පුජාරා – රහනේ ඉන්දියාව ඔසවා තබති

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (30 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 239 ක් ලබා සිටියේය.

දිනය නිමාවන විට රිධිමන් සාහ නොදැවී ලකුණු 14 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර රවින්ද්‍ර ජදේජා ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියේය.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගළය වූ ශිකර් ධවාන් (01) සහ මුරලි විජේ (09) ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට මැට් හෙන්රි සමත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 46 ක් වන විට ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 9 ක් ලබා සිටි නායක විරාට් කෝලිද දැවීයෑම නිසා ඉන්දීය කණ්ඩායම තරමක් අසීරු තත්ත්වයකට පත් විය.

කෙසේ වුවත් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 141 ක සම්බන්ධතාවක් ගොඩනැගූ චෙතේෂ්වර් පුජාරා (87) සහ අජින්ක්‍යා රහනේ (77) ඉන්දීය කණ්ඩායම ස්ථාවර මට්ටමකට රැගෙන ආහ. පුජාරාගේ අර්ධ ශතකයට හතරේ පහර 17 ක් ඇතුළත් වූ අතර රහනේගේ අර්ධ ශතකයට හතරේ පහර 11 ක් ඇතුළත් විය.

නීල් වෝග්නර්ගේ පන්දුවක් හමුවේ මාටින් ගප්ටිල් අතට උඩපන්දුවක් දෙමින් පුජාරා දැවී ගියේය. රහනේ දැවී ගියේ ජීතන් පටේල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

පුජාරාගේ දැවීයෑමෙන් අනතුරුව පිටියට පිවිසි රෝහිත් ශර්මාටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදීසිටීමට ජීතන් පටේල් ඉඩ දුන්නේ නැත. ලකුණු 2 ක් ලබා සිටියදී පටේල්ගේ පන්දුවක් හමුවේ ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දෙමින් ශර්මා දැවී ගියේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගත් අතර ඔහුට අනගි සහයක් දුන් ජීතන් පටේල් ලකුණු 66 කට කඩුලු 2 ක් දවාගත්තේය.


ඉන්දියාව පළමු ඉනිම – කඩුලු 7 කට 239
(චෙතේෂ්වර් පුජාරා 87, අජින්ක්‍යා රහනේ 77, රවිචන්ද්‍රන් අෂ්වින් 26, රිධිමන් සාහ නොදැවී 14, මැට් හෙන්රි 35/3, ජීතන් පටේල් 66/2)


- 036

 

සම්පා ගැන බලාපොරොත්තු රැඳවෙයි

අන්තර්ජාතික එක්දින ක්‍රිකට් පිටියේ නොම්මර එකේ කණ්ඩායම වන ඕස්ට්‍රේලියාව දැනට එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි තැන සිටින දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් යුතු එක්දින තරගාවලියට ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේ ඉහළ පෙලේ වේගපන්දු යවන්නන් නොමැතිවය. මිචෙල් ස්ටාක් සහ ජොස් හේස්ල්වුඞ් විවේක ගන්වා ඇති අතර නේදන් කූල්ටර්නයිල්, ජේම්ස් පැටින්සන්, පැට් කමින්ස්, ජේම්ස් ෆෝක්නර් සහ පීටර් සිඞ්ල් එළියේ සිටින්නේ තුවාල ලබා ඇති බැවිනි.

මෙම කාරණා හේතුවෙන් සෙන්චූරියන්හිදී අද (30 වැනිදා) පැවැත්වෙන තරගාවලියේ පළමු එක්දින තරගයට අලුත් වේගපන්දු යවන්නන් තිදෙනෙක් ඇතුලත්වී සිටිති. ඕස්ට්‍රේලියානුවන් පසුගිය අඟහාරුවාදා බිනෝනි හී දී අයර්ලන්තයට එරෙහිව කඩුලු 9 ක ජයක් අත්කර ගත් තරගයෙන් එක්දින තරග වරම් ලැබූ ඩැනියෙල් වොරල්, ක්‍රිස් ටේ‍රමේන් සහ ජෝ මෙනී සංචිතයට එක්වි ඇත්තේ දැනට ඉතිරිව සිටින අත්දැකීම් බහුල එකම වේගපන්දු යවන්නා වන ජෝන් හේස්ටිංස්ට සහයවීමටය.

කෙසේවුවත් අද ඇරැඹෙන එක්දින තරගාවලියේ දී ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රධානතම පන්දු යැවීමේ තුරුම්පුව බවට පත්වී සිටින්නේ 24 හැවිරිදි පාදඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පාය. පසුගිය පෙබරවාරියේ එක්දින තරග වරම් දිනාගත් සම්පා මේ දක්වා එක්දින තරග 13 කදී කඩුලු 25 ක්ම බිඳ දමා ඇති නමුත් තරමක් පොඩි ක්‍රීඩාංගණ ඇති  නිසාත්, සෙන්චූරියන් සහ ජොහැන්නස්බර් වැනි තැන්වල තද සුළං ඇති නිසාත් ඔහුගේ හැකියාව කෙතරම් දුරට සාර්ථක වේදැයි කිව නොහැකිය.

පසුගිය සතියේ දකුණු අප්‍රිකාවට ගොඩ බට විගස ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන් කීවේ කණ්ඩායමේ ස්වභාවය අනුවත්, තරගයේ ස්වභාවය අනුවත් පන්දු යවන්නන් මාරු කිරිම අත්‍යවශ්‍ය කරුණක් වනු ඇති බවයි.

ඒ අතරම පන්දු යවන්නන්ගේ අඩුලුහුඬුකම් මැද සිටින ඕස්ට්‍රේලියානුවන්ගේ අස්වැසිල්ලට හේතුවී ඇත්තේ ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල නොම්මර එකේ පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස් වැලමිටේ සැත්කමකට සහභාගිවන බැවින් මෙවර එක්දින තරගාවලියට සහ ලබන නොවැම්බරයේ දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමය. එසේ වුවත් ක්වීන්ටන් ඩි කොක්, හෂීම් අම්ලා සහ වැඩ බලන නායක ෆෆ් ඩු ප්ලෙසිස් පෙරමුණ ගත් සෑහෙන තරමේ ශක්තිමත් පිතිහරඹ පෙළ ගැස්මක් දකුණු අප්‍රිකානුවන් සතුව පවතී.

එක්දින තරගමාලාවේ දී ඔවුන්ට වැඩි වාසියක් සැලසෙනු ඇත්තේ පන්දු යැවීමේ අංශයෙනි. පූර්ණ ශාරිරික යෝග්‍යතාවයෙන් යුතුව ඬේල් ස්ටේන් නැවත කණ්ඩායමට එක්වී සිටින අතර ඔහු කගීසෝ රබාඩා සමග එක්ව නව පන්දුවෙන් ප්‍රතිවාදීන් පරීක්’ෂාවට භාජනය කරනු ඇත. ඒ අතරම නියම තුන්ඉරියව් ක්‍රීඩකයකු වීමට බලාපොරොත්තුවෙන් සිටින ජේ. පී. ඩුමිනි ද වැඩිපුර ඕවර සංඛ්‍යාවක් යැවීමට දැනටමත් බලාපොරොත්තු සහගතව බලා සිටී.

සිය අන්තිම එක්දින තරගමාලා 6 අතරින් 5 ක්ම දිනා සිටින දකුණු අප්‍රිකාව මාන බලන්නේ 6 වැනි එක්දින තරගමාලාවත් තමන් සන්තකයට ගැනීමටය. එහෙත් පන්දු යවන්නන්ගෙන් දුර්වල කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියාව හමුවේ දී වූවත් වැඩිපුර සැහැල්ලුවට ගැනීම හොඳ නැති බව ඔවුන් කල්තියාම දැන සිටී.


දකුණු අප්‍රිකානු සංචිතය

ෆෆ් ඩු ප්ලෙසිස් (නායක), කයිල් ඇබෙට්, හෂීම් අම්ලා. ෆර්හාන් බෙහාර්ඩීන්, ක්වින්ටන් ඩි කොක්, ජේ.පී. ඩුමිනි, ඬේවිඞ් මිලර්, වේන් පානෙල්, ඒරන් පැන්ගිසෝ, අන්ඩිලි පෙහ්ලුවායෝ, ඞ්වේන් ප්‍රිටෝරියස්, කගීසෝ රබාඩා, රිලී රූසොව්, ටබ්‍රේයිස් ෂම්සි, ඬේල් ස්ටේන් සහ ඉම්රාන් තාහීර්.


ඕස්ට්‍රේලියානු සංචිතය
ස්ටීවන් ස්මිත් (නායක), ජෝර්ජ් බේලි, ස්කොට් බෝලන්ඞ්, ඒරොන් ෆින්ච්, ජෝන් හේස්ටිංස්, ට්‍රැවිස් හෙඞ්, උස්මාන් කවාජා, මිචෙල් මාෂ්. ජෝ මෙනී, ක්‍රිස් ටේ‍රමේන්. මැතිව් වේඞ්, ඬේවිඞ් වෝනර්, ඩැනියෙල් වොරල් සහ ඇඩම් සම්පා.


 – 077

 

ඩිවිලියර්ස්ට ඕස්ට්‍රේලියානු තරග අහිමි වෙයි

එකදිගටම පවතින වැලමිටේ ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු පිලේ නායක ඒ.බී. ඩිවිලියර්ස්ට එළැඹෙන ඕස්ට්‍රේලියානු පිලේ දකුණු අප්‍රිකානු සංචාරයේ තරගවලට පමණක් නොව දකුණු අප්‍රිකානු පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයත් අහිමිව යන බව වාර්තා වේ.  32 හැවිදිරි මේ ප්‍රහාරාත්මක පිතිකරුවා ලබන සතියේදී ශල්‍ය කර්මයකට භාජනය වීමට නියමිත අතර ඉන් පසුව තවත් සති 10 කට මෙහා ක්‍රීඩා කරන්නට ඔහුට ඉඩක් ලැබෙන්නේ නැත.


වෘත්තියෙන් වෛද්‍යවරයකුද වන දකුණු අප්‍රිකානු පිලේ කළමනාකරු වෛද්‍ය මොහොමඞ් මූසාජී මහතා කියනුයේ මේ සැත්කම දිගුකාලීන විසඳුමක් වන බවකි.


“මේ සැත්කමෙන් අපේ ඉලක්කය වන්නේ ශ්‍රී ලංකා පිලත් එක්ක ලබන නත්තල් සමයේ දී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරගාවලියට ඔහු නැවත ගෙනෙන්නයි” ඔහු කියයි.


“ඔහුගේ මේ වැලමිටේ ප්‍රශ්නය ගැන අපි කණ්ඩායමේ බොහෝ අය එක්ක කතා කළා. ශාරිරික යෝග්‍යතා පුහුණුකරු ඇතුළුව. නමුත් ඒ කිසිදේකින් දැන් අපි කරන්න හදන සැත්කම නවත්තගන්න පුලුවන් වුණේ නෑ” යයි කළමනාකරු මුසාජී මහතා එසේ කීවේය.


ඩිවිලියර්ස්ට මේ ඉරණමට ගොදුරුවීමට සිදුවූයේ උදෑසන පුහුණුවීම්වලට පැමිණි මොහොතේදීය.


පුහුණුවීමට පෙර භෞතචිකිත්සකවරයා ඩිවිලියර්ස්ගේ වැලමිට වෙළුම් පටි දමා හොඳින් වෙළා දැමුවත් වේදනාව සම්පුර්ණයෙන්ම නතර නොවිණි. අනතුරුව ඔවුන් තම කණ්ඩායමේ නායකයා සහ පළපුරුදු ජ්‍යෙෂ්ඨයා රැක ගැනීමට නොකළ දෙයක් නැත. එහෙත් අවසානයේදී සැත්කමකට යාම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට තිබුණේම නැත.


මෑතකදී අයර්ලන්තය සමග පැවැති එක්දින තරගයේදී ලකුණු 206 ක ජයග්‍රහණයක් කරා කණ්ඩායම මෙහෙය වූ එරට විස්සයි20 නායක ෆෆ් ඩු ප්ලෙසිස් ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලබන සිකුරාදා ඇරැඹෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී ද නායකයා ලෙස කටයුතු කරනු ඇත. එමෙන්ම පිතිකරු රිලී රූසොව් දැන් ඩිවිලියර්ස් වෙනුවට කණ්ඩායමට එක්වී සිටී. ඊළඟට දෙපිලම නැවත ලබන නොවැම්බරයේ දී ටෙස්ට් තරගමාලාවට එක්වන්නේ ඕස්ට්‍රේලියාවේදිය.

තිරිමාන්න ‘ඒ’ සංචිතයට කැඳවයි

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය සඳහා ටෙස්ට් කණ්ඩායමේ හිටපු පිතිකරු ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ‘ඒ’ පිලට කැඳවා තිබේ. කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරග දෙක සඳහා නම්කරනු ලැබ ඇති සංචිතයට ටෙස්ට් ක්‍රීඩකයෝ පස් දෙනෙක් ඇතුළත්ව සිටිති.


ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකත්වය සඳහා දිමුත් කරුණාරත්න නම්කරනු ලැබ ඇති අතර උපනායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා නම්කරනු ලැබ තිබේ.


එංගලන්තයේ පැවැති ටෙස්ට් තරගාවලියේදී මෙන්ම ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පැවැති තරගාවලියේදීත් එකම අවස්ථාවක් හෝ නොලද නිරෝෂන් දික්වැල්ල නැවතත් ‘ඒ’ පිලට කැඳවා ඇති නමුත් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයාව සිටි අශාන් ප්‍රියන්ජන්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.


මේ අතර ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක දස්කම් පෙන්වූ පිතිකරුවන් වන චරිත් අසලංක සහ අවිෂ්ක ප්‍රනාන්දු දෙදෙනාත් වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර දෙදෙනාත් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට කැඳවා සිටිති.


කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් මස 4 වැනිදා ආරම්භ වේ. මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය:

දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා (උප නායක), ළහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, අවිෂ්ක ප්‍රනාන්දු, අනුක් ප්‍රනාන්දු, විමුක්ති පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, ලක්‍ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ කසුන් මධුසංඛ

 

 

ලකුණු සටහන් කරුවන්ගේ වර්ණ රාත්‍රිය

ලකුණු සටහන් කරුවන්ගේ සංගමයට වසර 15 ක් පිරීම නිමිත්තෙන් පළමු වරට පවත්වනු ලබන ලකුණු සටහන් කරුවන්ගේ වර්ණ රාත්‍රිය සහ නිළ වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවය 30 වැනිද කොළඹ සසකාවා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.

 


මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා සහභාගි වෙයි. විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ශාන් මහතාද තවත් ආරාධිත අමුත්තන් රැසක්ද සහභාගීවීමට නියමිතව ඇත.


මෙම සම්මාන රාත්‍රියේදී ලකුණු සටහන් කරුවන් වෙනුවෙන් සම්මාන 15 ක් සහ විශේෂ සම්මාන කිහිපයක් පිරිනැමේ.


විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ශාන් මහතා නිළ වෙබ් අඩවිය එළිදැක්වීමට නියමිතය.

 

වාස් අපේ වුණේ වාසනාවට – සංගා

වසර 16 ක පමණ කාලයක් අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වෙමින් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සංචාරය කළ නමුත් චමින්ද වාස් තරම් කැපවීමෙන් පුහුණුවීම් කළ වේග පන්දු යවන්නකු තමන් කිසිදා දැක නැති බවත් වාස් වැනි කී‍්‍රඩකයකු ශී‍්‍ර ලාංකිකයකු වූයේ ශී‍්‍ර ලංකාවේ වාසනාවට බවත් ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

‘පී‍්‍රමා කුසලාන’ වයස 15 න් පහළ අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින බස්නාහිර පළාත් දකුණ (පිටත) සහ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම්වල කී‍්‍රඩකයන්ගේ පුහුණු සැසියකට එක්ව, කැපවීමෙන් පුහුණුවීම් කිරීමේ වටිනාකම කී‍්‍රඩකයන්ට පැහැදිළි කරමින් සංගක්කාර මේ බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කී‍්‍රඩකයන්ට දැනමුතුකම් දුන් සංගක්කාර චමින්ද වාස් උදාහරණයට ගනිමින් කියා සිටියේ තරගයක පළමු පන්දුවම කඩුල්ල එල්ලයේ පන්දු යවන වෙනත් කිසිම කී‍්‍රඩකයකු තමන් ලොව කොහේදි හෝ දැක නොමැති බවයි.

”එතරම් දෝලනයක් හෝ ඉපිලීමක් නැති ශ්‍රී ලංකාවේ තණතීරු මතදී පවා කඩුල්ලේ මැද ඉන්න එල්ලයේ පන්දු යැවීමටත් කඩුල්ලෙන් දෙපසටම පන්දුව දෝලනය කිරීමටත් හැකිවූයේ ඔහු පුහුණුවීම් වලදී දැක්වූ කැපවීම නිසා බවත් සංගක්කාර පැවසීය.

”වතාවක් හරි අපූරු වැඩක් වුණා”

”වසර 2000 දී කොදෙව් පිලේ ශී‍්‍ර ලංකා සංචාරයේදී කි‍්‍රස් ගේල් පස් වතාවක්ම වාස් හමුවේ දැවී ගියා. තුන්වැනි ටෙස්ට් තරගයට ඉස්සරවෙලා (එස්. එස්. සී. පිටියේදී) උදේ කි‍්‍රස් ගේල් ඇවිත් මගෙන් ඇහැව්වා වාස් අදත් ගහනවාද කියලා…මම ඔව් කිව්වා”
”‘එහෙනම් ඉතින් මම අදත් අවුට් තමයි’ කියලා ගේල් කලින්ම කිව්වා”

පන්දුවට පහර දෙන්න ඇවිදින් ටික වෙලාවකින් කි‍්‍රස් ගේල් ලකුණු නොලබා දැවී ගියේ කඩුලූ රකිමින් සිටි සංගක්කාරටම උඩපන්දුවක් දෙමිනි.

”කඩුලූ රකිමින් හිටියේ මම. දැවී ගියාට පස්සේ එයා මං දිහා බලලා උරහිස් සොලවලා ආපසු කී‍්‍රඩාගාරයට ගියා” යයි  කී සංගක්කාර වැඩිදුරටත් කීවේ චමින්ද වාස් ශී‍්‍ර ලාංකිකයකු වූයේ ශී‍්‍ර ලාංකිකයන්ගේම වාසනාවට බවයි.

කි‍්‍රස් ගේල් එම තරගයේ දෙවැනි ඉනිමේදීත් චමින්ද වාස් හමුවේ ලකුණු නොලබා දැවී ගියේය. වසර 2001 දී පැවැති එම තරගාවලියේදී චමින්ද වාස් හමුවේ පස් වතාවක් දැවී ගිය කි‍්‍රස් ගේල්ට ඉනිම 6 කදීම ලබාගත හැකිවූයේ ලකුණු 54 ක් පමණි.

ඡායාරූපය – ශානුක අරවින්ද

මාස් යුනිචෙලාට තියුණු අභියෝගයක්

වෙළද සේවා ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරග හයක් මේ වනවිට අවසන්වී ඇති අතර තරග පහක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 23 ක් හිමිකරගත් මාස් යුනිචෙලා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගැණීමට සමත්විය.

 


ප්‍රසාද ලකුණු 22 ක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවන ස්ථානයේ පසුවන ජෝන් කීල්ස් කණ්ඩායම තරග පහක් ජයගත්තද මාස් යුනිචෙලා පිලට වඩා එක් ප්‍රසාද ලකුණක් පිටුපසින් සිටී. ජයගත් තරග පහෙන් තරග තුනකදී අතිරේක ප්‍රසාද ලකුණු හිමිකර ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම සමත්වූ අතර තරග දෙකකදී අතිරේක ප්‍රසාද ලකුණු හිමිකර ගැනීමට ජෝන් කීල්ස් කණ්ඩායම සමත්වී ඇත.


මෙම සති අන්තයේදී (01 වැනිදා) සියලුම කණ්ඩායම් සදහා තවත් තරගයක් බැගින් ඉතිරිව තිබේ. එහෙත් මෙම සති අන්තයේ තරගය ජයගතහොත් මාස් යුනිචෙලා, ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් යන කණ්ඩායම් තුනම සදහා ලීග් ශූරතාවය දිනාගැනීම සදහා තවමත් අවස්ථාව ඇති බැවින් මාස් යුනිචෙලා පිල පෙරමුණ රැකගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටී.


ජෙහාන් මුබාරක් නායකත්වය දරන ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩාකරන මාස් ඇක්ටිව් කණ්ඩායම තරග හයකට සහභාගී වුවද එකම තරගයක්හෝ ජයගැනීමට අවස්ථාව හිමිනොවීය.

 

කණ්ඩායම් තරග ජය පරාජ ප්‍රසාද ලකුණු
මාස් යුනිචෙලා 6 5 1 23
ජෝන් කීල්ස් 6 5 1 22
කොමර්ෂල් ක්‍රෙඩිට් 6 4 2 19
සම්පත් බැංකුව 6 4 2 17
ඩිමෝ 6 3 3 14
ටෙක්ස්ටර්ඩ් ජර්සී 6 2 4 10
හැටන් නැෂනල් බැංකුව 6 1 5 4
මාස් ඇක්ටිව් 6 0 6 0

පීඩනයෙන් මිදෙන හැටි සංගක්කාර කියා දෙයි

‘ප්‍රීමා කුසලාන’ වයස 15 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින බස්නාහිර පළාත් දකුණ (පිටත) සහ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම් අද (27 වැනිදා) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසියට සහභාගි වූහ. එම අවස්ථාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාද එක්ව සිටියේය.

එහිදී කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් ඇමතු සංගක්කාර මහතා ඔවුන්ට අවසන් මහ තරගයකදී පීඩනයෙන් මිදී ක්‍රීඩාවේ නිරත වන අයුරු පැහැදිළි කර දුන්නේය. තවද එහිදී ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේය අවසන් තරගයකදී පරාජයට පත්වන කණ්ඩායම කිසිසේත් කණගාටුවට පත්නොවිය යුතු බවත්, අවසන් තරගය දක්වා පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්විය යුතු බවත්ය.

අවසන් මහ තරගයකදී පීඩනයෙන් මිදී ක්‍රීඩාවේ නිරත වන අයුරු පිළිබඳව ක්‍රීඩකයන්ට උපදෙස් දෙමින් සංගක්කාර මහතා මෙසේ පැවසීය.

“අවසන් මහ තරගයක් වගේ විශේෂ තරගයකදී ක්‍රීඩකයන් පීඩනයට පත්වන එක සාමාන්‍ය දෙයක්. එත් ක්‍රීඩකයන් වශයෙන් අපි දැනගන්න ඕන කොහොමද ඒ පීඩනයෙන් මිදෙන්නෙ කියලා”

“ඒත් තණනිල්ල හැසිරෙන ආකාරය, අනිත් කණ්ඩායමේ ක්‍රීඩකයන් පන්දු රකින ආකාරය, පන්දුයවන්නන් පන්දු යවන ආකාරය විතරක් නෙමෙයි කොටින්ම තමන් සමග අනෙක් අන්තයේ පන්දුවට පහරදෙන ක්‍රීඩකයා පන්දුවට පහරදෙන ආකාරයවත් අපිට පාලනය කරන්න බෑ. අපිට පුළුවන් අපිව පාලනය කරන්න විතරයි. ඒ නිසා ක්‍රීඩාංගණය තුළදී තමන් අතින් පොඩිම වැරුද්දක්වන් නොවෙන්න තමන් වග බලාගන්න ඕන”

“ක්‍රීඩකයෙක් දැවී යන්න පුළුවන්, තවත් ක්‍රීඩකයෙක් අතින් උඩ පන්දුවක් ගිළිහෙන්න පුළුවන්. ඒත් ඒ වගේ දේවල් නිසා තමන් පීඩනයට ලක්වෙන්න නරකයි.”

“මගේ අවසන් එංගලන්ත සංචාරය වෙනකන්ම මට ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ ශතකයක් ලබාගන්න බැරිවෙලයි තිබුණෙ. ඒත් ඒ සංචාරයේ ලෝඞ්ස් ටෙස්ට් තරගයට කළින් තිබුණ මාධ්‍ය සාකච්ඡාවෙදි මාධ්‍යවේදීන් මගෙන් අහුවා ඔයා මේ පාරවත් ලෝඞ්ස්වලදි ශතකයක් ලබාගන්න සූදානමින්ද ආවෙ කියලා”

“ඒ මොහොතෙ මගෙ හිතට ආපු උත්තරේ ඔව් කියන එක. ඒත් මං ඒ අයට කිව්වා ශතකයක් ලබාගන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා, බැරි වෙන්නත් ඉඩ තියෙනවා කියලා. මට අවශය ලෝඞ්ස්වල සෙල්ලම් කරන අවසන් තරගය කොහොම හරි ජයගන්නයි කියලත් මං ඒ අයට කිව්වා.”

“ඒත් මගේ යටි හිතේ හැම තිස්සෙම තිබුණේ මං මේ තරගයේදී කොහොම හරි 100 ක් ගහනවා කියලා. පළමු පන්දුවේදීම ලකුණු ලබාගන්න කළින්ම දැවී යයිද කියලත් බයක් මගෙ හිතේ තිබුණා. කොටින්ම කියනවා නම් හතරේ සීමාවෙන් ඇතුළට යනකන්ම මගේ හිතේ ලොකු දෙගිඩියාවක් තිබුණ ලැබෙන අවසන් අවස්ථාවේදිත් මට 100 ක් ගහන්න බැරි වෙයි කියලා”

“පිතිකරුවාගේ සීමා ඉර ලඟට ගිහින් විනිසුරුවරයාගෙන් මැද ඉන්න සහ පා ඉන්න ලබාගත් පසු මං ටිකක් වටපිට බැලුවා. ඒ මොහොතේ මගේ හිතේ තිබුණ බය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. මට හිතුණා වටපිටාව මට හොඳට හුරු පුරුදුයි කියලා. ඒ නිසා මට එහිදී පහසුවෙන්ම පහර කරා ගිහින් ශතකයක් ලබාගන්න පුළුවන් වුණා.”

පුහුණුවීම් තුළින් ක්‍රීඩකයකු පරිණත වන අකාරය පිළිබඳව ක්‍රීඩකයන් දැනුවත් කළ සංගක්කාර මහතා මුත්තයියා මුරලිදරන් ඇසුරින් උදාහරණයක්ද ගෙනහැර දැක්වීය. දිනක් පුහුණු සැසියකදී මුත්තයියා මුරලිදරන් සමග ඇතිවූ කතා බහක් පිළිබඳව ඔහු මෙලෙස කියා සිටියේය.

“මුරලි කියන්නේ අනිත් පන්දුයවන්නන්ට වඩා ටිකක් වෙනස් කෙනෙක්. එයා සාමාන්‍යයෙන් පුහුණුවීම් වලදී දැළ ඇතුලෙ පැයක්, දෙකක් විතර බෝල් කරනවා. දවසක් මං ඇහුවා ඇයි මුරලි අයියේ ඔයා කඩුලු 600 ගානක් අරගෙන තියෙද්දිත් ඔච්චර වෙලා දැළ ඇතුලෙ බෝල් කරන්නෙ කියලා”

“එතකොට එයා කියපු දේ තමයි කොච්චර කඩුලු ගානක් අරගෙන තිබුණත් මට වැඩක් නෑ, මං ඇස්දෙක වහගෙන ගිහින් බෝල් කළාමත් මං ඕන තැනට බෝලේ වැටෙනවා නම් මට ඒ ඇති කියලා. ඒ කියන්නේ එයා අනිත් පන්දුයවන්නන්ට වඩා වැඩි වෙලාවක් පුහුණුවීම් කරලා බලාපොරොත්තු වෙන්නේ යවන හැම පන්දුවක්ම එයාට ඕන තැනට පතිත කරගන්නයි කියන එකනේ. එයා ඒක ලබාගන්න හදන්නේ පුහුණුවීම් තුළින්.”

ඒ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රීඩකයන්ට දැනමුතුකම් දුන් සංගක්කාර චමින්ද වාස් උදාහරණයට ගනිමින් කියා සිටියේ වාස් හැරුණුකොට යවන පළමු පන්දුවේ සිටම කඩුල්ල වෙත එක් එල්ලයේ පන්දුයවන තවත් ක්‍රීඩකයකු තමන් කොහේදි හෝ දැක නොමැති බවයි. එතරම් දෝලනයක් හෝ ඉපිලීමක් නොමැති ශ්‍රී ලංකාවේ තණතීරු මතදී පවා වාස්ට එලෙස මැද ඉන්න එල්ලයේ පන්දු යැවීමටත් දෙපසටම එකසේ පන්දුව දෝලනය කිරීමටත් හැකිවූයේ ඔහු පුහුණුවීම් වලදී දැක්වූ කැපවීම නිසා බවත් සංගක්කාර මහතා කියා සිටියේය.


 

 

රෝස පැහැ පන්දුවෙන් ක්‍රිකට් ඇරඹෙයි

රෝස පැහැති පන්දුවෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු වැනි ක්‍රිකට් තරගය ලබන මස 4 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගයක් වන මෙම තරගය සිවුදින තරගයකි.

කෙසේ වෙතත් මෙය දිවා තරගයක් වන අතර දර්ශන තිරය කළු පැහැයෙන් පවතිනු ඇත.

රෝස පැහැ පන්දුවෙන් පළමු පෙළ ක්‍රිකට් තරග පැවැත්වීම ලෝකය පුරාම මේ වන විට ව්‍යාප්ත වෙමින් යන්නකි. රෝස පැහැ පන්දුව හඳුන්වා දෙන ලද්දේ ටෙස්ට් තරග දිවා/රාත්‍රී තරග ලෙසින් ජනප්‍රිය කරවීමේ අරමුණ ඇතිවය.

ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර පසුගිය වසරේ ඇඩිලේඞ්හිදී පැවැති ටෙස්ට් තරගයක් සඳහාද රෝස පැහැ පන්දුව යොදාගත්තේය.

“එය හැසිරෙන්නේ රතු පන්දුව වගේ නෙමෙයි. මා කියන්නේ පන්දුවේ දෝලනය සහ දැඩි බව සම්බන්ධයෙන්”
“ඒක ටිකක් මෘදුයි. ඒත් ඉක්මනින් ගමන් කරනවා. කොහොම වුණත් ඒකේ ආපිට දෝලනයක් බලාපෙරොත්තු වෙන්න බෑ. ඒත් රාත්‍රියේ පවතින ආලෝක තත්ත්වය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්” යයි රෝස පැහැ පන්දුවෙන් පළමු ටෙස්ට් පන්දුව යැවූ ඕස්ටේ්‍රලියානු වේග පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක් පැවසීය.

ශ්‍රී ලංකා ‘ඒ’ සහ කොදෙව් ‘ඒ’ පිල අතර පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගාවලිය තරග 3 කින් සමන්විත වන නමුත් රෝස පැහැ පන්දුවෙන් පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තරගය පමණි. තරගාවලියේ ඉතිරි නිල නොවන තරග දෙකම රතු පැහැ පන්දුවෙන් පැවැත්වේ.

“රෝස පැහැ පන්දුවෙන් තරග කරන්නේ දිවා/රාත්‍රී පළමු පෙළ තරග සඳහා සූදානම් වීමටයි. එහිදී දර්ශන තිරය සුදු හෝ කළු පැහැයෙන් පවත්වා ගැනීම පිළිබඳ තීරණය සත්කාරක රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ගන්න පුළුවන්”

“ඒත් අපට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කළු පැහැ දර්ශන තිර තිබෙනවා. ඒ නිසා අපි පළමු තරගය විතරක් රෝස පැහැ පන්දුවෙන් ක්‍රීඩා කරනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

නිල නොවන ටෙස්ට් තරගාවලියක් සහ එක්දින තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල ලබන ඉරිදා (01 වැනිදා) ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතය. නිල නොවන ටෙස්ට් තරග තුන කොළඹ, පල්ලෙකැළේ සහ දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය. එක්දින තරග දඹුල්ලේදීත්, කුරුණෑගල සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.


තරග කාලසටහන

ඔක්තෝබර් : 4-7 – නි.නො. ටෙස්ට් තරගය – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 11-14 – නි.නො. ටෙස්ට් තරගය – පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 18-21 – නි.නො. ටෙස්ට් තරගය – රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 24 – පළමු එක්දින තරගය – රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 27 – දෙවැනි එක්දින තරගය – කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 30 – තෙවැනි එක්දින තරගය – කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

 

ඩිලාන් – නිපුන් ශතක රැස්කරති

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරග හතරකදී ජයග්‍රහණ වාර්තා කිරීමට ටෙක්ස්ටර්ඞ් ජර්සී, කොමර්ෂල් ක්‍රෙඩිට්, සම්පත් බැංකව සහ ජෝන් කීල්ස් කණ්ඩායම් අද (28 වැනිදා) සමත්වූහ.

ටෙක්ස්ටර්ඞ් ජර්සී පිල වෙනුවෙන් වේගවත් ශතකයක් රැස්කිරීමට ඩිලාන් ජයලත් සමත්වූ අතර ඩිමෝ පිල වෙනුවෙන් ශතකයක් රැස්කිරීමට නිපුන් කරුණානායක සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ටෙක්ස්ටර්ඞ් ජර්සී පි ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 329 ක් රැස්කල අතර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ ඩිලාන් ජයලත් පන්දු 143 කදී හතරේ පහර 11 සහ හයේ පහර හයක් සමගින් නොදැවී ලකුණු 150 ක් රැස්කර ගැනීමට සමත්වූයේය.

පළමු කඩුල්ල සදහා ලකුණු 184 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඩිලාන් ජයලත සහ මිනෝද් භානුක සමත්වූහ. ශතකය පෙන පෙනී ලකුණු 91 කට මිනෝද් භානුක දැවීගිය අතර පන්දු 90 කට මුහුණදුන් අතර ඊට හතරේ පහර 11 සහ හයේ පහර තුනක් ඇතුළත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 330 ක ඉලක්කයක් හඹාගිය මාස් ඇක්ටිව් පිලට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ලබාගැනීමට හැකිවූයේ ඕවර 25.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 118 ක් පමණී.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට මාස් ඇක්ටිව් පිල ජයග්‍රහණය සදහා ඩක්වත් ලුවිස් න්‍යාය අනූව ලකුණු 322 ක් රැස්කරගත යුතුව තිබුණු අතර ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 118 ක් බැවින් ටෙක්ස්ටර්ඞ් ජර්සී පිලට ලකුණු 203 ක ජයක් හිමිවිය.

කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ෆිනෑන්ස් පිලට එරෙහිව පන්දු 126 කදී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට නිපුන් කරුණානායක සමත්වුවද ඩිමෝ පිල පරාජයෙන් ගලවා ගැනීමට එම ලකුණු ප්‍රමාණවත් නොවිය.


ටෙක්ස්ටර්ඞ් ජර්සී පිලට ලකුණු 203 ක ජයක් (ඩක්වත් ලුවිස්)

ටෙක්ස්ටර්ඞ් ජර්සී – ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 329
(ඩිලාන් ජයලත් නොදැවී 150, මිනෝද් භානුක 91, ලසිත් ඇඹුල්දෙණිය 55/3, චරිත් ජයම්පති 61/2, ජෙහාන් මුබාරක් 63/2)

මාස් ඇක්ටිව් – ඕවර 25.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 118
(ජෙහාන් මුබාරක් 33, සුරංග ලක්මාල් 29/2, සාලිය සමන් 25/2)


කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට කඩුලු 5 ක ජයක්

ඩිමෝ – ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 250
(නිපුන් කරුණානායක 101, පුලින තරංග 53, රමේෂ් මෙන්ඩිස් 40, සුරාජ් රංදීව් 39/2, ළහිරු මදුශංක 46/2)

කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ෆිනෑන්ස් – ඕවර 48.1 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 251
(අශාන් ප්‍රියංජන් 77, උපුල් තරංග 56, ඉමේෂ් උදයංග 55, නිසල තාරක 45/3)

 

සම්පත් බැංකු පිලට ලකුණු 45 ක ජයක් (ඩක්වත් ලුවිස්)

සම්පත් බැංකුව – ඕවර 47 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 296
(රොමේෂ් බුද්ධික 93, කෞශාල් සිල්වා 91, බුද්ධි පෙරේරා 38/3, චන්දුල වීරරත්න 45/2, මාධව වර්ණපුර 51/2)

හැටන් නැෂනල් බැංකුව – ඕවර 21.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 94
(අශේන් ප්‍රනාන්දු නොදැවී 34)


ජෝන් කීල්ස් පිලට කඩුලු 2 ක ජයක්

මාස් යුනිචෙලා – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 305
(කුසල් පෙරේරා 68, ධනුෂ්ක ගුණතිලක 61, තිලකරත්න ඩිල්ශාන් 58, මහේල උඩවත්ත 41, නිරෝෂන් දික්වැල්ල 34, අක්ශු ප්‍රනාන්දු 32/3, ඉශාන් ජයරත්න 47/3, විකුම් බණ්ඩාර 70/2)

ජෝන් කීල්ස් – ඕවර 49.2 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 307
(අක්ශු ප්‍රනාන්දු නොදැවී 63, රොශේන් සිල්වා 52, සඳුන් වීරක්කොඩි 36, ශනුක දුලාජ් 38, ළහිරු මිලන්ත 24, දිමුත් කරුණාරත්න 24, ඩිල්රුවන් පෙරේරා 53/3, ඉෂාර අමරසිංහ 62/3)