහා මහේන්ද්‍ර සිං දෝණි සමගින් එක්වද පන්දු 37 කදී නොබිඳුණු ලකුණු 49 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ පවන් නෙගී ඕවර හතරක් හවමින් ලකුණු 18 කට කඩුල්ලක් දවාගනිමින් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්විය.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ වෙනස්කම් තුනක් සිදුකරමින් ක්‍රිස් ගේල්, මන්දීප් සිං සහ අනිකෙට් චෞද්ද්‍රී ඉවත්කර ඇඩම් මිල්නේ, සචින් බේබී සහ ස්ටුවර්ට් බිනී කණ්ඩායමට කැඳවා තිබූ අතර රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ශාර්දුල් ඨාකූර් සහ ෆැෆ් ඩූ’ප්ලේසී වෙනුවට දීපක් චහාර් සහ ලොකී ෆර්ගියුෂන් කණ්ඩායමට කැඳවූහ.

කාසියේ වාසිය ලැබූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලී පළමුව පන්දු රැකීමට තීරණය කළේය.


රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් – ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 157
(රාහුල් ත්‍රීපති 37, ස්ටීවන් ස්මිත් 45, මනෝජ් තිවාරී නොදැවී 44, මහේන්ද්‍ර සිං දෝණි නොදැවී 21)

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 96
(විරාට් කෝලී 55, ඉම්රාන් තහීර් 18/3, ලොකී ෆර්ගියුෂන් 07/2)

 

නගරාන්තර තරගාවලියේ අවසන් තරගය හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර හෙට (29 වැනිදා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්විමට කටයුතු යොදා ඇත.


ගාල්ල කණ්ඩායම උපුල් තරංග විසින් මෙහෙයවනු ලබන අතර කොළඹ කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබයි.


ගාල්ල කණ්ඩායමේ සධීර සමරවික්‍රම තරග හයකදී ලකුණු 314 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණේ රැඳී සිටින අතර තරග හයකදී ලකුණු 310 ක් රැස්කළ ගාල්ල කණ්ඩායමේම දිමුත් කරුණාරත්න දෙවැනි ස්ථානයේ පසුවන්නේය. සධීර සමරවික්‍රම ශතක දෙකක් සහ අර්ධ ශතකයක් ලබාගෙන ඇති අතර දිමුත් කරුණාරත්න අර්ධ ශතක තුනක් ලබාගැනීමට සමත්වී ඇත.


තරග හයකදී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 285 ක් රැස්කරගෙන ඇති දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන්නේය.


තරග පහකදී කඩුලු 12 ක් දවාගනිමින් වැඩිම කඩුලු දවාගත් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ගාල්ල කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සමත්වී ඇති අතර තරග හයකදී කඩුලු 10 ක් දවාගත් කොළඹ කණ්ඩායමේ ශෙහාන් ජයසූරිය තෙවැනි ස්ථානයේ පසුවන්නේය.

 

ගාල්ල කණ්ඩායම

උපුල් තරංග (නායක), සධීර සමරවික්‍රම, දිමුත් කරුණාරත්න, දසුන් ශානක, චතුරංග ද සිල්වා, ධනංජය ද සිල්වා, සීකුගේ ප්‍රසන්න, මිනෝද් භානුක, සම්මු අශාන්, සුරංග ලක්මාල්, චාමික කරුණාරත්න, අකිල ධනංජය, මාලින්ද පුෂ්පකුමාර, විකුම් සංජය.

 

කොළඹ කණ්ඩායම

දිනේෂ් චන්දිමාල් (නායක), ඩිල්ශාන් මුණවීර, වනිඳු හසරංග, අශාන් ප්‍රියංජන්, ශෙහාන් ජයසූරිය, ඇන්ජලෝ ජයසිංහ, කිත්රුවන් විතානගේ, තිසර පෙරේරා, ළහිරු තිරිමාන්න, සචිත්‍ර සේනානායක, නිපුන් කරුණානායක, ඇන්ජලෝ පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, ජෙෆ්රී වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර.

 

හයිද්‍රාබාද් පිලට ලකුණු 26 ක ජයක්

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ මොහාලි හිදී පැවැති 33 වන තරගයේදී කිංග්ස් XI පන්ජාබ් පිලට එරෙහිව ලකුණු 26 ක ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල අද (28 වැනිදා) සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස් XI පන්ජාබ්ට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 181 ක් පමණි. ෂෝන් මාෂ් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 50 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 84 ක් රැස්කළද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.


සිවුවැනි කඩුල්ල සදහා පන්දු 49 කදී ලකුණු 73 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඔයින් මෝගන් සහ ෂෝන් මාෂ් සමත්වූ අතර සිද්ධාර්ත් කෞවුල් ලකුණු 36 කට කඩුලු තුනක් සහ අශීෂ් නේරා ලකුණු 42 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්වුහ.


පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 207 ක් රැස්කිරීමට සමත්විය. පළමු කඩුල්ල සදහා පන්දු 60 කදී ලකුණු 107 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඬේවිඞ් වෝනර් සහ ශීකර් ධාවන් සමත්වූහ.


ශීකර් ධාවන් පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර නවයක් සමගින් ලකුණු 77 ක්ද කේන් විලියම්සන් පන්දු 27 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 54 ක් සහ ඬේවිඞ් වෝනර් පන්දු 27 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 51 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.


ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 29 කට කඩුලු දෙකක් දවාගැනීමට සමත්විය.


කාසියේ වාසිය ලැබූ කිංග්ස් XI පන්ජාබ් පිලේ නායක ග්ලේන් මැක්ස්වෙල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

 

සන්රයිසස් හයිද්‍රාබාද් ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 207
(ඬේවිඞ් වෝනර් 51, ශීකර් ධාවන් 77, කේන් විලියම්සන් නොදැවී 54, ග්ලේන් මැක්ස්වෙල් 29/2)

කිංග්ස් XI පන්ජාබ් – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 181
(මාටින් ගප්ටිල් 23, ෂෝන් මාෂ් 84, ඔයින් මෝගන් 26, සිද්ධාර්ත් කෞවුල් 36/3, අශීෂ් නේරා 42/3, බුවනේෂ්වර් කුමාර් 27/2)