Category Archives: Match Previews

වෙත්තමුණි ඇදුරිඳු ‘බර්ටි‘ 96 දී දිවි ඉනිම නවතයි

ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවීමට පෙර ලංකා කණ්ඩායමේ සිටි අග්‍රගණයේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ බර්ටි විජේසිංහ මහතා අද අභාවප්‍රාප්ත විය. විජේසිංහ මහතා මියයන විට 96 වැනි වියේ පසුවිය.


ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ක්‍රිකට් පුහුණුකරුවකු මෙන්ම සිලෝන් ඬේලි නිවුස් පුවත්පතේ ක්‍රීඩා කතුවරයා ලෙසින්ද සේවය කළ විජේසිංහ මහතා ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙසින් මෙන්ම ගුරුවරයකු ලෙසින්ද කටයුතු කළේය.
 
වර්ෂ 1936 සිට 1939 දක්වා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ බර්ටි විජේසිංහ 1938 සහ 1939 යන වසර දෙකේදීම සාන්ත තෝමස් පිලේ නායකයා විය. 1939 නිල් මහ සටන ජයග්‍රහණයකින් කෙළවර කිරීමටද බර්ටි විජේසිංහ සමත් වූයේය. පාසල් වියෙන් පසුව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූ බර්ටි විජේසිංහ 1940 දශකයේ සිටම ලංකා කණ්ඩායම නියෝජනය කළ අති දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වූයේය. ඕනෑම අවස්ථාවක පිතිකරුවකු හෝ ආරම්භක පන්දු යවන්නකු ලෙසින් ලංකා කණ්ඩායමට ඇතුළත් වීමේ හැකියාව තිබූ බර්ටි විජේසිංහට අවස්ථානුකූලව පිට දඟ පන්දු යැවීමේ හැකියාවද තිබිණ.

සුනිල්, සිදත් සහ මිත්‍ර යන වෙත්තමුණි සොහොයුරන්ට ක්‍රිකට් සිප්සතර කියාදුන් බර්ටි විජේසිංහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේත්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ මෙන්ම එංගලන්තයේ නොටිංහැම්ප්ෂයර් ප්‍රාන්තයේත් ක්‍රිකට් පුහුණුකරුවකු විය.

“ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපි කිසියම් දෙයක් ඉගෙන ගත්තා නම් ඒ සියල්ලම ඔහුට ණයයි” යයි ශ්‍රී ලංකාවේ පළමු වැනි ටෙස්ට් ආරම්භක පිතිකරුවා වන සිදත් වෙත්තමුණි මහතා ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවියට පවසා තිබිණ.

සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ක්‍රීඩා කර පසුකළෙකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පත්වූ අලංකාර පිතිකරුවකු වන අනුර තෙන්නකෝන් මහතා කියා තිබුණේ පාසල් වියේ සිට ක්‍රීඩා සමාජ මට්ටම දක්වා තමන්ගේ පිතිහරඹ රටාව ඔපමට්ටම් කරගැනීමට බර්ටි විජේසිංහ මහතා උපකාර වූ බවයි.

ශ්‍රී ලංකාවේ සිටි ක්‍රිකට් පුහුණුකරුවන් අතර විශිෂ්ටයකු ලෙසින් අවිවාදයෙන් සැලකෙන විජේසිංහ මහතා පිතිකරුවන් පුහුණුකිරීමට නම්දැරූ අයකු විය. ටෙස්ට් තත්ත්වය ලැබීමට පෙර ලංකා කණ්ඩායමේ නායකයකුව සිටි මයිකල් තිසේරා මහතා කියා සිටියේ විජේසිංහ මහතාගේ පිතිහරඹ තාක්‍ෂණය කිසිවකුට ළංවිය නොහැකි මට්ටමේ තිබුණ බවයි.

“විශේෂත්වය වුණේ විජේසිංහ මහතා ඒ හැම දෙයක්ම කළේ මුදල් අපේක්‍ෂාවකින් තොරවයි. ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණ ආදරය නිසයි” යයිද මයිකල් තිසේරා මහතා පැවසීය.

බර්ටි විජේසිංහ මහතාගේ අවසන් කටයුතු බදාදා (12 වැනිදා) බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

 

 

මිලියන 915 ඇස්තමේන්තුව බිලියන 5.4 ක වියදමක් වෙයි

සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීමේ වියදම රජයේ ඇස්තමේන්තුගත වියදම ලෙස රුපියල් මිලියන 915 ක් ලෙස දක්වා තිබුණත් අද වනවිට එය රුපියල් බිලියන 5.4 ක් ලෙස සඳහන් වන බවත් එසේ වී ඇත්තේ එම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමට හෝ දියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොතිබියදී බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) පවසයි. එම කමිටුව නිකුත් කළ රාජ්‍ය ආයතන විමර්ශන තෙවැනි වාර්තාවෙන් ඒ බව දන්වා තිබේ.


2016 මැයි 01 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා රාජ්‍ය ආයතන 15 කට අදාළව කෝප් කමිටුව කළ නිරීක්ෂණ හා ඊට අදාළ නිර්දේශ මෙම වාර්තාවට අන්තර්ගතව තිබේ.


පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 24 දෙනකුගෙන් සමන්විතය. රාජ්‍ය ආයතන 15 ට ජාතික ක්‍රීඩා සංගම් දෙකක් ලෙස සලකන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කළ විමර්ශන හා නිර්දේශ ද ඇතුළත් වෙති.


එහිදී කෝප් කමිටුව ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු හයක් කෙරෙහි අවධානය යොමුකර තිබේ. ඒ සූරියවැව ක්‍රීඩාගණය, එහි තක්සේරු වාර්තාව, ක්‍රිකට් ආධාර අරමුදල, උපදේශකයන් පත් කිරීම, නිල ඇඳුම් අනුග්‍රාහකත්වය හා ස්ථාවර වත්කම් ලේඛනය පිළිබඳවයි.


සූරියවැව ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් පිළිබඳව කෝප් කමිටුව කළ විමසීම්වලදී හෙළිකරගත් කරුණු මෙසේය.


ඉදිකිරීම් තීන්දුව ගැනීමෙන් පසුව කලින් එකඟවූ රුපියල් මිලියන 200ට අමතරව රජයේ නියෝග පරිදි ක්‍රිකට් ආයතනයට ඒ සඳහා තවත් රුපියල් බිලියනයක් ගෙවීමට සිදුව තිබේ. පසුව රජය, ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැවැරීමෙන් පසුව ඉදිකිරීම් සඳහා තවත් රුපියල් බිලියන 2.8 ක බිල්පත් ඉදිරිපත්ව තිබේ. එය පසුව රුපියල් බිලියන 4.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත්තේ තක්සේරු වාර්තාවක් ලබා ගැනීම සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමට අපොහොසත්වීම පිළිබඳවයි. කෙසේ වුවත් පෞද්ගලික ආයතනයක් හවුල් කර ගනිමින් ඉදිරිපත් කළ තක්සේරු වාර්තාවේ අවශ්‍ය තරම් තොරතුරු නොමැතිවීමෙන් මෙම ක්‍රීඩාංගණය සම්බන්ධ වියදම් හා වටිනාකම් පිළිබඳව සාධාරණ තක්සේරුවක් කිරීමට නොහැකිවූ බව කෝප් කමිටුව සිය නිගමනයෙන් දන්වා තිබේ.


මේ සම්බන්ධයෙන් වන අවසන් වියදම පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් නොමැති බව ප්‍රකාශ කර සිටි ගණන් දීමේ නිලධාරියා පවසා ඇත්තේ අවුරුදු 3 කට පෙර රුපියල් බිලියන 4.2 ක් වූ එහි ප්‍රාග්ධන වියදම අද වනවිට රුපියල් බිලියන 5.4 ක් වී තිබෙන බවයි.


ඒ පිළිබඳව කෝප් කමිටුවේ නිර්දේශ වී ඇත්තේ සම්පූර්ණ තක්සේරු වාර්තාවක් මාසයක් කාලයක් තුළදී ඉදිරිපත් කිරීම, සූරියවැව ක්‍රීඩාංගණයේ ආරම්භයේ සිට සියලුම තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාදීම හා මූල්‍යමය පාඩුව සම්බන්ධයෙන් ඉදිකිරීම් කළ වරාය අධිකාරිය සමග සාකච්ඡා කිරීමය. කෙසේ වුවත් ඒ පිළිබඳව ප්‍රගති වාර්තාව ඉදිරිපත් කරමින් කෝප් කමිටුව කියා සිටින්නේ නිර්දේශ සම්බන්ධයෙන් ගත් පියවර කාරක සභාවට දන්වා නැති බවය.


ක්‍රිකට් ආධාර අරමුදල නමින් ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් තෙවැනි කරුණ ලෙස කෝප් කමිටුවේ සාකච්ඡා විය.


එම ආයතනය ක්‍රිකට් ආයතනයට සම්බන්ධ නොවූ වෙනත් ආයතනයක් ලෙස පිහිටුවා තිබීම හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ තොරතුරු පෞද්ගලික ඒවා වීමත් එමෙන්ම යාවජීව සාමාජික ලෙස ඔවුන්ව හඳුන්වා තිබීමත් කෝප් කමිටුවේ අවධානයට යොමුවිය.


එහිදී ගණන් දීමේ නිලධාරියා පවසා ඇත්තේ පළමු වැනි අධ්‍යක්ෂ මණ්ඩලයේ පත්වීම් වැරැදි බවත් ක්‍රිකට් ආයතනයේ ධුරය දරන තෙක් පමණක් යනුවෙන් එම පත්වීමෙහි ස්වභාවය වෙනස් විය යුතු බවය. මේ අතර ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් අරමුදලට රුපියල් මිලියන දෙකක් ලබාදීම ණය මුදලක් ලෙස සඳහන්ව නැතිවීමත් එම අරමුදල වෙනුවෙන් පිහිටුවන ලද බැංකු ගිණුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පරිබාහිරව භාවිතා කිරීමත් පිළිබඳව කෝප් කමිටුව සිය නොසතුට පළ කරන ලදී.


එහිදී බැංකු ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාදාමයේ යම් වරදක් සිදුවී ඇති බව පිළිගන්නා බවත් එය විමර්ෂණය කර වාර්තාවක් ලබාදීමටත් ඒ සම්බන්ධයෙන් වරදක් සිදුවී ඇතිනම් නිවැරදි කිරීමටත් කටයුතු කරන බව ගණන් දීමේ නිලධාරියා පැවසීය.


කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදීමට කෝප් කමිටුව කළ නිර්දේෂය 2016 සැප්තැම්බර් 30 වැනිදා වන විටත් ක්‍රියාත්මක වී නොතිබුණු බව එම කමිටුව එහි වත්මන් තත්ත්වය හා ප්‍රගතිය වාර්තා කරමින් කියා සිටියි.


ඒ අතර මෙම අරමුදල රජයේ විගණකාධිපතිට විගණනය කළ හැකි අයුරින් සකස් විය යුතු බව කෝප් කමිටුව වැඩිදුරටත් නිර්දේෂ කර තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදේශකයන් නව දෙනෙකු පත් කිරීම පිළිබඳව කෝප් කමිටුවේ අවධානයට යොමු වීය. එම පත් කිරීමෙහි අරමුණ පිළිබඳව කළ විමසුමේදී ගණන් බැලීමේ නිලධාරියා ප්‍රකාශ කළේ ඔවුන් උපදේශකවරුන් පමණක් නොව පුහුණුකරුවන් ද වන බවයි.


ඔවුන් පිළිබඳව කෝප් කමිටුවේ නිර්දේෂ වන්නේ උපදේශකවරුන් තෝරා ගත් පදනම, සුදුසුකම්, උපදේශකයන්ගේ නම්, ගෙවන දීමනා, පවරන ලද රාජකාරි හා වගකීම්, ඔවුන් මෙතෙක් ඉදිරිපත් කරන ලද වාර්තා ඇතුළත්ව එම උපදේශකයන් වෙන් වෙන් වශයෙන් දක්වමින් මසක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නත් 2016 සැප්තැම්බර් 30 වැනිදා වන තෙක් එවැනි වාර්තාවක් කෝප් කමිටුවට නොලැබුණු බවය.


ජාතික කණ්ඩායමේ නිල ඇදුම් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පෞද්ගලික සමාගමක් අතර ගිවිසුමක් තිබියදී අමතර නිල ඇදුම් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 5.7ක මුදලක් 2015 පෙබරවාරි 12 වැනිදා වනවිට ගෙවා තිබීම කෝප් කමිටුවේ අවධානයට යොමු විය.


මෙවැනි රුපියල් මිලියන 5.7ක අමතර වියදමක් දැරීමට සිදුවූ අවශ්‍යතාවය, අතිරේකව අවශ්‍ය වූ නිල ඇඳුම් ප්‍රමාණය හා එහි වටිනාකම, අදාළ සමාගමින් ලැබුණු ප්‍රමාණය හා එහි වටිනාකම, නිකුත් කළ නිල ඇදුම් ප්‍රමාණය හා එහි වටිනාකම ඇතුළත්ව 2015 වසරට අදාළව කෝප් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ දැනුම් දීමට 2016 සැප්තැම්බර් 30 වැනිදා වන විටත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබුණු බව කෝප් කමිටුව සිය විමර්ෂණ වාර්තාවෙන් දක්වා තිබේ.


මෙම කාරණවලට අමතරව කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා ගෙන නොයෑම නිසා රුපියල් බිලියන පහක ස්ථාවර වත්කම් හඳුනාගැනීමට නොහැකි බව අවධාරණය කරයි. ඒ හේතුවෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් රජයේ විගණකාධිපතිවරයාට ලබා දෙන ලෙස තමන් කළ නිර්දේෂය සනාථ කරන කිසිදු ලේඛනයක් 2016.09.30 වන තෙක් නොලැබුණු බවත් එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාවේ විමර්ෂණය අවසන් කරන්නේ පොදු කාරණා කීපයක් පිළිබඳව කරුණු දැක්වීමකිනි.


සූරියවැව ක්‍රීඩාංගණයේ සිදුවී ඇතැයි කියන මුල්‍යමය පාඩුව පිළිබඳ වරාය අධිකාරිය සමග සාකච්ඡා කර ගැටලු නිරාකරණය කර ගැනීම, ප්‍රසම්පාදන, මාර්ගෝපදේශ හා බඳවා ගැනීමේ පාටිපාටිය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමෙන් වාර්තාවක් ලබාදීම හා සභාපතිවරයාට ක්‍රිකට් ආයතනයේ කටයුතු කිරීමේදී යම් ප්‍රායෝගික ගැටලුවක් තිබේ නම් ඒ ගැන පරීක්‍ෂා කිරීම සඳහා කෝප් කමිටුවේ ලේකම්වරියට ලිඛිතව දැනුම් දෙන ලෙස කමිටු සභාපතිවරයා කර තිබෙන දැනුම්දීමත් එම පොදු කාරණා යටතේ දන්වා තිබේ.

ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකුගෙන් දිගින් දිගටම බලපෑම් යොමුවීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. තේරීම් කමිටුව ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින කීපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බව වාර්තා වේ.

සනත් ජයසූරියගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රොමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරුසිංහ සහ එරික් උපශාන්ත යන මහත්වරු කටයුතු කළහ.

සනත් ජයසූරිය මහතා ඊයේ (09) පස්වරුවේ දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට ළඟා වී ඇති අතර ඊට පෙර දින දකුණු අප්‍රිකාවේ සිට ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල යන මහත්වරු අතර පැය කීපයක සාකච්ඡාවක් ද පැවැත්වා ඇති අතර එය ද විසඳුමකින් තොරව අවසන් වූ බව වාර්තා වේ.

එංගලන්ත ලයන්ස් පිලේ ශ්‍රී ලංකා සංචාරය සඳහා තේරීම් කමිටුව නම් කළ සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෙකු විසින් වෙනස් කරනු ලැබීම මෙම ඉල්ලා අස්වීමේ තීරණයට ආසන්නතම හේතුව බවට පත්ව ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පෙරේදා පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ තේරීම් කමිටුව ඉල්ලා අස්වන බවට දැනුම්දී නොමැති බවයි.

සනත් ජයසූරිය මහතා මෙම දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කුගෙන් බලපෑම් ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට පැමිණිළි කළ ද ඉන් පළක් නොවීය.
 

 

ශ්‍රී ලංකා ‘ඒ’ පිල තේරීම ප්‍රමාද වෙයි

සංචාරක එංගලන්ත ලයන්ස් පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර නිල නොවන ටෙස්ට් තරග දෙකකින් සහ එක්දින තරග පහකින් සමන්විත තරගාවලිය මේ මස 17 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.


මෙම තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පසුගියදා කොළඹ මාධ්‍ය හමුවක් පැවැත්වුව ද එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම නිලධාරි ජෙරම් ජයරත්න මහතා පැවසුවේ එම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ‘ඒ’ පිල හෝ එහි නායකයකු මේ දක්වා නම් කර නොමැති බවයි.


“මෙම තරගාවලියට සහභාගි වීම සඳහා 20 දෙනකුගේ සංචිතයක් නම් කරලා තියෙන්නේ. නමුත් තවම අවසන් සංචිතයක් නම් කරලා නෑ” යැයි ජයරත්න මහතා වැඩි දුරටත් පැවසීය.


එහිදී කළ විමසුමකදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන මහතා පැවසුවේ පළමු පෙළ තරගාවලිය මේ දිනවල පැවැත්වෙන බැවින් සංචිතයක් ලෙස පුහුණුවීමේ අවස්ථාව නොලැබුණු බවයි.


“ක්‍රීඩකයන් පළමු පෙළ තරගාවලියේ සිවුදින තරගවලට සහභාගි වීම නිසා සංචිතයක් ලෙස පුහුණුවීම් කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් ක්‍රීඩකයන් එක්කෙනා දෙන්නා ගෙන්නා පුහුණුවීම් කළා”


“දැන් පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරයත්, වයස 19 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත් කරන්න විය හැකියි සංචිතය ප්‍රමාද වෙන්නේ නමුත් ඒ පිළිබඳව තේරීම් කමිටුවෙන් තමයි අහන්න ඕනේ. හැබැයි මට සතුටක් තියෙනවා දැන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කීප දෙනෙක් මගේ කණ්ඩායමේ ක්‍රීඩකයන්” යැයි අවිෂ්ක මහතා වැඩි දුරටත් පැවසීය.


මෙම තරගාවලියට සහභාගි වන එංගලන්ත ලයන්ස් පිල මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර එහි නායකයා ලෙස ටෙස්ට් ක්‍රීඩක කීටන් ජෙනී කටයුතු කරයි.


එංගලන්ත ලයන්ස් පිලේ පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් මහතා පැවසුවේ එංගලන්ත පිල ඩුබායිහි දීර්ඝ පුහුණු සැසියකට ද සහභාගි වී මෙම සංචාරයට සහභාගි වන බවයි.


“අපි මෙහිදී එංගලන්ත ක්‍රිකට් ආයතනය පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ නිසා මෙම තරගාවලියේදී තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව වැඩියෙන් ලැබෙනවා” යැයි ෆ්ලවර් මහතා වැඩි දුරටත් පැවසීය.


ශ්‍රී ලංකාව සංචිතයක් හෝ නායකයකු නම් නොකිරීම හේතුවෙන් මාධ්‍ය හමුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයකු සහභාගි නොවීම කැපී පෙනුණි.


පළමු සිවුදින තරගය මේ මස 17 වැනිදා සිට පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර දෙවැනි සිවුදින තරගය මේ මස 24 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.


පළමු එක්දින තරග දෙක මාර්තු මස 2 සහ 3 දෙදින රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද, තෙවැනි තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී ද, පැවැත්වේ. සිවුවැනි සහ පස්වැනි තරග දෙක කොළඹ සී.සී.සී. ක්‍රීඪාගංණයේදී පැවැත්වේ.

 

නිලධාරීහු විරෝධී ක්‍රියාව සඟවති

ශ්‍රී ලංකාවේදී පසුගියදා අවසන් වූ ආසියානු කුසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ ක්‍රීඩකයකුගේ විනය විරෝධී ක්‍රියාවක් කණ්ඩායම් නිලධාරීන් සඟවා ඇති බවට චෝදනා එල්ල වේ. එම විනය විරෝධී ක්‍රියාව පිළිබඳව මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්වත් කිරීමට කණ්ඩායමේ කළමනාකරු කටයුතු කර නොමැති බවද වැඩි දුරටත් වාර්තා වේ.

අදාල ක්‍රීඩකයා කොළඹ ප්‍රධාන ක්‍රීඩා සමාජයක් නියෝජනය කරන බවත් කණ්ඩායම් කළමනාකරු සහ වයස 19 න් පහළ කණ්ඩායම අධීක්‍ෂණය කරන විධායක කමිටු නිලධාරින් දෙදෙනාගෙන් කෙනකුද එම ප්‍රධාන ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම නිසා මෙම සිද්ධිය යට ගැසීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.  

ආදාල ක්‍රීඩකයාගේ සිද්ධිය පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් කැඳවා කණ්ඩායම් කළමනාකාරිත්වය දැනුම්දී ඇති බව ද වාර්තා වේ.

ක්‍රීඩකයන් හෝටලයේ ලැගුම් ගෙන සිටි විට රාත්‍රීයේදී ක්‍රීඩකයන්ගේ ජංගම දුරකථන කළමණාකරු බාරයට ගන්නා බව ද දැනගන්නට තිබේ. එසේ වුවත් මෙම ක්‍රීඩකයා වෙනත් දුරකථනයකින් මෙම විනය විරෝධී ක්‍රියාව කර ඇති බව දැනගන්නට තිබේ. මෙම සිද්ධිය පිළිබඳව කොළඹ අවට පොලිසියකට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් ක්‍රීඩාංගණයට පැමිණ පරීක්‍ෂණ පවත්වා ඇති බවද වාර්තාවේ.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිලධාරීන් පවසන්නේ කුඩා ක්‍රීඩකයන්ගේ මෙවැනි සිද්ධීන් සැඟවීමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එන ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳව දැඩි ප්‍රශ්න මතුවිය හැකි බවයි.

“මේ නිලධාරින් තවත් සංචාරයක කටයුතු කිරීමේ බලාපොරොත්තුවෙන් මේ වගේ සිද්ධි හංගනවා. නමුත් මෙයින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු හානියක් වෙනවා” යැයි වඩාත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්යේ පාසලක ක්‍රීඩකයකු යැයි කියන මෙම ක්‍රීඩකයා ඉදිරියේ පැවැත්වෙන සංචාරයකට ද මේ වන විටත් තෝරාගෙන ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය පිළිබඳව දැනගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සහ කළද එම උත්සාහය අසාර්ථක විය.  

 

‘ඩයලොග්’ ක්‍රිකට් සම්මාන උළෙල හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල 2016 බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී හෙට (30) රාත්‍රී 7.00 සිට පැවැත්වේ.


 ඩයලොග් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පිට පිටම සිවුවැනි වරටත් පැවැත්වෙන මෙම ක්‍රිකට් සම්මාන උළෙලේදී 2015 වසරේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සම්මාන ලබති. මෙහිදී දේශිය තරගාවලිවලදී සහ අන්තර්ජාතික තරගවලදී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සම්මාන 65 ක් ලැබීමට නියමිතය.


 ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ අන්තර්ජාතික දස්කම්වලට විශේෂ සම්මාන 11 ක්ද, කාන්තා කණ්ඩායමේ දස්කම්වලට විශේෂ සම්මාන 3 ක්ද, පිරිනැමේ. ඒ අනුව වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා, ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා, දක්‍ෂතම ටෙස්ට් පිතිකරු, දක්‍ෂතම ටෙස්ට් පන්දු යවන්නා, දක්‍ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා, දක්‍ෂතම එක්දින පිතිකරු, දක්‍ෂතම එක්දින පන්දු යවන්නා, දක්‍ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා, දක්‍ෂතම විස්සයි20 පිතිකරු, දක්‍ෂතම විස්සයි20 පන්දු යවන්නා සහ වසරේ නැගී එන ක්‍රීඩකයා යන සම්මාන පිරිමි කණ්ඩායමට පිරිනැමීමට නියමිතය.


කාන්තා අංශයෙන් වසරේ දක්‍ෂතම පිතිකාරිනිය, දක්‍ෂතම පන්දු යවන්නිය සහ දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාවට සම්මාන පිරිනැමේ.


එම සම්මානවලට අමතරව වසරේ අන්තර්ජාතික විස්තර විචාරකයා, වසරේ මාධ්‍යවේදියා සහ වසරේ අන්තර්ජාතික විනිසුරුවරයා සඳහාද සම්මාන ද පිරිනැමේ.  

පළමු තරගය පාකිස්තානයට එරෙහිව

ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම මස 27 වැනිදා පාකිස්තාන කාන්තා කණ්ඩායම සමගින් තායිලන්තයේ බැංකොක් හිදී පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.


තරගාවලිය සඳහා පිටත්ව යාමට පෙර පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු පවසා සිටියේ කණ්ඩායමේ වෙනස් කම් කිරීමට සිදුවන බවයි. මෙවර ආසියානු කුසලාන තරගාවලිය විස්සයි:20 තරගාවලියක් ලෙසින් පැවැත්වේ.


පාකිස්තානයට අමතරව ඉන්දියාව, බංගලාදේශය, නේපාලය සහ තායිලන්තය යන රටවල් සමගින් මූලික වටයේදී තරග වැදීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවනු ඇත.


මෙම මස 26 වැනිදා ආරම්භවන තරගාවලිය දෙසැම්බර් මස 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් පහ සමගින් තරග වැදිය යුතුය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබා ගනිති.


ශ්‍රී ලංකා කාන්තා සංචිතය

හසිනි පෙරේරා (නායිකාව), ප්‍රසාදිනි වීරක්කොඩි (උපනායිකාව), චමරි අතපත්තු, ශ්‍රිපාලී වීරක්කොඩි, සුගන්ධිකා කුමාරී, ඩිලානී මනෝදරා, නිලක්ෂි සිල්වා, නිපුනි හංසිකා, ඉනෝකා රණවීර, ඕෂදී රණසිංහ, ඒෂානී ලොකුසූරිය, යසෝදා මෙන්ඩිස්, හංසිමා කරුණාරත්න, අමා කාංචනා සහ උදේශිකා ප්‍රබෝධනී.


තරග කාලසටහන

නොවැම්බර් 27     – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බැංකොක් හිදී

නොවැම්බර් 28     – ශ්‍රී ලංකාව සහ නේපාලය අතර බැංකොක් හිදී

නොවැම්බර් 30     – ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර බැංකොක් හිදී

දෙසැම්බර් 01      – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බැංකොක් හිදී

දෙසැම්බර් 03      – ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර බැංකොක් හිදී

විනිසුරු මතභේද ඇමති විසඳයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගම් දෙක තුනක් තිබීමෙන් ක්‍රීඩාවට වන හානිය වලක්වා ගැනීම සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධානතම විනිසුරු සංගම් දෙක එක සංගමයක් යටතේ ක්‍රියාත්මක කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (18 දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

ශ්‍රී ලංකාවේ පැරණිතම විනිසුරුවන්ගේ සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය වසර 72 ක් පැරණි ඉතිහාසයකට හිමිකම් කියයි. එම සංගමයේ සාමාජිකත්වය දැරූ ජාත්‍යන්තර විනිසුරුවන් රැසක්ම සිටින අතර මීට වසර කිහිපයකට ඉහතදී එහි තනතුරු සඳහා ඇති වූ විරසකයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටි ජාත්‍යන්තර විනිසුරුවරයකු විසින් වෘත්තීය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය පිහිටුවාගන්නා ලදි.

මෙම සංගම් දෙකේම විනිසුරුවරු ප්‍රධානතම ක්‍රිකට් තරග විනිශ්චය කරගෙන යන නමුත් මව් සංගමය ලෙසට හැදින්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සංඛ්‍යාව 660 කට වැඩි බව සඳහන් වේ. එම සංගමයෙන් වෙන්වී ගිය පිරිසක් විසින් සාදා ගන්නා ලද වෘත්තීය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සංඛ්‍යාව 75 කට ආසන්න බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙවන් සංගම් දෙකක් තිබීමෙන් විනිසුරුවන් අතර කඹ ඇදිල්ලක් නිර්මාණය වී ඇතැයි ක්‍රීඩා ඇමැතිවරයාගේ මතය වී තිබේ. එබැවින් අද පැවැත්වෙන රැස්වීමේදී වසර ගණනාවක් පුරා දෙපසට වී සිටි ක්‍රිකට් විනිසුරුවන් මව් සංගමයට ගෙන ඒමට ක්‍රීඩා ඇමැතිවරයා මැදිහත් වීමට සූදානම් වන බවක් වාර්තා වේ.

 

කාන්තා වි:20 නායිකාව හසිනි

තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස හසිනි පෙරෙරා නම්කර තිබේ. සංචිතයට ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් ඇතුළත් වෙති.

තවමත් 21 හැවිරිදි ක්‍රීඩිකාවක වන හසිනි පාලින්ක් ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. වමතින් පන්දුවට පහර දෙන දකුණතින් මඳ වේග පන්දු යවන්නියක වන හසිනි එක්දින සහ විස්සයි:20 තරග 12 ක් බැගින් ක්‍රීඩා කර තිබේ.

මෙම මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 4 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වේ.

 ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, පකිස්තානය, නේපාලය සහ තායිලන්තය යන රටවල් හයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලියේදී එක් කණ්ඩායමක් ප්‍රතිවාදී කණ්ඩායම් පහ සමගින් තරග වැදිය යුතු අතර ප්‍රසාද ලකුණ සටහනෙහි පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගනු ඇත.

 

ශ්‍රී ලංකා කාන්තා සංචිතය
හසිනි පෙරේරා (නායිකාව), ප්‍රසාදිනි වීරක්කොඩි (උපනායිකාව), චමරි අතපත්තු, ශ්‍රිපාලී වීරක්කොඩි, සුගන්ධිකා කුමාරී, ඩිලානී මනෝදරා, නිලක්ෂි සිල්වා, නිපුනි හංසිකා, ඉනෝකා රණවීර, ඕෂදී රණසිංහ, ඒෂානී ලොකුසූරිය, යසෝදා මෙන්ඩිස්, හංසිමා කරුණාරත්න, අමා කාංචනා සහ උදේශිකා ප්‍රබෝධනී.

අතිරේක ක්‍රීඩිකාවෝ:
ඉනෝෂි ප්‍රනාන්දු, ලසන්ති මධුෂානි, අනුෂ්කා සංජීවනී සහ මල්ෂා ෂෙහානි

 

ඉනෝකා කාන්තා පිලේ නායකත්වයට

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින එංගලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග හතරකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (9 වැනිදා) ආරම්භ වේ.


එක්දින තරගාවලිය සදහා ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම්කර ඇති අතර පළමු වතාවට ඉනෝකා රණවීර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස පත්කර තිබේ.  කණ්ඩායමේ උප නායකත්වය ප්‍රසාදනී වීරක්කොඩිට හිමිව තිබේ.


මෙම තරගාවලිය සඳහා නම්කරන ලද සංචිතයට ශෂිකලා සිරිවර්ධන ඇතුළත්ව නැත.


පළමු තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඉතිරි තරග තුන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
ඉනෝකා රණවීර (නායිකාව), ප්‍රසාදනී වීරක්කොඩි (උප නායිකාව), ඩිලානී මනෝදරා, නිලක්ෂී සිල්වා, අමා කාංචනා, හසිනි පෙරේරා, චමරී පොල්ගම්පොළ, චමරි අතපත්තු, නිපුනි හංසිකා, ශ්‍රීපාලී වීරක්කොඩි, සුගන්ධිකා කුමාරී, ඕෂදී රණසිංහ, හංසිමා කරුණාරත්න සහ අචිනි කුලසූරිය.


එංගලන්ත කාන්තා කණ්ඩායම
හේදර් නයිට් (නායිකාව), ටැමී බියුමවුන්ට්, කැතරින් බෲන්ට්, ජෝර්ජියා එල්විස්, ජෙවී ගන්, ඇලෙක්ස් හාර්ට්ලී, ඩැනියල් හේසල්, අමී ජෝන්ස්, බෙත් ලැන්ග්ස්ටන්, ලෝරා මාෂ්, නටාලී සීවර්, ෆ්‍රැන් විල්සන්, ලොරේන් වින්ෆීල්ඞ් සහ ඩැනියල් වයිට්.

 

නොවැම්බර් 09 : පළමු එක්දින තරගය – එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

නොවැම්බර් 12 : දෙවැනි එක්දින තරගය – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

නොවැම්බර් 15 : තෙවැනි එක්දින තරගය – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

නොවැම්බර් 17 : සිව්වැනි එක්දින තරගය – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී