ධනංජය අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී

බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය මේ වනවිටත් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇති අතර නමුත් වෙනදා මෙන් ආරම්භක පිතිකරුවන්ගෙන් ඉටුවිය යුතු සේවය මෙම තරගාවලියේදීද හරියාකාරව ඉටුනොවීම කැපී පෙනුණි.

අත්හදා බැලීම් ගණනාවකින් පසු ආරම්භක පිතිකරු භූමිකාව සදහා යෙදවූ ධනංජය ද සිල්වා යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළද තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පහක් තුළ ඉනිම හතරකදී අර්ධ ශතක දෙකක් සමගින් ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු 139 ක් පමණි.  ධනංජය රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව සිම්බාබ්වේ පිලට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 78 වන අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 46.33 ක් විය.

කෙසේ වෙතත් මැද පෙළ පිතිකරුවකු  වශයෙන් ක්‍රීඩා කරමින් ඕස්ටේ්‍රලියානුවන් හමුවේ ටෙස්ට් තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වූ ධනංජය එක්දින කණ්ඩායමේ තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බවක් දක්නට තිබිණ.

ආරම්භක පිතිකරුවකු වශයෙන් අසාර්ථක වූ කුසල් ජනිත්ට තරග පහක් තුළ ඉනිම හතරකදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 46 ක් පමණී. සිම්බාබ්වේ පිලට එරෙහිව පළමු තරගයේදී රැස්කළ ලකුණු 21 ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 11.50 ක් විය.

පෙර තරගවලදී අංක තුන පිතිකරුගේ ස්ථානයේ ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් අංක හතර දක්වා පහත දමා මැදපෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩාකළ නිරෝෂන් දික්වැල්ලට අංක තුන පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීමට මෙම තරගාවලියේදී අවස්ථාවක් හිමිවිය. දික්වැල්ලට ලැබුණු එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වමින් තරග පහක් තුළ ඉනිම හතරකදී එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 179 ක් රැස්කිරීමට සමත්වූයේය. නිරෝෂන් දික්වැල්ල බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 94 ක් රැස්කරමින් ශතකය පෙනි පෙනී දැවීගිය අතර මෙම තරගාවලියේදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 44.75 ලෙස සටහන්විය.

පිතිකරු ලැයිස්තුවේ එක් ස්ථානයක් පහලට ගියද දස්කම්වල අඩුවක් සිදුනොවූ කුසල් මෙන්ඩිස් තරග පහක් තුළ ඉනිම හතරකදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 167 ක් රැස්කිරීමට සමත්වූයේය. මංගල ශතකය අහිමිකර ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 94 ක් රැස්කළ කුසල් මෙන්ඩිස්ගේ කුණු ලබාගැනීමේ සාමාන්‍යය 55.66 කි.

ආරම්භක පිතිකරුවකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබූවද නවකයන්ට අවස්ථාව ලබාදෙමින් මැදපෙළ පිතිකරුවකු වශයෙන් කටයුතු කළ උපුල් තරංගට තරග පහක් තුළ ඉනිම තුනකදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95 ක් වුවද අවසන් තරගයේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවීම කැපී පෙනුණි.

නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උපනායක දිනේෂ් චන්දිමාල් අබාධ සුවවීමෙන් පසු නැවත කණ්ඩායමට එක්වූ විට නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංගට කණ්ඩායමේ ස්ථානයක් හිමිවේද නැද්ද දැන්ම පැවසිය නොහැකිය. වේගපන්දු යවන්නන් වන නුවන් කුලසේකර සහ අසේල ගුණරත්න අතර කඩුලු අට බැගින් බෙදී යනවිට සුරංග ලක්මාල් කඩුලු හතක් දවාගැනීමට සමත්විය. නුවන් ප්‍රදීප්ට හිමිවුයේ කඩුලු පහක් පමණී.

දඟපන්දු යවන්නන්ට මෙම තරගාවලියේදී වැඩියමක් කිරීමට හැකිනොවූ අතර සචිත් පතිරණ කඩුලු හතරක් සහ ජෙෆ්රී වැන්ඩර්සේ කඩුලු තුනක් දවාගැනීමට සමත්වූහ. තුන්ඉරියව් ක්‍රීඩකයින් වන දසුන් ශානක සහ ශෙහාන් ජයසූරියට පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද වැඩියමක් කිරීමට අවස්ථාවක් නොලැබිණි.

තරගාවලියේදී වාර්තාවු ශතක දෙකට හිමිකම් කීමට බටහිර ඉන්දීය කොදෙව් පිලේ එවින් ලුවිස් සහ ශායි හෝප් සමත්වූ අතර තරග හතරකට ක්‍රීඩාකරමින් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්වූහ. එවින් ලුවිස් ලකුණු 202 ක් රැස්කළ අතර ශායි හෝප් ලකුණු 187 ක් රැස්කිරීමට සමත්වූහ.

වේගපන්දු යවන ජේසන් හෝල්ඩර් කඩුලු නවයන් බිඳහෙළමින් පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත්වූ අතර පිටදග පන්දු යවන ඇෂ්ලි නර්ස් කඩුලු අටක් දවාගැනීමට සමත්විය.

තරගාවලියපුරා පිත්තෙන් දස්කම් දැක්වූ සීකන්දර් රාසා තරග පහකදී ලකුණු 163 ක් සහ ක්‍රෙග් අර්වින් තරග පහකදී ලකුණු 147 ක් රැස්කරමින් සිම්බාබ්වේ කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන ඒමට සමත්වූහ. පන්දු යැවීමේ බළඇණිය දුර්වලවූ සිම්බාබ්වේ කණ්ඩාමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ කඩුලු හතරක් දවාගත් ෂෝන් විලියම්ස්ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ සාමාන්‍යය
ක්‍රීඩකයා තරග ඉනිම නො ලකුණු වැ.ල සාමාන්‍යය 100 50
සචිත් පතිරණ 5 2 1 69 45 69.00 0 0
කුසල් මෙන්ඩිස් 5 4 1 167 94 55.66 0 2
උපුල් තරංග 5 3 1 95 57* 47.50 0 1
ධනංජය ද සිල්වා 5 4 1 139 78* 46.33 0 2
නිරෝෂන් දික්වැල්ල 5 4 0 179 94 44.75 0 1
අසේල ගුණරත්න 5 3 1 40 18 20.00 0 0
ශෙහාන් ජයසූරිය 3 2 0 40 31 20.00 0 0
නුවන් කුලසේකර 5 1 0 16 16 16.00 0 0
කුසල් ජනිත් 5 4 0 46 21 11.50 0 0
සුරංග ලක්මාල් 5 1 0 0 0 0.00 0 0
නුවන් ප්‍රදීප් 3 1 1 0 0* - 0 0
දසුන් ශානක 2 - - - - - - -
ජෙෆ්රී වැන්ඩර්සේ 2 - - - - - - -
 
කෙටි යෙදුම්
ත – තරග, ඉ – ඉනිම, නො – නොදැවීම්, වැ.ල. – වැඩිම ලකුණු

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුකරන සාමාන්‍යය
ක්‍රීඩකයා තරග ඉනිම ඕවර ලකුණු කඩුලු හො.ප. සාමාන්‍යය ල.වේ.
අසේල ගුණරත්න 5 4 30.0 118 8 10/3 14.75 3.93
ධනංජය ද සිල්වා 5 1 1.0 4 0 - - 4.00
නුවන් කුලසේකර 5 5 40.0 180 8 23/2 22.50 4.50
සුරංග ලක්මාල් 5 5 36.2 168 7 19/2 24.00 4.62
සචිත් පතිරණ 5 5 31.3 156 4 26/2 39.00 4.95
ජෙෆ්රී වැන්ඩර්සේ 2 1 10.0 50 3 50/3 16.66 5.00
නුවන් ප්‍රදීප් 3 3 27.0 141 5 21/2 28.20 5.22
ශෙහාන් ජයසූරිය 3 3 11.0 63 0 - - 5.72
දසුන් ශානක 2 2 4.0 23 0 - - 5.75
 
කෙටි යෙදුම්
ත – තරග, ඉ – ඉනිම, ඕ – ඕවර, ල – ලකුණු, ක – කඩුලු, ඉ.හො.ප. – ඉනිමක හොදම පන්දු යැවීම
ල.වේ. – ලකුණු වේගය, ත.හො.ප. – තරගයක හොදම පන්දු යැවීම

 

කෝල්ට්ස් පිලට ඉනිමක ජයක්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 77 ක ජයක් ලබාගැනීමට කෝල්ට්ස් පිල අද (30 වැනිදා) සමත්විය. තවත් දිනයක් ඉතිරිව තිබියදීම තරගය ජයගැනීමට කෝල්ට්ස් පිලට හැකිවිය.

පිට පිට දෙවැනි වතාවටත් අද දිනයේදී පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි මූවර්ස් කණ්ඩායමට ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා තවත් ලකුණු 209 ක් අවශ්‍යවුවද ඔවුන්ට දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 132 ක් පමණී.

ලකුණු 29 කට කඩුලු හයක් බිඳවැටී තිබූ අවස්ථවේ කඩාවැටුණු ඉනිම ගොඩනැගීම සදහා කෝසල කුලසේකර සහ සචිත්‍ර පෙරේරා උත්සහ දැරුවද ලකුණු 23 ක් ලබාසිටි කෝසල කුලසේකරගේ දැවීයාමත් සමගින් එම බලාපොරොත්තුවද අවසන්විය. හත්වැනි කඩුල්ල සදහා ලකුණු 48 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඔව්හු සමත්වූහ. සචිත්‍ර පෙරේරා අර්ධ ශතකයක් (52) රැස්කිරීමට සමත්වුවද ඉනිමක පරාජයෙන් ගැලවීමට අවස්ථාවක් හිමි නොවීය.

අටවැනි කඩුල්ල ලකුණු 79 ක් වනවිටදී බිඳ වැටීමෙන් පසුව සචිත්‍ර පෙරේරා සමගින් එක්වූ උමෙෂ්ක මොරායස් නවවැනි කඩුල්ල සදහා ලකුණු 47 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට දායක විය. නවවැනි කඩුල්ල ලකුණු 126 දී දැවීයාමෙන් පසුව අවසන් කඩුල්ල සදහා එක්කිරීමට හැකිවූයේ ලකුණු හයක් පමණී. ඩිල්රුවන් පෙරේරා විසින් උමෙෂ්ක මොරායස්ගේ කඩුල්ල දවාගනු ලැබීමත් සමගින් මූවර්ස් දෙවැනි ඉනිමද අද දිනයේදී අවසන්විය.

ලකුණු හඹායාම සදහා පිටියට පිවිසි මූවර්ස් කණ්ඩායමට පළමු ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 158 ක් පමණි. වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ලකුණු 40 කට කඩුලු හතරක් සහ දකුණතින් වේගපන්දු යවන ඉෂාන් ජයරත්න ලකුණු 32 කට කඩුලු තුනක් දවාගනිමින් මූවර්ස් පිලේ බලාපොරොත්තු සුන්කිරීමට සමත්වූහ.

ඊයේ දිනය නිමාවනවිට කඩුලු හයක් දැවී ලකුණු 318 ක් රැස්කරගෙන සිටි කෝල්ට්ස් කණ්ඩායම අද දිනයේදී පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 367 ක් රැස්කිරීමට සමත්විය. කෝසල කුලසේකර ලකුණු 77 කට කඩුලු පහක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.


කෝල්ට්ස්- – පළමු ඉනිම – ඕවර 101.2 කදී සියලුදෙනා දැවී ලකුණු 367
(කාංචන ගුණවර්ධන 74, හෂාන් දුමිදු 39, ඇන්ජලෝ ජයසිංහ 72, ඩිල්රුවන් පෙරේරා 80, ප්‍රියමාල් පෙරේරා 23, නිසල තාරක 42, කෝසල කුලසේකර 77/5, තිළාන් තුෂාර 59/2, උමෙෂ්ක මොරායිස් 95/2)

මූවර්ස් – පළමු ඉනිම – ඕවර 30.2 කදී සියලුදෙනා දැවී ලකුණු 158
(රුවිඳු ගුණසේකර 28, තරිඳු මෙන්ඩිස් 35, ශානුක දුලාජ් 28, තිළාන් තුෂාර 20, ප්‍රභාත් ජයසූරිය 40/4, ඉෂාන් ජයරත්න 32/3)

මූවර්ස් – දෙවැනි ඉනිම – ඕවර 32.1 කදී සියලුදෙනා දැවී ලකුණු 132
(ප්‍රිමෝෂ් පෙරේරා 20, කෝසල කුලසේකර 23, සචිත්‍ර පෙරේරා 52, උමෙෂ්ක මොරායිස් 21, ඩිල්රුවන් පෙරේරා 25/4, නිසල තාරක 29/3, ප්‍රභාත් ජයසූරිය 46/2)

 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තායිලන්තය පරදවති

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති තරගයේදී ලකුණු 75 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (30 වැනිදා) සමත්විය. තායිලන්ත කාන්තා පිලට ඕවර 20 අවසානයේදී කඩුලු නවයක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 45 ක් පමණි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු හයක් දැවී ලකුණු 120 ක් රැස්කළ අතර පළමු විස්සයි20 අර්ධ ශතකය ලබාගැනීමට හසිනි පෙරේරා සමත්වූවාය. පන්දු 59 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 55 ක් රැස්කිරීමට හසිනි පෙරේරා සමත්වූවාය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා හසිනි පෙරේරා පළමුව පන්දුවට පහරදීමට තමන් ගත් තීරණය වඩාත් නිවැරදි බව තහවුරු කරමින් චමරි අතපත්තු සමග එක්ව පළමු කඩුල්ල සදහා ලකුණු 77 ක සම්බන්ධතාවයක් පැවැත්වූවාය. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා වැය කළේ පන්දු 83 ක් පමණි. මුලු ලකුනු සංඛ්‍යාව 101 ක් ව තිබියදී එෂානි කෞෂල්‍යයා ලකුණු 9 කට දැවී යාමෙන් පසුව ලකුණු 19 ක් ඇතුළතදී තවත් පිතිකාරිනියෝ 4 දෙනෙක් දැවී ගියහ.

ලකුණු 121 ක ඉලක්කයක් කරා යා යුතු වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නිය වන උදේශිකා ප්‍රබෝධනීගේ පන්දු යැවීම හමුවේ තායිලන්ත පිලේ සිවුවැනි කඩුල්ලත් ඇද වැටෙන විට පුවරුවට එක්ව තිබුණේ ලකුණු 10 ක් පමණි. එතැනින් අමාරුවේ වැටුණු සත්කාරක කණ්ඩායම තවත් අසරණ කළ වමතින් දඟ පන්දු යවන්නී ඉනෝකා රණවීර, පන්දු 9 කදී පිතිකාරිනියන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යවමින් ලකුණු සංඛ්‍යාව 36 ක් ව තිබියදී 8 වැනි කඩුල්ලත් බිඳ දැම්මාය.


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 120
(හසිනි පෙරේරා 55, චමරි අතපත්තු 31, සයිනම්මින් සයින්යා 26/3)

තායිලන්ත කාන්තා කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 45
(ඉනෝකා රණවීර 04/3, උදේශිකා ප්‍රබෝධනී 08/3)

 

 

ඉන්දියාවට කඩුලු 8 ක ජයක්

එංගලන්තය සහ ඉන්දියාව අතර මොහාලී හිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබාගත් ඉන්දියාව තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට අද (29 වැනිදා) සමත්විය. තවත් දිනයක් ඉතිරිව තිබියදීම තරගය ජයගැනීමට ඉන්දියාව සමත්වූයේය.


ජයග්‍රහණය සදහා ලකුණු 103 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත්විය. පාර්තීව් පටෙල් පන්දු 54 කට මුහුණ දෙමින් හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස්කිරීමට සමත්වූයේය.


හසීඞ් හමීඞ් අර්ධ ශතකයක් (නොදැවී 59) ලබාගනිමින් කඩාවැටුණු එංගලන්ත ඉනිම ගොඩනැගීමට උත්සහ කළද අවසන් කඩුල්ල දුවද්දී දවාගැනීමකට හසුකර ගනිමින් ඔවුන්ගේ දෙවැනි ඉනිම අවසන් කිරීමට රවින්ද්‍ර ජඬේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් සමත්වූහ. අවසන් කඩුල්ල සදහා ලකුණු 41 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට හසීඞ් හමීඞ් සහ ජේම්ස් ඇන්ඩර්සන් සමත්වූහ.


අටවැනි සහ නවවැනි කඩුලු ද්විත්වය මොහොමඞ් ශාමී විසින් දවාගන්නාවිට මුළු ලකුණු සංඛ්‍යාව 195 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්විය.


ජෝ රූට්ස් සමගින් එක්වූ හසීඞ් හමීඞ් ඉනිම ගොඩනගමින් සිටින විටදී රවින්ද්‍ර ජඬේජා එවූ පන්දුවකට අජින්ක්‍යා රහනේ අතට උඩපන්දුවක් දෙමින් ජෝ රූට්ස් ලකුණු 78 කට දැවී ගියේය.


ජයන්ත් යාදව් ලකුණු 18 ක් ලබාසිටි ජොස් බට්ලර්ට පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් ලබානොදෙමින් ඔහු දවාගන්නාවිට මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 6 කට ලකුණු 107 ලෙස සටහන්විය.


අද දින පළමු කඩුල්ල ලෙස ලකුණු ලබානොසිටී ගැරත් බැට්ටී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනීමට රවින්ද්‍ර ජඬේජා සමත්විය.


තෙවැනි දිනය නිමාවනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 78 ක් රැස්කර සිටි එංගලන්ත පිලට සිය දෙවැනි ඉනිම සදහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 236 ක් පමණී.


රවින්ද්‍ර ජඬේජා තරගයේ වීරයාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත්විය.


එංගලන්තය – පළමු ඉනිම – ඕවර 93.5 කදී සියලුදෙනා දැවී ලකුණු 283

ඉන්දියාව – පළමු ඉනිම – ඕවර 138.2 කදී සියලුදෙනා දැවී ලකුණු 417

එංගලන්තය – දෙවැනි ඉනිම – ඕවර 90.2 කදී සියලුදෙනා දැවී ලකුණු 236
(ජෝ රූට් 78, හසීඞ් හමීඞ් නොදැවී 59, ක්‍රීස් වෝක්ස් 30, රවිචන්ද්‍රන් අශ්වින් 81/3, ජයන්ත් යාදව් 21/2, මොහොමඞ් ශාමී 37/2, රවින්ද්‍ර ජඬේජා 62/2)

ඉන්දියාව – දෙවැනි ඉනිම – ඕවර 20.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 104
(පාර්තීව් පටෙල් නොදැවී 67, චිතේෂ්වර් පුජාරා 25)

 

කෝල්ට්ස් කඩුලු 6 කට ලකුණු 318 යි

අන්තර් සාමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලිය මූවර්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමු දිනය (29 වැනිදා) නිමාවනවිට කෝල්ට්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 318 ක් ලබා සිටියේය.


කාංචන ගුණවර්ධන (74), ඇන්ජලෝ ජයසිංහ (72) සහ ඩිල්රුවන් පෙරේරා (80) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.


දෙවැනි කඩුල්ල සදහා ලකුණු 114 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට කාංචන ගුණවර්ධන සහ හෂාන් දුමිදු සමත්වූ අතර සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 130 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඇන්ජලෝ ජයසිංහ සහ ඩිල්රුවන් පෙරේරා සමත්වූහ.


කාසියේ වාසිය දිනාගත් මුවර්ස් පිල පළමුව පන්දුවට පහරදීම සදහා කෝල්ට්ස් පිලට ආරාධනා කළේය.

 

 කෝල්ට්ස්- – පළමු ඉනිම – ඕවර 89 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 318
(කාංචන ගුණවර්ධන 74, හෂාන් දුමිදු 39, ඇන්ජලෝ ජයසිංහ 72, ඩිල්රුවන් පෙරේරා 80, කෝසල කුලසේකර 51/2, උමෙෂ්ක මොරායිස් 95/2)

 

‘ඩයලොග්’ ක්‍රිකට් සම්මාන උළෙල හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල 2016 බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී හෙට (30) රාත්‍රී 7.00 සිට පැවැත්වේ.


 ඩයලොග් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පිට පිටම සිවුවැනි වරටත් පැවැත්වෙන මෙම ක්‍රිකට් සම්මාන උළෙලේදී 2015 වසරේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සම්මාන ලබති. මෙහිදී දේශිය තරගාවලිවලදී සහ අන්තර්ජාතික තරගවලදී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සම්මාන 65 ක් ලැබීමට නියමිතය.


 ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ අන්තර්ජාතික දස්කම්වලට විශේෂ සම්මාන 11 ක්ද, කාන්තා කණ්ඩායමේ දස්කම්වලට විශේෂ සම්මාන 3 ක්ද, පිරිනැමේ. ඒ අනුව වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා, ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා, දක්‍ෂතම ටෙස්ට් පිතිකරු, දක්‍ෂතම ටෙස්ට් පන්දු යවන්නා, දක්‍ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා, දක්‍ෂතම එක්දින පිතිකරු, දක්‍ෂතම එක්දින පන්දු යවන්නා, දක්‍ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා, දක්‍ෂතම විස්සයි20 පිතිකරු, දක්‍ෂතම විස්සයි20 පන්දු යවන්නා සහ වසරේ නැගී එන ක්‍රීඩකයා යන සම්මාන පිරිමි කණ්ඩායමට පිරිනැමීමට නියමිතය.


කාන්තා අංශයෙන් වසරේ දක්‍ෂතම පිතිකාරිනිය, දක්‍ෂතම පන්දු යවන්නිය සහ දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාවට සම්මාන පිරිනැමේ.


එම සම්මානවලට අමතරව වසරේ අන්තර්ජාතික විස්තර විචාරකයා, වසරේ මාධ්‍යවේදියා සහ වසරේ අන්තර්ජාතික විනිසුරුවරයා සඳහාද සම්මාන ද පිරිනැමේ.  

රාගම ක්‍රිකට් සමාජයට දම්රෝ අනුග්‍රහය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට (2016/2017) සහභාගි වන රාගම ක්‍රිකට් සමාජ කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට දම්රෝ සමාගම ඉදිරිපත්ව සිටියි.


රාගම ක්‍රිකට් සමාජ පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායකයකු වන ළහිරු තිරිමාන්න කටයුතු කරන අතර ටෙස්ට් ක්‍රීඩක උදාර ජයසුන්දර උප නායකයා ලෙස කටයුතු කරයි. රාගම පිලට ජාතික කණ්ඩායම නියෝජනය කරන රොෂේන් සිල්වා සහ අමිල අපෝන්සු ද ක්‍රීඩා කරති.


දම්රෝ සමාගමේ අධ්‍යක්‍ෂ කැල්වින් ක්‍රෝනර් මහතා විසින් රාගම පිලේ නායක ළහිරු තිරිමාන්නට අනුග්‍රහක චෙක්පත පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

 

ලංකාදීප අනුග්‍රහයෙනි

●●●

 

ක්‍රීඩකයන්ට ඉහළ නගින්න අවසර

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේ තරග සඳහා ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයන්ට තිබූ බාධකයක් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩාත් ඉහළ තලයට පිවිසීම සඳහා අවස්ථාව සැලසීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.


මෙවර තරගාවලියේදී පහළ තළයේ ක්‍රීඩා සමාජයක් නියෝජනය කළ ක්‍රීඩකයකුට ඉහළ තලයේ ක්‍රීඩා කරන වෙනත් ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව දීමට විධායක කමිටුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එහෙත් එසේ කළ හැක්කේ එම ක්‍රීඩකයා කළින් ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජය ඉහළ තලයේ තරගාවලිය සඳහා සහභාගි නොවන්නේ නම් පමණි.


පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 24 ක් තල දෙකකින් ක්‍රීඩා කරයි. මෙතෙක් පැවැති නීතිය අනුව, මෙම ක්‍රීඩා සමාජ 24 ට ඇතුළත් නොවූ ක්‍රීඩා සමාජ වෙනුවෙන් මෙම තරග වාරයේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කළ නොහැකිය.


“තමන්ගේ වෘත්තීමය බැඳීම් සහ අනෙකුත් කාරණා හේතුවෙන් වඩාත් දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පළමු පෙළ තරගාවලිය අහිමි වන තත්ත්වයක් ඇතිවී තිබිණ. මේ බව වටහාගත් ක්‍රිකට් විධායක කමිටුව, එවැනි තත්ත්වයක් මත දස්කම් අපතේ යාම ක්‍රිකට් ක්‍රීඩාවේත් රටේත් අයහපතට හේතුවන්නක් හෙයින් අදාළ නීති රීති වෙනස් කිරීමට පියවර ගෙන තිබේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයේ සටහන් වේ.


කෙසේ වෙතත් ක්‍රීඩකයකුට පළමු පෙළ තරගාවලියේදී වෙනත් ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කළ හැක්කේ තරගාවලියේ සෙසු සියලුම නීති රීති වලට යටත්වය.


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානතම පළමු පෙළ තරගාවලිය පසුගිය 25 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණද පසුගිය සතියේ පැවැති වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් එය ආරම්භ කිරීම සතියකින් කල් දමන ලදි. කලින් සැලසුම් කළ පරිදිම කෝල්ට්ස් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ අතර තරගය අද (29 වැනිදා) ආරම්භ කෙරිණ. තරගාවලියේ සෙසු සියලුම තරග දෙසැම්බර් 2 වැනිදා සිට ආරම්භ වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නේපාලය පරදවති

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැති තරගයේදී කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (28 වැනිදා) සමත්විය. ලකුණු 24 ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 4.3 කදී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.


ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉදිරියේ අසරණ තත්වයට පත්වූ නේපාල පිතිකාරිණියන්ට ඕවර 16.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 23 ක් පමණී. අවසන් කඩුලු නවය ලකුණු හතරක් තුළදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ. නේපාල ක්‍රීඩිකාවන් හත්දෙනෙකුම ලකුණු නොලබා දැවීයාම මෙහිදී කැපී පෙනුණි.


ඉනෝකා රණවීර සහ සුගන්ධිකා කුමාරී කඩුලු තුන බැගින් බෙදා ගත්හ.


කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා හසිනි පෙරේරා පළමු පන්දු යැවීමට තීරණය කරමින් නේපාල ක්‍රීඩිකාවන්ට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළාය.

 

නේපාල කාන්තා කණ්ඩායම – ඕවර 16.2 කදී සියලුදෙනා දැවී ලකුණු 23
(ඉනෝකා රණවීර 03/3, සුගන්ධිකා කුමාරී 07/3, ඕෂදී රණසිංහ 00/2)


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – ඕවර 4.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 24

 

ශ්‍රී ලංකාවට කුසලානය පමණයි

බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාව දිනාගත්තද එක්දින ශ්‍රේණීගත කිරීම් අතරේ ඉහළ යාමට ශ්‍රී ලංකා පිලට නොහැකි විය.


තරගාවලිය ආරම්භවීමේදී ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 101 ක් හිමිකරගනිමින් එක්දින ශ්‍රේණීගත කිරීම් අතර හයවන ස්ථානයේ පසුවූ අතර තරගාවලිය අවසන්වූ පසුද එහි වෙනසක් සිදුනොවීය.


බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගීවූ අනෙක් කණ්ඩායම් දෙකහි ප්‍රසාද ලකුණු වල සුළු වෙනස්කමක් සිදුවුවද ඒවායේත් ශ්‍රේණීගත ස්ථානවල වෙනසක් සිදුවී නැත.


තරගාවලිය ආරම්භයට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු 88 ක් හිමිකර ගනිමින් එක්දින ශ්‍රේණීගත කිරීම් අනුව 9 වැනි ස්ථානයේ පසුවූ අතර සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු 46 ක් ලබා 11 වැනි ස්ථානයේ පසුවිය. තරගාවලිය අවසන්වීමත් සමගින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් එක් ප්‍රසාද ලකුණක් ගිලිහී ගිය අතර සිම්බාබ්වේ කණ්ඩායමට එක් ප්‍රසාද ලකුණක් එක්විය. එයට හේතුව වූයේ සිම්බාබ්වේ සහ කොදෙව් පිල අතර 19 වැනිදා පැවැති තරගය සම වීමත් 25 වැනිදා පැවැති තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කොදෙව් පිල පරාජය වීමෙනි.


මේ හේතුවෙන් ප්‍රසාද ලකුණු 89 ක් ලබා අටවැනි ස්ථානයේ පසුවන පාකිස්තාන කණ්ඩායම අභිබවා යාමට කොදෙව් පිලට තිබූ අවස්ථාව අහිමිවී ගියේය.


ඕස්ටේ්‍රලියා කණ්ඩායම ප්‍රසාද ලකුණු 118 ක් ලබා ගනිමින් එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානයේ වැජඹෙන්නේය.

 

ස්ථානය රට ප්‍රසාද ලකුණු
1 ඕස්ට්‍රේලියාව 118
2 දකුණු අප්‍රිකාව 116
3 නවසීලන්තය 112
4 ඉන්දියාව 111
5 එංගලන්තය 107
6 ශ්‍රී ලංකාව 101
7 බංග්ලාදේශය 95
8 පාකිස්තානය 89
9 බටහිර ඉන්දීය කොදෙව් 87
10 ඇෆ්ගනිස්තානය 52
11 සිම්බාබ්වේ 47
12 අයර්ලන්තය 42