යොවුන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

එංගලන්තයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ එංගලන්ත වයස 19 න් පහළ කණ්ඩායම අතර කේම්බි්‍රජ්හිදී පැවැති නිලනොවන පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව පෙරේදා (29 වැනිදා) අවසන්විය.

 


ශ්‍රී ලංකා යොවුන් පිල තෙවැනි දිනය නිමාවනවිට පළමු ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 235 ක් රැස්කර සිටියද එංගලන්ත යොවුන් පිලට වඩා ලකුණු 265 ක් පිටුපසින් සිටියේය.


සිව්වැනි දිනයේදී ශ්‍රී ලංකා යොවුන් පිලට තවත් ලකුණු 100 ක් එක්කිරීමට පිතිකරුවෝ සමත්වූ අතර ජෙහාන් ඩැනියල් (62) සහ දමිත සිල්වා (33) අටවැනි කඩුල්ල සදහා ලකුණු 90 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.


දක්ෂ පන්දු යැවීමක නිරතවූ අමාර් විර්දී ලකුණු 77 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූයේය.


පළමු ඉනිම නිමාවනවිට තවත් ලකුණු 165 ක් පිටුපසින් සිටි ශ්‍රී ලංකා යොවුන් පිලට පිට පිට සිය දෙවන ඉනිම ඇරඹීමට සිදුවූ අතර සිව්වැනි දිනය නිමාවනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 182 ක් රැස්කිරීමට සමත්විය.


ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පලමු කඩුල්ල ලෙස ලකුණු 26 දී දැවීගිය අතර ඩිලාන් ජයලත් සමග එක්වූ චරිත් අසලංක දෙවන කඩුල්ල සදහා ලකුණු 112 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.

 

එංගලන්ත යොවුන් පිල – පළමු ඉනිම – ඕවර 131 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 500
(ඕ.ඊ. වෙස්ට්බරි 196, ජෝර්ජ් හැන්කින්ස් 28, ජෝර්ජ් බාර්ට්ලීට් 131, ඕලී පොප් 78, ජෙහාන් ඩැනියල් 91/3, ළහිරු කුමාර 104/2)


ශ්‍රී ලංකා යොවුන් පිල – පළමු ඉනිම – ඕවර 104 කදී සියලුදෙනා දැවී ලකුණු 335
(ඩිලාන් ජයලත් 22, චරිත් අසලංක 81, අවිශ්ක ප්‍රනාන්දු 45, සම්මු අශාන් 51, අශේන් බණ්ඩාර 21, ජෙහාන් ඩැනියල් 62, දමිත සිල්වා 33, අමාර් විර්දී 77/5, ජොෂ් කෝෆ්ලින් 45/2)


ශ්‍රී ලංකා යොවුන් පිල – දෙවන ඉනිම – ඕවර 39 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 182
(ඩිලාන් ජයලත් නොදැවී 77, චරිත් අසලංක 70, ජෝර්ජ් පනායි 62/2)

 

ශ්‍රී ලංකාව ලකුණු 106 කින් ජයගනී

වසර 17 කට පසුව ටෙස්ට් තරගයකදී ඕස්ට්‍රේලියානු පිල පරාජය කළ ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද ලබාගත් ලකුණු 106 ක ජයත් සමගින් වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙස ඉදිරියට පැමිණියේය. එය ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් නායකයකු වශයෙන් ලැබූ පළමු ටෙස්ට් පරාජය ලෙසින්ද සටහන් වෙයි.

වසර 2014 දී ඕස්ට්‍රේලියානු නායකත්වයට පත් ස්ටීවන් ස්මිත් ටෙස්ට් තරග 12 කදී ඕස්ට්‍රේලියානු පිල මෙහෙයවීය.

 

ශ්‍රී ලංකාව – පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න – ක.මු.කළා ප.ස්ටාක්     5
කෞෂාල් සිල්වා – ඇ.වෝග්ස් ප.හේසල්වුඞ්     4
කුසල් මෙන්ඩිස් – ක.මු.කළා ප.හේසල්වුඞ්     8
දිනේෂ් චන්දිමාල් – ඇ.නෙවිල් ප.හේසල්වුඞ්     15
ඇන්ජලෝ මැතිව්ස් – ඇ.ස්මිත් ප.ඔ’කීෆි     15
ධනංජය ද සිල්වා – ඇ.ජෝ බර්න්ස් ප.ලයන්     24
කුසල් ජනිත් පෙරේරා – ප.ලයන්     20
ඩිල්රුවන් පෙරේරා – ක.මු.කළා ප.ලයන්     0
රංගන හේරත් – ක.මු.කළා ප.ස්ටාක්     6
ලක්ෂාන් සඳකැන් – නොදැවී      19
නුවන් ප්‍රදීප් – ඇ.ස්මිත් ප.ඕ’කීෆි     0
අතිරේක (පා-1) 1
එකතුව ඕවර 34.2 කදී සියලු දෙනා දැවී    117
කඩුලු වැටීම 
1-06(කරුණාරත්න), 2-15(මෙන්ඩිස්), 3-18(කෞෂාල්), 4-43(මැතිව්ස්), 5-67(චන්දිමාල්), 6-87(ධනංජය), 7-87(ඩිල්රුවන්), 8-94(කුසල් පෙරේරා), 9-100(හේරත්), 10-117(නුවන් ප්‍රදීප්)
පන්දු යැවීම
මිචෙල් ස්ටාක් 11-1-51-2  
ජොස් හේසල්වුඞ් 10-4-21-3  
ස්ටීව් ඔ’කීෆි  10.2-3-32-2  
නේතන් ලයන් 3-0-12-3  
ඕස්ට්‍රේලියාව- පළමු ඉනිම
ජෝ බර්න්ස් – ප.හේරත්     3
ඬේවිඞ් වෝනර් – ප.නුවන් ප්‍රදීප්     0
උස්මන් කවාජා  – ක.මු.කළා ප.හේරත්     26
ස්ටීවන් ස්මිත් – ස්ට.චන්දිමාල් ප.හේරත්     30
ඇඩම් වෝග්ස් – ඇ. මෙන්ඩිස් ප. ප්‍රදීප් 47
මිචෙල් මාෂ් – ප.සඳකැන්      31
පීටර් නෙවිල් – ඇ.කුසල් පෙරේරා ප. හේරත්     2
ස්ටීව් ඕ’කීෆි – ඇ.කුසල් මෙන්ඩිස් ප. සඳකැන්      23
මිචෙල් ස්ටාක් – ඇ.කුසල් පෙරේරා ප.සඳකැන්     11
නේදන් ලයන් – ක.මු කළා ප.සඳකැන්     17
ජොස් හේසල්වුඞ් – නොදැවී      2
අතිරේක (අ-4, පා-7) 11
එකතුව ඕවර 79.2 කදී සියලුදෙනා දැවී     203
කඩුලු වැටීම 
1-03(වෝනර්), 2-07(බර්න්ස්), 3-69(ස්මිත්), 4-70(කවාජා), 5-130(මාෂ්), 6-137(නෙවිල්), 7-160(වෝග්ස්), 8-179(ස්ටාක්), 9-190(ඕ’කීෆි), 10-203(ලයන්)
පන්දු යැවීම
නුවන් ප්‍රදීප් 16-6-36-2  
රංගන හේරත් 25-8-49-4  
ඩිල්රුවන් පෙරේරා 14-1-43-0  
ලක්‍ෂාන් සඳකැන් 21.2-3-58-4  
ඇන්ජලෝ මැතිව්ස්  3-1-6-0  
ශ්‍රී ලංකාව – දෙවන ඉනිම 
කුසල් ජනිත් පෙරේරා – ක.මු.කළා ප. ස්ටාක්  4
කෞෂාල් සිල්වා – ක.මු.කළා ප. ඕ’කීෆි   7
දිමුත් කරුණාරත්න – ක.මු.කළා ප.ස්ටාක්     0
කුසල් මෙන්ඩිස් – ඇ. නෙවිල් ප. ස්ටාක්  176
ඇන්ජලෝ මැතිව්ස් – ඇ.බර්න්ස් ප.ලයන්  9
දිනේෂ් චන්දිමාල් – ක.මු.කළා ප.මාෂ්  42
ධනංජය ද සිල්වා – ඇ.කවාජා ප.ලයන්  36
ඩිල්රුවන් පෙරේරා – ක.මු.කළා ප.හේසල්වුඞ්  12
රංගන හේරත් – ඇ.අතිරේක(හෙන්රිකස්) ප.හේසල්වුඞ්  35
ලක්ෂාන් සඳකැන් – ප.ස්ටාක්  9
නුවන් ප්‍රදීප් – නොදැවී 10
අතිරේක (පා-12, අ-1) 13
එකතුව ඕවර 93.4 කදී සියලු දෙනා දැවී   343
කඩුලු වැටීම 
1-06(කුසල් පෙරේරා), 2-06(කරුණාරත්න), 3-45(සිල්වා), 4-86(මැතිව්ස්), 5-203(චන්දිමාල්), 6-274(ධනංජය), 7-290(මෙන්ඩිස්), 8-314(ඩිල්රුවන්), 9-323(සඳකැන්), 10-353(හේරත්)
පන්දු යැවීම
මිචෙල් ස්ටාක් 19-4-84-4  
ජොස් හේසල්වුඞ් 18.4-3-59-2  
ස්ටීවන් ඕ’කීෆි 16.2-3-42-1  
නේදන් ලයන්  27-2-108-2  
ඬේවිඞ් වෝනර්  1-0-10-0  
ඇඩම් වෝග්ස්   1.4-0-03-0  
මිචෙල් මාෂ්   9-1-33-1   
ස්ටීවන් ස්මිත්  1-0-01-0  
ඕස්ට්‍රේලියාව- දෙවන ඉනිම
ජෝ බර්න්ස් – ප. සඳකැන්     29
ඬේවිඞ් වෝනර් – ප. හේරත්  1
උස්මන් කවාජා  – ක.මු.කළා ප.දිල්රුවන්     18
ස්ටීවන් ස්මිත් – ක.මු.කළා ප. හේරත්          55
ඇඩම් වෝග්ස් – ඇ. සහ ප. හේරත්       12
මිචෙල් මාෂ් -ක.මු.කළා ප. හේරත්     25
පීටර් නෙවිල් – ඇ. චන්දිමාල් ප. ධනංජය    9
මිචෙල් ස්ටාක් – ඇ. සහ ප. සඳකැන්    0
නේදන් ලයන් –  ක.මු.කළා ප. සඳකැන්    8
ස්ටීව් ඕ’කීෆි –  ප. හේරත්  4
ජොස් හේසල්වුඞ් – නොදැවී      0
අතිරේක  0
එකතුව ඕවර 88.3කදී සියලුදෙනා දැවී     161
කඩුලු වැටීම 
1-2(වෝනර්),  2-33(කවාජා), 3-63(බර්න්ස්), 4-96 (වෝග්ස්), 5-139 (මිචෙල් මාෂ් ), 6-140 (ස්මිත්), 7-141 (ස්ටාක්), 8-157 (ලයන්), 9-161 (නෙවිල්), 10-161 (ඕ’කීෆි)
පන්දු යැවීම
නුවන් ප්‍රදීප් 6-3-16-0  
රංගන හේරත් 33.3-16-54-5  
ඩිල්රුවන් පෙරේරා 13-3-30-1  
ලක්‍ෂාන් සඳකැන් 25-8-49-3  
ධනංජය ද සිල්වා  11-7-12-1  

වසර 17 ක ටෙස්ට් දිවියේදී 24 වැනි වතාවටත් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් රංගන හේරත් (දෙවැනි ඉනිමේදී 54 ට කඩුලු 5) තරගයේදීම ලකුණු 103 කට කඩුලු 9 ක් දවාගත් නමුත් සිය හත්වැනි ටෙස්ට් තරගයේදී අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම හමුවේ ලකුණු 176 ක් ලබාගත් කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා වශයෙන් සම්මාන දිනාගත්තේය.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු පිල ලකුණු 161 කට දැවී ගියේ වසර 33 ක ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු ටෙස්ට් ඉතිහාසයේ දෙවැනි ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට හිමිකර දෙමිනි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 28 ක් පැවැති අතර ශ්‍රී ලංකා කණ්ඩායම අද ලබාගත්තේ දෙවැනි ජයග්‍රහණයයි.

තරගයේ පස්වැනි දිනය වූ අද (30 වැනිදා) තරගය ජයගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව මෙන්ම ඕස්ට්‍රේලියාවද පිටියට පිවිසියේය.

ආරම්භය හෝරාවකින් පමා වූවත් ඒ වන විට තරගයේ වාසිය දෙපිලටම සමබරව තිබුණේ කඩුලු 7 ක් අතැතිව සිටි ඕස්ට්‍රේලියානුවන්ට තරගය ජයගැනීම සඳහා අවශ්‍ය වූයේ ලකුණු 185 ක් පමණක් බැවිනි. ශ්‍රී ලංකා පිලට නම් එය කඩුලු 7 ක් විය.

පෙරවරු 10.45 ට තරගය ආරම්භ වීමෙන් පසුව දිවා ආහාරයට පෙර තරගය පැවැති හෝරා එකහමාරක කාලයේදී ලකුණු 58 කට කඩුලු 4 ක් බිම දැමූ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු පිල අභිබවා යමින් තරගයේ පෙරමුණ ගත්තේය. පෙරවරුවේදී බිඳ වැටුණු කඩුලු හතරම බෙදාගත් රංගන හේරත් සහ ලක්ෂාන් සඳකැන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පෙරමුණට කැඳවාගෙන ගියහ. ලකුණු 141 කට කඩුලු 7 ක් බිඳවැටී තිබුණ හෙයින් ඕස්ට්‍රේලියානුවන්ගේ බලාපොරොත්තු බිඳ වැටී තිබිණ.

පන්දුව දඟ කැවීමට පමණක් නොව, ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් ඉතාමත් තියුණු ඇසකින් යුත් රංගන හේරත්ගේ ඉල්ලීම් දෙකක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු පිල අනපේක්‍ෂිත ලෙස පහළට ඇද වැටිණ. පිටියේ විනිසුරුවරුන් දෙදෙනාටම මඟහැරී ගියද හේරත්ගේ ඉල්ලීම් දෙකම රූපවාහිනී විනිසුරුවරයා විසින් තහවුරු කරන ලදි.

නායක ස්ටීවන් ස්මිත් සහ ඇඩම් වෝග්ස් එක්ව සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව ගොඩනඟමින් යද්දී වෝග්ස්ගේ පිත්තෙන් පැමිණි පන්දුවක් උඩපන්දුවක් යයි සිතූ රංගන හේරත් මහත් උද්යෝගයෙන් තමන් වෙත ආපසු පැමිණි පන්දුව රැකගත්තේය. එහෙත් එය උඩපන්දුවක් යයි කිසිවකුට අදහසක් නොතිබුණද හේරත්ගේ ඉල්ලීම රූපවාහිනී විනිසුරුවරයා වෙතට යොමුකළ රිචඞ් කෙට්ල්බරර් මහතා වෝග්ස් දැවී ගිය ක්‍රීඩකයකු ලෙසින් නම් කළේය.

මෙම දැවී යාම නිසා ඕස්ට්‍රේලියානු පිල විපිළිසර වුවද ඉතා ඉක්මනින් සිහි එළවාගත් ඕස්ට්‍රේලියානු නායකයා මිචෙල් මාෂ් සමග එක්ව පස්වැනි කඩුල්ලට තවත් ලකුණු 43 ක් එක්කළත් හේරත්ගේ වමත නැවතත් නිවැරදි ලෙසින් ක්‍රියාත්මක විය. මිචෙල් මාෂ් කඩුල්ල මුවා කිරීමට හසුවූයේ යැයි හේරත් කළ ඉල්ලීම විනිසුරු රවී මහතාගෙන් ප්‍රතික්ෂේප වූ නමුත් එම තීරණයත් විතීවි ක්‍රමවේදයට යොමු කිරීමෙන් පසුව ලකුණු 25 දී පිටියෙන් ඉවත්වීමට පිතිකරුවාට සිදුවිය.

ලකුණු 18 ක පරතරයක් තිබියදී නායක ස්මිත්, මිචෙල් ස්ටාක් සහ නේතන් ලයන් දැවී ගිය අතර මුලු ලකුණු සංඛ්‍යාව 157 ක් ව තිබියදී නේතන් ලයන්දැවී යාමෙන් පසු ඕස්ට්‍රේලියානුවෝ ලකුණු ලබාගැනීම අතහැර දැමූහ.

දකුණු පාදයේ කලව පසුපස මස්පිඬුව ඉරී යාම නිසා ඕ’කීෆ්ට දිවයාම අපහසු වූ හෙයින් හතරේ පහර හැර දිවයාමෙන් ලකුණු ලබාගැනීමට ඕස්ට්‍රේලියානුවෝ උනන්දු නොවූහ. එහි ප්‍රතිඵලය වූයේ 63 වැනි ඕවරයේදී ඕකීෆ් ගැසූ හතරේ පහර හැරෙන්නට, 80 වැනි ඕවරය දක්වාම ලකුණක් වාර්තා නොවීමයි.

80 වැනි ඕවරයේදී ශ්‍රී ලංකා නායකයා දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් පසුවත් තත්ත්වයේ වෙනසක් දක්නට නොතිබිණ. ධනංජය ද සිල්වාගේ පන්දුවක් පිට ඉන්නෙන් ඉවතට ඇදී යද්දීත් එය තවත් ඈතට තල්ලු කිරීමට ගිය පීටර් නෙවිල්ගේ පිත්තේ ගැවුණු පන්දුව දිනේෂ් චන්දිමාල්ගේ අත් ආවරණ අතර සැඟවී යාමෙන් විනාඩි 97 ක් තිස්සේ ශ්‍රී ලංකා නායකයාට වද දුන් 9 වැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටිණ. පන්දු 178 ක් පුරා පැවැති එම සම්බන්ධතාවේ වටිනාකම ලකුණු 4 ක් පමණි. නෙවිල්ගේ දැවී යාමත් ශ්‍රී ලංකා ජයග්‍රහණයත් අතර පරතරය ඕවර 2.4 ක් හෙවත් විනාඩි 9 කි.

ඕස්ට්‍රේලියානුවන්ගේ 8 වැනි කඩුල්ල ලකුණු 157 දී බිඳ වැටීමෙන් පසුව විනාඩි 116 ක් පුරා යැවුණු පන්දු 194 කදී ඕස්ටේ්‍රලියානු ලකුණු පුවරුවට එක්වූයේ ලකුණු 4 ක් පමණි.

 

 

ඒ කඩුල්ලත් ලැබුණා නම්…..

ලකුණු 268 ක් හඹා යමින් සිටින ඕස්ට්‍රේලියානුවන්ට තාක්‍ෂණයේ පිහිට නොලැබුණා නම් අදම (29 වැනිදා) තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල වෙත හරවාගන්නට තිබුණ බව ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතා කියයි.

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 63 ක්ව තිබියදී ලක්ෂාන් සඳකැන් විසින් යවන ලද චයිනමන් පන්දුවක් තියුණු ලෙසින් දඟ කැවී ජෝ බර්න්ස්ගේ කඩුල්ලට කඩා වැදිණ. ජෝ බර්න්ස් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ඇඩම් වෝග්ස් ලකුණු ලබාගැනීමට පෙරම ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් වෝග්ස්ගේ පා ආවරණයේ වැදිණ.

වෝග්ස් කඩුල්ල මුවා කළේ යයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කළ ඉල්ලීම හා එක්වූ විනිසුරු රිචඞ් කෙට්ල්බරර් මහතා පන්දුවේ ගමන් මග පිළිබඳ තරමක් දුරට සිතා බැලීමෙන් පසුව ඇඩම් වෝග්ස් දැවීගිය ක්‍රීඩකයකු යයි නම් කළේය. එහෙත් එම තීරණය විතීවි ක්‍රමවේදයට යොමුකරන්න’යි පිතිකරුවා ඉල්ලා සිටි අවස්ථාවේදී පන්දුවේ ගමන් මග නිර්ණය කෙරෙන පරිගණක රූපරාමුවෙන් පෙන්නුම් කළේ පන්දුව පා ඉන්නෙන් ඉවතට ඇදෙන බවයි.

සිය තීරණය වෙනස් කළ විනිසුරුවරයා ඇඩම් වෝග්ස්ට පිටියේ රැඳීමට අවසර දුන් හෙයින් ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 20 ක අඛණ්ඩ සම්බන්ධතාවක් එක්විය. දිනය නිමා වන විට ඇඩම් වෝග්ස් ලකුණු 9 ක් ලබා නොදැවී සිටියේය.

“වෝග්ස්ගේ කඩුල්ලත් දවාගන්න ලැබුණා නම් මා මීට වඩා ගොඩාක් සතුටු වෙනවා. ඒ අවස්ථාවේදී පිට පිටම කඩුලු දෙකක් දවාගන්න තිබුණා නම් මේ තරගයේ පාලනය අපේ අතට ගන්න තිබුණා” යයි ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතා තරගයෙන් අනතුරුව පැවසීය.

“කොහොම වුණත් අපි මේ දැන් ඉන්න තත්ත්වය ගැන නම් මා ඉන්නේ ඉතාමත් සතුටෙන්”

“තරගය ජයගත හැකි මේ සීමාවට එන්න අපි විශාල සටනක් කළා. මන්දාලෝකය නිසා ක්‍රීඩකයන් ඇතුළට එන්න ටික වේලාවකට කලින් පන්දු කිහිපයක් තියුණු ලෙසින් දඟ කැවුණා. ඒක ඉතාම සතුට දනවන දෙයක්. හෙට උදයේ අපේ වාසියට යමක් සිදුවුණොත්, එයින් ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙනවා” යයිද ග්‍රැහැම් ෆෝඞ් මහතා පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තත්ත්වයට කැඳවාගෙන ආ කුසල් මෙන්ඩිස්ගේ ඉනිම පිළිබඳව ග්‍රැහැම් ෆෝඞ් මහතා මහත් ප්‍රසාදයෙන් යුතුව අදහස් දැක්වීය.

“ඔහු ගැන මෙනවා කියන්නද මන්දා”
“මා මගේ ජීවිත කාලයේදී දුටු අති විශිෂ්ටතම ඉනිමක්. අලංකාර, දීප්තිමත් ඉනිමක්…පෙනෙන්නට තිබුණ විදිහට නම් ඔහු සෑම පන්දු යවන්නකු සඳහාම සැලසුමක් ඇතිව ගියා වගේ. හැම පන්දු යවන්නකු වෙනුවෙන්ම ඔහුට ඔහුගේම විකල්පයක් තිබුණා” යයි පැවසූ ෆෝඞ් මහතා..

“ඒත් ඇත්තටම එතැන තිබුණේ තැන්පත්කම….ඉඳහිට පන්දුවක් දෙකක් ඔහුගේ වටේ තියුණු ලෙසින් දඟ කැවුණා තමයි. ඒත් කලින් පන්දුව ගැන හිතන්නේ නැතිව ඊළඟ පන්දුවට මුහුණ දුන්නා….තමන්ගේ කාර්යය අකුරටම කළා”

“ඔහු නම් ඇදහිය නොහැකි දක්‍ෂතාවත් තියෙන කෙනෙක්. ඔහු තමන්ගේ ක්‍රීඩාවට ආදරෙයි. ඒ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කරනවා” යයිද ෆෝඞ් මහතා පැවසීය.

පසුගිය මාස කිහිපයේදීම ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකාරයන්හිදී අංක 3 පිතිකරුවා වීමට වරම් ලද කුසල් මෙන්ඩිස් ඒ සෑම අවස්ථාවකදීම තමන් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේය.

මාස එකහමාරකට ඉහතදී, අයර්ලන්තයට එරෙහිව, ඩබ්ලින් නුවරදී එක්දින වරම් ලබාගත් කුසල් මෙන්ඩිස් එක්දින තරග 7 කදී අර්ධ ශතක 3 ක් ද සමගින් ලකුණු 228 ක් ලබාගෙන සිටී. එහිදී කුසල්ගේ ලකුණු ලබාගැනීමේ වේගය පන්දු 100 කට 90.11 කි. එංගලන්තයට එරෙහිව සදම්ප්ටන්හිදී සිය එකම විස්සයි:20 තරගයට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් එහිදී පන්දු 16 කින් ලකුණු 21 ක් ලබාගත්තේ හයේ පහරක්ද ඊට ඇතුළත් කරමිනි.

ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම තලයේ ඉනිමකදී කුසල් ලකුණු 176 ක් ලබාගත්තේ ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායමට එරෙහිවය.

“වාසනාවට වගේ දැන් ඔහුගේ නමට ඉදිරියෙන් විශාල ඉනිමක් තියෙනවා. මේ කාලයේදී ඔහු ඉතාමත් හොඳ පරිණත බවක් පෙන්වා තියෙනවා”

“ඔහුගේ මේ ඉනිම තවත් දිගු ඉනිම කිහිපයක ආරම්භය කියා මා හිතනවා” යයිද ෆෝඞ් මහතා පැවසීය.
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ටෙස්ට් පිලේ අංක 3 ස්ථානය සඳහා බොහෝ දෙනා අත්හදා බලන ලදි. එහෙත් කිසිවෙක් තමන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අසමත් වූහ.

කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩකයා වුවත් අංක 3 ස්ථානයට උචිත පිතිකරු තාක්‍ෂණය කුසල් මෙන්ඩිස්ට ඇතිබව ෆෝඞ් මහතා ඇතුළු කණ්ඩායම් කළමණාකාරීත්වය තේරුම්ගෙන තිබිණ.

“ඔහු ඒ ස්ථානයට ගිය සෑම අවස්ථාවකදීම අන්තර්ජාතික මට්ටමේ පිතිකරුවකු වීමේ ලකුණු පෙන්නුම් කළා. ඔහු තරග දිනවන්නෙක් විය හැකි බවත් පෙන්නුම් කළා”

“ඔහුත් එක්ක ඉදිරියට යන්න ගත්ත තීරණය සාධාරණ බවත් ඔහු ඔප්පු කළා” යයිද ෆෝඞ් මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 6 පිතිකරුවා වන ධනංජය ද සිල්වාත් පිට දඟ පන්දු යවන්නෙකි. පළමු ඉනිමේදී ඕස්ට්‍රේලියානු පිල ලකුණු 203 කට දැවී ගිය හෙයින් ධනංජයගේ සේවය නායකයාට අවශ්‍ය නොවීය. එහෙත් හෙට දිනයේදී ඔහු ශ්‍රී ලංකා නායකයාට තිබෙන අතිරේක විකල්පයක් වනු ඇතැයිද ෆෝඞ් මහතා කීවේය.

 

පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික නික් පොතාස් මහතා පත්කරනු ලැබ තිබේ. දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් එක්දින තරග 3 කට පමණක් සහභාගි වී ඇති හෙතෙම කඩුලු රකින්නකු වශයෙන් පළමු පෙළ තරග 218 කදී උඩපන්දු 614 ක් රැකගෙන තිබේ. ස්ටම්ප් කිරීම් මගින් ඔහු විසින් දවාගන්නා ලද පිතිකරුවන් සංඛ්‍යාව 45 කි.

දකුණු අප්‍රිකානු පිල නියෝජනය කිරීමෙන් පසුව එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන්ද  හෙතෙම ක්‍රීඩා කළේය.

නික් පොතාස් මහතා වසර 2011 දී ක්‍රිකට් පිටියෙන් සමුගත් පසු එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් විද්‍යාතනයේ අධ්‍යක්‍ෂවරයා වශයෙන්ද කටයුතු කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගේ නිර්දේශය මත නික් පොතාස් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙසින් එක්වෙයි.

නව පුහුණුකරුවා අගෝස්තු මස 8 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බාරගැනීමට නියමිතය.
“ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම තත්ත්වයේ සිටින කණ්ඩායමක් හා එක්ව වැඩකිරීමට ලැබෙන මේ අවස්ථාව පැහැර හරින්න පුළුවන් එකක් නෙමෙයි” යයි ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත පිලෙන් ඉවත්වීම සම්බන්ධයෙන් නික් පොතාස් මහතා බී. බී. සි. වෙබ් අඩවියට පවසා තිබිණ.

 

ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 265 ක් පිටුපසින්

එංගලන්තයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ එංගලන්ත වයස 19 න් පහළ කණ්ඩායම අතර කේම්බ්‍රිජ්හිදී පැවැත්වෙන නිලනොවන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය (28 වැනිදා) නිමාවනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 235 ක් රැස්කිරීමට සමත් වූයේය.

දෙවන දිනය නිමාවනවිට අර්ධ ශතකයක් (නොදැවී 55) ලබාසිටි චරිත් අසලංක ලකුණු 81 කට දවාගැනීමට එඞ් බාර්න්ස් සමත්වූයේය.

තෙවැනි කඩුල්ල සදහා ලකුණු 79 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට චරිත් අසලංක (81) සහ අවිශ්ක ප්‍රනාන්දු (45) සමත්වූහ.

සම්මු අශාන් පන්දු 88 කදී හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමගින් ලකුණු 51 ක් රැස්කළ අතර පස්වැනි කඩුල්ල සදහා අශේන් බණ්ඩාර සමග එක්ව ලකුණු 50 ක සම්බන්ධතාවයක් පැවැත්විය.
වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනය ඕවර 43 කට සීමාවිය.

අද (29 වැනිදා) තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.


එංගලන්ත යොවුන් පිල – පළමු ඉනිම – ඕවර 131 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 500
(ඕ.ඊ. වෙස්ට්බරි 196, ජෝර්ජ් හැන්කින්ස් 28, ජෝර්ජ් බාර්ට්ලීට් 131, ඕලී පොප් 78, ජෙහාන් ඩැනියල් 91/3, ළහිරු කුමාර 104/2)

ශ්‍රී ලංකා යොවුන් පිල – පළමු ඉනිම – ඕවර 80 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 235
(ඩිලාන් ජයලත් 22, චරිත් අසලංක 81, අවිශ්ක ප්‍රනාන්දු 45, සම්මු අශාන් 51, අශේන් බණ්ඩාර නොදැවී 21, ජොෂ් කෝෆ්ලින් 21/2, අමාර් විර්දී 57/2)

 

ඕස්ට්‍රේලියානුවන්ගේ නළලත රැළි නගී

වෝන් – මුරලි කුසලාන තරගාවලියේ පළමු ජය ලබාගැනීම සඳහා පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලකුණු 268 ක ඉලක්කක් හඹා යමින් සිටින ඕස්ට්‍රේලියානු පිලේ කඩුලු 3 ක් බිම දැමූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (29 වනිදා) කැන්ගරුවන්ගේ සිත්තුළ සැක සංකා මතු කරමින් සිටියහ.

එන අභියෝගයට මුහුණ දීම මිස වෙනත් කළ හැකි දෙයක් නොවූ හෙයින් තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු  83 ක් ලබාැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව සිටියේය. එහෙත් අද සවස පැවැති මන්දාලෝකය නිසා පස්වරු 3.00 න් පසුව තරගය නැවතත් ආරම්භ කළ නොහැකි විය. පස්වරු 4.35 ට පමණ දිනයේ ක්‍රීඩාව අතහැර දමන ලදි.

ශ්‍රී ලංකාව – පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න – ක.මු.කළා ප.ස්ටාක්     5
කෞෂාල් සිල්වා – ඇ.වෝග්ස් ප.හේසල්වුඞ්     4
කුසල් මෙන්ඩිස් – ක.මු.කළා ප.හේසල්වුඞ්     8
දිනේෂ් චන්දිමාල් – ඇ.නෙවිල් ප.හේසල්වුඞ්     15
ඇන්ජලෝ මැතිව්ස් – ඇ.ස්මිත් ප.ඔ’කීෆි     15
ධනංජය ද සිල්වා – ඇ.ජෝ බර්න්ස් ප.ලයන්     24
කුසල් ජනිත් පෙරේරා – ප.ලයන්     20
ඩිල්රුවන් පෙරේරා – ක.මු.කළා ප.ලයන්     0
රංගන හේරත් – ක.මු.කළා ප.ස්ටාක්     6
ලක්ෂාන් සඳකැන් – නොදැවී      19
නුවන් ප්‍රදීප් – ඇ.ස්මිත් ප.ඕ’කීෆි     0
අතිරේක (පා-1) 1
එකතුව ඕවර 34.2 කදී සියලු දෙනා දැවී    117
කඩුලු වැටීම 
1-06(කරුණාරත්න), 2-15(මෙන්ඩිස්), 3-18(කෞෂාල්), 4-43(මැතිව්ස්), 5-67(චන්දිමාල්), 6-87(ධනංජය), 7-87(ඩිල්රුවන්), 8-94(කුසල් පෙරේරා), 9-100(හේරත්), 10-117(නුවන් ප්‍රදීප්)
පන්දු යැවීම
මිචෙල් ස්ටාක් 11-1-51-2  
ජොස් හේසල්වුඞ් 10-4-21-3  
ස්ටීව් ඔ’කීෆි  10.2-3-32-2  
නේතන් ලයන් 3-0-12-3  
ඕස්ට්‍රේලියාව- පළමු ඉනිම
ජෝ බර්න්ස් – ප.හේරත්     3
ඬේවිඞ් වෝනර් – ප.නුවන් ප්‍රදීප්     0
උස්මන් කවාජා  – ක.මු.කළා ප.හේරත්     26
ස්ටීවන් ස්මිත් – ස්ට.චන්දිමාල් ප.හේරත්     30
ඇඩම් වෝග්ස් – ඇ. මෙන්ඩිස් ප.නුවන් ප්‍රදීප්    47
මිචෙල් මාෂ් – ප.සඳකැන්      31
පීටර් නෙවිල් – ඇ.කුසල් පෙරේරා ප. හේරත්     2
ස්ටීව් ඕ’කීෆි – ඇ.කුසල් මෙන්ඩිස් ප. සඳකැන්      23
මිචෙල් ස්ටාක් – ඇ.කුසල් පෙරේරා ප.සඳකැන්     11
නේදන් ලයන් – ක.මු කළා ප.සඳකැන්     17
ජොස් හේසල්වුඞ් – නොදැවී      2
අතිරේක (අ-4, පා-7) 11
එකතුව ඕවර 79.2 කදී සියලුදෙනා දැවී     203
කඩුලු වැටීම 
1-03(වෝනර්), 2-07(බර්න්ස්), 3-69(ස්මිත්), 4-70(කවාජා), 5-130(මාෂ්), 6-137(නෙවිල්), 7-160(වෝග්ස්), 8-179(ස්ටාක්), 9-190(ඕ’කීෆි), 10-203(ලයන්)
පන්දු යැවීම
නුවන් ප්‍රදීප් 16-6-36-2  
රංගන හේරත් 25-8-49-4  
ඩිල්රුවන් පෙරේරා 14-1-43-0  
ලක්‍ෂාන් සඳකැන් 21.2-3-58-4  
ඇන්ජලෝ මැතිව්ස්  3-1-6-0  
ශ්‍රී ලංකාව – දෙවන ඉනිම 
කුසල් ජනිත් පෙරේරා – ක.මු.කළා ප. ස්ටාක්  4
කෞෂාල් සිල්වා – ක.මු.කළා ප. ඕ’කීෆි   7
දිමුත් කරුණාරත්න – ක.මු.කළා ප.ස්ටාක්     0
කුසල් මෙන්ඩිස් – ඇ. නෙවිල් ප. ස්ටාක්  176
ඇන්ජලෝ මැතිව්ස් – ඇ.බර්න්ස් ප.ලයන්  9
දිනේෂ් චන්දිමාල් – ක.මු.කළා ප.මාෂ්  42
ධනංජය ද සිල්වා – ඇ.කවාජා ප.ලයන්  36
ඩිල්රුවන් පෙරේරා – ක.මු.කළා ප.හේසල්වුඞ්  12
රංගන හේරත් – ඇ.අතිරේක(හෙන්රිකස්) ප.හේසල්වුඞ්  35
ලක්ෂාන් සඳකැන් – ප.ස්ටාක්  9
නුවන් ප්‍රදීප් – නොදැවී 10
අතිරේක (පා-12, අ-1) 13
එකතුව ඕවර 93.4 කදී සියලු දෙනා දැවී   343
කඩුලු වැටීම 
1-06(කුසල් පෙරේරා), 2-06(කරුණාරත්න), 3-45(සිල්වා), 4-86(මැතිව්ස්), 5-203(චන්දිමාල්), 6-274(ධනංජය), 7-290(මෙන්ඩිස්), 8-314(ඩිල්රුවන්), 9-323(සඳකැන්), 10-353(හේරත්)
පන්දු යැවීම
මිචෙල් ස්ටාක් 19-4-84-4  
ජොස් හේසල්වුඞ් 18.4-3-59-2  
ස්ටීවන් ඕ’කීෆි 16.2-3-42-1  
නේදන් ලයන්  27-2-108-2  
ඬේවිඞ් වෝනර්  1-0-10-0  
ඇඩම් වෝග්ස්   1.4-0-03-0  
මිචෙල් මාෂ්   9-1-33-1   
ස්ටීවන් ස්මිත්  1-0-01-0  
ඕස්ට්‍රේලියාව- දෙවන ඉනිම
ජෝ බර්න්ස් – ප. සඳකැන්     29
ඬේවිඞ් වෝනර් – ප. හේරත්  1
උස්මන් කවාජා  – ක.මු.කළා ප.දිල්රුවන්     18
ස්ටීවන් ස්මිත් – නොදැවී      26
ඇඩම් වෝග්ස් – නොදැවී      9
අතිරේක  0
එකතුව ඕවර 27 කදී කඩුලු 3ක් දැවී     83
කඩුලු වැටීම 
1-2(වෝනර්),  2-33(කවාජා), 3-63(බර්න්ස්)
පන්දු යැවීම
නුවන් ප්‍රදීප් 3-0-16-0  
රංගන හේරත් 10-1-35-1  
ඩිල්රුවන් පෙරේරා 9-1-19-1  
ලක්‍ෂාන් සඳකැන් 5-1-13-1  

තරගය ජයගැනීමට නම් ඕස්ට්‍රේලියානු පිල අවසන් දිනය වන හෙට දිනය තුළදී තවත් ලකුණු 185 ක් ලබාගත යුතුය. එහෙත් ඕස්ට්‍රේලියානුවන්ගේ අභියෝගය වන්නේ දඟ කැවෙන තණතීරුවක් මතදී දඟ පන්දු යවන්නන් සිවුදෙනකුට මුහුණ දීම පමණක් නොවේ. කාලගුණ තත්ත්වයද ඕස්ට්‍රේලියානු පිල හමුවේ ඇති අභියෝගයකි.

“අපි තරග කරන්නේ තරග ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නෙමෙයි. තරග ‘දිනන්නයි”
“ඒ නිසා අපි මේ ජයග්‍රහණය හඹා යනවා. කොහොම වුණත් හෙට උදෑසන පළමු හෝරාව ඉතාමත් තීරාත්මකයි” යයි ඕස්ට්‍රේලියානු පුහුණුකරු ස්ටුවර්ට් ලෝ අද සවස පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 13 කට සහභාගි වී ඇතත් සිවුවැනි ඉනිමේදී පන්දුවට පහර දෙන්නේ පළමුවැනි වතාවටය.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවැති ටෙස්ට් තරග 27 න් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එකම තරගයක් පමණි. ශ්‍රී ලංකාවේදී පැවැති තරග 13 න් 1999 දී පැවැති තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය මවුබිමේදීම ඕස්ට්‍රේලියානු පිල හමුවේ ටෙස්ට් තරග 6 ක් පරාජය වී තිබේ.

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදීත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ රංගන හේරත් සිය දෙවැනි පන්දුවේදීම ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් පිටියෙන් ඉවත් කළේය. ලකුණු 30 ක පරතරයක් තබමින් උස්මන් කවාජා සහ ජෝ බර්න්ස් දැවී ගියද ජෝ බර්න්ස් දවාගැනීමට ලක්ෂාන් සඳකැන් යවූ පන්දුව කඩුල්ල තුළට දඟකැවී ආ ආකාරය ඕස්ට්‍රේලියානුවන්ගේ නළලත රැළි නැංවීය.
 
කෙසේ වෙතත් ලකුණු ලබාගැනීමට පසුබට නොවූ ඕස්ට්‍රේලියානුවෝ ඕවර 27 කින් ලකුණු 83 ක් ලබාගත්තේ ඕවරයකදී ලකුණු 3.07 ක වේගයක් රඳවා ගනිමිනි.

සටන්කාමී පිතිහරඹයක යෙදුණු ශ්‍රී ලංකා පිතිකරුවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 353 ක් ලබාගත්හ. කුසල් මෙන්ඩිස්ගේ අති විශිෂ්ට ලකුණු 176 න් සවිමත් වූ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී පසුපෙළ පිතිකරුවන් වෙතින් රංගන හේරත්ට ලැබුණු සහයෝගය නිසා ලකුණු 350 සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා පිලට හැකි විය.

ජොස් හේසල්වුඞ්ගේ පන්දුවකට රංගන හේරත් ගැසූ අලංකාර කවර්ඩ්‍රයිව් පහරකින් පන්දුව හතරේ සීමාව සොයා යද්දී එය ඇදහිය නොහැකි උඩපන්දුවක් බවට පෙරළාගත් අතිරේක ක්‍රීඩක මොයිසස් හෙන්රිකස් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 353 දී නතර කර දැමීය.

හත්වැනි ටෙස්ට් තරගයේදීම, ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායම හමුවේ ද්විත්ව ශතකය සොයා ගිය කුසල් මෙන්ඩිස් සිය ඉලක්කයට ලකුණු 14 ක් මෑතින් සිටියදී දැවී ගියේය. විනාඩි 322 ක් පිටියේ රැඳුණු මෙන්ඩිස්ගේ පන්දු 254 ඉනිම හතරේ පහර 21 කින් සහ හයේ පහරකින් සමන්විත විය.

අද දිනයේ ක්‍රීඩාව ආරම්භයේදීම දෙවැනි නව පන්දුව ලබාගත් ඕස්ට්‍රේලියානු නායකයා පන්දු 13 ක් ඇතුළතදී තමන්ගේ දඩයම කරගත්තේය. පැයට කිලෝ මීටර 150 ඉක්මවන වේගයකින් පන්දු යවන මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් කුසල් මෙන්ඩිස්ගේ පිත්තේ යන්තමින් වැදී කඩුලු රකින පීටර් නෙවිල්ගේ අත් ආවරණ අතර සැඟවී ගියේ ස්ටීවන් ස්මිත්ගේ හිසරදය නිමාකරමිනි.

අද දිනය ආරම්භයේදීම වර්ෂාවෙන් බාධා ඇතිවිය. පෙරවරු 9.45 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණ නමුත් අද උදෑසන පැවැති හිරිපොද වැස්ස නිසා තරගයේ ආරම්භය පෙරවරු 10.45 දක්වා කල්දමන ලදි.

තරගය ආරම්භ කිරීමට සූදානම් වන විටම නැවතත් ආරම්භ වූ පොද වැස්සක් හේතුවෙන් ක්‍රීඩාංගණය වසා දමන ලද නමුත් පෙරවරු 10.55 ට තරගය ආරම්භ කෙරිණ. එහෙත් දිවා ආහාරයට පෙර යැවිය හැකිවූයේ ඕවර 7.3 ක් පමණි.

කුසල් කණ්ඩායම වෙනුවෙන් ලකුණු සොයයි

ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායම හමුවේ තරග කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටී සිටියේය. මහනුවර, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය ආරම්භ වන විටත් ඕස්ට්‍රෙිලියානු පිලට වඩා ලකුණු 80 ක් පසුපසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 6 කට ඇද වැටී තිබිණ.


පළපුරුදු පිතිකරුවකු වන දිමුත් කරුණාරත්න මුහුණ දුන්නේ පන්දු 3 කට පමණි. ඔහුද ආපසු ක්‍රීඩාගාරය දෙසට ඇවිදගෙන එයි.


යන්තම් ටෙස්ට් තරග 6 කට පමණක් ක්‍රීඩා කර තිබූ, 21 හැවිරිදි කුසල් මෙන්ඩිස් හීන්සීරුවේ කඩුල්ල දෙසට පියමං කළේය. කුසල්ගේ සිතේ බොහෝ දේ තිබෙන්නට ඇත. එහෙත් ඒ සියල්ල අබිබවා තවත් යමක් ඔහුගේ සිතේ තිබුණේය. එනම් කණ්ඩායම වැටි සිටි අසීරු අඩියයි.


තරගයේ තවත් දින තුනකට ආසන්න කාලයක් ඉතිරිවී තිබේ. ලකුණු ලබාගැනීමෙන් මිස තට්ටු ඇල්ලීමේ තේරුමක් නැත. පැයට කිලෝ මීටර 150 ඉක්මවන වේගයකින් පන්දු යවන, ඕස්ට්‍රෙිලියානු පිලේ වේගවත්ම පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක් දිවඑයි.


එන හැටියට මුහුණ දීමට මෙන්ඩිස් හිත හදාගත්තේය. ඔහු දිනය අවසන් කළේ ඕස්ට්‍රෙිලියානු පිලට එරෙහිව ටෙස්ට් ශතක ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් අතර දෙවැනි තැනට පැමිණෙමිනි. අරවින්ද ද සිල්වා බි්‍රස්බේන් නුවරදී ලබාගත් ලකුණු 167 ත් පසුකර ගිය මෙන්ඩිස්, නොදැවී ලකුණු 169 ක් ලබා කුමාර් සංගක්කාරට පමණක් පසුපසින් සිටී.


“මා කඩුල්ලට යන විටත් කණ්ඩයම වෙනුවෙන් මගේ වගකීම මොකක්ද කියන එක මා හොඳින්ම දැන සිටියා. ඒත් ශ්‍රී ලංකා පිලට තිබුණ ලකුණු 86 අවාසිය ගැන නම් මම එච්චර හිතන්න ගියේ නෑ”


“මම පන්දුවට පහර දුන්නේ හරියට මම පළමු ඉනිමකදී පන්දුවට පහර දෙනවා වගේයි” යයි කුසල් මෙන්ඩිස් අද සවස තරගයෙන් අනතුරුව පැවසීය.


පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් වමතින් දඟ පන්දු යවන්නා වූ ස්ටීවන් ඕ’කීෆ් 49 වැනි ඕවරයේදී පිටියෙන් ඉවත්ව යාම කුසල්ගේ ගමන පහසු කළේය. පන්දුව ඉතාම හොඳින් දඟ කැවෙන බැවින් කිසිම චකිතයකින් තොරව පිට දඟ පන්දු යැවූ නේතන් ලයන් හමුවේ ස්වීප් පහර කරා ගිය කුසල් පා ඉන්න දෙසින් ලකුණු ලබාගත්තේය.


කෞෂාල් සිල්වා සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් එයින් ලකුණු 34 ක අයිතිවාසිකම කුසල් සතුවිය. පන්දු 63 කින් අර්ධ ශතකය ලබාගන්නා විට කුසල්ගේ පිත්තේ ගැටුණ පන්දුව 8 වතාවක් හතරේ සීමාව පසුකර තිබිණ.


ඕස්ට්‍රෙිලියානු පිලට එරෙහිව ටෙස්ට් ශතක ලබාගත් පිතිකරුවන් අතරේ අරවින්ද ද සිල්වා පසුකර යාමත්, කුමාර් සංගක්කාරට ආසන්න වීමත් පිළිබඳව කළ විමසීමේදී මෙන්ඩිස් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළේය.


“මගේ අරමුණ වෙලා තියෙන්නේ හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායම වෙනුවෙන් ලබාගන්නයි. මා ලකුණු 200 ක් ලබාගත්තත්, ලකුණු 250 ක් ලබාගත්තත්, ඒ ලකුණු සියල්ලම එකතු වෙන්නේ කණ්ඩායමටයි”


“ඒ නිසා මගේ උත්සාහය හෙට දවසේදී හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නයි” යයි මෙන්ඩිස් පැවසීය.


මොරටුව වේල්ස් කුමර විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි කුසල් මෙන්ඩිස් වයස 15 න් පහළ අවධියේ සිටම ශ්‍රී ලංකාව නියෝජනය කළ අයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම විසින් තෝරාගන්නා ලද 15 න් පහළ සහ 17 න් පහළ වයස්කාණ්ඩවල නායකත්වය දැරූ කුසල් මෙන්ඩිස් තමන්ගේ ගමන් මාර්ගය පැහැදිළිවම තෝරා ගත් අයෙකි.


ලකුණු 95 ක් ලබා සිටියදීත් කිසිදු චකිතයකින් තොරව නේතන් ලයන්ගේ පන්දුවක් මිඞ් විකට් කලාපයට ඉහළින් යවමින් ලකුණු 6 ක් ලබාගත් කුසල් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේය. 1985 දී ඉම්රාන් ඛාන්ගේ පන්දුවක් හතරේ සීමාවෙන් ඉවතට යැවූ අරවින්ද ද සිල්වාත් සිය මංගල ටෙස්ට් ශතකය හයේ පහරකින් ලබාගත් ක්‍රීඩකයෙකි.


“ඒක කලින් හිතාගෙන ගහපු පාරක් නෙමේ. ඒ වෙලාවේ හැටියට ගහපු පාරක්….කොහොමටත් මම ස්වීප් පහර නිතරම පාවිච්චි කරනවා. ඇරත් පිට දඟ පන්දු යවන්නෙකුට ගහන්න මට ටිකක් ලේසියි” යයි මෙන්ඩිස් පැවසීය.


බ්ලූම්ෆීල්ඞ් පිල නියෝජනය කරන කුසල් මෙන්ඩිස් සිය පළමු වැනි පළමු පෙළ ශතකය ලබාගත්තේද පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීය. පල්ලෙකැළේ ක්‍රීඩාංගණය කුසල්ට හොඳ දඩබිමකි.


ඉදිරි දින දෙක තුළදී පල්ලෙකැළේ තණතීරුවේදී ලකුණු ලබාගැනීම අසීරු විය හැකි බැවින් තමන්ගේ පන්දු යවන්නන් සමගින් ඕස්ට්‍රෙිලියාවට සටනක් දිය හැකි බව කුසල් මෙන්ඩිස් කියයි.


ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටියද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ තවමත් දැඩි අවධානයෙන් සිටින මහේල ජයවර්ධන පල්ලෙකැළේ ක්‍රීඩාංගණය ගැන හොඳින්ම දන්නා අයෙකි. කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹය පිළිබඳව ඔහුට සුබපැතුම් එක්කළ හිටපු ශ්‍රී ලංකා නායකයා පවසා තිබුණේ තවත් ලකුණු 75 ක් පමණ ලබාගතහොත් තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා පිලට හොඳ අවස්ථාවක් ඇති බවයි.

 

ලකුණු ක්‍රීඩකයා වසර ක්‍රීඩාංගණය දිනය
192 කුමාර් සංගක්කාර 2007 හෝබාර්ට් 2007 නොවැම්බර් 16
169* කුසල් මෙන්ඩිස් 2016 පල්ලේකැලේ 2016 ජූලී 26
167 අරවින්ද ද සිල්වා 1989 බ්‍රිස්බේන් 1989 දෙසැම්බර් 08
147 තිලකරත්න ඩිල්ශාන් 2012 හෝබාර්ට් 2012 දෙසැම්බර් 14
143 අසංක ගුරුසිංහ 1995 මෙල්බර්න් 1995 දෙසැම්බර් 26
137 අසංක ගුරුසිංහ 1992 එස්.එස්.සී 1992 අගෝස්තු 17
133 මාවන් අතපත්තු 2004 කෙයාන්ස් 2004 ජූලී 09
132* රොමේෂ් කළුවිතාරණ 1992 එස්.එස්.සී 1992 අගෝස්තු 17
131 සනත් ජයසූරිය 2004 අස්ගිරිය 2004 මාර්තු 16
127 අර්ජුන රණතුංග 1992 එස්.එස්.සී 1992 අගෝස්තු 17
119 හෂාන් තිලකරත්න 1995 පර්ත් 1995 දෙසැම්බර් 08
118 මාවන් අතපත්තු 2004 එස්.එස්.සී 2004 මාර්තු 24
112 සනත් ජයසූරිය 1996 ඇඩිලේඩ් 1996 ජනවාරී 25
105* ඇන්ජලෝ මැතිව්ස් 2011 එස්.එස්.සී 2011 සැප්තැම්බර් 16
105 මහේල ජයවර්ධන 2011 ගාල්ල 2011 අගෝස්තු 31
104 තිලකරත්න ඩිල්ශාන් 2004 ගාල්ල 2004 මාර්තු 08
104 මහේල ජයවර්ධන 2007 හෝබාර්ට් 2007 නොවැම්බර් 16

 

මෙන්ඩිස් තනි අතින් ශ්‍රී ලංකාව ගොඩගනී

ලකුණු 86 ක මුල් ඉනිමේ අවාසියක් සහිතව දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වික්‍රමාන්විත පිතිහරඹයක නිරතවූ කුසල් මෙන්ඩිස් තනි අතින් තම පිල ගොඩගත්තේය. තවමත් ටෙස්ට් තරග 7 කට පමණක් ක්‍රීඩා කර ඇති මෙම 21 හැවිරිදි ක්‍රීඩකයාගේ ධෛර්යවත් ඉනිම නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (28 වැනිදා) සවස මන්දාලෝකය නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 282 ක් ලබා සිටියේය.


ඒ වන විට කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 169 ක් ලබා සිටි අතර මුල් ඉනිමේ අවාසිය අත්හළ කල්හි, කඩුලු 4 ක් අතැති ශ්‍රී ලංකා කණ්ඩායම, ඕස්ටේ්‍රලියානුවන්ට වඩා ලකුණු 196 ක් ඉදිරියෙන් සිටී.


සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් දිනයේදීම ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව ටෙස්ට් ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි තැනට පත් කුසල් මෙන්ඩිස්ට ඉදිරියෙන් සිටින්නේ වසර 2007 හොබර්ට්හිදී පැවැති ටෙස්ට් තරගයේදී ලකුණු 192 ක් ලබාගත් කුමාර් සංගක්කාර පමණි.


තේ පානය වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 253 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානයෙන් පසුව යැවුණු ඕවර 10 දී ධනංජය ද සිල්වාගේ කඩුල්ල අහිමි කරගත්තේය. සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ධනංජය ද සිල්වා කිසිදු චකිතයකින් තොරව තමන්ගේ පහර කරා ගිය නමුත් කඩුල්ල අහිමි කරගත්තේ නේතන් ලයන්ගේ පන්දුවක් හමුවේ දෙකට දෙවාරේ ගැසූ පහරකිනි.


තරගයේ තුන්වැනි දිනය වන අද දිවා ආහාරයෙන් පසුව පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වය කෙමෙන් මඟහැරී යන බවක් දක්නට ලැබුණ අතරම පිතිකරුවන්ට වඩාත් පහසුවෙන් ලකුණු කරා යාමට අවකාශ ලැබෙන ආකාරයක්ද පෙනෙන්නට තිබිණ.


දිවා ආහාරයට තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 116 ක් පමණක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරයත් සවස තරගය නතර කිරීමත් අතරේ ලකුණු 166 ක් ලබාගත්තේය. ඒ අතරතුර කාලයේදී දැවී ගියේ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා පමණි.


කුසල් මෙන්ඩිස් සහ චන්දිමාල් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 117 ක සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී යන්තම් හිස ඔසවාගත හැකි ස්ථානයකට පැමිණියේය. එම සම්බන්ධතාව මත සිට ඉදිරියට ගිය මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා හයවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 71 ක් එක්කළහ.


විනාඩි 312 ක් පුරා පිටියේ රැඳෙමින්, ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නන් හමුවේ කිසිදු අපහසුතාවකට පත් නොවී ලකුණු සොයා ගිය මෙන්ඩිස් අද වාර්තා කළේ ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිමයි. දෙමසකට ඉහතදී එංගලන්තයට එරෙහිව බි්‍රස්ටල්හිදී ලකුණු 53 ක් ලබාගැනීම කුසල් මෙන්ඩිස් මීට පෙර කළ හොඳම ටෙස්ට් ඉනිම විය.


කුසල් මෙන්ඩිස් දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසුව සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත්තේ නේතන් ලයන්ගේ පන්දුවක් හමුවේ මිඞ් විකට් කලාපයට ඉහළින් ගැසූ අලංකාර හයේ පහරකිනි. පිට ඉන්නට පිටතින් පතිත වූ ලයන්ගේ පන්දුව කඩුල්ල තුළට දඟ කැවී එද්දී සැණෙකින් සිය දණහිසට බර දුන් කුසල් මෙන්ඩිස් මිඞ් විකට් කලාපයට ඉහළින් පන්දුව යැවීය.


නේතන් ලයන්ට ගැසූ ස්ක්වෙයාර් කට් පහරකින් සිය 150 වැනි ලකුණ ලබාගත් මෙන්ඩිස් අද දිනය තුළ හතරේ පහර 20 ක් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කළේය. කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩකයා වන මෙන්ඩිස් ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නන් හමුවේ අභීතව ලකුණු සොයා ගිය නමුත් ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනාටම එක්ව ලබාගත හැකිවූයේ ලකුණු 11 ක් පමණි.


ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු 4 කට ඊයේම දැවී ගියේ ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු සීසීකඩ විසුරුවා දමමිනි. වර්ෂාව නිසා එතැනින් තරගය නතර වූ නමුත් අද පෙරවරුවේදී යැවුණු තුන්වැනි පන්දුවේදීම දිමුත් කරුණාරත්න ලකුණු නොලබා දැවී ගියේය.


තුන්වැනි කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ කෞෂාල් සිල්වා අතර ලකුණු 39 ක සම්බන්ධතාවක් පැවැති නමුත් එයින් ලකුණු 34 කම හිමිකරුවා වූයේ මෙන්ඩිස්ය.  හෝරාවක් තිස්සේ පන්දු 32 කට මුහුණ දුන් නමුත් ස්ටීවන් ඕ’කීෆිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව කෞෂාල් සිල්වා දැවී යද්දී ඔහුගේ නමට ඉදිරියෙන් සටහන්ව තිබුණේ ලකුණු 7 ක් පමණි.


තමන්ගේ දැවීයාම ප්‍රකාශ කිරීමත් සමගම කිසිදු වග විභාගයකින් තොරවම විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට ගිය දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා එම අවස්ථා දෙකම නාස්තිකර දැමූහ. මේ හේතුවෙන් ඉනිමේ 13 වැනි ඕවරය වන විටත් ශ්‍රී ලංකා පිල සතුව තිබූ විතීවි අවස්ථා දෙකම අහිමි වී තිබිණ.

 

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව -පළමු ඉනිම  117
(ධනංජය ද සිල්වා 24, කුසල් ජනිත් පෙරේරා 20, ජොස් හේසල්වුඞ් 21/3, නේතන් ලයන් 12/3)

ඕස්ටේ්‍රලියාව – පළමු ඉනිම 203
(උස්මන් කවාජා 26, ස්ටීවන් ස්මිත් 30, ඇඩම් වෝග්ස් 47, මිචෙල් මාෂ් 31, ස්ටීව් ඕ’කීෆි 23, නුවන් ප්‍රදීප් 36/2, රංගන හේරත් 49/4, ලක්‍ෂාන් සඳකැන් 58/4)

ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම
කුසල් ජනිත් පෙරේරා – ක.මු.කළා ප.ස්ටාක්    4
කෞෂාල් සිල්වා – ක.මු.කළා ප.ඕ’කීෆි    7
දිමුත් කරුණාරත්න – ක.මු.කළා ප.ස්ටාක්    0
කුසල් මෙන්ඩිස් – නොදැවී     169
ඇන්ජලෝ මැතිව්ස් – ඇ.බර්න්ස් ප.ලයන්    9
දිනේෂ් චන්දිමාල් – ක.මු.කළා ප.මාෂ්    42
ධනංජය ද සිල්වා – ඇ.කවාජා ප.ලයන්    36
ඩිල්රුවන් පෙරේරා – නොදැවී     5
අතිරේක     10
එකතුව ඕවර 80 කදී කඩුලු 6 ක් දැවී     282

කඩුලු වැටීම :
1-06(කුෂල් පෙරේරා), 2-06(කරුණාරත්න), 3-45(සිල්වා), 4-86(මැතිව්ස්), 5-203(චන්දිමාල්), 6-274(ධනංජය)

පන්දු යැවීම :
මිචෙල් ස්ටාක් : 12-4-44-2, ජොෂ් හේසල්වුඞ් : 13-3-41-0, ස්ටීවන් ඕ’කීෆි : 16.2-3-42-1, නේදන් ලයන් : 26-2-98-2, ඬේවිඞ් වෝනර් : 1-0-10-0, ඇඩම් වෝග්ස් : 1.4-0-03-0, මිචෙල් මාෂ් : 9-1-33-1, ස්ටීවන් ස්මිත් : 1-0-01-0

ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 2ට ලකුණු 95 යි

එංගලන්තයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ එංගලන්ත වයස 19 න් පහළ කණ්ඩායම අතර කේම්බි්‍රජ්හිදී පැවැත්වෙන නිලනොවන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය (27 වැනිදා) නිමාවනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 96 ක් රැස්කිරීමට සමත් වූයේය.

 


ආරම්භක පිතිකරු යුගලය අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයන විට නායක චරිත් අසලංක පන්දු 95 කට මුහුණදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර අනෙක් අන්තයේ ලකුණු 13 ක් ලබා අවිශ්ක ප්‍රනාන්දු නොදැවී කඩුල්ලේ රැදී සිටින්නේය.


පළමු දිනය නිමාවනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 352 කන් රැස්කර සිටි එංගලන්ත යොවුන් පිල කඩුලු 9 ක් දැවී ලකුණු 500 ක් රැස්කර ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා යොවුන් පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.


ඕ.ඊ. වෙස්ට්බරි නොදැවී ලකුණු 154 ක් පළමු දිනය නිමාවනවිට ලබාගත් අතර ද්විත්ව ශතකය පෙනි පෙනී ලකුණු 196 කට දැවී ගියේය. දමිත සිල්වාගේ පන්දුවකට අවිශ්ක ප්‍රනාන්දු අතට උඩපන්දුවක් ලබාදී දැවීයන විට පන්දු 380 කට මුහුණදී සිටි අතර හතරේ පහර 16 ක් සහ හයේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.


ඕ.ඊ. වෙස්ට්බරි සමග එක්වූ ඕලී පොප් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 126 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූයේය.


ඕලී පොප් පන්දු 114 කට මුහුණදී හතරේ පහර හයක් සමගින් ලකුණු 78 ක් රැස්කිරීමට සමත්විය.


ජෙහාන් ඩැනියල් ලකුණු 91 කට කඩුල් තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.


අද (28 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.

 

එංගලන්ත යොවුන් පිල – පළමු ඉනිම – ඕවර 131 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 500
(ඕ.ඊ. වෙස්ට්බරි 196, ජෝර්ජ් හැන්කින්ස් 28, ජෝර්ජ් බාර්ට්ලීට් 131, ඕලී පොප් 78, ජෙහාන් ඩැනියල් 91/3, ළහිරු කුමාර 104/2)


ශ්‍රී ලංකා යොවුන් පිල – පළමු ඉනිම – ඕවර 37 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 96
(ඩිලාන් ජයලත් 22, චරිත් අසලංක නොදැවී 55)

 

මුරලිදරන් ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමාවලියට

ක්‍රිකට් ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිට දඟ පන්දු යවන්නා වශයෙන් සැලකෙන මුත්තයියා මුරලිදරන් ‘ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමාවලියට’ එක්කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමාවලියට එක්වූ පළමුවැනි ශ්‍රී ලාංකිකයා වශයෙන් මුත්තයියා මුරලිදරන් ඉතිහාසයට එක්වෙයි.

වසර 139 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් (කඩුලු 800 ක්) දවාගත් පන්දු යවන්නා ලෙසින් මෙන්ම එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් (534) දවාගත් පන්දු යවන්නාද වශයෙන් ලෝක වාර්තාව දෙකටම මුත්තයියා මුරලිදරන් හිමිකම් කියයි.  මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගාවලිය නම්කර ඇත්තේද වෝන් – මුරලි කුසලාන තරගාවලිය ලෙසිනි.

“මුරලිදරන් කියන්නේ මෑත කාලීන ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික වීරයෙක්. ඔහුගේ විශිෂ්ට පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් සහ එක්දින යන අංශ දෙකේදීම ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් ගොඩනැංවීමට හැකිවුණා” යයි මුත්තයියා මුරලිදරන් විශිෂ්ටයන්ගේ නාමාවලියට එක්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා පවසා තිබිණ.

ආතර් මොරිස්.. (ඡායාරූපය අන්තර්ජාතික ක්‍රිකට් සභාව අනුග්‍රහයෙනි)

වසර 2011 දී පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් මුත්තයියා මුරලිදරන්, ටෙස්ට් තරග 22 කදී කඩුලු 10 ක් හෝ ඊට වැඩියෙන් දවාගෙන තිබෙන අතර ටෙස්ට් ඉනිම 67 කදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවාගෙන තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිවේදනය අද (27 වැනිදා) ප්‍රකාශයට පත්කෙරුණු අතර මුත්තයියා මුරලිදරන් සමගින් ආතර් මොරිස් සහ ජෝර්ජ් ලෝමෑන්ද ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිලේ හිටපු නායිකා කරන් රොල්ටන්ද ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමාවලියට එක්ව සිටිති.

මෙම ක්‍රීඩකයන් විශිෂ්ටයන්ගේ නාමාවලියට එක්වීම නිමිත්තෙන් ඔවුනට සුවිශේෂී හිස්වැස්මක් ප්‍රදානය කෙරේ. ජොර්ජ් ලෝමෑන් ජීවතුන් අතර නැති හෙයින් එම හිස්වැස්ම ප්‍රදානය කෙරෙන අවස්ථාවට ලෝමෑන්ගේ පවුලේ සාමාජිකයන් සහභාගි වනු ඇත.

වර්ෂ 1900 ට පෙර (19 වැනි සියවසේදී) එංගලන්ත පිල නියෝජනය කළ ජෝර්ජ් ලෝමෑන් ටෙස්ට් තරග 16 කින් කඩුලු 100 ක් දවාගත් අග්‍රගණයේ වේග පන්දු යවන්නෙකි. ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමාවලියට එක්වූ 27 වැනි ඉංග්‍රීසි ජාතිකයා ජෝර්ජ් ලෝමෑන්ය. 1901 දී ඔහු ජීවිතයෙන් සමුගන්නා විට 36 හැවිරිදි වියේ සිටියේය.
 
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ අසහාය පිතිකරුවා මෙන්ම අසහාය නායකයාද වූ ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන් යුගයේදී ආතර් මොරිස් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළේය.

අලංකාර වමත් පිතිකරුවකු වූ ආතර් මොරිස් 1946 සහ 1955 කාලය අතරතුරදී ටෙස්ට් තරග 46 කට සහභාගි වෙමින් ශතක 12 ක් සහ අර්ධ ශතක 12 ක් ලබාගත්තේය. ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමාවලියට එක්වූ 22 වැනි ඕස්ට්‍රේලියානු ජාතිකයා ඔහුය.

1948 ලන්ඩන් ඕවල් පිටියේදී සිය අවසන් ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන් ලකුණු නොලබා දැවී යන අවස්ථාවේදී කඩුල්ලේ අනෙක් අන්තයේ සිටි පිතිකරුවා වූ ආතර් මොරිස් එම තරගයේදී ලකුණු 196 ක් ලබාගැනීමට සමත් විය. 20 වැනි සියවසේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වශයෙන් නම්කෙරුණේද ආතර් මොරිස්ය.