හදවත් දිනාගත් නවසීලන්ත කී‍්‍රඩකයෝ

 

ඕස්ටේ‍්‍රලියානුවෝ පස්වැනි වතාවටත් ලෝක කුසලානය දිනාගත්හ. එහෙත් නවසීලන්තය කි‍්‍රකට් ලෝලීන්ගේ හදවත් දිනාගත්තේය. ලෝ පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත කි‍්‍රකට් ලෝලීන්ගේ හදවත් තුළ නවසීලන්ත ලකුණ සටහන් කරන ලද්දේ ග‍්‍රාන්ට් එළියට් විසිනි.

 

කි‍්‍රකට් කී‍්‍රඩාවේ ගෙළ, ව්‍යාපාරිකයන්ගේ තොණ්ඩුවට සිරවී ඇතැයි දෝෂාරෝපණය කරමින් මහත්වරුන්ගේ කී‍්‍රඩාවෙන් ඉවත්ව ගියෝ ආපසු කි‍්‍රකට් පිටිය දෙස හැරී බැලූහ. ඒ ග‍්‍රාන්ට් එළියට් ඇතුළු බ්‍රෙන්ඩන් මැකලම්ගේ නවසීලන්ත කණ්ඩායම නියම මහත්වරුන්ගෙන් සමන්විත වූ නිසාය.

 

දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුව හතරේ සීමාවට ඉහළින් නරඹන්නන් අතරට යවමින්, දකුණු අපි‍්‍රකානුවන්ගේ අවසන් තරගයේ සිහිනය දියකර දැමූ ග‍්‍රාන්ට් එළියට් ජයග‍්‍රහණයෙන් උදම්වීම පසෙක තිබියදී පරාජිතයාගේ අතින් අල්ලා නැ`ගිටුවීම නිසා ලෝකයා කි‍්‍රකට් කී‍්‍රඩාව දෙස අලූත් ඇසකින් බලන්නට පටන්ගත්තේය.

 

උපතින් දකුණු අපි‍්‍රකානුවකු වන ග‍්‍රාන්ට් එළියට් පළමුවෙන්ම නියෝජනය කළේ දකුණු අපි‍්‍රකාවේ ට‍්‍රාන්ස්වාල් කණ්ඩායමයි. පසුව දකුණු අපි‍්‍රකානු 19 න් පහළ පිල වෙනුවෙන්ද කී‍්‍රඩා කළ එළියට් වසර 2001 දී දකුණු අපි‍්‍රකාවෙන් ඉවත්ව නවසීලන්තය බලා ගියේ තමන්ගේ කි‍්‍රකට් සිහිනය වඩාත් සුන්දර කරගැනීමේ අටියෙනි.

 

නවසීලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරග බිමට පිවිසියද තමන්ගේ නිජ බිම වන දකුණු අපි‍්‍රකාව පිළිබඳ හටගත් ස්වභාවික දේශපේ‍්‍රමයේ ඡුායාව එළියට්ගේ සිත තුළින් මැකී ගොස් නොතිබිණ. දකුණු අපි‍්‍රකාව පරාජය කරමින් එළියට් ගැසූ හයේ පහරින් පන්දුව නරඹන්නන් වෙත ඉගිළ යද්දී නොසිතූ නොපැතූ ආකාරයෙන් වැදුණු පහරින් වේදනාවට පත් ඬේල් ස්ටේන් පිටිය මත ඇද වැටී හිස අත් බදාගත්තේය.

 

ඕක්ලන්ඞ් කී‍්‍රඩාංගණය ජයග‍්‍රහණයේ උන්මාදයෙන් ඇළලී යද්දී ඬේල් ස්ටේන් වෙත ගිය එළියට් පන්දු යවන්නාගේ අතින් අල්ලා ඔහු නැගිටුවමින් සැනසුම් බස් කීවේය. එම අවස්ථාව ඡයාරූපයට නැගූ ගෙටී ඉමේජස් ඡයාරූප ශිල්පිනි හැනා පීටර්ස් මෙම සිදුවීමෙන් අනුයාතව සිදුවූ තවත් සිදුවීම් වැලක්ම ඡයාරූපයට නැගුවාය.

 

හැනා වාඩිවී සිටියේ ඊඞ්න් උද්‍යාන කී‍්‍රඩාංගණයේ උතුරු අන්තයේ තරමක් උස ඇති තැනකය. මේ වන විට ලොව අංක එකේ වේග පන්දු යවන්නා වූ ඬේල් ස්ටේන් පන්දු යැවීමට දිව එන ආකාරය කැමරා කාචයට හසුකරගනිමින් සිටි හැනා, පන්දු යවන්නාගෙන් කාචය ඉවතට නොගනිමියි සිතා සිටියාය.

 

”ඒ හැමදේම වුණේ ඇසිපිය ගහන පමාවෙන්”

 

”මම දිගටම ස්ටේන් දෙස බලා හිටියා. කළකිරුණු ස්ටේන් තමන්ගේ මැණික් කටුවේ දමාගෙන සිටි දහදිය උරාගන්නා පටිය ගළවා වීසි කළා..ඒ එක්කම වාගේ එළියට් මගේ රාමුවට ආවා. ඇවිදින් ස්ටේන්ගේ අතින් අල්ලා එසවූවා” යයි හැනා පීටර්ස් කියා සිටියාය.

 

වසර 2001 සිටම කී‍්‍රඩා ඡයාරූප ගැනීම සිය වෘත්තිය කරගත් හැනා පීටර්ස් කියන්නේ තමන් ඊට පෙර කිසිදා දැක නොතිබූ උද්වේගකර තත්ත්වයක් එදින ඊඞ්න් උද්‍යාන පිටියේ පැවැති බවයි. තිබුණේ නම් ඒ 2011 දී රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගය බවත් ඈ කීවාය.

 

”ඒත් මේ තරගය  විශේෂයි. මොකද නවසීලන්ත පිල ජයගනීවි කියලා ඒ තරම් විශ්වාසයක් වැඩි දෙනාට තිබුණේ නෑ”

 

”මේ තරගය පුරාම, කණ්ඩායම් දෙකම, එකිනෙකාට පුදුමාකාර විදිහට ගෞරව කළා. ඒ වගේ දෙයක් කැමරා කාචයට හසුකරගෙන ලෝ පුරා බෙදා හරින්න ලැබුණ එක හරිම හොඳයි” යයි හැනා පීටර්ස් කියා සිටියාය.

 

නවසීලන්ත කී‍්‍රඩකයන් සෑම දෙනාම පාහේ ජයග‍්‍රහණයෙන් උදම්ව මිට මොළවාගත් දෑත් දෙපසට වීසි කළ නමුත් ඒස මගම වාගේ දකුණු අපි‍්‍රකානුවන් සැනසීමට ඉදිරිපත් වූ අයුරුද දැකගන්නට ලැබිණ. පාංශූ දේහධාරී වේග පන්දු යවන්නකු වන මෝර්නි මෝකල් පිටියේ බිම වාඩිවී හඬමින් සිටියේ රසකැවිලි පාර්සලයක් අහිමි වූ කුඩා දරුවකු පරිද්දෙනි.

 

තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡවේදීත් එළියට් කියා සිටියේ දකුණු අපි‍්‍රකානුවන් පිළිබඳ තමන් කණගාටු වන බවයි.  

 

”එක හරිම ආශ්වාදජනක හැගීමක්. සෙනග දෙස බැලූවාම ඔවුන් කොයි තරම් සතුටු වෙනවාද, අපි අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා නේද කියා මට හිතුණා”

 

”ඒත් දකුණු අපි‍්‍රකාව ගැන දුකකුත් ඇතිවුණා. විශේෂයෙන්ම මට ඔහු (ඬේල් ස්ටේන්) ගැනත්, අනෙක් කී‍්‍රඩකයන් ගැනත් විශාල දුකක් ඇතිවුණා” යයි පැවසූ එළියට්..

 

”ඒක අපට වුණත් වෙන්න තිබුණා….සමහරවිට අන්තිම පන්දු දෙක මගහැරුණා නම් මටත් ඒ ඉරණමම අත්වෙන්න තිබුණා” යයිද පැවසීය.

 

 

- අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවිය ඇසුරිනි

හිමේෂ්ගේ පෙරමුණ සචින්ට

බාටා – සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2015) පස්වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ඡුන්ද 1620 ක් ලබා සිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු සමත් විය. සිව්වැනි සතිය නිමාවන විට ඡන්ද සටහනේ හයවැනි ස්ථානයේ පසු වූ ඔහු, ඉතුක් සතිය තුළදී ලබාගත් ඡන්ද 839 ත් සමගින් මෙලෙස ඉදිරියට පැමිණ තිබේ.

 

ඒ සමගම ආරම්භයේ සිට සිව්වැනි සතිය අවසන් වන තෙක් ඡන්ද සටහනේ පෙරමුණේ රැදීසිටි පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ රංගනාත්, දෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබේ. මේ වන විට ඔහු ඡන්ද 1431 ක් ලබා සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡුන්ද සංඛ්‍යාව 244 කි.

 

කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡන්ද 1420  ක් සහ කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් ඡන්ද 1096 ක් බැගින් ඡන්ද 1000 කට වඩා වැඩියෙන් ලබාගෙන පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවෙති.  

 

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 748 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 329 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ. ගෙවී ගිය සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 296 ක් ලබාගෙන ඇති අතර උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 79 ක් පමණි.

 

ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡුන්ද 99 ක් ලබා අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවේ. ඔහු හැරුණුකොට එම කාණ්ඩයේ වෙනත් කිසිදු කී‍්‍රඩකයකු තවමත් ඡන්ද ලබාගැනීමට සමත්ව නැත.

 

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා පාසල ඡන්ද
සචින් දල්පදාදු      කොළඹ ශාන්ත පීතර විදුහල   1620
හිමේෂ් රංගනාත්  පානදුර රාජකීය විදුහල 1431
අරවින්ද අකුරුගොඩ කොළඹ ශාන්ත ජොෂප් විදුහල 1420
රන්දේව් පතිරණ කොළඹ රාජකීය විදුහල 1096
පැතුම් මධුෂාන් කොළඹ ශාන්ත ජොෂප් විදුහල 989
චරිත් අසලංක   ගාල්ල රිච්මන්ඞ් විදුහල 836
ශෙහාන් වීරසිංහ  මරදාන සහිරා විදුහල 749
ලක්ෂාන් රුද්‍රිගු කොළඹ ශාන්ත පීතර විදුහල 708
හරිත් සමරසිංහ  කොළඹ රාජකීය විදුහල   653
රවීන් සේයර්   මහනුවර ති‍්‍රත්ව විදුහල  596
සවිඳු කොළඹගේ මීගමුව මාරිස්ටෙලා විදුහල 546
වනිඳු හසරංග ගාල්ල රිච්මන්ඞ් විදුහල  409
තිමිර ජයසිංහ කොළඹ තර්ස්ටන් විදුහල  397
නිපුන් අමරසිංහ කොළඹ නාලන්දා විදුහල 297
දිනේත් නවෝද්‍ය   කොළඹ ශාන්ත පීතර විදුහල    270
නිපුන් සමරසිංහ කොළඹ ශාන්ත ජොෂප් විදුහල 253
හංසමාල් පෙරේරා ශාන්ත සිල්වෙස්ටර් විදුහල  228
නිපුන් ගමගේ   ශාන්ත තෝමස් විදුහල   178
ප‍්‍රභාත් කැප්පැටිපොළ    කුරුණෑගල මලියදේව විදුහල 177
කණිෂ්ක උක්ගල්යාය ශා. අන්තෝනි විදුහල 157
තරිඳු රත්නායක ශාන්ත තෝමස් විදුහල 127
සම්මු අශාන් කොළඹ ආනන්ද විදුහල 113
සහන් ආරච්චිගේ කොළඹ ආනන්ද විදුහල     101
තනීෂ වීරකෝන්   කොළඹ ශාන්ත පීතර විදුහල 98
ලසිත් ඇඹුල්දෙණිය     කොළඹ රාජකීය විදුහල    61
විනූ මෙහොට්ටි     කොළඹ ශාන්ත පීතර විදුහල 47

 

නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා     පාසල    ඡන්ද
නිපුන් මාලිංග     ගාල්ල විද්‍යාලෝක විදුහල 748
උදිත් දිල්සර     මීගමුව ශාන්ත පීතර විදුහල 329

 

අන්තර් ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා     පාසල    ඡන්ද
ශිම්රාස් ශාහිල් ඇලීතියා ජාත්‍යන්තර පාසල    99

 

කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රහකයෝ
1 මේනකා රුවන්ති, දුංකොල කොටුව, ඉඹුල්ගොඩ, බදුල්ල
2 නිරෝෂන් ප‍්‍රනාන්දු, 136/64 ඞී 1, ශ්‍රී ප‍්‍රඥ්ඥාලෝක මාවත, කවුඩාන, දෙහිවල
3 එස්. එස්. අයි. ක‍්‍රිෂාන්ති, 519, නුවර පාර, මීවතුර, පේරාදෙණිය
4 අනුරාධ මායාදුන්නේ, 45/1, මිහිඳු මාවත, මාලබේ

ඕස්ටේ‍්‍රලියානුවෝ ලෝක කුසලාන දිනති


ලකුණු 184 ක පහසු ඉලක්කයක් හඹා ගිය  ඕස්ටේ‍්‍රලියානුවෝ මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී නවසීලන්ත පිල කඩුලූ 7 කින් පරාජය කරමින් 2015 ලෝක කුසලාන දිනාගත්හ.

 

ඕවර 33.1 කදී කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 186 ක් ලබාගත්  ඕස්ටේ‍්‍රලියානු පිල විසින් ලෝක කුසලාන දිනාගන්නා ලද පස්වැනි අවස්ථාව මෙයයි.

 

මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ නව පේ‍්‍රක්‍ෂක වාර්තාවක් පිහිටුවමින්, තරගය නැරඹීම සඳහා පැමිණි 93,013 ක ජනකායක් ඉදිරියේ දිගහැරුණු සිය අවසන් එක්දින ඉනිමේදී ඉතාමත් අලංකාර පිතිහරඹයක නිරත වූ  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පන්දු 72 කින් අලංකාර ලකුණු 74 ක් ලබාගත්තේ හතරේ පහර 10 කින් සහ දර්ශනීය හයේ පහරකින් එය සරසාලමිනි.

 

පිතිකරු හමුදාවකින් සමන්විත  ඕස්ටේ‍්‍රලියානු පිල හමුවේ නවසීලන්ත පිලට රැුකගත යුතුව තිබුණේ ලකුණු 183 වැනි සොච්චමකි.

 

ඕස්ටේ‍්‍රලියානු පිලේ පළමු කඩුල්ල ලකුණු 2 දී බිඳ වැටුණ නමුත් ඬේවිඞ් වෝනර් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ස්ටීවන් ස්මිත්, ඕස්ටේ‍්‍රලියානු නායකයා වූ මයිකල් ක්ලාක් සමග එක්ව ඇතිකරගත් සම්බන්ධතාව ලකුණු 112 ක් විය. ජයග‍්‍රහණයට ලකුණු 9 ක් මැතින් සිටියදී අනපේක්‍ෂිත ලෙසින් මයිකල් ක්ලාක් දැවීගියේ මැතිව් හෙන්රි විසින් යවන ලද පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

 

මෙම තරගයත් සමගම මයිකල් ක්ලාක් එක්දින තරග බිමෙන් සමුගත් අතර කී‍්‍රඩාගාරයට යද්දී සිය පිත්ත ඔසවා පේ‍්‍රක්‍ෂකයන්ට ආචාර කළ ක්ලාක්ට කණ්ඩායමේ සගයින්ගෙන් මෙන්ම නවසීලන්ත කී‍්‍රඩකයන්ගෙන්ද උණුසුම් සුබපැතුම් ලැබිණ.

 

ලෝක කුසලාන තරගාවලිය පුරාම අති විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 402 ක් ලබාගත් ස්ටීවන් ස්මිත් තරග 8 කදී පස්වැනි වතාවටත් අර්ධ ශතකයේ  සීමාව පසුකර යමින් නොදැවී ලකුණු 56 ක් ලබාගත්තා පමණක් නොව  ඕස්ටේ‍්‍රලියානු පිලේ ජයග‍්‍රාහී හතරේ පහර ගැසීමේ වාසනාවන්තයාද විය.

 

තරග 8 කට සහභාගි වෙමින් කඩුල්ලක් වෙනුවෙන් ලකුණු 10.18 ක සාමාන්‍යයක් සහිතව කඩුලූ 22 ක් දවාගත්  ඕස්ටේ‍්‍රලියාවේ වමත් වේග පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. නවසීලන්ත පිලේ ඉදිරි පෙළ කඩුලූ 3 ක් ලකුණු 36 කට දවාගත් ජේම්ස් ෆෝක්නර් තරගයේ වීරයා විය.

 

පළමු තරගයේ සිටම එක දිගට තරග 8 ක් ජයගනිමින් නවසීලන්ත කණ්ඩායම වසර 40 කට පසුව ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් නමුත් අවසන් මහ තරගය පමණක් පරාජය විය.

 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත පිලේ පළමු පිතිකරුවෝ තිදෙනාම ලකුණු 39 කට දැවී ගියහ. රොස් ටේලර් (40) සහ ග‍්‍රාන්ට් එළියට් (83) දෙදෙනාගේ සටන්කාමී පිතිහරඹය නිසා නවසීලන්ත පිල බලාපොරොත්තු අලූත් කරගත් නමුත් පිතිකරු අධිවේගී  ඕවර 5 දී ලකුණු 15 කට කඩුලූ 3 ක් දවාගත්  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ නැවතත් තරගයට කඩා වදිමින් නවසීලන්ත ඉනිම ලකුණු 183 කට සීමා කළහ.

 

නවසීලන්ත පිලේ මුල් කඩුලූ තුනම ලකුණු 39 කට බිඳ වැටුණද සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක් එක්කළ ටේලර් සහ එළියට් දෙදෙනා නවසීලන්ත පිල වෙනුවෙන් බලාපොරොත්තු ගොඩනැංවීම ආරම්භ කළහ. එහෙත් පිතිකරුවන්ගේ අධිවේගී ඕවර 5 ආරම්භ කරමින් යැවූ පළමු පන්දුවේදීම රොස් ටේලර් දැවී යාමත් නවසීලන්ත පිලේ අවසන් නම්දැරූ පිතිකරුවා වන ලූක් රොන්කි ආපසු කී‍්‍රඩාගාරයට යාමත් අතර යැවුණේ පන්දු 7 ක් පමණි.

 

වරෙක කඩුලූ 3 කට ලකුණු 150 ක් සේ දිස්වූ ලකුණු පුවරුව, රොස් ටේලර්ගේ දැවී යාමත් සමගින් එකතැන කඩා වැටිණ. නවසීලන්ත පිලේ අවසන් කඩුලූ හතම ලකුණු 23 ක් ඇතුළතදී ඇද වැටිණ.

 

පිතිකරුවන්ගේ අධිවේගී  ඕවර යැවීම ආරම්භ කරමින් ජේම්ස් ෆෝක්නර් විසින් යවන ලද පළමු පන්දුවට රොස් ටේලර් දුන් උඩපන්දුව ඉතාමත් දක්‍ෂ අයුරින් රැකගැනීමට බ‍්‍රැඞ් හැඩින් සමත් වූවත් පන්දු යවන්නාගේ වාසියට තීන්දුව ලැබුණේ විනිසුරු කුමාර් ධර්මසේන විසින් තුන්වැනි විනිසුරුවරයාගේ සහායද ලබාගත්තාට පසුවය.

 

නවසීලන්ත පසුපෙළ මහත් බලාපොරොත්තු රඳවා සිටි කෝරි ඇන්ඩසන් මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම දවාගැනීමට ෆෝක්නර් සමත් වූ අතර ඊළග  ඕවරයේ දෙවැනි පන්දුව ලූක් රොන්කිගේ පිත්තේ ගැටී ස්ලිප් හි සිටි මයිකල් ක්ලාක් අත පත්වූයේ තරගය එකතැන ආපසු හරවමිනි.

 

ඒ වන විට පිටියේ තනිවී සිටි ග‍්‍රාන්ට් එළියට් හුදෙකළා සටනක නිරත වෙමින් ලකුණු 79 ක් දක්වා ප‍්‍රවේසමෙන් ගිය නමුත් ඩැනියෙල් විටෝරි දැවී යාමත් සමගම තනිවම ගමන් ඇරඹීය. එහෙත් එතැන් සිට ඔහුට යා හැකි වූයේ ලකුණු 4 ක දුරක් පමණි.

 

පන්දු 82 කට මුහුණ දුන් ග‍්‍රාන්ට් එළියට් හතරේ පහර 7 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළද පසුපෙළ පිතිකරුවන්ගෙන් සහයෝගයක් නොමැති වීම හේතුවෙන් නවසීලන්තය වෙනුවෙන් ඔහුට කළ හැකිව තිබූ මෙහෙවර අපතේ ගියේය.

 

තරගය ආරම්භයේදීම පිතිකරුවන් දමනය කරගත්  ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නෝ නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ට ලකුණු ලබාගන්නට අවසර නොදී පන්දු 3 ක් ඇතුළත දවාගැනීමට සමත් වූහ. කිසිවකු අපේක්‍ෂා නොකළ මොහොතක (12 වැනි  ඕවරයේදී) ග්ලෙන් මැක්ස්වෙල් පන්දු යැවීමට කැඳවූ  ඕස්ටේ‍්‍රලියානු නායකයා, දග පන්දු යවන්නාගේ දෙවැනි පන්දුවෙන්ම මාටින් ගප්ටිල් දවාගත්තේය.

 

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළද එයින් නිසි ප‍්‍රතිඵල ලබාගැනීමට නවසීලන්ත පිතිකරුවන් අසමත් වූයේ ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ගේ සැලසුම් සහගත පන්දු යැවීමත්, නායක මයිකල් ක්ලාක්ගේ විචක්‍ෂණ පන්දු යවන්නන් මෙහෙයවීමත් හේතුවෙනි.

 

ඕස්ටේ‍්‍රලියානු පිලේ වමත් වේග පන්දු යවන්නන් තිදෙනා වන මිචෙල් ස්ටාක්, මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆෝක්නර් තිදෙනා කඩුලූ 8 ක් බෙදාගත්හ.

 


අවසන් තරගයේ වීරයා : ජේම්ස් ෆෝක්නර් ( ඕස්ටේ‍්‍රලියාව)
තරගාවලියේ වීරයා : මිචෙල් ස්ටාක් (ඕස්ටේ‍්‍රලියාව)

 

 

 

 

චන්දිමාල් – තිරිමාන්න – දිමුත් වෙනසක් කරනවා

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න ඉදිරි වසර කීපයේදී ලෝක එක් දින පිටියේ කැපී පෙනෙන ක‍්‍රීඩකයින් බවට පත්වෙනු ඇතැයි ශී‍්‍ර ලංකාවේ හිටපු එක්දින ක‍්‍රීඩක කුමාර් සංගක්කාර සඳහන් කරයි. ක‍්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්නද නිදහසකින් මෙන්ම රිද්මයකින් පහරදෙන කී‍්‍රඩකයෙතු බවද එක්දින පිටියේ නැගී එන කී‍්‍රඩකයෙකු බවට පත්වෙනු ඇතැයි ද සංගා පවසයි.

 

ඊළඟ වසර කීපයේදී එක්දින පිටියේ කැපී පෙනෙන කී‍්‍රඩකයන් කවුරු වේදැයි නැගුණු ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ අදහස් දැක්වීය.

 

ඔවුන් තිදෙනාට අමතරව නවසීලන්තයේ විලියම්සන්, ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත්, මෙන්ම ඉන්දියාවේ අජින්ක්‍යා රහානේද එක්දින පිටියේ වෙනසක් කරනු ඇතැයි ඔහු සඳහන් කර ඇත.

 

ළහිරු තිරිමාන්න වසරින් වසර සිය දක්ෂතා වර්ධනය කර ගන්නවා. ඔහු කී‍්‍රඩා කරන  ඕනෑම ස්ථානයක හොඳින් දක්ෂතා දක්වනවා. දිනේෂ චන්දිමාලූත් හොඳින් දක්ෂතා දක්වනවා. ආරම්භක පිතිකරුවෙකු ලෙස පැමිණෙන දිමුත් කරුණාරත්න මැද පෙළ ක‍්‍රීඩා කරනවා. ඔහු හොඳ නිදහසකින් හා රිදුමයකින් පන්දුවට පහර දෙනවා.

 

මම ඉන්දියාවේ අජින්ක්‍යා රහානේ කී‍්‍රඩා කරන හැටි බලන්න කැමතියි. ඔහු ඇත්තවශයෙන්ම සම්භාවනීයයි. කාර්යක්ෂමයි. ඔහු ගොඩාක් වර්ධනය වෙලා තියෙනවා. නවසීලන්තයේ කේන් විලියම්සන්  ඕනෑම තරග රටාවක හොඳ තරුවක්. ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත් ගැන විශ්වාස කරන්නත් බෑ. දැන් ඔහු ඉන්නේ කොහේද ? ” යැයි සංගා පැවසීය. 

 

 

පානදුර රාජකීය – ශාන්ත ජෝන් ‘හරිත සටන’ විසඳුමකින් තොරයි

පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘මර්වින් ජේ. කුරේ’ අනුස්මරණ කුසලාන 23 වැනි ‘හරිත සටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.

 

තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (28) පස්වරුවේ තරගය අවසන් වන විට රාජකීය විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 290 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

 

රාජකීය විදුහල් පිලේ නායක අකිල ලක්‍ෂාන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 119 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 109 ක් රැස් කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.

 

රාජකීය විදුහල් වමතින් පා දඟ පන්දු යවන හිමේෂ් රංගනාත් ලකුණු 54 කට කඩුලූ 6 ක් දවා ගනිමින් දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තේය. රාජකීය විදුහලේ අෂාන් චාමර අගනා ලකුණු 83 ක් රැස්කරමින් දක්‍ෂතම පිතිකරු ලෙස සම්මමාන ලැබීය.

 

ශාන්ත ජෝන් විදුහලේ කඩුලූ රකින ක‍්‍රීඩක ගිහාන් අනුරුද්ධ දක්‍ෂතම පන්දු රකින්නා සම්මාන හිමිකර ගත්තේය.   

 


ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම  ඕවර 67.2 කදී සියලූ දෙනා දැවී 199
(තනුජ අකලංක 32, සනෝජ් දර්ශික 38, හර්ෂ සල්ගාදු 72, රවීන් ලක්‍ෂාන් 37/3, හිමේෂ් රංගනාත් 54/6)

 

පානදුර රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 74.5 කදී කඩුලූ 9 ට 290
(පැතුම් නිර්මාල් 18, අෂාන් චාමර 83, අකිල ලක්‍ෂාන් 109, රවීන් ලක්‍ෂාන් 42, ජයත් තිවංග 74/2, කවිඳු හෂාන් 75/4)

 


- 048

මයිකල් ක්ලාක්

මේක තනි පුද්ගල සාර්ථකත්වයක් සොයා යාමක් නෙමේ. කණ්ඩායමක ජයග‍්‍රහණය වෙනුවෙන් ඉලක්කයක් ඇතිව යන ගමනක්. මට හිතෙනවා නම් මා අංක 4 පිතිකරුවා ලෙසින් පිටියට යා යුතුයි කියලා, මම ගිහින් පන්දුවට පහර දෙනවා. ඒත් මා පන්දුවට පහර දෙන්න  ඕන නෑ කියලා හිතුණොත් මම පන්දුවට පහර දෙන්න යන්නේ නෑ”

 


- අංක 6 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසීම සම්බන්ධයෙන්

හිතමින් හිටියේ සමුගැනීම ගැනයි – ක්ලාක්

 

වසර 8 කට එපිට ලෝක කුසලාන දිනාගත්  ඕස්ටේ‍්‍රලියානු පිලේ සාමාජිකයකුව සිටි මයිකල් ක්ලාක්, නායකත්වයට පත්වීමෙන් පසුව එක්දින තරග 73 කදී  ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවමින් 2015 ලෝක කුසලාන තරගාවලියේ අවසන්  මහ තරගය දක්වාත් සිය කණ්ඩායම කැඳවාගෙන ආවේය. මේ වන විට එක්දින තරග 49 කදී ඕස්ටේ‍්‍රලියානු පිල ජයග‍්‍රහණය කරා මෙහෙයවා ඇති මයිකල් ක්ලාක්ට සිය 50 වැනි එක්දින ජයග‍්‍රහණයත් ලබාගත හැකිවුවහොත් එය ලෝක කුසලානයද වෙයි.

 

ඒ කෙසේ වුවත් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින අන්තර්ජාතික තරග බිමෙන් සමුගැනීමට මයිකල් ක්ලාක් තීරණය කර තිබේ. හෙට (29 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහ තරගය මයිකල්ගේ අවසන් එක්දින තරගයයි.

 

සිය තීරණය ප‍්‍රකාශයට පත්කරමින් අද (28 වැනිදා) මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී මයිකල් ක්ලාක්ගෙන් අසන ලද ප‍්‍රශ්න සමූහයට ඔහු දුන් පිළිතුරු මෙසේ සටහන් වෙයි.

 


ප‍්‍රශ්නය :
ඔබ මේ තීරණය අරන් ඒක කණ්ඩායමේ කී‍්‍රඩකයන්ට දැන්නුවාම ඔවුන්ගේ ප‍්‍රතිචාරය වුණේ මොකක්ද?. ඔබ මේ වෙන කොටත් සෑහෙන්න හැඟීම්බර වෙලා සිටින බවක් පෙනෙන්නට තිබෙනවා.

 

මයිකල් ක්ලාක් :
නෑ..මම හොඳින් ඉන්නේ. මා ඉතාමත් ෂතුටින් ඉන්නේ.
මම ආරම්භයේ ඉඳලාම කියපු දෙයක් තමයි මේ කී‍්‍රඩාවට මා යමක් දිය යුතුවෙනවා මිස කී‍්‍රඩාවෙන් මට යමක් දිය යුතු නෑ කියන එක. මා මගේ ජීවිතයේ දැන් ඇවිත් තියෙන තැන දිහා බලන කොට මා ඉතාමත් වාසනාවන්තයි කියා හැෙගනවා. මා අද මෙතැන ඉන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාව නිසා. එක්දින අන්තර්ජාතික තරග කියන්නේ ඒකේ ඉතාමත් විශාල කොටසක්.

 

මා දන්නවා මා නිවැරදි තීරණය ගත්තා කියා. මගේ කණ්ඩායම් සගයින්ටත් මා මේ කතාව කිව්වේ විනාඩි 10 කට විතර කලින්. ඒත් තේරීම් කමිටු නිලධාරීන්ට සහ ජේම්ස් සදර්ලන්ඞ් මහතාට නම් මීට පැයකට විතර කලින් මා ඒ බව කිව්වා. ඒ හැරෙන්න පසුගිය පැය 24 දී මා ඒ ගැන කතාකළා නම් ඒ මගේ පවුලේ අය සමගයි. ඒත් ඇත්තම තත්ත්වය නම් පසුගිය සති කිහිපයේදීම මා ඒ ගැන හිතමින් හිටියා කියන එකයි.

 

මට ප‍්‍රශ්නයක් තිබුණා නම් ඒ මීළඟ ලෝක කුසලාන තරගාවලියේදී මා  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියෝජනය කරනවාද නැද්ද කියන එකයි. ඒත් ඒ ප‍්‍රශ්නයට මගේ මනසින් උත්තර දුන්න වෙලාවේදීම මේ තීරණය ගන්න පුළුවන් වුණා.  

 

ඇත්තටම වසර 4 කට ඉහතදී මට නායකත්වය ලැබුණු එක මේ කණ්ඩායම ගොඩනගන්න මට විශාල අවස්ථාවක් වුණා. මගේ කණ්ඩායම වගේම නායකයෙක් හැටියට මගේ විලාසයට කණ්ඩායම මෙහෙයවන්නත් මට පහසුවක් වුණා. මා හිතන්නේ මේ තරගාවලියේදී කණ්ඩායමේ නායකත්වය දරන්න මට ඒක ලොකු පහසුවක් වුණා. ඒ නිසා ඊළඟ නායකයාටත් ඒ අවස්ථාව ලැබෙනවා නම් මා කැමතියි.

 


ප‍්‍රශ්නය :
මේ වගේ තීරණයක් ගත්තේ ඇයි කියලා ඇහුවාම ඔබ කියාවි මට වැදගත් වෙන්නේ මම නොවෙයි ඕස්ටේ‍්‍රලියාවයි කියලා. ඒත් හෙට ලෝක කුසලාන අවසන් මහ තරගය පැවැත්වෙන දවසයි. ඔබ තීරණය ගත්තේ ඒ ගැනත් හිතලාද ?

 

මයිකල් ක්ලාක් :
මා එහෙම හිතන්නේ නෑ. මේක විශේෂ තරගයක් නම් තමයි. ඒත් මේ වෙලාවේදී හිතන්න  ඕනා කණ්ඩායම ගැනයි. මම හිතන්නේත් ඒ ගැනයි. මා කණ්ඩායමේ සගයින්ට කිව්වෙත් ඒ ටිකමයි. තරගයක් හෝ ප‍්‍රධාන පෙළේ තරගාවලියක් ජයගන්නේ හැඟීම් වලින් නෙමේ දස්කම් වලින් කියලා ඔවුන්ට කිව්වෙත් මමම තමයි. ඉතින් හෙටත්  ඕකේ වෙනසක් නෑ.

 

ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා එම්. සී. ජී. කී‍්‍රඩාංගණයට පිවිසෙන්නට ලැබීම කී‍්‍රඩක කාමරයේ ඉන්න හැම දෙනාටම අති විශේෂ අවස්ථාවක් වේවි. ඒත් ඇත්තටම ඒක මගේ අවසන් එක්දින තරගයත් වෙන නිසා ඒක මටත් විශේෂ අවස්ථාවක් තමයි.

 


ප‍්‍රශ්නය :
ඔබ නායකයා වශයෙන් කණ්ඩායමේ ඉන්න ඉතාමත් දක්‍ෂ පිතිකරුවකු අංක 6 ස්ථානයෙන් පිටියට යවමින් ඔහුට අසාධාරණයක් කරන්නේ ඇයි ?

 

මයිකල් ක්ලාක් :
අපි කවුරු ගැනද මේ කතා කරන්නේ…ආ..එයා (මයිකල් ක්ලාක්) ගැනනේ…(සිනහවෙමින්..)

 

මා හිතන්නේ ඒක කණ්ඩායම වෙනුවෙන් ගත්ත හොඳ තීරණයක් කියලයි. මගේ තරග දිවිය පුරාම, මා පිතිකරුවකු වශයෙන් කී‍්‍රඩා කළ අවස්ථා බොහෝ ගණනකට වඩා මා අංක 3 පිතිකරුවා ලෙසින් කී‍්‍රඩා කළ යුතුව තිබුණා කියලයි මම හිතන්නේ.

 

එත් මට මතකයි මා ඉතා තරුණ වයසේදීම රිකී (පොන්ටිං) මට කිවුවා මා වඩාත් යෝග්‍ය වෙන්නේ මැද පෙළට කියා. විශේෂයෙන්ම එක්දින තරග වලදී. ඔහු මට කිවුවේ මැද පෙළට ගිහිල්ලා දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙමින්, ඔවුන්ගේ  ඕවර නිමා වන තුරු පිටියේ රැඳී ඉන්නා ලෙයසි. එහෙම කළොත් අවසන් ඕවර කිහිපයේදී අපේ පිතිකරුවන්ට වේගයෙන් ලකුණු ලබාගන්නට හැකි බවත් ඔහු මට කිව්වා. මා හිතන්නේ මා දිගින් දිගටම ඒ දේ කළා.

 

අනෙක එදා, පර්ත් නුවරදී (ඇෆ්ඝනිස්ථානයට එරෙහිව) පැවැති තරගයේදී, 30 වැනි  ඕවරය වන විටත් දැවී ගිහින් තිබුණේ කඩුල්ලක් පමණයි. (දෙවැනි කඩුල්ල 38 වැනි  ඕවරයේදී). ඉතින් මා හිතුවා මට ඉස්සරවෙලා වේගයෙන් ලකුණු ලබාගත හැකි පිතිකරුවන් පිටියට යවන එක හොඳයි කියලා. (ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදීත් දෙවැනි කඩුල්ල බිඳ වැටුනේ 35 වැනි ඕවරයේදී වන අතර අනතුරුව ග්ලෙන් මැක්ස්වෙල් පිටියට පිවිසියේය) ඉතින් මේක තනි පුද්ගල සාර්ථකත්වයක් සොයා යාමක් නෙමේ. කණ්ඩායමක ජයග‍්‍රහණය වෙනුවෙන් ඉලක්කයක් ඇතිව යන ගමනක්.

 

වාසනාවට වගේ මා ඒ තීරණය ගත්ත අවස්ථා දෙකේදීම අපි තරගය ජයග‍්‍රහණය කළා. හෙටත් එකේ වෙනසක් නෑ. මට හිතෙනවා නම් මා අංක 4 පිතිකරුවා ලෙසින් පිටියට යා යුතුයි කියලා, මම ගිහින් පන්දුවට පහර දෙනවා. ඒත් මා පන්දුවට පහර දෙන්න  ඕන නෑ කියලා හිතුණොත් මම පන්දුවට පහර දෙන්න යන්නේ නෑ.

 


ප‍්‍රශ්නය :
ඔබේ තරග දිවිය ආරම්භයේදීම ලෝකයේ අප දුටු ඉතාමත් විශිෂ්ට කණ්ඩායම්වල සාමාජිකයෙක් වෙලා ඔබ හිටියා. 2007 ඔබලා ලෝක කුසලාන දිනාගන්න කොට ඔබත්, ෂේන් වොට්සන් සහ මිචෙල් ජොන්සන් දෙදෙනාත් කණ්ඩායමේ සිටියා.

 

ඒත් මේ (2015) කණ්ඩායම හුඟාක් තරුණයි. ඒ නිසා මේ කණ්ඩායමේ කී‍්‍රඩකයන් බොහෝ දෙනකුට මේ පළමු වැනි ලෝක කුසලාන අවසන් මහ තරගයයි. ඔබගේ අත්දැකීම් අනුව මේ වගේ අති විශාල අවස්ථාවකට මුහුණ දීම සඳහා ඔවුන්ට දෙන පණිවුඩය කුමක්ද ?

 

මයිකල් ක්ලාක් :
ඔවුන්ට පීඩනය හසුරුවාගන්න පුළුවන් කියලා කණ්ඩායම පෙන්නුම් කරලා තියෙනවා. ඇරත් මේ තරගාවලියේ පළමු පන්දුවට මුහුණ දුන්න වෙලාවේ ඉඳලාම ඒ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා කියලා අප දැනගෙන හිටියා. අනෙක මේ අපේ රට. අපි කී‍්‍රඩා කරන්නේ අපේ රටේදී. මේක (ලෝක කුසලාන අවසන් මහ තරගය) නිදහසේ කරන කී‍්‍රඩාවක්.

 

තවත් අතකින් බලන විට මා ඉතා කුඩා අවදියේම ඉගෙන ගත් පාඩමක් තමයි හොඳින් පුහුණුවීම. ඒ නිසා තමයි මම නිතරම පුහුණුවීම් අතපසු නොකරන්නේ. යමක් වෙනුවෙන් මහන්සිවෙන්නේ. එහෙම කළාම, වැදගත් අවස්ථාවකදී වුණත්, මොන පීඩනය යටතේ වුණත්, නිදහසේ කී‍්‍රඩා කරන්න පුළුවන්.

 

මට මීටත් වඩා සතුටු වෙන්න කියලා දෙයක් නෑ. අද (28 වැනිදා) පුහුණුවීම් කරන්නේ කී‍්‍රඩකයන් කැමති නම් විතරයි. ඔවුන් නිදහසේ ඉන්නේ. ඒත් කණ්ඩායමේ හැම කෙනෙක්ම මෙතන. (මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ). ඒකෙන්ම පෙනෙනවා ඔවුන්ගේ කැපවීම කොයි තරම්ද කියලා. ඔවුන් හිතමින් ඉන්නේ මොකක් ගැනද කියල.

 

අවසන් පූර්ව තරගයෙන් පස්සේ අපි මේ තරගයට මානසිකව සූදානම් වුණා. ඒත් ශාරීරිකව සූදානම් වෙන්න තවත් දවසක් තියෙනවා. මා හිතන්නේ හැම දේම නිවැරදි ආකාරයට කෙරෙනවා. කණ්ඩායම සූදානම්.

 


ප‍්‍රශ්නය :
සති කිහිපයකට ඉස්සරවෙලා ඔබ කිවුවා මේ ඔබේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වෙයිද නැද්ද කියලා හරියටම කියන්න බැරි බව. ඒත් මේ තීරණය අරන් දැන් කොච්චර කාලයක් වෙනවාද ?

 

මයිකල් ක්ලාක් :
පැය 48 ක් විතර..මා ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ලෝක කුසලාන තරගාවලිය පුරාම මම ඒ ගැන හිතමින් හිටියා. මගේ මනසින් මම ප‍්‍රශ්න කරමින් හිටියේ මට ඊළඟ ලෝක කුසලාන තරගාවලිය කී‍්‍රඩා කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැනයි. ඒත් පැය 48 කට විතර ඉස්සරවෙලා මා තීරණය ගත්තා. ඊට පස්සේ මා මගේ පවුලේ අයත් එක්ක කතා කරලා ඒ ගැන තවදුරටත් හිතුවා. ඒක කණ්ඩායමටත් හොඳයි. ඒත් මට තවත් අවුරුදු දෙකක් විතර කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදෙන් පුළුවන් කියන එක ගැන නම් මට සැකයක් නෑ. මම ලබාගත්ත අවස්ථාව කණ්ඩායම වගේම ඊළඟ නායකයාත් ලබාගන්න  ඕනෑ. එතකොට තමයි ඔවුන්ට පුළුවන් වෙන්නේ මේ වගේ තරගාවලියක් වෙනුවෙන් හොඳින් සූදානම් වෙන්න.

 


ප‍්‍රශ්නය :
මේ තීරණය ගන්නා අවස්ථාවේ ඔබ මොනවා කරමින්ද හිටියේ..

 

මයිකල් ක්ලාක්.
මා තීරණය ගත්තේ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයෙන් (ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයට පසුව) පිටවෙන විටදීමයි. මම ගෙදර යන විට 12.30 විතර වුණා. කයිලි (මයිකල්ගේ බිරිඳ) ඒ වෙලාවේ නිදියන් හිටියේ. ඒත් මා එයාට කතා කරලා ඒ ගැන කිව්වා.   

 


ප‍්‍රශ්නය
ඔබ ලෝක කුසලාන අවසන් තරගයෙන් පස්සේ එක්දින තරග බිමෙන් සමුගන්නවා. ඒත් මේ කණ්ඩායමේ ඉන්නවා ඔබේ වයසේම කී‍්‍රඩකයන්. මිචෙල් ජොන්සන්, ෂේන් වොට්සන් වගේ අය. ඔබ හිතනවාද හෙට නැත්නම් ලබන අවුරුද්දේදීවත් ඔවුන් තමන් ගැන තීරණයක් ගනීවි කියලා.

 

මයිකල් ක්ලාක්
ඔවුන් කොයි තරම් කාලයක් කී‍්‍රඩා කරාවිද කියා මා නම් දන්නේ නෑ. කණ්ඩායම් කී‍්‍රඩාවක් වුණත් මේ කී‍්‍රඩාවේ තියෙන විශිෂ්ටතම ගුණාංග වලින් තවත් එකක් තමයි එක එක්කෙනාට තමන්ගේ තත්ත්වය ගැන හිතලා තීරණයක් ගන්න අවස්ථාව ලැබෙන එක. ඒ කොහොම වුණත් කී‍්‍රඩකයන්ගේ කාමරයේ ඉන්න හැම දෙනා තුළම තවත් කි‍්‍රකට් කී‍්‍රඩාව ඉතුරු වෙලා තියෙනවා. ඒක නම් විශ්වාසයි.


 
ඔවුන් හැම කෙනා තුළම කී‍්‍රඩා කරන්න ආශාවක් තියෙනවා නම්, ඔවුන්ගේ කී‍්‍රඩාව නිවැරදි ආකාරයට කෙනෙවා නම්, ඔවුන් කී‍්‍රඩාව නතර කළ යුතු යයි කියලා මා නම් හිතන්නේ නෑ. කොහොම වුණත් මා ඔවුන්ගේ පෞද්ගලික තීරණ සම්බන්ධයෙන් නම් තවමත් ඔවුන් සමග කතා කරලා නෑ. මගේ මූලික අරමුණ වුණේ මේ තරගාවලිය සඳහා හැම කෙනෙක්ම මානසිකව සහ ශාරීරිකව සූදානම් කිරීමයි. ඔවුන් ඉතාමත් හොඳින් කී‍්‍රඩා කරමින් ඉන්නවා. ඉතින් ඔවුන් දිගටම කී‍්‍රඩා කරන්න හිතන් ඉන්නවා නම් දිගටම කී‍්‍රඩා කරපුවාවේ.

 


ප‍්‍රශ්නය :
ලෝක කුසලානයත් එක්ක ඡායාරූපය ගන්න ගිය වෙලාවේ ඔබ බ්‍රෙන්ඩන් මැකලම් එක්ක ටිකක් වෙලා කතාකර කර හිටියා. ඒ කතාවෙච්ච දේවල් අපිත් එක්කත් බෙදා ගන්න පුළුවන්ද ?

 

මයිකල් ක්ලාක් :
මා හිතන්නේ ඒක මාත් බ්‍රෙන්ඩනුත් අතර විතරක් තිබුණා නම් හොඳයි කියලයි. ඒත් අපි දෙන්නා එකිනෙකාට සුබපැතුවා. බ්‍රෙන්ඩනුයි මායි අතර ඉතාමත් හොඳ හිතවත්කමක් තිනෙවා. විශේෂයෙන්ම පිල් හියුස්ගේ අවාසනාවන්ත අභාවය වෙලාවේ පිලිප්ගේ පවුලේ අය වෙනුවෙන් ඔහුත් ඔහුගේ කණ්ඩායමේ අයත් ගෞරව කළ අකාරය ගැන මා ඔහුට ඉතාමත් කෘතවේදී වෙනවා. මා හිතන්නේ ඒ නිසාම අපි දෙදෙනා වඩාත් හිතවත් වෙන්න ඇති.

 


ප‍්‍රශ්නය :
කි‍්‍රකට් කී‍්‍රඩාව දැන් කෙරීගෙන යන අකාරය අපි හැමෝටම පෙනෙනවා. ඒත් එක්දින තරග වෙනුවෙන් වැඩි අවධානය යොමුකරන්න, ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ඉවත් වෙන්න ඔබට කිසියම් අවස්ථාවක හිතුණේ නැද්ද?

 

මයිකල් ක්ලාක්
අපෝ නෑ. කි‍්‍රකට් කී‍්‍රඩාවේ උසස්ම මට්ටම ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව කියන සත්‍යය මා හැමදාමත් පිළිගන්නවා.

 

මයිකල් ක්ලාක්

”මෙල්බර්න් කී‍්‍රඩාංගණයේ තියෙන තත්ත්වයන් අපට වාසිදායක ලෙසින් තියේවි…ඒ විතරක් නෙමේ. මේ ගිම්හානයේදී සෑහෙන තරග සංඛ්‍යාවක් අපි මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී කී‍්‍රඩා කළා. ඒ තත්ත්වයන් නවසීලන්තයට වඩා ගොඩාක් වෙනස්”

 

- ලෝක කුසලාන අවසන් මහ තරගයට පෙර

මයිකල් ක්ලාක් සමුගැනීමට සූදානම්


නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී හෙට (29 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාලියේ අවසන් මහ තරගයෙන් පසුව තමන් එක්දින අන්තර්ජාතික තරග බිමෙන් සමුගන්නා බව  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පැවසීය. අවසන් මහ තරගයට පෙර මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී මයිකල් ක්ලාක් මේ බව පවසා සිටියේය.

 

”හෙට මගේ අවසන් එක්දින අන්තර්ජාතික තරගයයි” යයි පුවත් පත් සාකච්ඡාව ආරම්භයේදීම මයිකල් ක්ලාක් කියා සිටියේය.

 

”මා මේ දැන් ටිකකට කලින් මගේ කණ්ඩායමේ සාමාජිකයන්ට කතා කළා..ජේම්ස් සදර්ලන්ඞ්ට (ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධානියා) හා රොඞ්නි මාෂ්ටත් (ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටු ප‍්‍රධානියා) ඩැරන් ලීමන්ටත් (ඕස්ටේ‍්‍රලියානු පිලේ පුහුණුකර) කතා කරලා හෙට මගේ අවසන් එක්දින තරගය බව ඔවුන්ට දැනුම් දුන්නා” යයි මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම් ඇරඹීමටත් මත්තෙන් මයිකල් ක්ලාක් පැවසීය.

 

”හෙට මගේ 245 වැනි එක්දින තරගයයි. මේ තරම් තරග සංඛ්‍යාවක් වෙනුවෙන්  ඕස්ටේ‍්‍රලියානු පිල නියෝජනය කිරීමට ලැබීම ගැන මා වටා සිටි අයටත් මට සහයයෝගය දුන් අයටත් කෘතවේදී වෙනවා. විශේෂයෙන්ම ඒ සෑම තරගයකදීම මාත් එක්ක කී‍්‍රඩා කළ සියලූම කී‍්‍රඩකයන්ටත් ස්තුති කරනවා” යයි පැවසූ මයිකල් ක්ලාක් එක්දින තරග බිමෙන් සමුගැනීමට ගත් තීරණය තමන්ගේ ටෙස්ට් තරග දිවිය වඩාත් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට ඉවහල් වේ යයි තමන් විශ්වාස කරන බවත් පැවසීය.

 

”වසර හතරකට ඉහතදීම මේ කණ්ඩායමේ නායකත්වය ලබාගන්න තරම් මා වාසනාවන්ත වුණා. මේ ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සූදානම් කරගන්න මට ඒක හොඳ අවස්ථාවක් වුණා. මා හිතන්නේ ඊළඟ ඕස්ටේ‍්‍රලියානු නායකයාටත් ඒ අවස්ථාව හිමි විය යුතුයි”

 

”අනෙක් අතට මා දිගටම මේ නායකත්වයේ රැඳී සිටියොත් මා හිතන්නේ නෑ ඊළඟ ලෝක කුසලාන තරගාවලිය දක්වා මා ශාරීරිකව ශක්තිමත් තත්ත්වයෙන් සිටීවි කියලා..ඒ නිසා නික්ම යන්න නියම වෙලාව මේක තමයි”… යයිද මයිකල් ක්ලාක් පැවසීය.

 

තමන්  ඕස්ටේ‍්‍රලියානු එක්දින කණ්ඩායම බාර ගන්නා අවස්ථාව වන විට එය තිබූ තත්ත්වයට වඩා හොඳ තත්ත්වයට එය පත්කිරීමෙන් පසුව  ඕස්ටේ‍්‍රලියානු එක්දින කණ්ඩායම හැර යන බව පැවසූ මයිකල් ක්ලාක්, පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජය වූ නමුත් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූ බවද සිහිපත් කළේය.

 

”බලමු…. හිතන විදිහට මේ අවසන් තරගයේදී අපට සාර්ථකත්වය ලබන්න පුළුවන්. ඒත් ඇත්තටම මා කී‍්‍රඩා කළ කාලයේදී ලෝක කුසලාන අවසන් මහ තරග දෙකකට වගේම අර්ධ අවසන් පූර්ව තරගයකටත් කී‍්‍රඩා කිරීමට මට අවස්ථාව ලැබුණා.”

 

”ටෙස්ට් කී‍්‍රඩකයකු වශයෙන් දිගින් දිගටම සාර්ථක වීම මගේ අපේක්‍ෂාවයි. එනිසා එක්දින තරග වලින් ඉවත් වීම ඒ සඳහා මට වඩාත් උපකාරී වේවි” යයිද මයිකල් ක්ලාක් පැවසීය.

 

එක්දින අන්තර්ජාතික තරග 244 කට කී‍්‍රඩා කර ඇති මයිකල් ක්ලාක්, ඉනිමකදී ලකුණු 44.42 ක සාමාන්‍යයක් සහිතව එක්දින ලකුණු 7907 ක් ලබා සිටී. එක්දින ශතක 8 ක් සහ අර්ධ ශතක 57 ක් ලබා සිටින මයිකල් ක්ලාක් විසින් ඕස්ටේ‍්‍රලියාව මෙහෙයවනු ලැබූ එක්දින තරග 73 කින් 49 ක් ජයගෙන තිබේ. ලෝක කුසලාන අවසන් මහ තරගය ජයගතහොත් එය මයිකල් ක්ලාක් නම් නායකයාගේ 50 වැනි එක්දින ජයග‍්‍රහණයද වනු ඇත.