සුනිල් නරේන් සීමිත ඕවර තරග වලට එයි

 

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන කොදෙව් සංචිතයට පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද ගැටළුවකට මුහුණදී සිටි පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක සුනිල් නරේන් ඇතුළත්ව සිටියි. මෙම තරගාවලිය නොවැම්බර් මස 1 වැනිදා ආරම්භ වන අතර එය තරග තුනකින් සමන්විතය.

 

පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද ගැටළුව හේතුවෙන් මේ වසර මුලදී ඕස්ටේ‍්‍රලියාවේදී සහ නවසීලන්තයේදී පැවැති ලෝක කුසලාන සංචිතයෙන්ද සුනිල් නරේන් ඉවත් කළ නමුත් ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ සංචිතයටද ඔහු ඇතුළත්ව සිටී.

 

සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් ආබාධයකට ලක්ව සිටීම නිසා මෙම තරගාවලියට සහභාගි නොවේ.

 

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ඩැරන් සැමී, ලෙන්ඞ්ල් සිමන්ස්, සුලෙයිමන් බෙන්, ෂෙල්ඩන් කොට්ටි‍්‍රල්, නිකීතා මිලර්, කීමර් රෝච් සහ ඞ්වේන් ස්මිත් යන ක‍්‍රීඩකයන් හත් දෙනාට එක්දින සංචිතයේ ස්ථාන අහිමිවී තිබේ.

 

එක්දින සංචිතයේ ස්ථානය පිළිබදව ගැටළුකාරී තත්ත්වයක් ඇතිව තිබෙන නමුත් ඞ්වේන් බ‍්‍රාවෝ සහ කරන් පොලාඞ් විස්සයි20 සංචිතයට ඇතුළත්ව සිටිති.   


බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය:

ජේසන් හෝල්ඩර් (නායක), ඩෙවෙන්ද්‍ර විෂෝ, ජර්මේන් බ්ලැක්වුඞ්, කාලෝස් බ්ලැක්වුඞ්, ඩැරන් බ‍්‍රාවෝ, ජොනතන් කාටර්, ජොන්සන් චාල්ස්, ඇන්ද්‍රි ෆ්ලෙචර්, ජේසන් මොහොමඞ්, සුනිල් නරේන්, දිනේෂ් රැම්ඞීන්, රවී රාම්පෝල්, ඇන්ද්‍රි රසල්, මාලන් සැමුවෙල්ස් සහ ජෙරමි ටේලර්


බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය:

ඩැරන් සැමී (නායක), සැමුවෙල් බද්‍රි, ඞ්වේන් බ‍්‍රාවෝ, ඩැරන් බ‍්‍රාවෝ, ජොනත්න් කාටර්, ජොන්සන් චාල්ස්, ඇන්ද්‍රි ෆ්ලෙචර්, ජේසන් හෝල්ඩර්, සුනිල් නරේන්, කරන් පොලාඞ්, දිනේෂ් රැම්ඞීන්, රවී රාම්පෝල්, ඇන්ද්‍රි රසල්, මාලන් සැමුවෙල්ස් සහ ජෙරමි ටේලර්


 – 048

කොදෙව් පුහුණුකරු තනතුරින් සිමන්ස් දොට්ට

 

ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් තෝරා ගන්නා ලද කොදෙව් එක්දින පිලේ තේරීම් පිළිබද කළ විවේචනයක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලේ පුහුණුකරුවා වූ පිල් සිමන්ස් මහතා එම තනතුරෙන් ඉවත්කර තිබේ.

 

බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ තේරීම් ප‍්‍රතිපත්තිය පිළිබදව විවේචනය කිරීම හේතුවෙන් පුහුණුකරු පිල් සිමන්ස් මහතා තනතුරෙන් ඉවත් කළ බවත් ඔහු සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙන බවත්ය.

 

”සිමන්ස් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා සංචාරයට යන්නේ නෑ. ඒ වෙනුවට හිටපු තුන් ඉරියව් ක‍්‍රීඩකයකු මෙන්ම තේරීම් කමිටු සාමාජිකයකු ද වන එල්ඩින් බැප්ටිස්ට් මහතා පත්කර තිබෙනවා” යැයි එම නිවේදනයේ සදහන් වේ.

 

තුන් ඉරියව් ක‍්‍රීඩකයන් වන හිටපු නායක ඞ්වේන් බ‍්‍රාවෝ සහ කරන් පොලාඞ් එක්දින සංචිතයට ඇතුළත්කරන ලෙස පිල් සිමන්ස් ඉල්ලා ඇති අතර ඒ පිළිබදව කළ හෙළිදරව්වක් මෙම ඉවත්කිරීමට හේතු වී තිබේ. එම ක‍්‍රීඩකයන් දෙදෙනා කණ්ඩායමට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැවැති තේරීම් කමිටු සාකච්ඡාවේදී සාකච්ඡා වූ දේ සිමන්ස් විසින් හෙළිකරනු ලැබ තිබිණ.

 

 

- 048

කොදෙව්වෝ කොටසක් අද එති

ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග 3 කට සහ විස්සයි:20 තරග දෙකකට සහභාගි වීම සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (30 වැනිදා) දිවයිනට පැමිණෙයි.


කණ්ඩායම කොටස් දෙකකින් පැමිණෙන අතර කාලෝස් බ‍්‍රැත්වයිට්, ජෙරම් ටේලර්, ෂැනන් ගේබි‍්‍රයෙල්, කෙමර් රෝච් සහ ඇන්ඩි‍්‍ර කෝලි යන කී‍්‍රඩකයෝ පස් දෙනොත් භෞතචිකිත්සක කි‍්‍රස්ටෝපර් ක්ලාක් සහ සම්බාහක විජිල් බ‍්‍රවුන් දෙදෙනාත් අද දහවල් දිවයිනට පැමිණෙති.


කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන් සහ නිලධාරී පිරිස හෙට (1 වැනිදා) දහවල් පැමිණීමට නියමිතය.

 

කෞෂාල්ගේ පිට දග පන්දුවට අවසර, ‘දුස්රාව’ තහනම්

අන්තර්ජාතික තරග වලදී ‘දුස්රා’ පන්දුව යැවීම ශ්‍රී ලංකා යොවුන් පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරි`දු කෞෂාල්ට තහනම් කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. එසේ වුවත් තරිඳු කෞෂාල් නිතරම යවන ‘පිට දඟ පන්දුව’ අන්තර්ජාතික තරගවලදී යැවීමේ තහනමක් නැත.


කෞෂාල් සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්‍ෂණයකට මේ මස 14 වැනිදා චෙන්නායිහි ශ්‍රී රාමචන්ද්‍රන් විශ්වවිද්‍යාලයේදී සහභාගි වූ අතර එහි ප‍්‍රතිඵලය අනුව කෞෂාල් යවන ‘දුස්රා’ පන්දු නීති විරෝධී යැයි සනාථ වී ඇති බව වාර්තා වේ.


මේ පිළිබ`දව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප‍්‍රධාන පුහුණුකරු ජෙරම් ජයරත්න මහතා පැවසුවේ කෞෂාල්ට ඔහුගේ සාමාන්‍ය පිට දඟ පන්දුව විවිධාංගීකරණය කරමින් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියේ ඉදිරියට යා හැකි බවයි.


”කෞෂාල් වැඩි කඩුලූ සංඛ්‍යාවක් දවා ගන්නේ ඔහුගේ සාමාන්‍ය පිට දඟ පන්දුවෙන්, ඔහු දුස්රා පන්දුව භාවිතා කරන්නේ පිතිකරුවන් විමතියට පත්කිරීමටයි”


”පිට දඟ පන්දුව යවන කෝණය, වේගය වගේ දේවල් වෙනස් කරමින් වෙනසක් ඇති කරමින් ඔහුට ඉදිරියට යන්න පුළුවන්” යැයි ජයරත්න මහතා වැඩි දුරටත් පැවසීය.      


මේ මස 01 වැනිදා ඉන්දියාවට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී අවසන් වූ තෙවැනි ටෙස්ට් තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ නයිජල් ලෝන්ග් (එංගලන්තය) සහ රොඞ්නි ටකර් ( ඕස්ටේ‍්‍රලියාව) විනිසුරුවන් සහ තරග තීරක ඇන්ඩි පයික්‍රෙෆ්ට් (සිම්බාබ්වේ) යන මහත්වරු කෞෂාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට පැමිණිළි කළහ.


තවමත් 22 හැවිරිදි කෞෂාල් මේ වන විට ටෙස්ට් තරග 6 කදී කඩුලූ 24 ක් දවාගෙන තිබේ.
     

 

- 048

බංග්ලාදේශ සංචාරය වැට උඩ

බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පිටත්වීම ආරක්‍ෂක හේතු නිසා දිගින් දිගටම කල් දැමෙමින් පවතී.  ඕස්ටේ‍්‍රලියානු පිල අද (29 වැනිදා) බංග්ලාදේශය බලා පිටත්ව යාමට සූදානමින් සිටි නමුත්  ඕස්ටේ‍්‍රලියානු රජයේ අවවාදයන් මත  ඕස්ටේ‍්‍රලියානු පිලේ බංග්ලාදේශ සංචාරය කල් දමනු ලැබිණ.


බංග්ලාදේශයේදී  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් පවතින බවට ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්ට ඇතැයි  ඕස්ටේ‍්‍රලියානු රජය පසුගිය සිකුරාදා එරට කි‍්‍රකට් බලධාරීන්ට දන්වා සිටියේය.


ඉතාමත් ඉක්මනින් ඊට ප‍්‍රතිචාර දැක්වූ  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනය තරගාවලිය කල් දමා බංග්ලාදේශයේ ආරක්‍ෂක තත්ත්වය පිරික්සා බැලීම පිණිස නියෝජිත පිරිසක් ඩකා නුවරට යැවූහ.


නියෝජිත පිරිස සමග බංග්ලාදේශයේදී පැවැති සාකච්ඡුා වලදී බංග්ලාදේශ බලධාරීන් ප‍්‍රතිඥා දුන්නේ රාජ්‍ය නායකයකුට දෙන තත්ත්වයේ ආරක්‍ෂාවක්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට සැපයීමට තමන් සූදානම් බවයි. එහෙත් එම පොරොන්දු සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියානු බලධාරීන් සෑහීමකට පත්වූ බවක් පෙනෙන්නට නැත.


සාකච්ඡුා නිමවීමෙන් පසුව  ඕස්ටේ‍්‍රලියානු නියෝජිතයන් තිදෙනා වන ආරක්‍ෂක ප‍්‍රධානී ෂෝන් කැරල්, කණ්ඩායමේ කළමණාකරු ගැවින් ඩෝවි සහ ආරක්‍ෂක කළමණාකරු ෆ‍්‍රෑන්ක් ඩිමාසි යන තිදෙනාම නැවතත්  ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටිති.


දෙපාර්ශ්වය අතර සාකච්ඡුා වලින් පසුවද  ඕස්ටේ‍්‍රලියානු ස්ථාවරයේ වෙනසක් නොවූ බවත් ඒ සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයට සහ එරට රජය දැනුම්වත් කළ යුතු බවත්  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රකාශිකාවක් ඒ. එෆ්. පී. පුවත් සේවයට අද (29 වැනිදා) පවසා තිබිණ.


” ඕස්ටේ‍්‍රලියාවට සම්බන්ධයක් ඇති දේ ඉලක්ක කිරීමට බංග්ලාදේශයේ ත‍්‍රස්තවාදීන් උත්සාහ කරන බවට ඉතාමත් විශ්වාස කටයුතු තොරතුරු ලැබී තිබෙනවා” යයි  ඕස්ටේ‍්‍රලියානු රජය එරට කි‍්‍රතට් ආයතනයට දැනුම් දී තිබිණ.


බටහිරට සම්බන්ධතා ඇති අය බංග්ලාදේශයේදී ත‍්‍රස්තවාදීන්ගේ ඉලක්ක විය හැකියයි බි‍්‍රතාන්‍ය රජය ඊයේ (සඳුදා) අනතුරු ඇගවීය. ඊයේ දිනයේදීම ඉතාලි ජාතික සමාජ සේවකයකු බංග්ලාදේශයේදී වෙඩිතබා මරා දමන ලදි.


මෙම ඝාතනයේ වගකීම ‘අයිසිස්’ ත‍්‍රස්තවාදීන්ගේ බාරගෙන ඇතැයි එක්සත් ජනපද ඔත්තු බැලීමේ සේවාවක් කියයි.
බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩල පිල සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තුන්දින පෙරහුරු තරගම ලබන සෙනසුරාදා (3 වැනිදා) ආරම්භ වීමට නියමිතව ඇතත්  ඕස්ටේ‍්‍රලියානු පිල තවමත් සිටින්නේ සැතපුම් 5533 ක් ඈතිනි.

 

ටයිසන් ‘කුණාටුව’ නික්මයයි

එංගලන්ත පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ෆ‍්‍රෑන්ක් ටයිසන් මහතා අභාවප‍්‍රාප්ත වූ බව නොදම්ප්ටන්ෂයර් ප‍්‍රාන්ත ක‍්‍රිකට් සමාජය නිවේදනය කරයි.


රෝගාතුරව සිටි ටයිසන් මහතා  ඕස්ටේ‍්‍රලියාවේ රෝහලකදී අභාවප‍්‍රාප්ත වී තිබේ.

 

ලෝකයේ සිටි ඉතාමත්ම වේගවත් පන්දු යවන්නකු වූ ෆ‍්‍රෑන්ක් ටයිසන් ඔහුගේ පන්දු යැවීමේ වේගය නිසාම ‘ටයිෆූන්’ (කුණාටුව) යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබූ ටයිසන් මහතා මියයන විට 85 වැනි වියේ පසුවිය.


එංගලන්ත පිලේ 50 දශකයේ ප‍්‍රබලතම පන්දු යවන්නකු වූ ටයිසන් මහතා 1954-55 වසරවල  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත ‘අළු බදුන’ තරගාවලියේදී කඩුලූ 28 ක් දවා ගනිමින් එංගලන්තය 3-1 ක් ලෙස ජයග‍්‍රහණය දක්වා රැගෙන ඒම විශේෂ සිද්ධියක් ලෙස සදහන් වේ.


ලැන්කැෂයර් ප‍්‍රාන්තයේ උපත ලැබූ ෆ‍්‍රෑන්ක් ටයිසන් නොදම්ප්ටන්ෂයර් ප‍්‍රාන්ත පිල වෙනුවෙන් තරග 170 කදී කඩුලූ 525 ක් දවාගනෙ තිබේ. ඔහු ටෙස්ට් තරග 17 කදී කඩුලූ 76 ක් දවා ගැනීමට සමත් විය.


වයස 30 දී ආබාධයක් හේතුවෙන් ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා ටයිසන් මහතා  ඕස්ටේ‍්‍රලියාවේදී විදුහල්පතිවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹිය. ඒ මහතා ක‍්‍රිකට් පුහුණුකරුවකු, විස්තර විචාරකයකු, මාධ්‍යවේදියකු සහ ලේඛකයකු ලෙස ද කටයුතු කළේය.


ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඞ් මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ටයිසන් මහතා එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස සදා මතකයේ රැඳෙන බවයි.


”ඒ මහතා  ඕස්ටේ‍්‍රලියාව තුළ ක‍්‍රිකට් විස්තර විචාරකයකු සහ ක‍්‍රිකට් ලේඛකයකු ලෙස ද විශිෂ්ට සේවයක් කළා” යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.  


-048

සිසිරයේ ඇරඹෙන තරගාවලිය නවකයන්ට වැදගත් – කළුවිතාරණ

සිසිර සෘතුවේදී ආරම්භ වන ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නවසීලන්ත සංචාරය කණ්ඩායමේ නවක කී‍්‍රඩකයන්ට බෙහෙවින් වැදගත් වනු ඇතැයි ශී‍්‍ර ලංකා ‘ඒ’ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ පවසයි.


නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම ස`දහා අෂාන් ප‍්‍රියංජන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද (28) අළුයම නවසීලන්තය බලා පිටත්ව ගියේය.


ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතා පැවසුවේ මෙම නවසීලන්ත සංචාරය නවක ක‍්‍රීඩකයන්ට ඉතාමත් වැදගත් බවයි.   


”ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ දැන් සිටින කී‍්‍රඩකයන්ට නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව තරග කිරීමේ අවස්ථාව ලැබෙන්නේ පළමු වරටයි. ඒ වගේම ශීත සෘතුව අවසන් වෙනවාත් සමඟයි අපි නවසීලන්තයට යන්නේ… එය ක‍්‍රීඩකයන්ට අලූත් අත්දැකීමක්”


”ක‍්‍රිකට් වගේම ක‍්‍රීඩකයන්ට සීතල සහ ඒ වගේ සුළඟ පිළිබ`දව අත්දැකීමක් ලබා ගන්න හැකි වෙනවා. විශේෂයෙන් නවක ක‍්‍රීඩකයන්ට හො`ද අවස්ථාවක් ලැබෙනවා. එහෙට ගියාම තමයි බලන්න වෙන්නේ මොන වගේ තත්ත්වයක් ද තියෙන්නේ කියලා” යයිද රොමේෂ් කළුවිතාරණ මහතා පැවසීය.


”නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට හො`ද ක‍්‍රීඩකයන් රැුසක් ක‍්‍රීඩා කරනවා. අපි ඒ ස`දහා හො`දට සූදානම් වුණා”


”මම හිතනවා අපිට මෙය හො`ද සංචාරයක් වෙයි කියලා. මම හිතනවා ක‍්‍රීඩකයෝ ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගනී කියලා. එයින් දැන ගතහැකි අපි මොන තත්ත්වයේ ඉන්නවද කියලා” යැයි කළුවිතාරණ මහතා වැඩි දුරටත් පැවසීය.


ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායක අෂාන් ප‍්‍රියන්ජන් පැවසුවේ මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම සමබර එකක් බවයි.


‘‘මම තරගාවලියේදී සිවුදින තරග දෙකක්, එක්දි තරග හතරක් සහ පුහුණු තරග දෙකකටත් අපි සහභාගි වෙනවා. තරගාවලියේ අභියෝගයට මුහුණදීමට හො`දින් පුහුණුවීම් කළා. මම හිතනවා සාර්ථක සංචාරයක් වෙයි කියලා’’


‘‘සමබර කණ්ඩායමක් ලැබී තිබෙනවා. මේ කණ්ඩායමේ අත්දැකීම් තිබෙන ක‍්‍රීඩකයෝ ඒ වගේම නවක ක‍්‍රීඩකයෝ ඉන්නවා’’ යැයි අෂාන් වැඩි දුරටත් පැවසීය.


සිව්දින තරගවලට පමණක් සහභාගි වන ක‍්‍රීඩකයන් ලබන මස 12 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත් යෑමට නියමිතය.


ශ‍්‍රී ලංකා ‘ඒ’ සංචිතය (එක්දින තරග)

අෂාන් ප‍්‍රියංජන් (නායක), ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, කිත්රුවන් විතානගේ, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, චාමර කපුගෙදර, ළහිරු මධුසංඛ, චතුරංග ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ, ළහිරු ගමගේ, කසුන් රාජිත, බිනුර ප‍්‍රනාන්දු සහ නිසල තාරක  

 

පාකිස්තානුවෝ වි:20 න් ඉහළ නගිති

පකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ හරාරේ නුවරදී ඊයේ (27 දා) පැවැති පළමු තරගයෙන් ලකුණු 13 ක ජයක් ලැබූ පකිස්තානය ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.


මේ වසරේදී පකිස්තානය සහභාගි වූ හය වැනි විස්සයි විස්ස තරගය මෙය වූ අතර එහිදී පිට පිටම ජයගත් පස්වැනි තරගය මෙය වේ. වසර ආරම්භයේදී විස්සයි විස්ස ශ්‍රේණියේ හය වැනි ස්ථානයේ සිටි පකිස්තානුවන් මෙම ජයග‍්‍රාහී රැුල්ලත් සමග ප‍්‍රසාද ලකුණු 121 ක් ලබා තිබේ. පකිස්තානුවන් අදාළ ශ්‍රේණියේ දෙවැනි වන්නේ ප‍්‍රසාද ලකුණු 126 ක් ලබා සිටින ශ‍්‍රී ලංකාවට පමණි.


පසුගිය අපේ‍්‍රල් මාසයේ බංග්ලාදේශයේදී කඩුලූ හතක පරාජයක් ලැබූ පකිස්තානුවන් අනතුරුව සිම්බාබ්වේට එරෙහිව තරග දෙකක් සහ ශී‍්‍ර ලංකාවට එරෙහිව තරග දෙකක් ජය ගනිමින්, සිම්බාබ්වේ බලා පිටත් වූයේ කලගුණ සැලකීමේ තරගාවලියකට සහභාගි වීම සඳහාය.


කිසිම රටක ජාතික කණ්ඩායමක් පකිස්තානයේ තරග නොකිරීමට තීරණය කර තිබියදී සිම්බාබ්වේ කණ්ඩායම ඉකුත් මැයි මස පකිස්තානයට ගොස් එක්දින තරගාවලියකට සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි විය. එම තරගාවලියට සිම්බාබ්වේ පැමිණීම හේතුවෙන් පකිස්තානුවන් මෙම සංචාරයට සහභාගි වීමට එකගත්වය පළ කර තිබුණි.


පකිස්තාන් නායක සහිඞ් අෆ්රීඩි කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තද ඔවුන්ට ලබාගත හැකිවූයේ කඩුලූ අටක් අහිමිව ලකුණු 136 ක් පමණි.


විස්සයි විස්ස තරගයකදී පකිස්තානයට එරෙහිව කිසිදු ජයග‍්‍රහණයක් නොලද සිම්බාබ්වේ පිතිකරුවන්ට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දු 25 දී කඩුලූ තුනක් අතැතිව ලකුණු 47 ක් ලබා ගැනීමට තිබුණි. එහිදී ඔවුන්ට ලබාගත හැකිවූයේ කඩුලූ 2 ක් දැවී යන විට ලකුණු 33 ක් පමණි. සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග‍්‍රාහී සිහිනය බොඳ කර දැමූ 26 හැවිරිදි වමත් දග පන්දු යවන්නා වූ ඉමාඞ් වසීම් ලකුණු 11 කට කඩුලූ 4 ක් බිද දැමුවේය. දුවද්දී දවා ගැනීම් දෙකකට දායක වූ ඉමාඞ් අභියෝගයකින් තොරවම තරගයේ වීරයා සම්මානයට පාත‍්‍ර විය.


සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලූ පහ ලකුණු 66 කට දැවී යද්දී ඉන් කඩුලූ හතරකම අයිතිකරුවා වූ ඉමාඞ් වසීම් පකිස්තානු විස්සයි විස්ස කි‍්‍රකට් ඉතිහාසයේ හයවැනි හොඳම පන්දු යැවීම සටහන් කළේය. කෙසේ වෙතත් ඉමාඞ් මෙම තරගයට සහභාගි වීමට පෙර සහභාගි වූ විස්සයි විස්ස තරග තුනකදී ලබා තිබුණේ කඩුල්ලක් පමණි.


පකිස්තානු ඉනිමේ පළමු කඩුලූ තුන ලකුණු 29 දී දැවී ගියද පළමුව දැවී ගිය  පිතිකරුවා වූ අහමඞ් ෂෙශාඞ් මිනිත්තු 20 කදී මුහුණ දුන් පන්දු 19 න් හතරේ පහර තුනක් සමග ලකුණු 17 ක් ලබා ගත්තේය.


අංක හතර පිතිකරු ලෙස පැමිණි ෂොයිබ් මලික් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමග කණ්ඩායමේ වැඩිම ලකුණු (35) ලාභියා ලෙස පස්වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් වන විට පකිස්තානු ලකුණු පුවරුව පන්දු  ඕවර 14.2 කදී ලකුණු 87 ක් ලෙස සටහන් විය.


පකිස්තානුවන්ගේ කඩුලූ රකින්නා වූ මොහොමඞ් රිස්වාන් අංක හය පිතිකරු ලෙස පැමිණ පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 33 ක් ලබා ගනිද්දී අංක හත පිතිකරුවා වූ ඉමාඞ් වසීම් පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 19 ක් ලබා නොගන්නට තරගයේ තීරණය වෙනස් කිරීමට සිම්බාවේ පිතිකරුවන්ට හැකියාවක් තිබුණි.


පකිස්තාන් නායක සහිඞ් අෆ්රීඩි අංක අට පිතිකරු ලෙස පැමිණියද ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු දෙකක් පමණි. පන්දු යැවීමේදීද අසාර්ථක වූ අෆ්රීඩි යවන ලද පන්දු  ඕවර තුනේදී ලකුණු 23 ක් ලබා ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත් වූහ.


පකිස්තාන් පන්දු යවන්නන්ට සටනක් දුන් ආරම්භක පිතිකරු හැමිල්ටන් මස්කඞ්සා පන්දු 25 කදී හතරේ පහර දෙකක් සමග ලකුණු අතරට පැමිණෙමින් සිටියදී සිව්වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් විය. ඉන්පසු සිම්බාබ්වේ ලකුණු පුවරවට කැපී පෙනෙන දායකත්වය සැපයූ නායක එල්ටන් චිගුම්බුරා පන්දු 28 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමග කණ්ඩායමේ වැඩිම ලකුණු (31) ලාභියා වෙමින් තමාගේ පිල ජයග‍්‍රහණය පෙනෙන නොපෙනන තරම් දුරකට ගෙන ආවේය.


චිගම්බුරා අවසන් පන්දු  ඕවරයේ පළමු පන්දුවෙන් දැවී යාමට පෙර සිම්බාබවේට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දු හයෙන් ලකුණු 16 ක් ලබා ගත යුතුව තිබුණි. එහිදී චිගුම්බුරා නව වැනි කඩුල්ල ලෙස 20 වැනි පන්දු  ඕවරයේ පළමු පන්දුවටම දුවද්දී දැවී ගියේය.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය ලබන 29 වැනිදා හරාරේ නුවරදී පැවැත්වේ.


පකිස්තානය පන්දු  ඕවර 20 කදී කඩුලූ 8ට ලකුණු 136 යි.
(අහමඞ් ශේෂාඞ් 17, ෂොයිබ් මලික් 35, උමාර් අක්මාල් 14, මොහොමඞ් රිස්වාන් නොදැවී 33, ඉමාඞ් වසීම් 19, චමූ චිබාබා 18/3 යි)


සිම්බාබ්වේ පන්දු  ඕවර 20 කදී කඩුලූ 9ට ලකුණු 123 යි.
(හැමිල්ටන් මස්කඞ්ෂා 25, සීන් විලියම්ස් 14. එල්ටන් චිගම්බුරා 31, ඉමාඞ් වසීම් 11/4 යි)

 

- 033

 

මූවර්ස් – ද්‍රවිඩ සංගමය සම ශූරතාව දිනති

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ සම ශූරතාවය දිනාගැනීමට මූවර්ස් ක‍්‍රීඩා සමාජය සහ ද්‍රවිඩ සංගම් පිල සමත්වූහ. දෙපිල අතර අවසන් මහ තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස  ක‍්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) අවසන් විය.

 

කාසියේ වාසිය දිනු ද්‍රවිඩ සංගම් පිල මුලින්ම පන්දුවට පහරදීමට මූවර්ස් ක‍්‍රීඩා සමාජයට ආරාධනා කළ අතර ඔව්හු ලකුණු 210 ක් රැස්කිරීමට සමත්වූහ. සංගීත් කුරේ අර්ධ ශතකයක් (95) ලබා ගත්තේය.

 

ද්‍රවිඩ සංගම් පිල පළමු දිනය නිමාවන විට පළමු ඉනිමට කිසිවකු නොදැවී ලකුණු 26 ක් ලබා සිටි අතර දෙවැනි දිනය පුරා වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ක‍්‍රීඩා කිරීමට නොහැකි විය.

 

තෙවන දිනයේදී නියමිත වේලාවට තරගය ආරම්භ කළද වර්ෂාව ඇද හැලීම හේතුවෙන් යැවීමට හැකිවූයේ  ඕවර් 12 ක් පමණි. එහිදී කඩුල්ලක් බිදවැටී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 68 ක් පමණි.

 

මූවර්ස් ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම –  ඕවර 64.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 210
(සංගීත් කුරේ 95, ගිහාන් නිම්සර 25, දිල්ශාන් රණසිංහ 24, ශානුක දුලාජ් 23, ප‍්‍රමෝද් ලියනගමගේ 27/3, ඩෙවින් පත්මනාදන් 27/2, පුලින තරංග 50/2)

 

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම –  ඕවර 25.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 68
(පබසර වඩුගේ නොදැවී 32, ඉමල් ලියනගේ නොදැවී 19)

මූවර්ස් 210 ද්‍රවිඩ සංගමය 0/26

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ අවසන් තරගය මූවර්ස් ක‍්‍රීඩා සමාජය සහ ද්‍රවිඩ සංගම් පිල අතර අද (25 වැනිදා) ආර්. පේ‍්‍රමදාස  ක‍්‍රීඩාංගණයේදී ආරම්භවූ අතර වර්ෂාව හේතුවෙන් දිනය නිමාකරනවිට ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිමට කිසිවකු නොදැවී ලකුණු 26 ක් ලබා සිටියේය.

 

කාසියේ වාසිය දිනු ද්‍රවිඩ සංගම් පිල මුලින්ම පන්දුවට පහරදීමට මූවර්ස් ක‍්‍රීඩා සමාජයට ආරාධනා කළ අතර ඔව්හු ලකුණු 210 ක් රැුස්කිරීමට සමත්වූහ. සංගීත් කුරේ අර්ධ ශතකයක් (95) ලබා ගත්තේය.

 


මූවර්ස් ක‍්‍රීඩා සමාජය – පළමු ඉනිම – ඕවර 64.1 කදී සියලූ දෙනා දැවී 210
(සංගීත් කුරේ 95, ගිහාන් නිම්සර 25, දිල්ශාන් රණසිංහ 24, ශානුක දුලාජ් 23, ප‍්‍රමෝද් ලියනගමගේ 27/3, ඩෙවින් පත්මනාදන් 27/2, පුලින තරංග 50/2)

 

ද්‍රවිඩ සංගම් පිල – පළමු ඉනිම –  ඕවර 12.3 කදී කිසිවකු නොදැවී 26