Category Archives: AUS in IND 2017

ඉන්දියාව 2-1 කින් ටෙස්ට් තරගාවලිය ජය ගනියි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ ධර්මශාලාහිදී පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමා වීමට තවත් දිනයක් ඉතිරිව තිබියදීම, ඉන් කඩුලු 8 කින් ජය ලැබීමට ඉන්දීය කණ්ඩාය අද (28 වැනිදා) සමත් විය.

ඒ අනුව දෙරට අතර තරග 4 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමටද ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර තරගාවලිය පුරා තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ රවින්ද්‍ර ජදේජා සිවුවැනි තරගයේ මෙන්ම තරගාවලියේද වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර ආරම්භක පිතිතරු ලොකේෂ් රාහුල් (නොදැවී 51) සහ නායක අජින්ක්‍යා රහනේ (නොදැවී 38) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. ලෝකේෂ් රාහුල්ගේ 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත වූ අතර අජින්ක්‍යා රහනේගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

සිවුවැනි දිනය වූ ඊයේ (27 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 19 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම, ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ඉතිරි ලකුණු 87 අද දිනයේ දිවා ආහරයට පෙර රැස්කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 8 ක් ලබා සිටි ආරම්භක පිතිකරු මුරලි විජේ පිටියෙන් ඉවත් කිරීමට පැට් කමින්ස් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ්ගේ සහායද ඇතිවය.

ඉන් පසුව පිටියට පිවිසි චෙතේෂ්වර් පුජාරාට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව නොලැබුණ අතර ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙර ඔහු දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ග්ලේන් මැක්ස්වෙල් සමත් විය.

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 300
(ඬේව්ඞ් වෝනර් 56, ස්ටීවන් ස්මිත් 111, මැතිව් වේඞ් 57, පැට් කමින්ස් 21, කුල්දීප් යාදව් 68/4, උමේෂ් යාදව් 69/2)

ඉන්දියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 332
(ලෝකේෂ් රාහුල් 60, චෙතේෂ්වර් පුජාරා 57, අජින්ක්‍යා රහනේ 46, රවිචන්ද්‍රන් අෂ්වින් 30, රිධිමන් සාහ 31, රවින්ද්‍ර ජදේජා 63, නේදන් ලයන් 95/5, පැට් කමින්ස් 94/3)

ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 137  
(ස්ටීවන් ස්මිත් 17, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 18, ග්ලේන් මැක්ස්වෙල් 45, මැතිව් වේඞ් නොදැවී 25, රවින්ද්‍ර ජදේජා 24/3, රවිචන්ද්‍රන් අෂ්වින් 29/3, උමේෂ් යාදව් 29/3)

ඉන්දියාව දෙවැනි ඉනිම – කඩුලු 2 ක් දැවී 106
(ලෝකේෂ් රාහුල් නොදැවී 51, අජින්ක්‍යා රහනේ නොදැවී 38)

-036

 

නේදන් ලයන් ඉන්දීය ඉනිම අඩපණ කරයි

සංචාරක ඕස්ට්‍රේෙලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ ධර්මශාලාහිදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටියේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම කඩුලු 4 ක් අතැතිව ඕස්ට්‍රේෙලියාවට වඩා තවත් ලකුණු 52 පසුපසින් සිටින අතර දිනය නිමාවන විට රිදිමන් සාහ ලකුණු 10 ක්ද, රවින්ද්‍ර ජදේජා ලකුණු 16 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 21 ක් වන විට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු මුරලි විජේ (11) පිටියෙන් ඉවත් කිරීමට ජොෂ් හෙසල්වුඞ් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ්ගේ සහායද ඇතිවය.

මුරලි විජේගේ දැවී යෑමෙන් අනතුරුව ලෝකේෂ් රාහුල් (60) සමග එක්වූ චෙතේෂ්වර් පුජාරා (57) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ ඬේවිඞ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් ලෝකේෂ් රාහුල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

නේදන් ලයන්ගේ පළමු ගොදුර බවට පත්වෙමින් පුජාරා දැවී ගියේ පීටර් හෑන්ඞ්ස්කොම්බ් අතට උඩපන්දුවක් දෙමිනි. රාහුල්ගේ 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත වූ අතර පුජාරාගේ 15 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

නායක අජින්ක්‍යා රහනේට (46) සිය 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය පෙනි පෙනී ඉතා අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ ස්ටීවන් ස්මිත් අතර උඩ පන්දුවක් දීම හේතුවෙනි.

කරුන් නායර්ට (5) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩ නොදුන් නේදන් ලයන්, ලකුණු 30 ක් ලබා සිටි රවිචන්ද්‍රන් අෂ්වින් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූයේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමිනි.

ඕස්ට්‍රේෙලියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 300
(ඬේව්ඞ් වෝනර් 56, ස්ටීවන් ස්මිත් 111, මැතිව් වේඞ් 57, පැට් කමින්ස් 21, කුල්දීප් යාදව් 68/4, උමේෂ් යාදව් 69/2)

ඉන්දියාව පළමු ඉනිම – කඩුලු 6 ක් දැවී 248
(ලෝකේෂ් රාහුල් 60, චෙතේෂ්වර් පුජාරා 57, අජින්ක්‍යා රහනේ 46, රවිචන්ද්‍රන් අෂ්වින් 30, රවින්ද්‍ර ජදේජා නොදැවී 16, නේදන් ලයන් 67/4)

-036

 

ඕස්ට්‍රේලියානු පිල 300 කට දැවීයයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ ධර්මශාලාහිදී පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 300 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

පළමු දිනය වූ අද (25 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු නොළබා සිටියේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 88.3 ක් පන්දුවට පහරදුන් බැවින් ඉන්දීය කණ්ඩායමට අද දිනයේදී පන්දුවට පහරදීමට සිදුවූයේ එක් ඕවරයක් පමණි.

මුලු ලකුණු සංඛ්‍යාව 10 ක් වට විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු මැට් රේන්ෂෝ (1) පිටියෙන් ඉවත් කිරීමට උමේෂ් යාදව් සමත් විය. කෙසේ වුවත් ඬේවිඞ් වෝනර් (56) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ස්ටීවන් ස්මිත් (111) ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ අජින්කයා රහනේ අතට උඩ පන්දුවක් දෙමින් ඬේවිඞ් වෝනර් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටුණ අතර වෝනර්ගේ 24 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් සිය 20 වැනි ටෙස්ට් ශතකය ලබාගත් ස්ටීවන් ස්මිත් එය හතරේ පහර 14 කින් සැරසීය. මෙය ස්මිත්ගේ 54 වැනි ටෙස්ට් තරගය වන අතර මේ දක්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළදී ශතක 20 ක් සහ අර්ධ ශතක 20 ක් ලබාගැනීමට ඔහු සමත් වීම සුවිශේෂී දක්ෂතාවක් ලෙස හැදින්විය හැකිය.

වෝනර්ගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි ෂෝන් මාර්ෂ්ට (4), පීටර් හෑන්ඞ්ස්කොම්බ්ට (8) මෙන්ම ග්ලේන් මැක්ස්වෙල්ටද (8) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබිණ. උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රිදිමන් සාහ අතට උඩපන්දුවක් දෙමින් මාර්ෂ් දැවී ගිය අතර හෑන්ඞ්ස්කොම්බ්ගේ සහ මැක්ස්වෙල්ගේ කඩුලු බිඳ දැමීමට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කුල්දීප් යාදව් සමත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 208 ක් වන විට රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ අජින්ක්‍යා රහනේ අතට උඩ පන්දුවක් දෙමින් ශතකයක් ලබා සිටි ස්ටීවන් ස්මිත් පිටියෙන් ඉවත්ව ගියේ ඕස්ට්‍රේලියානු ඉනිමේ 6 වැනි කඩුල්ල බවට පත්වෙමිනි.

ඉන් අතතුරුව ක්‍රියාත්මක වූ මැතිව් වේඞ් ලකුණු 57 ක් රැස්කරමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ලකුණු 300 සීමාව කරා කැඳවාගෙන ගිය අතර ඔහුගේ සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

දෙරට අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී ඇතිවූ දකුණු උරහිසේ අබාධ තත්ත්වයක් නිසා ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලි මෙම තරගයට සහභාගි නොවන අතර අජින්ක්‍යා රහනේ මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවයි.


ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 300
(ඬේව්ඞ් වෝනර් 56, ස්ටීවන් ස්මිත් 111, මැතිව් වේඞ් 57, පැට් කමින්ස් 21, කුල්දීප් යාදව් 68/4, උමේෂ් යාදව් 69/2)


- 036

 

තෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉන්දියාවේ රාංචිහිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය අද (20 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ අවසන් දිනය වූ අද තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 204 ක් ලබා සිටියේය.

ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වෙමින් තරගය නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි පීටර් හෑන්ඞ්ස්කොම්බ් (නොදැවී 72), සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 7 කින් සැරසීය. ෂෝන් මාෂ් (53) සමග එක්ව ඕස්ට්‍රේලියානු ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෑන්ඞ්ස්කොම්බ් සමත් විය. මාෂ්ගේ 7 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

සිව්වැනි දිනය වූ ඊයේ (19 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 23 ක් ලබා සිටි ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයෝ අද දිනයේදී කඩුලු 4 ක් දැවී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 181 ක් එක් කරගත්හ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ රවින්ද්‍ර ජදේජා කඩුලු 4 ක් දවාගනිමින් ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් පීඩනයට පත් කළේය. ඬේවිඞ් වෝනර්ගේ, නේදන් ලයන්ගේ සහ නායක ස්ටීවන් ස්මිත්ගේ කඩුලු බිඳ දැමූ ජදේජා, ෂෝන් මාෂ් පිටියෙන් ඉවත් කළේ මුරලි විජේගේ සහායද ඇතිවය.


ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 451
ඉන්දියාව පළමු ඉනිම – කඩුලු 9 ක් දැවී 603
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම – කඩුලු 6 ක් දැවී 204

(ස්ටීවන් ස්මිත් 21, ෂෝන් මාෂ් 53, පීටර් හෑන්ඞ්ස්කොම්බ් නොදැවී 72, රවින්ද්‍ර ජදේජා 54/4)


- 036

 

පුජාරාගේ ශතකයෙන් ඉන්දියාව හිස ඔසවයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ රාංචිහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (18 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 360 ක් ලබා සිටියේය.

ඒ අනුව ඉන්දියාව කඩුලු 4 ක් අතැතිව ඕස්ට්‍රේලියාවට වඩා තවත් ලකුණු 91 ක් පසුපසින් සිටින අතර දිනය නිමාවන විට චෙතේෂ්වර් පුජාරා ලකුණු 130 ක්ද, රිදිමන් සාහා ලකුණු 18 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මුරලි විජේ (82) සහ චෙතේෂ්වර් පුජාරා එක්ව දෙවැනි කඩුල්ල සඳහා ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණ 102 කට සීමා කරමින් දිනයේ පළමු කඩුල්ල ලෙස මුරලි විජේ පිටියෙන් ඉවත් කිරීමට ස්ටීව් ඕ’කේෆ් සමත් විය. කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් දැවී යන විට විජේගේ 15 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වී තිබිණ.

දිනය පුරා කඩුල්ලේ රැදී සිටිමින් ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වු චෙතේෂ්වර් පුජාරා, එහිදී සිය 11 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේ හතරේ පහර 17 ක්ද ඊට අන්තර්ගත කරමිනි.

මුරලි විජේගේ දැවී යාමෙන් අනතුරව අජින්ක්‍යා රහනේ (14) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක් සම්බන්ධතාවක්ද, කරුන් නායර් (23) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ පුජාරා, ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් ඉහළ දැමුවේය.

නායක විරාට් කෝලිට (6) මෙන්ම රවිචන්ද්‍රන් අෂ්වින්ටද (3) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර පැට් කමින්ස්ගේ පන්දු හමුවේ පිළිවෙලින් ස්ටීව්න් ස්මිත්ට සහ මැතිව් වේඞ්ට උඩ පන්දු ලබා දෙමින් ඔවුන් දෙදෙනා පිටියෙන් ඉවත්ව ගියහ.

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 451
ඉන්දියාව පළමු ඉනිම – කඩුලු 6 ක් දැවී 360

(ලෝකේෂ් රාහුල් 67, මුරලි විජේ නොදැවී 82, චෙතේෂ්වර් පුජාරා නොදැවී 130, කරුන් නායර් 23, රිදිමන් සාහා 18, පැට් කමින්ස් 59/4)


- 036

 

ඉන්දීය පිලෙන් සාර්ථක ආරම්භයක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ රාංචිහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 120 ක් ලබා සිටියේය.

ඒ අනුව ඉන්දියාව කඩුලු 9 ක් අතැතිව ඕස්ට්‍රේලියාවට වඩා තවත් ලකුණු 331 ක් පසුපසින් සිටින අතර දිනය නිමාවන විට මුරලි විජේ ලකුණු 42 ක්ද, චෙතේෂ්වර් පුජාරා ලකුණු 10 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

අද දිනයේදී සිට 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ලෝකේෂ් රාහුල්, හතරේ පහර 9 ක් සමගින් ලකුණු 67 ක් ලබා සිටියදී පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ මැතිව් වේඞ් අතට උඩ පන්දුවක් දෙමින් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. මුරලි විජේ සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමටද ලෝකේෂ් රාහුල් සමත් විය.

පළමු දිනය වූ ඊයේ (16 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 299 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 152 ක් එක්කරගත්හ.

සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමෙන් අනතුරුව ග්ලේන් මැක්ස්වෙල් (104) දිනයේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේ රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රිදිමන් සාහා අතට උඩ පන්දුවක් දෙමිනි. ඒ වන විට ඔහු සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් සරසා තිබිණ.

ඉනිම නිමා වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නායක ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 178 ක් රැස්කළේ හතරේ පහර 17 ක් සමගිනි. ඕස්ට්‍රේලියානු ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් සමග එක්ව ලකුණු 191 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්මිත් සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවින්ද්‍ර ජදේජා ලකුණු 124 කට කඩුලු 5 ක් දවාගත් අතර අද දිනයේදී බිඳවැටුණ කඩුලු 6 න් 4 කටම හිමිකම් කීමටද ඔහු සමත් විය. ඕස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ජොෂ් හෙසල්වුඞ් දුවද්දී දවාගැනීමකට හසුකරගැනීම සඳහාද ජදේජා සහාය විය.


ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 451
(මැට් රේන්ෂෝ 44, ඬේවිඞ් වෝනර් 19, ස්ටීවන් ස්මිත් නොදැවී 178, පීටර් හැන්ස්ඞ්කොම්බ් 19, ග්ලේන් මැක්ස්වෙල් 104, මැතිව් වේඞ් 37, ස්ටීව් ඕ’කේෆ් 25, රවින්ද්‍ර ජදේජා 124/5, උමේෂ් යාදව් 105/3)

ඉන්දියාව පළමු ඉනිම – කඩුල්ලක් දැවී 120
(ලෝකේෂ් රාහුල් 67, මුරලි විජේ නොදැවී 42)


- 036

 

ස්මිත් – මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව ඔසවා තබති

ස්ටීවන් ස්මිත් (නොදැවී 117) සහ ග්ලෙන් මැක්ස්වෙල් (නොදැවී 82) එක්ව පස්වැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 159 ක නොබිඳුණු සම්බන්ධතාවය හේතුවෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර රංචීහිදී අද (16 වැනිදා) ආරම්භවූ තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් කරන විට ඕස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 299 ක් රැස්කිරීමට සමත්වීය.


පන්දු 104 කදී අර්ධ ශතකය වාර්තා කළ ස්ටීවන් ස්මිත්ට ශතකය වාර්තා කිරීමට තවත් පන්දු 123 ක් අවශ්‍ය විය. හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමගින් පන්දු 95 කදී අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට ග්ලෙන් මැක්ස්වෙල් සමත්වූයේය.


ලකුණු 89 ක් වනවිට ඕස්ටේ්‍රලියානු කඩුලු තුනක් දවාගැනීමට ඉන්දියානු පන්දු යවන්නෝ සමත්වූ අතර සිව්වැනි කඩුල්ල සදහා පීටර් හැන්ඞ්ස්කොම්බ් සමගින් ලකුණු 51 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ස්ටීවන් ස්මිත් සමත් වූයේය. ඉන් නොනැවතුණු ස්මිත් පස්වැනි කඩුල්ල සදහා ග්ලෙන් මැක්ස්වෙල් සමගින් එක්ව ලකුණු 159 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය.


කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ආරම්භක පිතිකරුවන්වූ මැට් රේන්ෂෝ සහ ඬේවිඞ් වෝනර් පළමු කඩුල්ල සදහා ලකුණු 50 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

 

ඕස්ට්‍රේලියාව – පළමු ඉනිම – ඕවර 90 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 299
(මැට් රේන්ෂෝ 44, ස්ටීවන් ස්මිත් නොදැවී 117, ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී 82, උමේෂ් යාදව් 63/2)

 

ඉන්දියාව ටෙස්ට් තරගාවලිය සම කරයි

රවිචන්ද්‍ර අෂ්වින්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව බෙංගලූරුහි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 75 ක ජයක් අත්කරගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 4 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කිරීමටද ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.


තරගයේ සිව්වැනි දිනය වූ අද (7 වැනිදා) ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 112 කට සීමා කිරීමට රවිචන්ද්‍ර අෂ්වින් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.


දක්ෂ පන්දු යැවීමක නිතර වූ අෂ්වින් ලකුණු 41 කට කඩුලු 6 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම සුණුවිසුනු කර දැමීය.

පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවීයාමද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල පාඩුවක් විය.


ඉන්දියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 189

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 276

ඉන්දියාව දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 274
(ලෝකේෂ් රාහුල් 51, චෙතේෂ්වර් පුජාරා 92, අජින්ක්‍යා රහනේ 52, රිදිමන් සාහ 20, ජොස් හෙසල්වුඞ් 67/6, ස්ටීව් ඕ’කේෆ් 36/2, ජොෂ් හෙසල්වුඞ් 74/2)

ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 112
(ඬේවිඞ් වෝනර් 17, ස්ටීවන් ස්මිත් 28, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 24, රවිචන්ද්‍ර අෂ්වින් 41/6, උමේෂ් යාදව් 30/2)

 

- 036

 

පුජාරා – රහනේ ඉන්දියාව ඔසවා තබති

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර බෙංගලූරුහි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (6 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 213 ක් ලබා සිටියේය. ඒ අනුව ඉන්දීය කණඩායම තවත් කඩුලු 6 ක් අතැතිව ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 126 ක් ඉදිරියෙන් සිටියි.

ලකුණු 120 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ කෙමෙන් කෙමෙන් ඉන්දීය ඉනිම ගොඩනැගූ චෙතේෂ්වර් පුජාරා සහ අජින්ක්‍යා රහනේ තරගය නතර කරන විට පිළිවෙලින් ලකුණු 79 ක් සහ 40 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

දිනය නිමා වන විට ඔවුන් දෙදෙනා එක්ව ඉන්දීය ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 93 කි. පුජාරාගේ 14 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත වූ අතර රහනේගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් (51) සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගනිමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර ස්ටීව් ඕ’කේෆීගේ පන්දුවක් හමුවේ නායක ස්ටීවන් ස්මිත් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් අන්තර්ගත වී තිබිණ.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ ජොස් හෙසල්වුඞ් ලකුණු 57 කට ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් තිදෙනෙක්ම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාගැනීමට සමත් විය. අභිනව් මුකුන්ද්ගේ (16) සහ රවින්ද්‍ර ජදේජාගේ (2) කඩුලු බිඳ දැමූ හෙසල්වුඞ්, නායක විරාට් කෝලි  (15) පිටියෙන් ඉවත් කළේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමිනි.  

දෙවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 237 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 39 ක් පමණි.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 26 ක් ලබා සිටි මිචෙල් ස්ටාක් පිටියෙන් ඉවත් කිරීමට රවිචන්ද්‍රන් අෂ්වින් සමත් වූ අතර එතැන් සිට තවත් ලකුණු 7 ක් තුළ ඉතිරි කඩුලු 3 ම දවාගැනීමට රවින්ද්‍ර ජදේජා සමත් විය. කඩුල්ල මුවාකිරීමට හසුකරගනිමින් මැතිව් වේඞ් (40) සහ නේදන් ලයන් (0) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ ජදේජා, ජොස් හෙසල්වුඩ් දවාගත්තේ ලෝකේෂ් රාහුල්ගේ සහායද ඇතිවය.


ඉන්දියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 189
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 276

(ඬේවිඞ් වෝනර් 33, මැතිව් රැන්ෂෝ 60, ෂෝන් මාෂ් 66, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 16, මැතිව් වේඞ් 40, මිචෙල් ස්ටාක් 26, රවින්ද්‍ර ජදේජා 63/6, රවිචන්ද්‍රන් අෂ්වින් 84/2)

ඉන්දියාව දෙවැනි ඉනිම – කඩුලු 4 ක් දැවී 213
(ලෝකේෂ් රාහුල් 51, චෙතේෂ්වර් පුජාරා නොදැවී 79, අජින්ක්‍යා රහනේ නොදැවී 40, ජොස් හෙසල්වුඞ් 57/3)


- 036

 

ඕස්ට්‍රේලියාව ලකුණු 48 ක් ඉදිරියෙන්

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර බෙංගලූරුහි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (4 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 237 ක් ලබා සිටියේය. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණඩායම තවත් කඩුලු 4 ක් අතැතිව ඉන්දියාවට වඩා ලකුණු 48 ක් ඉදිරියෙන් සිටියි.

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඞ් ලකුණු 25 ක්ද, මිචෙල් ස්ටාක් ලකුණු 14 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. පළමු දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 40 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 197 ක් එක් කරගත්හ.

ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 52 කට සීමා කරමින් ලකුණු 33 ක් ලබා සිටි ඬේවිඞ් වෝනර් පිටියෙන් ඉවත්කිරීමට රවිචන්ද්‍රන් අෂ්වින් සමත් විය. පා ඉන්නටත් එහායින් පතිත වූ අෂ්වින්ගේ පිට දඟ පන්දුව විශාල දඟකැවීමකට ලක්වීමෙන් පසු පිට ඉන්න සිපගැනීමත් සමග වෝනර් ඉනිම නිමා විය.

වෝනර්ගේ නික්ම යෑමෙන් අනතුරුව පිටියට පිවිසි නායක ස්මිත්ට ලකුණු අතරට පැමිණීම සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රිදිමන් සාහ අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 52 කට මුහුණදී සිටි ස්මිත් ලබා සිටියේ ලකුණු 8 ක් පමණි.

ඉන්දීය පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් මැතිව් රැන්ෂෝ (60) සමග එක්ව ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෂොන් මාර්ෂ් (66), ඉන් නොනැවතී මැතිව් වේඞ් (නොදැවී 25) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේ ඕස්ට්‍රේලියානු ඉනිමේ කොදු නාරටිය බවට පත් වෙමිනි. මාෂ්ගේ 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 4 කින් සමන්විත වූ අතර උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ කරුන් නායර් අතට උඩ පන්දුවක් දීම නිසා ඔහුගේ ඉනිම නිමා විය.

සිය ටෙස්ට් දිවියේ තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ආරම්භක පිතිකරු මැතිව් රැන්ෂෝ එය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් අලංකාර කළේය. ජදේජාගේ පන්දුවක් හමුවේ රිදිමන් සාහගේ විශිෂ්ට ස්ටම්ප් කිරීමකට හසුවීම නිසා රැන්ෂෝට පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

ලකුණු 16 ක් ලබා සිටියදී ලබා දුන් අසීර් උඩ පන්දුවක් රැකගැනීමට මිඞ් විකට් කළාපයේ පන්දුරකිමින් සිටි අෂ්වින් සමත් වීමත් සමග ජදේජාගේ තෙවැනි කඩුල්ල බවට පත්වෙමින් පීටර් හෑන්ඞ්ස්කොම්බ් දැවී ගියේය. ඉන් අනතුරුවට පිටියට පිවිසි මිචෙල් මාෂ් ලකුණු ලබා ගැනීමට පෙරාතුවම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉෂාන්ත් ශර්මා සමත් වූයේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමිනි.


ඉන්දියාව පළමු ඉනිම – සියලු දෙනා දැවී 189
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම – කඩුලු 6 ක් දැවී 237

(ඬේවිඞ් වෝනර් 33, මැතිව් රැන්ෂෝ 60, ෂෝන් මාෂ් 66, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 16, මැතිව් වේඞ් නොදැවී 25, මිචෙල් ස්ටාක් නොදැවී 14, රවින්ද්‍ර ජදේජා 49/3)


- 036