Category Archives: Featured

මගේ සාර්ථකත්වය හදිසි තීරණයි – ඩිල්ෂාන්

සාර්ථක මිනිසුන් බිහිවන්නේ නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණ ගැනීමෙනි. කිසියම් තීරණයක් ගනු ලබන අවස්ථාවේ සිට ඇතිවන්නා වූ අනුයාත සිදුවීම් වැලටම තමන්ම මුහුණ දිය යුතුය. 2008 ඕස්ට්‍රේලියානු සංචාරයට නොතේරීම පිළිබඳව ෂේන් වෝන් කළ ප්‍රකාශයක් අනුව සිත මෙහෙවයමින් තමන් පිළිබඳ තක්සේරුවකට පැමිණීමටත් මහේල ජයවර්ධනට දුන් දුරකතන ඇමතුමත් අතර කාලය ගෙවී ගියේ නොසිතූ වේගයෙනි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අද්වීතීය මෙහෙවරක නිරත වූ තිලකරන්ත ඩිල්ෂාන් හෙවත් ටී. එම්. ඩිල්ෂන් පිළිබඳ බොහෝ දෙනා තුළ ඇති මතකය එක්දින අන්තර්ජාතික තරග සම්බන්ධයෙන් වූවත් ඩිල්ෂාන් යනු සිය දෙවැනි ටෙස්ට් තරගයේදීම ලකුණු 150 සීමාව ඉක්මවා ගිය (සිම්බාව්වේ පිලට එරෙහිව හරාරේහිදී නොදැවී ලකුණු 163 යි), ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක ලබාගත් පිතිකරුවන් අතරටද එක්වූ විශිෂ්ට ගනයේ පිතිකරුවෙකි.

ඩිල්ෂාන් සිය මංගල එක්දින ශතකය ලබාගන්නේ ලෝක වාර්තාවකට සම්මාදම් වෙමිනි.

2006 දී නෙදර්ලන්තයේ ඇම්ස්ට්ලීවන් නුවරදී පන්දු 78 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 117 ක් ලබාගන්නා ඩිල්ෂාන් ඕවර 50 කදී කඩුලු 9 කට ලකුණු 443 ක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන යයි. එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් එදා ලෝක වාර්තා පෙතේ ලියා තැබූ වාර්තාව අදටත් නොබිඳී පවතී. ඒ අංක 5 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කරමිනි.

ඩිල්ෂාන් එක්දින පිතිකරුවකු වශයෙන් පරිපූර්ණයත්වයට පත්වන්නේ 2009 පාකිස්තානු සංචාරයේදී ඉනිම ආරම්භ කිරීමත් සමගය. 1999 දී සිම්බාබ්වේ පිලට එරෙහිව බුලවායෝහිදී එක්දින හිස්වැස්ම දිනාගන්නා ඩිල්ෂාන් 2008 දෙැසම්බර් දක්වා ලබාගත්තේ එක්දින ලකුණු 2994 කි. එහෙත් 2009 ජනවාරි මාසයේ සිට මේ දක්වා ආරම්භක පිතිකරුවකු ලෙසින් කටයුතු කළ ඩිල්ෂාන් එක්දින ලකුණු 7254 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වසර 17 ක් පුරා දහදිය හෙළුෑ ඩිල්ෂාන් අන්තර්ජාතික තරග බිමෙන්  සමුගන්නේ තෘප්තිමත් සිතිනි. ඔහු සමග කළ පිළිසඳරක් මෙසේ සටහන් කෙරෙයි


හදිසියේම මේ වගේ තීරණයක් ගන්න හිතුවේ ඇයි ?

මා හිතනවා අවුරුදු 17 ක විතර කාලයක් මගේ රට වෙනුවෙන් මගෙන් යම් කිසි දෙයක් කෙරුණා කියලා. මට ඒ ගැන සන්තෝස වෙන්න පුළුවන්. මම පිතිකරුවෙක් හැටියට අසාර්ථක වුණා නම් පන්දු යවන්නෙක් හැටියට හෝ කණ්ඩායම වෙනුවෙන් කිසියම් දෙයක් කළා. ඒ දෙකම ආසාර්ථක වුණ වෙලාවල මා පන්දු රැකීමෙන්, එක්කෝ දුවද්දී දවාගැනීමකින් නැතිනම් හොඳ උඩපන්දුවකින් ක්‍රීඩකයකු දෙන්නෙකු දවාගත්තා. ඒ නිසා මා කරපු දේ ගැන මට සන්තෝෂයක් තියෙනවා.

මම ලබාගන්න ඕන දේවල් ටික ටිකහරි ලබාගත්තා. මම අද මේ තත්ත්වයේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. ක්‍රිකට් ක්‍රීඩාවට මා ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවට හොඳින් සමුදීලා, නවකයකුට අවස්ථාවක් දීලා ඔහු දිහා බලාගෙන සතුටු වෙන එක තමයි දැන් මට තියෙන්නේ.

මම යම් යම් දේවල් කරන්නේ කාටවත් ආදර්ශයක් වෙන්න කියලා නෙමෙයි. සමහර අයට ඒක ආදර්ශයක් වෙයි. ඒත් සමහර අයට ඒක වෙනත් විදිහකට පෙනේවි. යම් කිසි දෙයක් හරියි කියලා මට හිතුණොත් මම ඒ දේ කරනවා.


මේ තීරණය ගන්න ඉස්සර දවස් දෙක තුනේදී හිත කළඹමින් තිබුණේ මොන වගේ දේවල්ද ?

මගේ බලාපොරොත්තුව තිබුණේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් හැකි උපරිම තරම් කාලයක් කරන්න. මේ තරගාවලියට ඉස්සරවෙලා නම් මගේ බලාපොරොත්තුව තිබුණේ ඊළඟ විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියටත් සහභාගි වෙන්න. නමුත්, මොන මොන විදිහේ බලාපොරොත්තු තිබුණත් අපේ අදහස් වෙනස් වෙනවා. ඒ නිසා ඒ අනුව ක්‍රියා කරන්න වෙනවා.

බ්‍රහස්පතින්දා (25 වැනිදා) උදේ නැගිට්ටම මට හිතුණා දැන් සමුගෙත්තොත් හොඳයි කියලා. ඒ නිසා තමයි මම මේ තීරණය ගත්තේ. මම ටෙස්ට් තරග වලින් සමුගත්තෙත් මේ විදිහටම තමයි. එදා උදේ නැගිට්ටාම මට හිතුණා දැන් ඇති කියලා. මම බිරිඳත්, ගෙදර අයත් එක්කත් සාකච්ඡා කරලා මගේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්නුවා.


ඔබ කියන්නේ මේ තීරණය ගත්තේ කිසිම ආකාරයේ පූර්ව සැලසුමකින් තොරව කියලද ?

මම ගොඩාක් දුර සැලසුම් කරන්නේ නෑ. තරගාවලියකට ගියත් මම හිතන්නේ තරගයෙන් තරගය ගැන මිසක් තරගාවලිය ගැනම නෙමේ. අනෙක ක්‍රිකට් වලදි විතරක් නෙමේ මගේ සාමාන්‍ය ජීවිතයේදි වුණත් මා ගන්නේ ඉක්මන් තීරණ. ඒ හැම තීරණයක්ම මේ දක්වා සාර්ථක වෙලා තියෙනවා. ඒ එකක් වත් වැරදිලා නෑ. මා හිතනවා මේ වතාවෙත් ගත්තේ හරි තීරණයක් කියලා.

විශේෂයෙන්ම මේ තීරණය ගත්ත එක ගැන ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවාම දැන් (දිනයකට පසුව) මට හිතෙනවා මම ගත්ත තීරණය හරි කියලා.

ඔබේ ක්‍රීඩා දිවියේ මුල් කාලයේදී ඔබ පිතිකරු ලයිස්තුවේ හැම තැනම ක්‍රීඩා කළා. ඒත් ඔබ තරමක් වෙනස් ආකාරයේ පිතිකරුවක් වන්නේ ආරම්භක පිතිකරුවකු වීමත් සමගයි. ඒ 2009 පාකිස්තානු සංචාරයේ සිටයි.
ඔව්. මම 1999 ඉඳන් 2008 වෙනකම් ක්‍රීඩා කළේ පිතිකරු ලයිස්තුවේ අංක 6, 7 නැත්නම් 5 වගේ ස්ථාන වල. එක තරගාවලියකදි අංක 4 ක්‍රීඩා කරන්න ලැබුණා මොකද මහේල එයාගේ විවාහ උත්සවේට ගෙදර ආපු වෙලාවේ (2006 ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේදී). එතැනදී මම අර්ධ ශතක තුනක් ලබාගත්තා. පස්සේ මට හිතුණා මට පිතිකරු ලයිස්තුවේ ඉහළින් එන්න පුළුවන් නම් මට වැඩිපුර ලකුණු සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන් කියලා. ඒත් මට ඉහළට එන්න අවස්ථාවක් තිබුණේ නෑ. මොකද ඒ වෙනකොට අපේ පිතිකරු ලයිස්තුවේ අංක 1 සිට 5 දක්වාම පිතිකරුවෝ ඉතාමත් හොඳින් දස්කම් පෙන්වමින් හිටියේ.

එහෙම වුණත් මට ලැබෙන හැම අවස්ථාවකදීම මම උපරිම ප්‍රයෝජන ගත්තා.
මුලින්ම මම 1999 ක්‍රීඩා කළාට පස්සේ මට වසර 3 ක් විතර ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ. ඒ වසර තුනත් ක්‍රීඩා කළා නම් මට (එක්දින) ලකුණු 14,000 ක් නැත්නම් 15,000 ක් විතර ලබාගන්න තිබුණා. මොකද ඊට පස්සෙ වුණත් 2003 ඉඳලා 2007 වෙනකම් ක්‍රීඩකයෙක් තුවාල වුණොත් තමා මට අවස්ථාවක් ලැබෙන්නෙ.

(2007 ලෝක කුසලාන තරගාවලියේදී ඩිල්ෂාන් ක්‍රීඩා කරන නමුත් එම තරගාවලියේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන්නේ උපුල් තරංග සහ සනත් ජයසූරියයි. කණ්ඩායමේ සිටි අනෙක් ආරම්භක පිතිකරුවා වූ මාවන් අතපත්තුට 2007 ලෝක කුසලාන තරගාවලියේදී එකම තරගයක් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොලැබෙන්නේ උපුල් තරග (ලකුණු 298) සහ සනත් ජයසූරිය (ලකුණු 467) දෙදෙනාම සාර්ථක වීම හේතුවෙනි.)

2008 ඕස්ට්‍රේලියානු සංචාරයට මාව එක්කරගෙන ගියේ නෑ. එදා ෂේන් වෝන් කියලා තිබුණා ශ්‍රී ලංකාවේ ඉන්න පිතිකරුවන් අතුරින් වේග පන්දු යවන්නන්ට හොඳින්ම පහර දෙන පිතිකරුවා ඩිල්ෂාන්. එයා ඕස්ට්‍රේලියානු සංචාරයට නැතිවීම ඕස්ටේ්‍රලියානුවන්ට වාසියක් කියලා.

ෂේන් වෝන් කියන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්. ඔහු ඒ වගේ දෙයක් කීවාම මට හිතුණා මගේ ඇඟේ මීට වඩා දෙයක් තියෙනවා. මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මට හිතුණා එක්කෝ මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වෙනවා. නැත්නම් ආරම්භක පිතිකරුවෙක් වශයෙන් ක්‍රීඩා කරනවා කියලා. ඒ ගැනත් මම ගෙදර අයත් එක්ක කතා කළා.


එතකොට නායකත්වයේ හිටියේ මහේල. මහේල ඒ වෙනකොටත් ඕස්ටේ්‍රලියාවේ හිටියේ. මම මහේලට දුරකතන ඇමතුමක් අරන් කිව්වා මින් ඉදිරියේදී මාව අංක 7 හෝ මැද පෙළ පිතිකරුවකු වශයෙන් කණ්ඩායමට තෝරන්න එපා. අදින් පස්සේ මාව තෝරනවා නම් ආරම්භක පිතිකරුවකු හැටියට විතරක් තෝරාගන්න කියලා.

 


ඒ වෙලාවේ මහේලගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද?

මහේල මට එවේලේම කිව්වේ ‘ඩිලී’ ආරම්භක පිතිකරුවකු වෙන්න ඕනෙ නම් ඔයා ගිහින් දේශීය තරග වල ඉනිම ආරම්භ කරන්න කියලා. ඊට පස්සේ මම ගිහින් බ්ලූම්ෆීල්ඞ් පිල වෙනුවෙන් ඉනිම ආරම්භ කරලා පළමු තරගයේදීම කෝල්ට්ස් පිලට එරෙහිව ලකුණු 190 ක් ලබාගත්තා. ඒ තරගාවලියේ හැම තරගයක්ම අපි (බ්ලූම්ෆීල්ඞ්) කණ්ඩායම ජයගත්තා. ඊට පස්සේ බංග්ලාදේශත් එක්ක තිබුණ ටෙස්ට් තරගාවලියකට මාව කැඳෙව්වා. පළමු වැනි ටෙස්ට් තරගයේදී (අංක 6 පිතිකරුවා වශයෙන් ඉනිම දෙකේදීම) ලකුණු 61 ක් ගත්තා. දෙවැනි ටෙස්ට් තරගයේදී (අංක 6 පිතිකරුවා වශයෙන්) ලකුණු 162 කුත් 143 ක් ගත්තා. ඊට පස්සේ මට පාකිස්තානයට යන්න වුණා එක්දින තරගාවලියක් සඳහා. නමුත් එදා තරගයේදීත් මම ක්‍රීඩා කරන 11 දෙනා අතර හිටියේ නෑ.


ඔබට මොනවාද හිතුණෙ ?

දෛවය කියන්නේ ඒක තමයි. මට අද වගේ මතකයි. කාසියේ වාසිය උරගා බලන්න විනාඩි 5 කට 10 කට උඩදි ආරම්භක පිතිකරුවාගෙ ඇඟිල්ලේ පන්දුවක් වැදිලා තුවාල වුණා. මහේල ඇවිදින් ඇහැව්වා ඉනිම ආරම්භ කරන්න පුළුවන්ද කියලා. මම හා කිව්වා.

මම ඉනිම ආරම්භ කළා. පළමු වැනි තරගයේදිම ලකුණු 40 ක් (කරච්චියේදී – ලකුණු 42 යි) ලබාගත්තා. දෙවැනි තරගයේදී ලකුණු 80 යි (කරච්චියේදීම – ලකුණු 76 යි සහ තරගයේ වීරයා) අන්තිම තරගයේදී ලකුණු 140 (ලාහෝරයේදී නොදැවී ලකුණු 137 යි – තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා) ක් ගහලා තරගාවලියේ වීරයා සම්මානයත් දිනාගත්තා. එදා ඉඳන් අද වෙනකම් මා ආරම්භක පිතිකරුවා හැටියට ක්‍රීඩා කරනවා. මා හිතනවා ඒ තීරණයත් ඉතාම නිවැරදි තීරණයක්.

මම තනිවම තීරණයක් ගන්නේ නෑ. මගේ බිරිඳගෙන්, මගේ දෙමාපියන්ගෙන්, මා ආශ්‍රය කරන අයගෙන් අහලා තමයි මම තීරණයක් ගන්නේ.

ඔබ වරින් වර කණ්ඩායම ඇතුළට ආවත් ආයෙත් හිටි ගමන් කණ්ඩායමෙන් හැළෙනවා.

2009 වෙනකම් ගොඩාක් ප්‍රශ්න තිබුණා. කණ්ඩායමට එනවා. ආයෙමත් කණ්ඩායමෙන් එළියට යනවා.

ආයෙමත් තරගාවලියකට එනවා. ආයෙමත් තරගාවලි දෙකකට නෑ. ආයෙමත් එනවා….ඇවිදින් තරග 2 ක් දිනන කම් බලා ඉන්න වෙනවා කණ්ඩායමේ 11 දෙනාට එකතු වෙන්න. නැත්නම් ක්‍රීඩකයෙක් තුවාල වෙනකම් බලා ඉන්න වෙනවා….මම හුඟක් වෙලාවට හිටියේ කණ්ඩායමේ 12 වැනි ක්‍රීඩකයා විදිහට. (පන්දු රැකීමේ දක්‍ෂතාව නිසා) අතිරේක ක්‍රීඩකයා ලෙස හිටියත් කොයි වෙලාවේ හරි මැදට ගිහිල්ලා මොනවා හරි දෙයක් කරන්න තමයි හිතේ තිබුණේ. රට වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක මහ විශාල දෙයක්. මට ඒ ආශාව තිබුණා.

මාව කොයි තරම් කණ්ඩායමෙන් හැළුණත් මම කොයි වෙලාවකවත් මගේ සටන අතහැරියේ නෑ. මම අසාර්ථක වෙලා නොහිටියත් මම කණ්ඩායමෙන් එළියේ හිටපු වෙලාවල් තිබුණා. ඒත් මම සසල වුණේ නෑ. එක උදාහරණයක් මා කියන්නම්…

මා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වගේම නායකයාත් වෙලා හිටියා. එක පාරටම පුහුණුකරුවන් මාරු වුණා. පුහුණුකරුවන් මාරුවෙලා ආවම මට කිව්වා ඔයා දැන් නායකත්වයේ ඉන්න ඕන නෑ. ඔයා දැන් ලකුණු ගහන එක ගැන උනන්දු වෙන්න කියලා. ඉන්දියාවත් එක්ක තිබුණ දින හතරේ තරග (නිල නොවන ටෙස්ට් තරග) තුනේදිම මම නායකයා වුණත් එක්දින තරගාවලියෙදී මාව නායකත්වයෙන් ඉවත් කළා. ඊට පස්සෙ තිබුණෙ 2003 ලෝක කුසලාන තරගාවලිය

තේරීම් තියන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මාව ආයිමත් අංක 7 ට දැම්මා.  ඒ තරගයෙදී ලකුණු 40 ක් ලබාගත්තා. ඊළඟ තරගයෙදි අංක 8 පිතිකරුවා වුණා. මුහුණ දුන්නේ බෝල 10 කට විතරයි. ලකුණු 20 ක් ලබාගත්තා. ඒත් 2003 ලෝක කුසලාන තරගාවලියට යන්න බැරිවුණා.

ඒ වගේ ගොඩාක් පසුබෑම් සහ එක එක සිදුවීම් තිබුණා. ඒත් මම කවදාවත් ඒවායින් වැටුණේ නෑ. මම නිතරම උත්සාසහ කළේ හරි දේ කරන්නයි. මම ගමේ පොඩි ඉස්කෝලෙකින් ඇවිල්ල, කොළඹ ක්‍රීඩකයන් එක්ක කරට කර තරග කරල තමයි මේ තැන දිනාගත්තේ. මේ වෙනකොට ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයන් 10 දෙනා 11 දෙනා අතරට එන්න අවස්ථාව ලැබිල තියෙනවා. ඒ වෙනුවෙන් මම කළ පරිත්‍යාග සහ කැපවීම මේ සාර්ථකත්වය පිටිපස්සෙ තියෙනවා. ඒ වගේම හැම වෙලාවෙම මාව දිරිමත් කළ දෙමාපියන් සහ බිරිඳත් මා වෙනුවෙන් හැම වෙලාවෙම පෙනී සිටියා.

එක්දින තරග වලදී ලකුණු 10,000 පසුකරලා ගිහින් තියෙන්නේ ක්‍රීඩකයන් 11 දෙනයි. ලංකාවෙන්ම 4 දෙනයි. ඒ හතර දෙනා අතරෙ මාත් ඉන්නවා. මේ හැල හැප්පීම් මැද්දෙ, ඒ හතර දෙනාගෙනුත් ඉක්මනින්ම ලකුණු 10,000 ගත්තෙ මම කියන එක ගැන ගොඩක් ආඩම්බරයි.


ඔබේ නායකත්වයේ සුවිශේෂී කඩයිමක් තමයි දකුණු අප්‍රිකාවෙදි ටෙස්ට් තරගයක් දිනාගන්නට ලැබීම. ඒ ගැන දැන් කොහොමද දකින්නේ ?
නායකත්වය දරපු කාලය ඇතුළත මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. කවුද මාත් එක්ක හිටියේ..අවංකවම මට සහයෝගය දුන්නේ කවුද?

මට උදව්වට හිටියේ කවුද කියන එක ගැන මම හොඳ වැටහීමක් ලබාගත්තා. ක්‍රිඩකයො විතරක් නෙමේ. පිටින් ආපු දේවල් එක්ක පවා මට කටයුතු කරන්න සිදුවුණා.

හැබැයි මම එක දෙයක් කළා ඒ අවුරුද්ද ඇතුළත. ඒ තමයි නවකයෝ 10 ක් 15 ක් විතර ගෙනාපු එක. ඒ නවකයො තමයි අද මේ තරග ජයග්‍රහණය කරන්නෙ. ඒකත් ලොකු ප්‍රශ්නයක් වුණා සමහරුන්ට ඇයි මම මේ තරම් නවකයො ගේන්නෙ කියලා. මම නායකත්වයෙන් ඉවත් වෙන්න ඒකත් එක ප්‍රශ්නයක් වුණා.

නායකත්වයේ ඉන්නකොට වගකීමක් තියෙනවා. මම කවුරුහරි ක්‍රීඩකයෙක් කණ්ඩයමට ගේනවා නම් ඒකට හේතුවක් තියෙන්න ඕන. ඒ කාලයේ මම ගත්ත තීරණ එක්ක ගොඩාක් හැල හැප්පීම් තිබුණා. ඒත් මම ඒ තීරණ වලම හිටියා. මොකද මමයි නායකයා. මම ඒ තීරණ ගත්තේ අනාගතය ගැන හිතලා. ඒ ගැන මට අද සන්තෝසයි. ඒ නවකයොත් එක්ක ගිහිල්ලා දකුණු අප්‍රිකාවෙදි ටෙස්ට් තරගයක් දිනන්න හැකිවීම විශාල දෙයක්. ඒ වෙනකම් කිසිවකුට ඒ දේ කරන්න බැරිවෙලා තිබුණා.


එක්දින තරගාවලියත් දිනන්න තිබුණ නේද ?

එක්දින තරගාවලියත් දිනන්න තිබුණා. අවාසනාවට වැස්ස නිසා එක තරගයක් (බ්ලූම්ෆොන්ටයින්හිදී පැවැති තුන්වැනි එක්දින තරගය) ලකුණු 4 කින් පරාජය වුණා. අවසන් තරග දෙකම අපි ජයගත්තා. වැස්ස නොතිබුණා නම් 3-2 කින් එක්දින තරගාවලිය අපට දිනන්න තිබුණා. එච්චර හොඳට කරලත් ……

පළමු වැනි විස්සයි:20 තරගාවලිය ජයග්‍රහණය කළේ මගේ නායකත්වය යටතේ 2-0 කින්. ඒ ඕස්ටේ්‍රලියාවට එරෙහිව. ඒ වෙනකම් අපි විස්සයි:20 තරගාවලියක් දිනල තිබුණෙ නෑ. ඒ අවුරුද්ද තුළ ලැබූ ජයග්‍රහණ ගොඩාක් තිබුණා. නමුත් ගොඩක් අයට ඒක ඒ තරමටම දැනුණෙ නෑ.  

සනත් ජයසූරියට හරියට සමුගැනීමේ තරගයක් වත් දීලා තිබුණෙ නෑ. ඒත් මම නායකත්වය දරපු කාලෙදි සනත් අයියට එංගලන්තයට එන්න කියලා සමුගැනීමේ තරගයක් දුන්න. ඒ ගැනත් එක එක අය එක්ක මත ගැටුම් තිබුණත් මම කළේ හරි දේ කියලා මට හිතෙනවා. අද මට ඒ ගැන සන්තෝස වෙන්න පුළුවන්.

මම නායකත්වය බාර ගනිද්දි ගොඩක් ක්‍රීඩකයන් විවධ ආබාධ වලට ලක්වෙලා තිබුණා. නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්ට පාදයේ ආබාධයක් නිසා ඒ අවුරුද්ද පුරාම ඔහුට පන්දු යවන්න බැරිවුණා. ඒ නිසා මම සෑහෙන අමාරුවෙන් තමයි ඒ ගමන ගියේ…එක්දින තරගයකදි මට යොදාගන්න පුළුවන් වුණේ පිතිකරුවන් 6 දෙනයි. අපට හරි හමන් තුන් ඉරියව් ක්‍රීඩකයකු හිටපු නැති නිසා පන්දු යවන්නන් පස් දෙනෙක්ම යොදාගන්න සිද්ධ වුණා.

ඇන්ජලෝට ඒ අවුරුද්ද පුරාම පාදයේ ආබාධය තිබුණ එක මගෙත් අවාසනාව වෙන්න ඇති.
(මෙම ආබාධය උත්සන්න වුවහොත් පිතිකරුවකු වශයෙන් කණ්ඩායමට එකතු කළ හැකි ලකුණු සංඛ්‍යාවත් අහිමි වන බැවින් ඇන්ජලෝ මැතිව්ස් තවමත් පන්දු යවන්නේ ඉතාමත් ඉතාමත් පරෙස්සමිනි. වර්තමානයේ වුවද එක්දින තරගයකදී මැතිව්ස්ගේ පන්දු යැවීම ඕවර 5 කට 6 කට සීමාවී පවතී.)

හැබැයි මම ඉතාමත් සන්තෝස වෙනවා මම කරපු දේවල් දිහා බලලා. මම ගෙනාපු ක්‍රීඩකයන් දැන් දස්කම් දක්වමින් සිටිනවා. ඒ ගොල්ලන් දැන් තමන්ගේ මවුබිම වෙනුවෙන් තරග දිනවලා දෙනවා.
 

කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු නැත්නම් ළහිරු කුමාර වගේ ඉතාම ස්වල්ප දෙනෙක් හැරෙන්න අපේ ක්‍රීඩකයන් වැඩි දෙනෙක් ජාතික කණ්ඩායමට එන්නේ ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කරාට පස්සෙයි. ක්‍රීඩා සමාජ මට්ටමේදි ක්‍රීඩකයන්ගේ විවේකාගාරයයි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයයි අතර වෙනස කොයි වගේද ?

මම හිතනන්නෙ එතන අති විශාල පරතරයක් තියෙනවා. මම ගොඩාක් ක්‍රීඩා සමාජ වලට සෙල්ලම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි නිවැරදි පුහුණුකරුවන් ඒ තැන්වල යොදාගන්න ඕන කියල මට හිතෙනවා.

පොතටම සීමා වෙච්ච පුහුණුකරුවන්ට වඩා ක්‍රීඩාව පිළිබඳ ප්‍රායෝගික දැනීමක් තියෙන පුහුණුකරුවන් ඉන්නවා නම් වඩාත් හොඳයි. තරගයකට ඉස්සරවෙලා කණ්ඩායමක් සූදානම් කරන්නෙ කොහොමද, තරගය යද්දි ක්‍රීඩකයන්ගේ විවේකාගාරය හසුරුවාගන්නෙ කොහොමද කියල ඒ අය දන්නවා. ඒත් පොතේ තියෙන ටික එක පාරටම කණ්ඩායම ඇතුළට ගේන්න බෑ.

ක්‍රීඩකයන්ගේ කාමරයේ වටාපිටාව හදන්න පුළුවන් පුහුණුකරුවකුට විතරයි. ජාතික කණ්ඩායමට ආවාම ගොඩාක් දේවල් වෙනස් කරන්න බෑ. එතැනදී ඉතාම සුළු සුළු දේවල් විතරයි වෙනස් කරන්න පුළුවන්. නමුත් තරගාවලියකට ඉස්සරවෙලා පුහුණුවීම් කරන්නේ කොහොමද, කණ්ඩායමක් එකට තියාගන්නේ කොහොමද, තරගයට සූදානම් වෙන්නේ කොහොමද කියන ඒවා තමයි වැදගත් වෙන්නේ.

ඒ ගැන අපේ ක්‍රීඩා සමාජ මට්ටමේ සිටින පුහුණුකරුවන් දැනුවත් කරන්න ඕනෑ. ජාතික කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයො දෙන්න තුන්දෙනා ඇවිල්ල ඒ ගොල්ලන් දන්න දේ කරල යනවා මිසක් ක්‍රීඩා සමාජ මට්ටමේදී ඊට වඩා දෙයක් කෙරෙන්නේ නෑ. ක්‍රීඩා සමාජ ඇතුළට මේ පණිවුඩය ගෙනියන්න මීට වඩා වෘත්තීමය ම්ට්ටමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ.

එහෙම වුණොත් අපට මීට වඩා දක්‍ෂ ක්‍රීඩකයන් හොයාගන්න පුළුවන්. සමහර ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා තියෙනවා. නමුත් ඒවා එළියට දාගන්න පුළුවන් අය ඉන්නවා කියලා මම හිතන්නේ නෑ. අපි හරියට ඒවා හොයාගෙන යන්න ඕන. සමහර ක්‍රීඩකයන්ට තියෙන්නේ පහර දෙකයි, තුනයි නැත්නම් හතරයි. ඔවුන් ඒවාට හුරු වෙලා ඉන්නවා.

ඒත් ඒ වගේ ක්‍රීඩකයන්ගෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි ඒවා වෙනස් කරන්න යන්න නරකයි.
අපේ රටේ බිහිවන ක්‍රීඩකයන් ටිකක් වෙනස්. සමහර අයගේ තාක්‍ෂණය කියන එක ඇත්තෙම නෑ. නමුත් ඔවුන් ක්‍රීඩකයන් වශයෙන් ගත්තාම තාක්‍ෂණය පැත්තෙන් ඉදිරියෙන් ඉන්න ක්‍රීඩකයන්ට වඩා ඉතාමත් හොඳයි. ඒ වගේ වෙලාවල ඔවුන්ගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවාද, ඔවුන්ව නිවැරදි කරමින් කොයි තරම් ඉදිරියට ගෙන යන්න පුළුවන්ද කියන එක ගැන පුහුණුකරුවන්ට හොඳ වැටහීමක් තියෙන්න ඕන.  

මේවා වෙනස් කරන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නැතිවෙච්ච ක්‍රීඩකයනුත් ඉන්නවා. අපි ලසිත් මාලිංගට ඒ දේ කළා නම් අද ලසිත් මාලිංග කෙනෙක් නෑ. ඒ නිසා ක්‍රීඩා සමාජ මට්ටමේදී හරි දැනුමක් තියෙන අය පිටිපස්සේ ඉඳගෙන ඒ දේවල් දිහා බලන්න ඕන.


ඔබේ අවුරුදු 30 ක ක්‍රිකට් ජීවිතයෙදිත්, ජාතික කණ්ඩායමත් එක්ක හිටපු අවුරුදු 17 ක කාලයෙදිත් ගෙවා ගන්න වඩාත්ම අසීරු කාලය මොකක්ද ?

නායකත්වය දරපු කාලෙදි වෙච්ච සිදුවීම් තමයි වැඩිහරියක්ම තියෙන්නේ. 1999 පළමු වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරපු එක ලේසියි මම නායකත්වයේ හිටපු කාලෙදි මුහුණ දුන්න සිදුවීම් එක්ක බලද්දි. සමහර දවස වලට මට ගෙදර ගිහින් නිදාගන්න බැරි තරම් ප්‍රශ්න ආවා. හැබැයි ඒ අවුරුද්ද තුළ මම දෙයක් ඉගෙන ගත්තා. මා හිතන්නේ ඒ අවුරුද්ද තමයි මගේ ක්‍රිකට් ජීවිතයේ අමාරුම කාලය.


ඔබේ ක්‍රිකට් දිවියේ වැඩියෙන්ම සතුටු වුණ දවස මොකක්ද ?

2014 විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය ලබාගත් දවසයි 1999 දී මට ටෙස්ට් හිස්වැස්ම ලැබුණ දවසයි. මගේ මුල්ම ටෙස්ට් හිස්වැස්ම මට දුන්නේ සනත් අයියා. ඒ වෙනකොට පුහණුකරු වුණේ ඩැව් වට්මෝර්.

මට ටෙස්ට් හිස්වැස්ම ගොඩක් වටින්නේ මම ගොඩාක් දුක් අමාරුකම් මැද්දේ තමයි මේ ගමන ආවේ. අපට කළුතර විද්‍යාලයේ පහසුකම් මහ ගොඩාක් තිබුණේ නෑ. අපි අලුත් බෝලයක් ගත්තේ සුමාන දෙකකට සැරයක්. ඒකත් ගෙදරින් කෑමට දෙන සල්ලි වලින් රුපියල් දහය දහය එකතු කරලා, ක්‍රීඩකයන් 15 දෙනාගෙන් රුපියල් 150 ක් හදාගෙන තමයි අපි සුමාන දෙකකට සැරයක් අලුත් බෝලයක් ගත්තේ.

ඒ වගේ දුෂ්කර ගමනක් ඇවිල්ල තමයි ජාතික කණ්ඩායමේ නායකයා වෙලා, ලෝකයේ වැඩිම එක්දින ලකුණු ලබාගත් පිතිකරුවන් 11 දෙනා අතරට ඇවිල්ල, අන්තිම අවුරුදු 5 ලෝකයේ එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත ලයිස්තුවේ 4 හෝ 5 වැනි ස්ථාන වලට ඇවිල්ලා, අවුරුදු තුනකදීම ලෝක කණ්ඩායමටත් තේරුණේ. ඒ දිහා අපසු හැරිලා බලද්දි පුදුම සතුටක් දැනෙනවා. ගොඩාක් අයට තිබුණ දේ මට තිබුණෙ නෑ. මම පොඩි පවුලකින්, පොඩි ඉස්කෝලෙකින් ආවේ. ඒත් මම වැටුණෙ නෑ.


2009 ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම ගිය බස්රථයට ත්‍රස්තවාදීන් වෙඩි තියපු වෙලාවේ රියදුරුටත් මඟ පෙන්වන්නා වෙමින් ගඩාෆි ක්‍රීඩාංගණයට බසය රැගෙන ඒමට උපදෙස් දුන්නේ ඔබයි. ඔබ ඒ අවස්ථාවේ ක්‍රියා කළ අකාරය නිසා කණ්ඩයමේ සියලු දෙනාගේ ජීවිත බේරුණ බව සැමදෙනාගේම මතය වුණා. ඒ අවස්ථාව ගැන මඳක් විස්තර කරන්න පුළුවන්ද ?

ඒ වෙඩි සද්දේ ඇහෙන කොට අපි මුලින්ම හිතුවේ රතිඤ්ඤා පුපුරන හඬ කියලයි. ඒ එක්කම වගේ අපට ඉදිරියෙන් ආපු කාර් එකකින් කට්ටියක් බැහැල අපේ බස් එකට වෙඩි තිබ්බා. එතකොම මම කෑගැහැව්වා මේ අපට තමයි වෙඩි තියන්නේ කියලා.

ඒ ආපු වෙඩි උණ්ඩ සේරම බසයේ ඉදිරිපස වීදුරුව (වින්ඞ්ස්ක්‍රීනය) හරහායි ආවේ. ක්‍රීඩකයන්ගෙන් මම තමයි ඉස්සරහම හිටියේ. ඒත් වාසනාවට මගේ ඉස්සරහින් කෝපි හදන යන්ත්‍රය තිබුණා. මම හිටියේ රියදුරුට පිටුපස අසුනේ. මම අතේ තිබුණ බෑග් එකත් වීදුරුව පැත්තට තියාගත්තා.

බසයේ රියදුරුත් කිසිදෙයක් හිතාගන්න බැරිව කම්පනයට පත්වෙලායි හිටියේ. ඒත් යං යං කියලා මම එයාට කෑගැහැව්වාම ඒ කෑගැහැල්ලත් එක්ක එයා පියවි සිහියට ආවා මංහිතන්නේ. ඒ එක්කම එයා බස්රිය ධාවනය කරන්න ගත්තා.

මට එහා පැත්තේ හිටියේ බ්‍රෙන්ඩන් (කළමණාකරු – බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා) අයියා. ඒ එක්කම මට ඇහෙනවා එක එක්කෙනාගෙ කෑගැහිල්ල..මට වැදුණා…මට වැදුණා කියන සද්දෙ විතරයි ඇහුණෙ. ඊට පස්සෙ කතාවක් නෑ බස් එකේම. අපි එතන හිටියනම් අපේ කාගෙ හරි ජීවිත නැතිවෙන්න තිබුණා. මොකද එතන කාර් දෙකකින් ආපු පිරිසක් තමයි වෙඩි තියාගෙන ගියේ.

අපිත් මුලින් හිතුවේ ඒ දෙගොල්ලන්ගේ ප්‍රශ්නයක් කියලා. ඒත් එක්කෙනෙක් බෑග් එකකුත් එල්ලගෙන බැහැලා කෙළින්ම බස්එකට වෙඩිතියන්න පටන් ගත්තා. පස්සේ මම ඩ්‍රයිව් ඩ්‍රයිව් කියලා කෑගැහැව්වා. වෙනදට බස් එක දෙපැත්තෙන් වාහන දෙකක් එනවා. ගේට්ටුවත් පටුයි. ඒවා මොනවත් බැලුවේ නෑ. ගේට්ටුවත් හප්පගෙන තමයි බස්එක ඇතුළට දැම්මේ.


පිට්ටනියට ගියාට පස්සේ මොකද වුණේ ?

පිට්ටනියට ගියාට පස්සේ තමයි ඇත්ත තත්ත්වය දන්නේ. අපේ අයට වෙඩි වැදිලා. තිලාන්ගෙන් ලේ යනවා. ඒ අතරේ අපේ කාමරයට නොදන්න අයත් සෑහෙන්න එන්න ගත්තා. මම ඒ වෙලාවේ ආරක්‍ෂක නිලධාරීන්ටත් කෑ ගහලා සේරමලාව එළියට දැම්මා. මොකද තුවාල වෙච්ච අයට බේත් දානවද?, කවුරු පිටින් එනවද කිසිදෙයක් හොයාගන්න බෑ.

පස්සේ සේරමලා එළියට දාලා, දෙපැත්තෙන්ම දොරවල් වහල, පොලිසියෙන් ගෙන්නලා තමයි තත්ත්වය පාලනය කරගත්තේ.

අපට වෛද්‍යවරයෙක්වත් ආවෙ නෑ පැය බාගයක් විතර යනකම්….. මායි මහේලයි පොලිසියේ අයට කෑගහලා කිව්වේ අපේ එක ක්‍රීඩකයෙක්වත් මෙතැනින් එළියට ගෙනියන්න දෙන්නේ නෑ. ගිලන් රථ එපා. වෛද්‍යවරුන් මෙතැනට ගෙන්නලා ප්‍රතිකාර කරන්න කියලයි අපි කිව්වේ. ඒත් අපි තිලාන්ව ඉක්මනටම රෝහල්ගත කළා. එයාට තමයි දරුණුවටම වෙඩි වැදිලා තිබුණේ. කාමරයට යද්දි අපේ සහාය පුහුණුකරුගේ (පෝල් ෆාබ්‍රේස් මහතා) අතේ වෙඩි උණ්ඩය එහෙමම තිබුණා.

ඒ අතරේ මට බිරිඳයි දුවයි මතක් වුණා. ඒ අය හිටියේ හෝටලයේ. දුවට එතකොට මාස තුනයි. මම ඉක්මනටම එයාට දුරකතනයෙක් කතා කරලා කිව්වා කිසිම කෙනෙක් එක්ක එළියට එන්න එපා. මම මගේ පරිවාර නිලධාරියා එවනවා. එයත් එක්ක මිස එළියට එන්න එපා. එතකන් ඇඳුම් අහුරාගන්න කියලා මම එයාට කිව්වා.
ඒ වෙනකොටත් පල්ලෙහාට එක්කෙනෙක් ඇවිත් එයාට කියලා ඕගොල්ලන්ගේ හස්බන්ඞ්ලාට වෙඩි තියනවා. ඕගොල්ලන්ව පිට්ටනියට එක්කරගෙන යන්නම් කියලා. හොඳ වෙලාවට මම එවේලේම බිරිඳට දුරකතන ඇමතුමක් දුන්න. එහෙම නොවුණා නම්, එයාළව එළියට අරන් ගියා නම්, නැත්නම් එයා කලබල වෙලා එළියට ආවා නම් මොකෙන් මොකක් වේද කියල හිතාගන්න බෑ.

ඒ අත්දැකීම නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානය සහ අනාගතය ගැන ඔබ දකින්නේ කොහොමද ?

අපට ඉතාම හොඳ තරුණ ක්‍රීඩකයන් ඉන්නවා. මා මේ දැන් ටිකකට කලින් තමයි ළහිරු කුමාරට පළමු වරට මුහුණ දුන්නේ. ඔහු ඉතාම හොඳ පන්දු යවන්නෙක්. හොඳ වේගයක් වගේම දෝලනයකුත් තියෙනවා. ඒ වගේ ක්‍රීඩකයන්ව අපි ආරක්‍ෂා කරගත යුතුයි. ඔවුන්ට හරි මාර්ගය පෙන්වා දිය යුතුයි.

අපේ ඉදිරි ගමන හොඳයි. ක්‍රිකට් ආයතනයේ වර්තමාන නියමුවා ඉතාමත් හොඳයි. ඔහුට හොඳ දැක්මක් වගේම දුර දකින ඥාණයක් තියෙනවා. ඔහුට අදහසක් තියෙනවා කොහෙටද මේ ගොල්ලන් ගෙනියන්න ඕන කියලා. ඒ නිසා මා හිතනවා තිලංග සුමතිපාල මහත්මයත් එක්ක මේ ක්‍රීඩාව ගොඩක් දුර ගෙනියන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි උප සභාපති වරුන් දෙදෙනාත් ඉතාම හොඳයි.

ජයන්ත ධර්මදාස මහත්මයා මටත් පියෙක් වගේ වෙච්ච අවස්ථා තියෙනවා. එයාත් එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්. මටත් ප්‍රශ්න ආ වෙලාවෙ ඔහුව හමුවෙලා ඒ ප්‍රශ්න කතාකරලා ඒවා විසඳගත්තා. ඒ වගේ ඕනම ක්‍රීඩකයකුට ඒ අය හම්බවෙලා ඕන දෙයක් කියන්න පුළුවන්. මා හිතන්නේ ඒ තත්ත්වය නවකයන්ට ලොකු ශක්තියක් වේවි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන දක්‍ෂතා ඔබ දකින්නේ කොහොමද ?

මා ඉතාමත් සතුටු වෙච්ච දෙයක් තමයි ඕස්ටේ්‍රලියාවත් එක්ක පැවැති ටෙස්ට් තරගාවලිය ජයගත්ත එක. ඒ තරගාවලියට ඉස්සරවෙලා කියලා තිබුණෙ අපි දෙවැනි පෙළ කණ්ඩායමක් වගේ කියලනෙ. නමුත්  ශ්‍රී ලංකාව කියන්නේ කොයි තරම් ඉක්මනින් නැඟිටින්න පුළුවන් කණ්ඩායමක්ද කියන එක අපි පෙන්නුවා.


අපට කවදාවත් ක්‍රීඩකයන් හිඟ නොවෙන්නේ අපේ රටේ පාසල් ක්‍රිකට් ක්‍රිඩාවේ තියෙන ශක්තිමත් සැලැස්ම නිසයි. ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද ?

පාසලෙන් තමයි අපි හැමෝම එළියට එන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන් අපව හඳුනා ගන්නේ පාසලේදීමයි. ඒ නිසා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපි මීට වඩා ටිකක් උනන්දු විය යුතුයි.

මට හිතෙන විදිහට කොළඹින් පිට පාසල් වලට මීට වඩා පහසුකම් සදිය යුතුයි. ඒ වගේම අපට පුළුවන් නම් මාසෙකට සැරයක් වත් දවස් දෙක තුනක් අපේ ජාතික කණ්ඩායමේ ඉන්න පුහුණුකරුවන්ගෙන් කෙනෙක් දෙන්නෙක් යවලා, ඒ පාසල් වල ඉන්න පුහුණුකරුවන් එක්ක වැඩ කරන්න පුළුවන්නම් ඒ පුහුණුකරුවොත් දෙයක් ඉගෙන ගන්නවා. ක්‍රීඩකයනුත් අලුත් දෙයක් ඉගෙන ගන්නවා.

අපි ඉස්කොලෙට සෙල්ලම් කරන කාලෙ ‘හැම්ස්ටි්‍රං ඉන්ජරි’ (කලව පසුපස මස්පිඬුවේ ඇතිවන ආබාධයක්) කියන්නෙ මොකක්ද කියල දන්නෙ නෑ. සමහර වෙලාවට ඒක එහෙමම තියාගෙන තරග වලට යනවා. අයිස් තියෙන්නෙ මොකටද කියලා දන්නෙ නෑ.

අද වුණත් වයස 17 න් පහළ නැත්නම් 19 න් පහළ ජාතික කණ්ඩායමට ආවම තමයි දන්නේ ව්‍යායාම ශාලාවකට යන්න ඕනේ, ශක්ති වර්ධක ව්‍යායාම වගේම බර ආශ්‍රිත ව්‍යායාම කරන්න ඕනේ කියන එක. කන බොන රටාව ගැන විතරක් නෙමේ නිදාගන්නා රටාව පවා අපි අගෙන ගනනේ එතනින්. මම ජාතික කණ්ඩායමට එනකම් මම දැනගෙන හිටියේ නෑ මොනවද කළ යුත්තේ කියල.

තවමත් කොළඹ ඉස්කෝල වල තිබ්බට කොළඹින් පිට ඉස්කෝල වලට ඒ දැනුම නැහැ. ඒත් ඒ ගැන පාසල් ක්‍රීඩකයන්ට හරිහමන් දැනුමක් තියෙන්න ඕනෙ. අපේ ඉන්න ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවො, නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයො කළුතරට, ගාල්ලට, මාතරට, නුවරට, කුරුණෑගලට යවලා ඒ දැනුම දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. ජාතික කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයක් ඉගෙන ගත්තු දේවලින් සියයට 5 ක් ඒ වගේ ප්‍රදේශයක ඉන්න ක්‍රීඩකයකුට දෙන්න පුළුවන් නම් ඒ ක්‍රීඩකයන්ට ඉස්සරහට එන්න පුළුවන්.

සමහර පාසල් තියෙනවා ඔහේ යනවා. පුහුණුකරුවෙක්වත් නෑ. ක්‍රිකට් ක්‍රීඩාව බාර ගුරුමහතා තමයි පුහුණුකරවන්නෙත්. ඒකත් ඒ මනුස්සයාගේ තියෙන පෞද්ගලික උනන්දුව හින්දා. එහෙම තත්ත්වයත් තිබිලත් වාසනාවට වගේ අපට ක්‍රීඩකයන් එළියට එනවා. ඒත් මීට වඩා පාසල් ක්‍රිකට් ගැන උනන්දුවක් ගත්තොත් අපේ කණ්ඩායම මීට වඩා හොඳට හදාගන්න පුළුවන්.

උදාහරණයක් වශයෙන් අපේ පාසලෙන් (කළුතර විද්‍යාලයෙන්) ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් හතර දෙනෙක් බිහිවෙලා තියෙනවා. ඒත් තවමත් තණතිල්ලක් නෑ. වාසනාවට වගේ ‘සරේ විලේජ්’ ක්‍රීඩාංගණයේ අපේ ළමයි පුහුණුවීම් කරනවා


ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පස්සේ ඔබේ ජීවිතය සැලසුම් කරලා තියෙන්නේ මොන ආකාරයෙන්ද ?

දැනට නම් මගේ මූලික අරමුණ ගෙදර අයත් දරුවනුත් එක්ක කාලය ගතකරන එක. මගේ ක්‍රිකට් ජීවිතය නිසා ඒ ගොල්ලත් අවුරුදු 10 ක් 15 ක් ලෙකු කැපකිරීමක් කළා. ඒ ගොල්ලන් එක්ක යන්න තිබුණ තැන්, ඒ ගොල්ලන්ගේ විශේෂ අවස්ථා ඒ ගොල්ලන් එක්ක ඉන්න තිබුණ කාලය මගෙන් ගොඩක් මඟහැරුණා.

මගේ පුතා හම්බවෙනකොට මම එංගලන්ත. කණ්ඩායමේ නායකයා. මට එන්න විදිහක් නෑ. මම පුතාව දැක්කෙ මාස තුනකට පස්සෙ. මගේ බිරිඳත් දරුවනුත් ගොඩක් කැපකිරීම් කළා. ඒ ගොල්ලන් වෙනුවෙන් කාලය ගතකරන්න තමයි මගේ බලාපොරොත්තුව.

බිරිඳ වුණත් එයාගේ ගොඩක් දේවල් කැපකරලා මට උපරිම තැනට යන්න සහයෝගය දුන්නා. මම බඳින කොටත් එයා ඉතාම ජනප්‍රිය නිළියක්. ඒ වෙනකොටත් ටෙලි නාට්‍ය ගිවිසුම් 20 ක් විතර අත්සන් කරලා තිබුණෙ.
පස්සෙ එයා කතාකරලා මා වෙනුවෙන් ඒවයින් ඉවත් වුණා. මම තවමත් කිසිම ලීග් ක්‍රිකට් තරගාවලියකට අත්සන් කරලා නෑ. ගෙදර අයත් එක්ක කාලය ගතකරමින් ආරම්භ කළ ව්‍යාපාර දිගටම කරගෙන යන්නයි අදහස


කතාවක් තියෙනවා ඔබ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න සූදානම් වෙනවයි කියලා. ඒක ඇත්තද ?

නෑ. ඒක වැරදි කතාවක්. මට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය තියෙනවා තමයි. ඒත් මම එහෙ යන්න බලාපොරොත්තුවක් නෑ. මගේ එකම බලාපොරොත්තුව මගේ ලොකු දුවගේ ක්‍රීඩා පහසුකම් දියුණු කරන්නයි. එයාගේ විශාල ආශාවක් තියෙනවා ක්‍රීඩාවට. එයාට තවම අවුරුදු 7 යි. ඒත් එයා අවුරුදු 9 අයත් එක්ක තරග කරනවා.

එයා කැමති කෙටිදුර දුවන්න. ඉතින් මම හිතුවා එයා වෙනුවෙන් දෙයක් කරන්න. ඒත් ඒ අංශයෙන් ලංකාවේ එච්චර දියුණුවක් නැති නිසා මම නිකමට යාළුවෙකුට කිව්වා ‘මෙයාව පුහුණු කරන්න මම ඕස්ටේ්‍රලියාවට යන්න හිතන් ඉන්නේ’ කියලා. ඔය කතාව තමයි ඔය දුරදිග ගිහින් තියෙන්නේ.

මට ඕනේ මෙගේ දරුවො තුන්දෙනාගෙනුත් රටට වැඩක් කරන්න. ඔවුන්ට නිවැරදි බුද්ධිය දිලා, හරි පාර කියා දීල, ඔවුන්ව සමාජයට දෙන්න. මගේ මව්බිමට මම ආදරෙයි. මගේ මව්බිම දාලා මම කොහේවත් යන්නේ නෑ.

ඡායාරූප : ඉෂාර එස්. කොඩිකාර (ඒ. එෆ්. පී.)

අපොයි මම කළ මෝඩකම්….

ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරග 3-0ක සෝදා පාලුවකට හසුවූ ඔස්ට්‍රේලියානු පිලේ නායක ස්ටීවන් ස්මිත් එම තරගමාලාවේදී තමා දැවී ගිය හැටියට විඳින්නට වූ දුක්ගැහැටත්, හොඳ තැනකට එන්නට සිය කණ්ඩායම අසමත්වීම නිසා ඇතිවූ ඉච්ඡාභංගත්වය ගැනත් ‘ෆොක්ස් ස්පෝර්ට්’ හී සිය තීරු ලිපියේ ලියා තිබූ කරුණු කාරණා බොහෝය.

එම තරගමාලාවේදී කට් පහර ගහන්නට යාමෙන් ඔහු රංගන හේරත්ගේ පන්දු දෙකක්ම කඩුල්ලට ඇදගත්තේය. එමෙන්ම හේරත්ගේ පන්දු හමුවේම ඔහු මේ තරගමාලාවේදීම තවත් අවස්ථා දෙකකදී ස්ටම්ප් කිරිමට හසුවූ අතර තවත් අවස්ථාවක දී  කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. ඒ සියලු දැවීයාම් සිතා බලද්දී තමා ක්‍රීඩා කළ ආකාරය ගැන දැන් ඔහුට ඇත්තේ දැඩි කණස්සල්ලකි.

“මම හෝටල් කාමරයේ තනියෙන් සිටිද්දී මේ තරගමාලාව පුරා මම දැවීගිය ආකාරය මගේ මනසේ නැවත නැවතත් හොල්මන් කළේ නැතැයි කිව්වොත් ඒක බොරුවක්.” ඔහු ‘ෆොක්ස් ස්පෝට්ස්’ වෙත යැවූ තීරු ලිපියේ එසේ ලියයි.

“ආපසු හැරිලා බලද්දී මම ගහපු පහරවල් කිහිපයක් ගැනම තියෙන්නේ පසුතැවිල්ලක්. රංගන හේරත්ගේ පන්දුවලට දෙපාරක්ම කඩුල්ල බිඳ ගන්නට සිද්ධවුණු කට් පහර ගැසීම ගැන මම දැන් පසුතැවෙනවා…. මේකේ වේදනාව මට ලොකුවට දැනෙන්නේ ටෙස්ට් තරගමාලාවට එන්නට කළින් මම මේ කට් පහර සෑහෙන්න පුරුදු වුණු නිසයි.‘ ඔස්ට්‍රේලියානු නායකයා එසේ සටහන් කරයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දෙපිල අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී හේරත්ගේ පන්දුවකට ස්මිත් දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසාය. එදා ඉනිමේදී තමා මැද ඉන්න සහ පා ඉන්න අතර සිටගෙන සිටීම ගැනත් දැන් ඔහු පසුතැවෙයි.

“මම පා ඉන්නේ විතරක් ක්‍රීඩා කළා නම් එදා ඒ විදිහට දැවී යන්නේ නෑ..” ඔහු සඳහන් කරයි.

“මේව මතක් වෙද්දී මට මං ගැනම කේන්ති යනවා.  තරගමාලාවට කළින් මං කොයිතරම් නම් පුහුණුවීම් කළාද..?”

ඔස්ට්‍රේලියානු නායකයා ඉච්ඡාභංගත්වයට පත්කළ අනිකුත් සිද්ධිය වන්නේ ඔහුගේ කණ්ඩායම මුළු ටෙස්ට් තරගමාලාව පුරාම හොඳ තැනකට නොපැමිණීමය.

එම ටෙස්ට් තරගමාලාවේ පළමු තරගයේ දී ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 117 කට සීමා කිරීමට සමත්වූ ඔස්ට්‍රේලියානුවන් පසුව ලකුණු 106 කින් තරගය පරාජයට පත්විය. තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු පහම ඔවුන් බිඳ දැමුවේ ලකුණු 26 කටය. එහෙත් එම තරගය ලකුණු 163 කින් පරාජය වීමට ඔස්ට්‍රේලියානුවන්ට සිදුවිය.

“පන්දුවෙන් අපිට තිබුණු වාසිය අපි ගත්තේ නෑ. තුන්වැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ දී ලකුණු 26 කට කඩුලු 5 ක්ම බිඳ වැටිලා සෑහෙන අමාරුවෙන් හිටියේ. අන්තිමේදී අපි එයාලට ලකුණු 355 ක්ම රැස් කරන්න ඉඩ දුන්නා. අපිට තරග දින්න හොඳ අවස්ථාවක් තිබුණා. අපි එයාලව එච්චර ලොකුවට ගත්තේ නැති එකේ  විපාක තමයි ඕවා” යයි ස්මිත් ලියයි.

එම ටෙස්ට් තරගමාලාව පුරාම ඔස්ට්‍රේලියානුවන්ගේ ඇදවැටීමට ලොකුම හේතුව වූයේ රංගන හේරත්ගේ වමත් දඟ පන්දු යැවීම බව ඔස්ට්‍රේලියානු පිලේ නායකයා සිය තීරු ලිපියේ සටහන් කර තිබිණ.

හේරත් මේ ටෙස්ට් තරගමාලාවේ දී කඩුලු 28 ක්ම බිඳ දැමුවේ 12.75 ක සාමාන්‍යයක් රඳවා තබාගනිමිනි. ඔහුගේ පරීක්ෂණයෙන් සමත්වීමට ඔස්ටේ්‍රලියානු පිතිකරුවෝ අසමත්වූහ.

“හේරත් එක්දින තරගවලට නැති එක ලොකු දෙයක්” ස්මිත් එසේ ලියා තැබීය.

මේ දඟපන්දු යවන්නාගේ විජ්ජාව ගැන තරගමාලාවෙන් පසුව තමා ඔහු සමග කතාබහක නිරතවූ බවත් ස්මිත් සඳහන් කර තිබේ.

“හොඳ වෙලාවට එක්දින තරගවලට රංගන හේරත් නැ. මොකද ඔහු එක්දින තරගබිමෙන් විශ්‍රාම ගිහිනුයි ඉන්නේ. මේ හාදයාට අවුරුදු 37 ක්වත් ඇති. ඒත් පන්දු යවන්නෙක් හැටියට ඔහු තවමත් දක්ෂයි. ඒක මං හොඳ හැටි දන්නවා. මොකද  මේ තරගමාලාවේ ඉනිම් 6 කින් 5 ක්ම මාව දවාගත්තේ ඔහු”

“අන්තිම තරගයෙන් පස්සේ අපි ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක පොඩි අඩියක් ගැහැව්වා. ඒ වෙලාවේ මං හේරත් එක්ක ඔහුගේ පන්දු යැවීමේ උපක්‍රම ගැන කතා බහ කළා. ඔහු එක්දින තරගවලින් විශ්‍රාම ගිහින් ඉන්න නිසා අන්තිමේ දි මට කොහොමහරි ලකුණු ටිකක් රැස් කිරීමේ අවස්ථාවක් උදාවෙලා තියෙන බව කියලා මම ඔහුට විහිලු කළා”

“තම අතේ උස පාවිච්චි කරලා පන්දුව යවන ගමන් මග වෙනස් කළ හැටි,  හුළඟ තියෙන වෙලාවට පන්දුව පා කරලා යවන්න උත්සාහ කරමින් පන්දුවේ දිලිසෙන පැත්ත පිට ඉන්නට පිටින් පතිත කළ හැටි වගේ දේවල් පැහැදිලි කරන්න තරම් ඔහු කාරුණික වුණා”

“මම සාමාන්‍යයෙන් ප්‍රතිවාදියෙක් එක්ක මේ විදිහට විවෘතව කතා කරන්නෙ නෑ. ඒත් ඔහු හැමතිස්සෙම මාව දවාගත්තු නිසා ඒක හදාගන්නයි මට ඕන කළේ. ඔහු මාත් එක්ක විවෘතව කතා කරපු එක මම සෑහෙන්න අගය කරනවා.” ස්මිත් එසේ ලියා තැබීය.

 

ඕස්ට්‍රේලියානුවන් අතරමං වෙලා – මැතිව්ස්

ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නෝ සියලු දෙනාම පාහේ තුවාල ලබා සිටියහ. කණ්ඩායම සමග සිටි එකම වේග පන්දු යවන්නා වූ නුවන් ප්‍රදීප් පවා වෙහෙසට පත්ව සිටි අතර කොයි මොහොතේදී හෝ නුවන් කඩා වැටෙන බවත් සියලු දෙනාම දැන සිටියහ.

එවන් තත්ත්වයක් තිබියදී ලෝකයේ අංක 1 කණ්ඩායමට සමග ටෙස්ට් තරගාවලියකට යාම දැන දැන අතුරේ යාමකි. එහෙත් තරගාවලියෙන් පැන යා නොහැකි බවත් එන දේට මුහුණ දිය යුතු බවත් නායක අන්ජලෝ මැතිව්ස් කියා සිටියේය.

පිතිකරුවෝද ලකුණු අතර නොසිටියහ. මැතිව්ස්ට වෙනත් විකල්ප තිබුණේද නැත. පිහිටට හිටියේ රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා සමග තරුණ ගැටවු කිහිප දෙනකු පමණි. සති දෙකක් ඇවෑමෙන් ඇන්ජලෝ මැතිව්ස් ජයග්‍රාහකයා වී සිටී. ඉතිහාසයේ දෙවැනි වතාවට, (වසර 17 කට පසුව) ඕස්ට්‍රේලියාව පරදවා ටෙස්ට් තරගාවලි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

අස්ගිරියේදී 1999 දී පැවැති තරගයේදී ස්ටීවන් වෝ සහ ජේසන් ගිලෙස්පි දෙදෙනා තුවාල ලැබීම හේතුවෙන් එම තරගයේ දෙවැනි ඉනිමේදී ඔවුන් දෙදෙනාම පන්දුවට පහර නොදුන් අතර ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී පන්දු යැවීමටද නොපැමිණියහ.  පළමු තරගය ජයගැනීමෙන් පසුව ඉතිරි තරග දෙකටම වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගාවලියේ ජය ශ්‍රී ලංකා පිලට හිමිවිය.

මෙදා ලබාගත් ජයග්‍රහණය 1999 දී ලබාගත් ජයට වඩා බරසාර වන්නේ තරග දෙකේදීම ඕස්ට්‍රේලියානුවන්ගේ කඩුලු 40 ම බිම දමමින් මෙම තරගාවලි ජය ලබාගත් බැවිනි.

දිල්රුවන් පෙරේරා

ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ ලකුණු 229 ක දැවැන්ත පරතරයකිනි. එය ආසියානු කණ්ඩායමක් හමුවේ ඕස්ට්‍රේලියානුවන් ලද තුන්වැනි විශාලතම පරාජය වූවා පමණක් නොව ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ ඕස්ට්‍රේලියානුවන් නිරුත්තර වූ ආකාරය ඇන්ජලෝ මැතිව්ස්ට පවා අදහාගත නොහැකි විය. ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ ආ ගිය අත සොයාගත නොහැකි තත්ත්වයට පත්වී ඇතැයිද මැතිව්ස් කියයි.

“ඔවුන් හරියට අතරමං වෙලා වගේ. අපේ දඟ පන්දු යවන්නන් හමුවේ ඔවුන්ට ලකුණු ලබාගැනීම ඉතාමත් අසීරු වෙලා තිබුණේ”

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් කඩුල්ලක් වෙනුවෙන් ලකුණු 15.05 ක සාමාන්‍යයක් රඳවා ගනිද්දී ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නෝ කඩුල්ලක් දවාගැනීම සඳහා ලකුණු 36.85 ක් දුන්හ. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගෙන් ඕවරයකදී ලබාගත හැකිවූයේ ලකුණු 2.44 ක් පමණකි. එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නකුගේ ඕවරයකින් ලකුණු 4.05 ක් සොරාගත්හ.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් කෙතරම් අසරණ වූයේද යත් ටෙස්ට් තරග 15 කින් පසුව ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන්ට ඉතාමත් ආසන්න ටෙස්ට් සාමාන්‍යයක් (95.50) රඳවාගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඇඩම් වෝග්ස්ගේ ටෙස්ට් ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ගාල්ලේ තරගය නිමා වන විට 23.75 ක් දක්වා පහළ වැටී තිබිණ.

“මගේ කණ්ඩායම මට ඉතාමත් හොඳ සහායයෝගයක් දුන්නා. ඒ වගේම අපට ඉතාමත් අගනා සහයෝගයක් දුන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශේෂයෙන්ම තේරීම් කමිටුවටත් මගේ ස්තුතිය හිමිවෙනවා” යයි ගාල්ලේදී ටෙස්ට් තරගය ජයගැනීමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

“ඔවුන් (තේරීම් කමිටු නිලධාරීන්) කිව්වේ අපට ටිකක් ගුටිකන්න වෙයි. තරග දෙක තුනක් පරදින්නත් වෙයි. ඒත් අපි අපේ වැඩ හරියට කරගෙන ගියොත් අපි යන ගමනේදී අපට තරග කිහිපයක් දිනාගන්න පුළුවන්”
“ලෝකයේ අංක 1 කණ්ඩායම පරාජය කිරීම ඉතාමත් සැනසිලිදායක වගේම තෘප්තිමත් බවක් ගෙනෙන දෙයක්.

ඒ වගේම අපේ ප්‍රේක්‍ෂකයනුත් අපිත් එක්ක හිටියා. දිගින් දිගටම පරදින කොට තමන්ගේ මතයේ එල්ලිලා ඉන්න එක එච්චර පහසු දෙයක් නෙමේ. ඒත් ඔවුන් අපිත් එක්ක හිටියා. අපට සහයෝගය දුන්නා” යයි මැතිව්ස් පැවසුවේය.

ඕස්ට්‍රේලියානුවන් ‘හේරත් භීතිකාවෙන්’ පෙළෙමින් සිටියදී ඩිල්රුවන් පෙරේරා පැමිණ ඔවුන් උස්සා පොළොවේ ගැසීය. පළමු ඉනිමේදී කඩුලු 4 ක් දවාගත් ඩිල්රුවන්ගේ පිත්තෙන් පැමිණි ලකුණු 64 තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සවිමත් ආධාරකයක් විය. දෙවැනි ඉනිමේදී කඩුලු 6 ක් දවාගත් ඩිල්රුවන් එකම ටෙස්ට් තරගයකදී අර්ධ ශතකයක් සමගින් කඩුලු 10 ක් දවාගත් මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙසින්ද වාර්තා පොතට එක්විය.

ඩිල්රුවන් පෙරේරා ‘නිහඬ වීරයකු’ ලෙස හැඳින්වූ ඇන්ජලෝ මැතිව්ස් කීවේ ඉදිරියේදීත් ඔහුගෙන් ප්‍රයෝජන රැසක් ලබාගත හැකි බවයි.

“අපි රංගන ගැන ගොඩාක් කතා කරනවා. ඒත් ඩිල්රුවන් ගැන ඒ තරම් කතා කරන්නේ නෑ…ඒත් ඇත්තටම ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත්ම ඉක්මනින් ටෙස්ට් කඩුලු 50 ක් දවාගත් පන්දු යවන්නා ඔහුයි”
“ඇත්තටම මුරලි අයියා ඉන්දැද්දී අපි රංගන ගැන එච්චර කතා කළේ නෑ වගේම තමයි. ඔහු නිහඬ වීරයෙක්” යයිද මැතිව්ස් පැවසීය.

ලකුණු 99 කට කඩුලු 10 ක් දවාගත් ඩිල්රුවන් පෙරේරා ඕස්ටේ්‍රලියානුවන් දමනය කළේ හුදෙක් පන්දුව දඟකැවීමෙන් පමණක් නොවේ. පන්දුව පිතිකරුවා වෙත පැමිණෙන කෝණයත් පන්දුවේ වේගයත් වෙනස් කරමින් නව පන්දුවෙන් කදිම ප්‍රයෝජන ගැනීමට ඩිල්රුවන් සමත් විය. පිට දඟ පන්දු යවන්නකුගේ පන්දුවක් වමත් පිතිකරුවකුගෙන් ඉවතට ඇදී යන නමුත් ඩිල්රුවන් විසින් ඉනිම දෙකේදීම උස්මන් කවාජා දවාගන්නා ලද්දේ පන්දුව පැමණෙන කෝණය වෙනස් කර පිතිකරුවා මුළා කරමිනි.

රංගන හේරත්

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ ඕස්ට්‍රේලියානුවන් එසේ වල්මත් වූවත් තමන්ගේ පිතිහරඹය පිළිබඳව මැතිව්ස්ට පැහැදිළි අදහසක් තිබිණ. ගාල්ලේ ඉනිම දෙකේදී ලකුණු 101 ක් (පන්දු 130යි, හතරේ පහර 8යි, හයේ පහර 3යි) ලබාගත් මැතිව්ස් දෙවැනි ඉනිමේ සිය අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී දැවී ගියේ ‘රිවර්ස් ස්වීප්’ පහරක් ගැසීමට යාමෙනි. එහෙත් ශ්‍රී ලංකා නායකයා ඒ පිළිබඳව කණගාටු වන්නෙක් නොවේ.

“ඒ වගේ අත්‍යන්ත තත්ත්වයන් යටතේ තරග කරන කොට නිකම් තට්ටු දම දමා ඉන්න බෑ. මොකද ඒ වගේ තත්ත්වයකදී කොහොම වුණත් දැවී යනවා. එක්කෝ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙනවා. නැත්නම් ෂෝට් ලෙග් වගේ තැනකට උඩපන්දුවක් යනවා… ඒ නිසා ලකුණු ලබාගන්නම ඕනා”

“එක්කෝ ‘ස්වීප්’ පහර නැත්නම් ‘රිවර්ස් ස්වීප්’ පහර ගහන්න ඕනෑ. ඇතැම් වෙලාවල වැරදි වෙන්න පුළුවන් තමයි. ඒත් ලකුණු ලබාගැනීමේ ක්‍රමයක් තියෙනවා. පන්දු යවන්නන්ට කරේ නගින්න නොදී තියාගන්න පුළුවන් වෙනවා” යයිද මැතිව්ස් පැවසීය.

නායක ස්ටීවන් ස්මිත්ගේම වදන් අනුව ගාල්ල ටෙස්ට් තරගය නිමා වන විට ඕස්ට්‍රේලියානු පිල දැඩි සේ ඇදවැටී සිටියේය.

“මේ දක්වා පැවැති තරගාවලිය ඉතාම අසීරු එකක්. ටෙස්ට් තරග දෙකේදීම අපව සම්පූර්ණයෙන්ම පරාජය කරනු ලැබුවා. මේ වෙලාවේ කණ්ඩායමේ මානසිකත්වය ඒ තරම් හොඳ නෑ”  

“ඉතාමත් හොඳ දඟ පන්දු යවන්නන් ඔවුන්ගේ කණ්ඩායමේ සිටිනවා. ඔවුන් පන්දුව දඟ කවනවා විතරක් නෙමේ පන්දුව වේගයෙන් කඩුල්ල තුළට කඩාවදින ලෙසත් යවන්න ඔවුන්ට පුළුවන්… අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ දඟ කැවෙන්නේ නැති පන්දුවෙන් ආරක්‍ෂා වෙන්නයි. ඒත් ඒ සම්බන්ධයෙන් නම් අපේ දස්කම් ප්‍රමාණවත් මදි” යයි ඕස්ට්‍රේලියානු නායකයා පැවසීය.

 

 

කුසල් කණ්ඩායම වෙනුවෙන් ලකුණු සොයයි

ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායම හමුවේ තරග කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටී සිටියේය. මහනුවර, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය ආරම්භ වන විටත් ඕස්ට්‍රෙිලියානු පිලට වඩා ලකුණු 80 ක් පසුපසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 6 කට ඇද වැටී තිබිණ.


පළපුරුදු පිතිකරුවකු වන දිමුත් කරුණාරත්න මුහුණ දුන්නේ පන්දු 3 කට පමණි. ඔහුද ආපසු ක්‍රීඩාගාරය දෙසට ඇවිදගෙන එයි.


යන්තම් ටෙස්ට් තරග 6 කට පමණක් ක්‍රීඩා කර තිබූ, 21 හැවිරිදි කුසල් මෙන්ඩිස් හීන්සීරුවේ කඩුල්ල දෙසට පියමං කළේය. කුසල්ගේ සිතේ බොහෝ දේ තිබෙන්නට ඇත. එහෙත් ඒ සියල්ල අබිබවා තවත් යමක් ඔහුගේ සිතේ තිබුණේය. එනම් කණ්ඩායම වැටි සිටි අසීරු අඩියයි.


තරගයේ තවත් දින තුනකට ආසන්න කාලයක් ඉතිරිවී තිබේ. ලකුණු ලබාගැනීමෙන් මිස තට්ටු ඇල්ලීමේ තේරුමක් නැත. පැයට කිලෝ මීටර 150 ඉක්මවන වේගයකින් පන්දු යවන, ඕස්ට්‍රෙිලියානු පිලේ වේගවත්ම පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක් දිවඑයි.


එන හැටියට මුහුණ දීමට මෙන්ඩිස් හිත හදාගත්තේය. ඔහු දිනය අවසන් කළේ ඕස්ට්‍රෙිලියානු පිලට එරෙහිව ටෙස්ට් ශතක ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් අතර දෙවැනි තැනට පැමිණෙමිනි. අරවින්ද ද සිල්වා බි්‍රස්බේන් නුවරදී ලබාගත් ලකුණු 167 ත් පසුකර ගිය මෙන්ඩිස්, නොදැවී ලකුණු 169 ක් ලබා කුමාර් සංගක්කාරට පමණක් පසුපසින් සිටී.


“මා කඩුල්ලට යන විටත් කණ්ඩයම වෙනුවෙන් මගේ වගකීම මොකක්ද කියන එක මා හොඳින්ම දැන සිටියා. ඒත් ශ්‍රී ලංකා පිලට තිබුණ ලකුණු 86 අවාසිය ගැන නම් මම එච්චර හිතන්න ගියේ නෑ”


“මම පන්දුවට පහර දුන්නේ හරියට මම පළමු ඉනිමකදී පන්දුවට පහර දෙනවා වගේයි” යයි කුසල් මෙන්ඩිස් අද සවස තරගයෙන් අනතුරුව පැවසීය.


පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් වමතින් දඟ පන්දු යවන්නා වූ ස්ටීවන් ඕ’කීෆ් 49 වැනි ඕවරයේදී පිටියෙන් ඉවත්ව යාම කුසල්ගේ ගමන පහසු කළේය. පන්දුව ඉතාම හොඳින් දඟ කැවෙන බැවින් කිසිම චකිතයකින් තොරව පිට දඟ පන්දු යැවූ නේතන් ලයන් හමුවේ ස්වීප් පහර කරා ගිය කුසල් පා ඉන්න දෙසින් ලකුණු ලබාගත්තේය.


කෞෂාල් සිල්වා සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් එයින් ලකුණු 34 ක අයිතිවාසිකම කුසල් සතුවිය. පන්දු 63 කින් අර්ධ ශතකය ලබාගන්නා විට කුසල්ගේ පිත්තේ ගැටුණ පන්දුව 8 වතාවක් හතරේ සීමාව පසුකර තිබිණ.


ඕස්ට්‍රෙිලියානු පිලට එරෙහිව ටෙස්ට් ශතක ලබාගත් පිතිකරුවන් අතරේ අරවින්ද ද සිල්වා පසුකර යාමත්, කුමාර් සංගක්කාරට ආසන්න වීමත් පිළිබඳව කළ විමසීමේදී මෙන්ඩිස් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළේය.


“මගේ අරමුණ වෙලා තියෙන්නේ හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායම වෙනුවෙන් ලබාගන්නයි. මා ලකුණු 200 ක් ලබාගත්තත්, ලකුණු 250 ක් ලබාගත්තත්, ඒ ලකුණු සියල්ලම එකතු වෙන්නේ කණ්ඩායමටයි”


“ඒ නිසා මගේ උත්සාහය හෙට දවසේදී හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නයි” යයි මෙන්ඩිස් පැවසීය.


මොරටුව වේල්ස් කුමර විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි කුසල් මෙන්ඩිස් වයස 15 න් පහළ අවධියේ සිටම ශ්‍රී ලංකාව නියෝජනය කළ අයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම විසින් තෝරාගන්නා ලද 15 න් පහළ සහ 17 න් පහළ වයස්කාණ්ඩවල නායකත්වය දැරූ කුසල් මෙන්ඩිස් තමන්ගේ ගමන් මාර්ගය පැහැදිළිවම තෝරා ගත් අයෙකි.


ලකුණු 95 ක් ලබා සිටියදීත් කිසිදු චකිතයකින් තොරව නේතන් ලයන්ගේ පන්දුවක් මිඞ් විකට් කලාපයට ඉහළින් යවමින් ලකුණු 6 ක් ලබාගත් කුසල් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේය. 1985 දී ඉම්රාන් ඛාන්ගේ පන්දුවක් හතරේ සීමාවෙන් ඉවතට යැවූ අරවින්ද ද සිල්වාත් සිය මංගල ටෙස්ට් ශතකය හයේ පහරකින් ලබාගත් ක්‍රීඩකයෙකි.


“ඒක කලින් හිතාගෙන ගහපු පාරක් නෙමේ. ඒ වෙලාවේ හැටියට ගහපු පාරක්….කොහොමටත් මම ස්වීප් පහර නිතරම පාවිච්චි කරනවා. ඇරත් පිට දඟ පන්දු යවන්නෙකුට ගහන්න මට ටිකක් ලේසියි” යයි මෙන්ඩිස් පැවසීය.


බ්ලූම්ෆීල්ඞ් පිල නියෝජනය කරන කුසල් මෙන්ඩිස් සිය පළමු වැනි පළමු පෙළ ශතකය ලබාගත්තේද පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීය. පල්ලෙකැළේ ක්‍රීඩාංගණය කුසල්ට හොඳ දඩබිමකි.


ඉදිරි දින දෙක තුළදී පල්ලෙකැළේ තණතීරුවේදී ලකුණු ලබාගැනීම අසීරු විය හැකි බැවින් තමන්ගේ පන්දු යවන්නන් සමගින් ඕස්ට්‍රෙිලියාවට සටනක් දිය හැකි බව කුසල් මෙන්ඩිස් කියයි.


ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටියද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ තවමත් දැඩි අවධානයෙන් සිටින මහේල ජයවර්ධන පල්ලෙකැළේ ක්‍රීඩාංගණය ගැන හොඳින්ම දන්නා අයෙකි. කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹය පිළිබඳව ඔහුට සුබපැතුම් එක්කළ හිටපු ශ්‍රී ලංකා නායකයා පවසා තිබුණේ තවත් ලකුණු 75 ක් පමණ ලබාගතහොත් තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකා පිලට හොඳ අවස්ථාවක් ඇති බවයි.

 

ලකුණු ක්‍රීඩකයා වසර ක්‍රීඩාංගණය දිනය
192 කුමාර් සංගක්කාර 2007 හෝබාර්ට් 2007 නොවැම්බර් 16
169* කුසල් මෙන්ඩිස් 2016 පල්ලේකැලේ 2016 ජූලී 26
167 අරවින්ද ද සිල්වා 1989 බ්‍රිස්බේන් 1989 දෙසැම්බර් 08
147 තිලකරත්න ඩිල්ශාන් 2012 හෝබාර්ට් 2012 දෙසැම්බර් 14
143 අසංක ගුරුසිංහ 1995 මෙල්බර්න් 1995 දෙසැම්බර් 26
137 අසංක ගුරුසිංහ 1992 එස්.එස්.සී 1992 අගෝස්තු 17
133 මාවන් අතපත්තු 2004 කෙයාන්ස් 2004 ජූලී 09
132* රොමේෂ් කළුවිතාරණ 1992 එස්.එස්.සී 1992 අගෝස්තු 17
131 සනත් ජයසූරිය 2004 අස්ගිරිය 2004 මාර්තු 16
127 අර්ජුන රණතුංග 1992 එස්.එස්.සී 1992 අගෝස්තු 17
119 හෂාන් තිලකරත්න 1995 පර්ත් 1995 දෙසැම්බර් 08
118 මාවන් අතපත්තු 2004 එස්.එස්.සී 2004 මාර්තු 24
112 සනත් ජයසූරිය 1996 ඇඩිලේඩ් 1996 ජනවාරී 25
105* ඇන්ජලෝ මැතිව්ස් 2011 එස්.එස්.සී 2011 සැප්තැම්බර් 16
105 මහේල ජයවර්ධන 2011 ගාල්ල 2011 අගෝස්තු 31
104 තිලකරත්න ඩිල්ශාන් 2004 ගාල්ල 2004 මාර්තු 08
104 මහේල ජයවර්ධන 2007 හෝබාර්ට් 2007 නොවැම්බර් 16

 

අපේ අය අවතක්සේරු කරන්න එපා

යුරෝපා සංගමයේ රැඳී සිටීමේ එක්සත් රාජධානියේ ඉරණම තීන්දු කළ ආන්දෝලනාත්මක ජනමත  විචාරණයේ ප‍්‍රතිඵලයේ උණුසුම එංගලන්තය පුරා පැතිරෙද්දී කී‍්‍රඩකයන් 17 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සිය කළමනාකාරීත්වය සමග ඔවුන් මෑත කාලයේ කී‍්‍රඩා නොකළ තරම් දුෂ්කර ටෙස්ට් තරගමාලාවකට මුහුණදීමට කාර්යබහුල ලෙස සූදානම් වෙමින්  සිටී.

පෙරහුරු තරග සඳහාත් තව කාලයක් තිබෙද්දිත් මිස්බා උල් හක්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායම එංගලන්තයට පැමිණියේ සිය කණ්ඩායමේ සගයන්ගේ දස්කම් එංගලන්ත සීත දේශගුණයට ගැළපෙන ලෙස මුවහත් කරගැනීමට ඇති අභිලාෂයෙනි.

පාකිස්තානු පිලට අලූතින් පත්වූ ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහත් උද්යෝගයෙන් යුතුව සිය කණ්ඩායම ඉදිරියේ මුහුණදීමට ඇති අභියෝගවලට සූදානම් කරවමින් සිටී. ඔවුන් අද දිනය ඉක්ම යනතුරු හැම්ෂයර් ප‍්‍රාන්තයේ රැඳී සිටින අතර කළමනාකරු ඉන්ටිකාබ් අලාම් ඒ අතරතුර විශේෂ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි විය.

සිය කණ්ඩායමට එංගලන්තය හුරුපුරුදු කරවීමට වේලාසනින්ම පිටත්කොට හැරීමට මෑතකදී පත්වූ පාකිස්තාන තේරිම් කමිටුවේ ප‍්‍රධානී ඉන්සමාම් උල් හක් ගත් තීන්දුව නිෂ්ඵල දෙයක් හැටියට ඇතැමුන්ගේ විවේචනයට ලක්වූවත් පාකිස්තානු කී‍්‍රඩකයන් හැම්ෂයර් හී මේ ගත කරමින් ලබාගන්නා වූ අත්දැකීම් ඉදිරියේදී කදිම අත්වැලක් වෙනවාට කිසිදු සැකයක් නැති බව ඉන්ටිිකාබ් අලාම් මහතාගේ අදහසවී තිබේ.

”හැම්ෂයර් ආපු දවසෙ ඉඳලා අපිට හොඳයි”

”අපි දවස් තුනේ පුහුණු තරගයකටත් කී‍්‍රඩා කළා. කරදර වෙන්න කිසිම දෙයක් නෑ කොල්ලො ටික එයාලගේ ශාරිරික යෝග්‍යතාව හොඳින් පවත්වාගෙන යනවා. ව්‍යායාම ශාලාවේ සෑහෙන කාලයක් ගත කරන නිසා අපේ කඳවුරේ තත්ත්වය ආදා ඉඳලා සතුටුදායක මට්ටමකයි තිබෙන්නේ” යයි ඉන්ටිකාබ් අලාම් මහතා කියයි.

ප‍්‍රධානතම මාතෘකාවක් බවට පත්වී ඇත්තේ තහනමට පෙර 2010 දී සිය අන්තිම ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ තණතීරුවේදීම මොහමඞ් අමිර් යළි දෙවැනි ගමන ආරම්භ කිරීමයි. එය මාධ්‍ය හා කී‍්‍රඩාලෝලීන් අතර වැඩි කතාබහට ලක්වූ කාරණාවක් බව කණ්ඩායම් කළමනාකරීත්වයත් දැන සිටී.

කෙසේ වෙතත් පාකිස්තාන කළමනාකාරීත්වය වැඩි අවධානයක් යොමුකොට ඇත්තේ ජූලි 14 වැනිදා ලෝඞ්ස් පිටියේ දී ඇරැුඹෙන ටෙස්ට් තරගයට අමීර් සූදානම් කරවීම පිළිබඳව බව අලාම් මහතා කියයි.

”ලෝඞ්ස් ටෙස්ට් තරගයට පෙර තවත් පෙරහුරු තරග දෙකකටම කී‍්‍රඩා කරන්නට තිබෙන නිසා එක අතකට ඒ ගැන කතා කිරීමට වේලාසන වැඩියි කියලත් හිතෙනවා”

”අමීර් ලෝඞ්ස් තරගයට හොඳින්ම සූදානම් වී ඇතැයි අපිට සිතෙනවා. ඔහු නැවත ටෙස්ට් පිටියට පා තැබීම ගැන වටපිටාවේ සෑහෙන කතාබහ කෙරෙන නිසා ඔහුට මේ සංචාරයට මනස හදාගන්න සිදුවුණා. ඒ වගේම ඔහුට තමා ගැන බලාගන්න හැකිවේවි කියලා අපි විශ්වාස කරනවා” යයි කී අලාම් මහතා, ”මොහොමඞ් අමීර් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට නැවත පිවිසීමෙන් පසුව ඔහුගේ මුල්ම එංගලන්ත සංචාරය මෙය නෙවෙයි. ඔහු මීට කලිනුත් ඔහු එංගලන්තට ආවා….” යයිද පැවසීය.

ආබාධයක් හේතුවෙන් ජේම්ස් ඇන්ඩර්සන්ට නිසැකයෙන්ම පළමු ටෙස්ට් තරගයට කී‍්‍රඩා කිරීමට නොැලැබීම ඇතැම් පාකිස්තානු පිතිකරුවන්ට තරමක අස්වැසිල්ලකි. නමුත් කණ්ඩායමට ධනාත්මක ප‍්‍රතිඵලයක් මේ සංචාරයෙන් ලබාගැනීමට තරම් අවශ්‍ය පසුබිමක් ඇති කරලීමට පාකිස්තානු පන්දු යවන්නන්ට හැකිවේවිදැයි පැනයක් ඉතිරිව තිබේ.

අමීර්ට අමතරව පාකිස්තානු වේගපන්දු බලඈණියට ඇතුළත්ව සිටින වහාබ් රියාස්ට අත්දැකිම් අඩුය. එහෙත් අලාම් මහතා පවසනුයේ තමන් සිය ප‍්‍රතිවාදින් විමතියට පත් කිරීමට සූදානම බවයි.

”මීට කළින් එංගලන්තයේ සංචාරය කළ පාකිස්තානු කණ්ඩායම්වල වගේම මෙවරත් අපේ වේගපන්දු බලඈණිය අත්දැකීම් අඩු අය බවට සැකයක් නෑ තමයි. ඒත් එයාලගේ හැකියාවන් අවතක්සේරු කිරිම ගැන නම් මම අනතුරු අගවනවා”

”මෑත කාලයේ ඔවුන් හොඳින් පන්දු යැව්වා. ඒ වගේම ඔවුන් ශාරිරික යෝග්‍යතාව අතිනුත් ඉහලින් ඉන්නේ. ඉංගී‍්‍රසි පිතිකරුවන් ඔවුන්ගේ දැඩි පරීක්ෂාවට ලක්වෙනවාට සැකයක් නෑ” යයිද පාකිස්තානු පිලේ හිටපු නායකයකුද වන අලාම් මහතා පවසයි.

පාකිස්තානු පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර්ට කළහැකි දේ කුමක්දැයි යන්න ඔහු දකුණු අපි‍්‍රකානු පිලේ පුහුණුකරු ලෙස වැඩ කළ කාලයේ ඇතිකරගත් දීප්තිමත් වාර්තාව මත රඳා පවතින්නකි. මෑතකදී පත්වුණු මේ පුහුණුකරු දැනටමත් කණ්ඩායමේ යම් වෙනසක් ඇති කරලීමට සමත්වී ඇතැයි අලාම් මහතා කියයි.

”පාකිස්තාන පිලේ ප‍්‍රධාන පුහුණුකරු හැටියට මිකී ආතර් වගේ කෙනෙක් පත් කරගැනීමට ලැබීම අපේ වාසනාවක්. අපේ ළමයි ටික ඔහු සමග හොඳින් වැඩ කරන බව මම සතුටින් කියනවා. ඔහු කණ්ඩායමත් එකක් ඉතා කැපවීමෙන් පුහුණුවීම්වල යෙදෙනවා. කොල්ලො ටික ඔහුට කීකරුයි”

බොහෝ ප‍්‍රවීණයන්ට අනුව මේ පාකිස්තාන කණ්ඩායමට මෙවර ටෙස්ට් තරගාවලියේ දී  සිය අරමුණු කරා ළගාවීමට අවශ්‍ය අධිෂ්ඨානශීලීත්වය ඉහලින්ම පෙනෙන්නට තිබේ. එහෙත් අලාම් මහතාගේ අදහස වී ඇත්තේ කණ්ඩායමේ සැබෑ අරමුණ ඉස්මතු වෙන්නේ ඔවුන් ලෝඞ්ස් පිටියට පා තැබුවාට පසුව බවය.

”අපි අවශ්‍ය ඉලක්කයට යන්න හොඳ සූදානමකිනුයි ඉන්නේ. දෙවියන්ගෙ පිහිටෙන් හරි වෙලාවට අපේ කොල්ලෝ ටික පාකිස්තානු ජාතියම ඉහළට ඔසවලා තියාවි” යයි අලාම් මහතා සිය විශ්වාසය පළකරයි.

 

- 077

 

මොහොමඞ් අමීර් නින්දෙන් අවදිවෙයි

ක්‍රිකට් තරග පාවාදෙන්නවුන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනැවිය යුතු යයි මොහොමඞ් අමීර් කියයි.
එසේ කියන මොහොමඞ් අමීර් අන් කවරෙකු හෝ නොව, වසර 2010 දී කූප්‍රකට තරග පාවාදීමකට වැරැදිකරුවකු වී වසර 5 ක තරග තහනමකට සහ සිර දඬුවමකට යටත්ව සිටි පකිස්තානයේ වේගපන්දු යවන්නාමය.


එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් යළි ටෙස්ට් ක්‍රිකට් පිටියට අවතීර්ණවීමට බලා සිටින අමීර් මෙසේ කීවේ තරග පාවාදෙන්නවුන් ක්‍රීඩාවේ නාමයෙන් එළියට ඇද දැමිය යුතු බවට එංගලන්ත පිලේ නායක ඇලෙස්ටෙයාර් කුක් ඊයේ පෙරේදා කළ ප්‍රකාශයකට සහය පළ කරමිනි.


“තරග පාවාදීම් තවමත් සිද්ධවෙනවානම් එය අනතුරුදායකයි” ආමීර් එසේ කීවේ ටෙස්ට් තරග 4 කින් සමන්විත එංගලන්ත සංචාරයට පිටත්වයාමට පෙර පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.


“තරග පාවාදෙන්නවුන්  ජීවිතාන්තය දක්වා තහනම් කළ යුතුබවට පළවෙන මතයට මම සම්පූර්ණයෙන්ම එකඟයි” යයි කීවද එංගලන්තයේ ටැබ්ලොයිඞ් පුවත්පතකින් විස්තර ඇතුව හෙළිදරවු කරන ලද ආමීර්ගේ නිපන්දු යැවීම සිදුවූ ලෝඞ්ස් පිටියේ දීම නැවත ටෙස්ට් ක්‍රිකට් ක්ෂේත්‍රයට එක්වන 24 හැවිරිදි මේ වමත් වේගපන්දු යවන්නාට එහි දී සතුටුදායක ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.


සිය තරග තහනම නිමාවට පත්වීමෙන් පසුව පසුගිය ජනවාරියේ යළි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි අමීර්ට එරෙහිව ක්‍රීඩා කිරීම පිළිබඳ තමාට කිසිදු ගැටළුවක් නොමැති බව එංගලන්ත ටෙස්ට් නායක ඇලිස්ටෙයාර් කුක් මීට පෙර කියා තිබිණි.


අමීර් සහ ඔහුගේ නව පන්දුවේ සහකරු මොහමඞ් අසීෆ් එදා නිපන්දු යැව්වේ එවකට සිය නායකයාව සිටි සල්මාන් බට්ගේ උපදෙස් අනුවය. මේ තිදෙනාම වසර 5 ක තරග තහනමකට ලක්වූ අතර තරග පාවාදීමේ මහමොළකරු වූ මසාර් මජීද් සිරගත කෙරිණි.


සිය තහනම නිමාවට පත්වීමෙන් පසුව මෙතෙක් අන්තර්ජාතික එක්දින තරගවලට පමණක් ක්‍රීඩා කළ අමීර්ට යළි ටෙස්ට් පිටියේ දොරටුව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදීම විවරවීමත් දෛවෝපගත කාරණාවකි.


“ඇත්තම කියනවානම් මම කවදාවත් හිතුවේ නෑ ආපහු ක්‍රීඩාවට එක්වෙන්න පුළුවන් වෙයි කියලා. ආපහු ටෙස්ට් ක්‍රිකට්වලට එන්න ලැබීම මගේ වාසනාවක්” ඔහු කීවේය.


“ටෙස්ට් ක්‍රිකට්වලට එන්න මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ. මේක මට තවමත් විශ්වාස කරන්නත් බෑ….මේක දෛවෝපගත සිද්ධියක් හරි වෙන මොකක් හරි කියලා ඔයාලා බාගවිට කියාවි. ඒත් 2010 දී මගේ ක්‍රිකට් ක්‍රීඩාව නැවතුණු ලෝඞ්ස් පිටියෙන්ම ආපහු ටෙස්ට් ක්‍රීඩාවට එන්න ලැබීම මට නම් ආශිර්වාදයක්” යයි මොහොමඞ් අමීර් කියයි.


“මම නැවත අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පා තැබුවේ මීට මාස ගණනකට උඩදී වුණත් ඇත්තටම නියම ක්‍රිකට් ක්‍රීඩාව හැටියට සැලකෙන ටෙස්ට් ක්‍රිකට්වලට එන්න ලැබීම තමයි මගේ පුනරාගමනය කියලා මම හිතන්නේ” යයිද  අමීර් කීවේය.


“මම අතීත සිදුවීම් අමතක කරලාවත්, ඒවා මගේ හිතේ හොල්මන් කරන්නේ නෑ කියලවත් මම කියන්නෙ නෑ. ඒත් ඒ දිහා සුබවාදී විදිහට බලලා සාර්ථක අනාගතයකින් ඒ අතීතය වළලා දමන්නයි මගේ බලාපොරොත්තුව”
“ආපහු සැරයක් ලෝඞ්ස් පිටියේ ගෞරවනීය පුද්ගලයන්ගේ නාමපුවරුවේ මගේ නම ලියා තබන අන්දමේ දස්කම් පෙන්වන්නයි මට ඕන කරන්නේ” යයි අමීර් කීවේය.


ඉනිමකින් සහ ලකුණු 225 කින් එංගලන්තයට පරාජය වූ ඒ තරගයේ දී සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ අමීර් ලකුණු 84 කට කඩුලු 6 ක් දවා ගැනීමෙන් පසුව ලෝඞ්ස් පිටියේ ගෞරවනීය ක්‍රීඩකයන්ගේ නාමපුවරුවට එක්විය.


එළැඹෙන ටෙස්ට් තරගය අතරතුර ක්‍රීඩාංගණය තුලදී ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගෙන්ද, ඉන් පිටත දී එරට ක්‍රීඩාලෝලීන්ගෙන් ද අඩුවැඩි නොමැතිව එල්ලවිය හැකි ගර්භාවට මුහුණදීමට තමා දැනටමත් සූදානම් බවත් ආමීර් කීවේය.


“ක්‍රිකට් පිටියේදී ප්‍රතිවාදීන්ගෙන් ඇනුම්පද එල්ලවීම ක්‍රීඩාවේ කොටසක්. ඒ වගේම ඒක අලුත් දෙයක් නෙවෙයි. නමුත් මම ඒ ගැන වැඩිය හිතන්න යන්නෙ නෑ. මම හිතන්නේ මගේ දස්කම් ගැන විතරයි”


අවසන් වතාවට 2010 දී ලෝඞ්ස් පිටියේ ක්‍රීඩා කළ කාලයට වඩා තමා දැන් බෙහෙවින් ශක්තිමත් බවත් පවසන අමීර් “එතකොට මං ගොඩාක් පොඩියි” කීවේ තමන් වරදට පෙළඹුනේ නොදන්නා කම නිසා යන්න නොකියා කියමිනි.

 

ලෝක වාර්තාව ගැන ලාරා බයවෙලා හිටියා

වසර 2005 දී දකුණු අප‍්‍රිකාවට එරෙහිව කි‍්‍රස් ගේල් ලකුණු 317ක් රැස් කළ මොහොතේ බ‍්‍රයන් ලාරා වරින් වර ලකුණු පුවරුව දෙස බලමින් ඔහු තමාගේ ලෝක වාර්තාව අභියසට සමීප වේවිදැයි කනස්සල්ලෙන් පසුවූ බව කි‍්‍රස් ගේල්ගේ ස්වයං චරිතාපදානයෙන් අනාවරණය වෙයි.

‘සමහර කී‍්‍රඩකයන් වාර්තා ගැන සැලකිලිමත් වෙනවා. එදා තරගයේ දී ලාරා ලකුණු 4කට දැවීයාමෙන් පසුව කී‍්‍රඩකයන්ගේ විවේකාගාරයට වී පොතක් කියවමිනුයි සිටියේ. අතරින් පතර ඔහු බැල්කනියට ගිහින් ලකුණු පුවරුව බලන්න ගත්තා.

අනතුරුව යළි විවේකාගාරයට වැදුණා. සර්වාන් (රාම්නරේෂ්) ඔහු දිහා ඇහැ ගහගෙනයි හිටියේ. මොකද ඔහු පුදුම වෙලයි හිටියේ, බ‍්‍රයන් පිටතට ඇවිත් සැරින් සැරේ මගේ ලකුණු සංඛ්‍යාව පරික්ෂා කරලා මම එයාගේ වාර්තාවට ළංවෙන බව පෙනෙද්දී ඔහුගේ මුහුණ එන්න එන්නම කළු වුණා.‘

‘සික්ස් මැෂින්- අයි ඩෝන්ට් ලයික් කි‍්‍රකට්…අයි ලව් ඉට්‘ ලෙසින් නම් කරන ලද ස්වයං චරිතාපදාන කෘතියෙන් කි‍්‍රස් ගේල් හෙළිදරවු කළේය.

‘මම දිවා ආහාරයටත්, පස්සේ හවස තේ බොන්නත් විවේකාගාරයට ආවම ඔහු මට කිසිම දෙයක් කිව්වෙ නෑ. අඩුම තරමින් උපදේශයක්වත්..දිගටම වැඬේ කරගෙන යන්න කියලවත්….කණ්ඩායම වෙනුවෙන් ඒක කරන්න කියලවත්…කිසිම දෙයක් කිව්වෙ නෑ. මම ආපහු පිටියට ගියාම බ‍්‍රයන් නැවත වතාවක් ඇතුළට ගිහින් පොත කියවන ගමන් සැරින් සැරේ කණගාටුවෙන් ලකුණු පුවරුව බලන්න පටන් ගත්තා.‘

එදා තරගයේ දී ගේල් ලකුණු 317කට දැවී ගියේ ඊට පෙර වසරේ දී එංගලන්තයට එරෙහිව ලාරා නොදැවී රැුස් කළ විස්මිත ලකුණු 400 වෙත යන අතරවාරයේදීය.

අනතුරුව 2010 වසරේ දී ගේල් නැවත වතාවක් ති‍්‍රත්ව ශතකයක් කරා ගියේ ශී‍්‍ර ලංකාවට එරෙහිව ලකුණු 333ක් වාර්තා කරමිනි.

ගේල් කියන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාව ගැන කිසිම හැ`ගීමක් නැති උද්දච්ඡ අයකු ලෙස පේ‍්‍රක්ෂකයන් තමා ගැන සිතන බවකි.

‘බාගවිට එයාලා මා ගැන වරදවා වටහා ගෙනයි ඉන්නේ. ඒ මං පිත්ත හසුරුවන විදිහ නිසා වෙන්න ඇති. මම සෑහෙන පහරවල් ගහනවනේ. එහෙමත් නැතිනම් මම දැවීයන විදිහ නිසා වෙන්න ඇති. බොහෝවිට එයාලා හිතනවා ඇති මම ඒ ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ නෑ කියලා. සමහරවිට ටී.වී.එකේ එහෙම වෙන්න ඇති පේන්නේ. මම මගේම පහරවල් ගහලා දැවි යනවා. මම ලකුණු 40ට විතර දැවී යද්දිත් සමහර අය කියනවා මම ලකුණු 5කට විතර දැවීයන කී‍්‍රඩකයෙක් වගේ කී‍්‍රඩාව ගැන සැලකිලිමත් වෙන්නෙ නෑ කියලා.‘

ගේල් සිය ස්වයං චරිතාපදානය ලියා ඇත්තේ ටොම් ෆෝඩයිස්ගේ ද සහාය ඇතිවය. පෙන්ගුයින් රැන්ඩම් හවුස් මගින් ප‍්‍රකාශයට පත්කර ඇති මේ පොතෙන් කාන්තාවන් සමග ඇතිකරගත් ආරවුල් ගැනත් සඳහන් කිරීමටත් ගේල් අමතක කර නැත.

‘ගැහැනු එක්ක තමයි ඒ වගේ ආරාවුල් ඇතිවෙන්නේ. කෙල්ලො මට ආදරෙයි මමත් කෙල්ලන්ට ආදරෙයි. මම උණුසුම් කොල්ලෙක්. උද්ධච්ඡ..? අපෝ නෑ. අපි මෙහෙම තමයි ජැමෙයිකාවේ හැසිරෙන්නේ. විවෘතයි අවංකයි. බොරු වැඩ නෑ. කොහොමටත් කෙල්ලොත් එක්ක නම් මම හරි සීරියස්.‘ ඔහු කියයි.

ඇගේ හැප්පෙන්න…මාව ස්පර්ශ කරන්න ඕන තරම් ගැහැනු බලාගෙන ඉන්නවා.‘
‘හයේ පහරේ මැෂිම මමයි. විස්සයි20 වැඩිම හයේ පහර සංඛ්‍යාව ගැසීමේ වාර්තාවට දෙවතාවක්ම උරුමකම් කිව්වා. ඉහළම ලකුණු සංඛ්‍යාව..ඉහළම සාමාන්‍යය ගණන…වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව.. ලාරාට වඩා අන්තර් ජාතික එක්දින ශතක සංඛ්‍යාවක්…බොතම්ට වඩා ටෙස්ට් තරග සංඛ්‍යාවක්…ක්ලයිව් ලොයිඞ්ට වඩා ටෙස්ට් උඩපන්දු සංඛ්‍යාවක්…මම හැමදාම පී‍්‍රතිමත්. ඒ වගේම මම මිනිස්සුන්වත් පී‍්‍රතියෙන් කුල්මත් කරනවා. මොකද මම කි‍්‍රකට් කී‍්‍රඩකයෙක්.  කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් හැටියට මගේ ශක්තිය පිටිය මැදදී තමයි එළියට එන්නේ. මට පිත්ත හරියට හසුරුවන්න බැරිවුණොත්..එහෙනම් දෙන්න පන්දුව…‘

මම කතා කරන විදිහට එයාලා ඉස්සරහට එන විදිහට කෙල්ලෝ ආකර්ශනය වෙනවා. කාන්තාවන් කැමතියි එයාලා ගැන හොඳ කියනවට. ඒක මම වේලසනින්ම ඉගෙන ගත්තු දෙයක්. ඒ උණාට පිරිමි හිතන්නේ පිරිමි විදිහටම තමයි. එහෙම නෙවෙයි ‘බබා ඔයාට කාර් එකක්  ඕනෙද..?‘ අන්න එහෙමයි  ඕවා පුංචි පුංචි දේවල්…ගැහැනියෙක් විදිහට හිතන්න. එයාලාට උපදෙස් දෙන්න.‘
‘එයාලට ඇහුම්කන් දෙන්න. පස්සෙ කාලෙක දී කෙල්ලෙක් මා දිහාවට එද්දී මට ඒ ගැන කිසිම උනන්දුවක් තිබ්බේ නෑ. ඒත් තරුණ කාලේදි හැමදෙයක්ම ඔබ වෙත එනවා. ඔබට ශක්තියත් වැඩියිනේ. සිය කෘතියේ ගේල් එසේ ද ලියයි.

කී‍්‍රඩාලෝලීන් සම්බන්ධව ගේල් සිය චරිතාපදානයේ මෙසේ ලියා තිබේ.

‘මිනිස්සු කැමැතියි ග්ලැඩියේටර්ස්ලා බලන්න. මොකද එයාලට  ඕනෑ මිනිසුන්ට එරෙහිව මිනිසුන් සටන් කරනවා බලන්නයි. එයාලට  ඕනෑ කරන්නේ විනෝද වෙන්නයි. ඔබ දක්වන දස්කම් එක් එක්කෙනාට වෙනස් විදිහේ ආශ්වාදයක් ගෙන දෙන එකක් වෙන්නත් පුළුවනි. පන්දු 10කදී ලකුණු 30ක් රැස් කිරිම ඇතැමුන්ගේ සතුටට කාරණාවක් වුණත් තවත් සමහරුන් ඒක බාල්දු කරාවි. එක එක කී‍්‍රඩාංගණවල දී කොහොමද මේ සටන දිනාගන්නේ කියලයි ඔබ කල්පනා කළ යුත්තේ.‘

අයි.පි.එල්. තරග අතරතුර දී තමා ඉනිමක් ආරම්භ කිරීමට පෙර පවතින තත්ත්වය හොඳින් විග‍්‍රහ කර බලන බවද ගේල් කියයි.

‘මිනිස්සු ඔල්වරසන් දේවි.. හයක්..හයක්…හයක්.. මම මිනිස්සු පී‍්‍රතිමත් කරන්නෙක්. ඉතින් මම එයාලට හයේ පහරක් දෙනවා. ඔවුන් ඊළඟට කිපෙනවා. ඔන්න ඔබට දැන් දිනන්න  ඕනෑ කරන්නේ එක ලකුණක් විතරයි. ඔබ දන්නවා එයාලා ඉල්ලන්නේ හයක්…ඉතින් ඔබ එයාලට ඒක දෙන්න  ඕනෑ..එතකොට එයාලා තවත් කිපෙනවා.‘ ගේල් එසේ ලියා තිබිණ.

 

අතීත මතක සැමරුම් මැද ලෝඩ්ස් පිටියේදී

‘සමුගෙන යන්නෙමු’ යි කොතෙකුත් කීවද සමුගෙන යාම සැබවින්ම අසීරුය.

කී‍්‍රඩාව සමග පෙම් බැඳ ගත්තෝ කී‍්‍රඩා කිරීමෙන් සමුගන්නා නමුත් නිබඳවම කී‍්‍රඩාව ඇතසුරේ රැඳී සිටිති. ඇතැමෙක් පුහුණුකරුවකු ලෙස නැවතත් කී‍්‍රඩා පිටියට පිවිසෙන අතර තවත් අයෙක් විස්තර විචාරකයකු සේ නැතහොත් තේරීම් කමිටු නිලධාරියකු සේ කී‍්‍රඩා පිටියට පිවසෙයි.

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් තරගය පැවැති ලෝඞ්ස් කී‍්‍රඩාංගණය ඊයේ (11 වැනිදා) ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ හිටපු දැවැන්ත කී‍්‍රඩකයන්ගේ එකතුවක් විය.

1984 ලෝඞ්ස් ටෙස්ට් තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී සහභාගි වූ පළමු ටෙස්ට් තරගය මෙන්ම එය අරවින්ද ද සිල්වාගේ මංගල ටෙස්ට් තරගයද විය. අරවින්දට එම තරගයේදී ලබාගත හැකිවූයේ ලකුණු 16 කි. එහෙත් අරවින්ද ටෙස්ට් නායකයකු වශයෙන් දොරට වඩින්නේ 1991 ලෝඞ්ස් ටෙස්ට් තරගයේදීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අති විශිෂ්ට දස්කම් දැක්වූ එම තරගයේදී ශී‍්‍ර ලංකා පිල මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 491 ක් ලබාගන්නා අතර සිදත් වෙත්තමුණි ලකුණු 190 ක් ලබාගනිමින් එවකට ශී‍්‍ර ලංකා ටෙස්ට් පිතිකරුවකු ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිමිකරගත්තේය. අර්ජුන රණතුංග මෙම තරගයේදී ලකුණු 84 ක් ලබාගත්තේය.

රංජිත් ප‍්‍රනාන්දු, කුමාර් සංගක්කාර, සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග සහ සිදත් වෙත්තමුණි යන ශී‍්‍ර ලංකා පිලේ හිටපු කී‍්‍රඩකයන් ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේදී ඊයේ (සෙනසුරාදා) ඡායාරූපයකට පෙනී සිටි අයුරු…

සනත් ජයසූරිය ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරග දෙකකට සහභාගි වී ඇතත් ලබාගෙන ඇත්තේ ලකුණු 95 ක් පමණි. වසර දෙකකට ඉහතදී ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගය කි‍්‍රකට් කී‍්‍රඩාවේ මහගෙදරදී තමන් සහභාගිවන සිය අවසන් ටෙස්ට් තරගය බව දත් කුමාර් සංගක්කාර එම තරගයේදී ලකුණු 147 ක් ලබාගත්තේය.

1975 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුලූ රකින්නා වූ රංජිත් ප‍්‍රනාන්දු මහතා එම තරගාවලියේදී තරග 3 කට  කී‍්‍රඩා කර ඇතත් ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී කී‍්‍රඩා කර නොතිබිණ.

මේ තරගාවලියෙන් වීරයෙක් බිහිවෙනවා


වසර 20 කට ආසන්න කාලයක් ගුවන් විදුලි සහ රූපවාහිනී විචාරකයකු වශයෙන් කටයුතු කරන රොෂාන් අබේසිංහ ශී‍්‍ර ලංකා – එංගලන්ත තරගාවලියේදී බී. බී. සී. ටෙස්ට් මැච් ස්පෙෂල් සේවය සමග එක්ව කටයුතු කරයි.

ව්‍යාපාරිකයකු වන අතරේම කි‍්‍රකට් පරිපාලන නිලධාරියකු ලෙසද කටයුතු කර ඇති රොෂාන් අබේසිංහ මහතා සමග කළ සංවාදයක් මෙසේ සටහන් වෙයි.


ඔබ කොහොමද විස්තර විචාරයට එක්වුණේ…?

ඒක ගොඩාක් කාලෙකට කලින් පටන් ගත්තු එකක්. ඒ කියන්නේ 1995 දී.
මම නිතරම හිතුවේ රට වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදෙන්න තරම් මගේ දස්කම් ප‍්‍රමාණවත් නොවුණු බවයි. මොකද සමහර වෙලාවට කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරතවෙද්දී  ඕන කෙනෙකුට දැනෙනවා ඔබ කොයිතරම් හොඳ ද කොයිතරම් නරක ද කියලා.

කී‍්‍රඩාව හැරුණාම ඊළඟට රට වෙනුවෙන් මොනව හරි කරනවානම් හොඳම දේ මාධ්‍යය කියලා මට හිතුණා.

මාධ්‍යයත් කී‍්‍රඩාවට එක්ක ගොඩාක් ළඟින් යන දෙයක්. ඔබ විස්තර විචාරකයකු වෙනවානම්. මට මුලින්ම හිතුණේ ගුවන්විදුලි විස්තර විචාරකයෙක් වෙන්නයි. අපි පොඩි කාලේ..අපි තරුණ කාලේ…අපි පුරුදුවෙලා හිටියේ ගුවන්විදුලියෙන් ටෙස්ට් කි‍්‍රකට් තරගවල විස්තර විචාර අහන්නයි. විශේෂයෙන් ඒ.බී.සී. රේඩියෝ වගේ ඒවා වල. ඒ කාලේ අපිට රූපවාහිනි තිබුණේ නෑ. රූපවාහිනිය ලංකාවට ආවේ 1978 දී මම නිවැරැදිනම්. ඊට කලින් තිබුනේ ගුවන්විදුලිය විතරයි. අපිට ඒ කාලේ ජෝන් ආලට්, බ‍්‍රයන් ජොන්ස්ටන්, කි‍්‍රස්ටෝපර් මාටින් ජේන්කින්ස්, ඇලන් මැගිල්රේ, ජිම් මැක්ස්වෙල් (ඔහු අදටත් විස්තර විචාරයේ යෙදෙනවා) මේවා ලොකු නම්. එයාලා කි‍්‍රකට් තරග විස්තර කරන විදිහ ගැන මම වශීවෙලයි හිටියේ. ඒක තමයි මාව ඒකට යොමුවෙන්න හේතු වුණේ. ඉතින් මම හිතුවා මේක තමයි ගවේෂණය කරලා බලන්න  ඕන ක්ෂේත‍්‍රය කියලා. එහෙම තමයි ඒක පටන් ගත්තේ.


ඔබේ විස්තර විචාරක ජීවිතය කෙබඳු ද…?

ඒක කඳු පල්ලම්වලින් සමන්විත එකක් වගේ. මට අති විශාල අත්දැකීම් සම්භාරයක් ලැබුණා.
මම ගොදුරක් වුණා. ….මම කිව යුතුයි…කි‍්‍රකට් පරිපාලකයන්ගේ…එයාලා මාව අඳුනාගෙන තිබුණේ එක්තරා පාර්ශ්වයක කෙනෙක් විදිහටයි. අනිත් පාර්ශවය බලයට ආවම මුලින්ම කළේ මාව විස්තර විචාරවලින් අයින් කරපු එකයි. මොකද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට තවම අයිතියක් තියෙනවා අන්තර්ජාතික විස්තර විචාරක කමිටුවට විස්තර විචාරකයන් නම් කරන්න. ඉතින් ඒක පවත්වාගෙන යාම ගොඩක් දුෂ්කර ගමනක් වුණා. අත්දැකීම්… සුපුරුදු ඉරිසියාකම්….පිටුපස්සෙන් ඇවිත් පිහියෙන් ඇනීම් වගේ සාමාන්‍ය ජීවිතයේ සිද්ධවෙන සුපුරුදු දේවල්වලට අමතරව. කොහොමවුණත් ඒක පී‍්‍රතිමත් ගමනක්. මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම කතෝලික බැතිමතෙක්. මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. මම ගොඩාක් යාච්ඥා කරනවා.


ඔබේ විස්තර විචාරක දිවියේ අමතක නොවෙන සිදුවීම් මොනවාද..?

ඒ වගේ මතකයන් කිහිපයක්ම තියෙනවා.
මම පටන් ගත්තේ 1996 දී. ඒ කාලේ තමයි මං දේශීය ගුවන්විදුලි නාලිකාවකට කි‍්‍රකට් තරගවල අලූත්ම තත්ත්ව විස්තර කරමින් හිටියේ. ශී‍්‍ර ලංකාව 1996 ලෝක කුසලානය දිනාගත්තා. අවසන් තරගය යද්දී මම එතැන හිටියා. ඒක තමයි ශී‍්‍ර ලංකාව දිනාගත්තු එකම  ඕවර 50 ලෝක කුසලානය. මම කියන්නේ එකම ලෝක කුසලානය කියලයි.  මොකද විස්සයි20 තරගාවලිය ලෝක කුසලාන තරගාවලියක් විදිහට නෙවෙයි හඳුන්වන්නේ. ඒ තරගාවලියට කියන්නේ විස්සයි20 ජාත්‍යන්තර තරගාවලිය කියලයි. ඉතින් අපි ලෝක කුසාලනයක් දිනාගත්තේ 1996 දී. ඉතින් මම ලබපු විශාල වරප‍්‍රසාදයක් ඊට සහභාගිවීම. ඒක තමයි මට මුල්ම වතාවට පැවරුණු රාජකාරිය පළමුවැනි විදේශ සංචාරය.. ලංකාවෙන් පිට පළමුවැනි රාජකාරිය මම පටන් ගත්තා විතරයි. ඉතිහාසගත තරගාවලියක කොටස්කාරයෙක් වීම ඒක හැමදාම තියේවි මගේ මතකයේ. ඒක සදාකාලික මතක සටහනක්.

ඒ හැරුණාම මගේ ජීවිතයේ ලැබුණු විශිෂ්ට අවස්ථාවක් අතිවිශාල කී‍්‍රඩාංගණ කිහිපයකදී විස්තර විචාරකයකු විදිහට කටයුතු කරන්න ලැබීම. ලෝඞ්ස් වගේ කී‍්‍රඩාංගණවල. ලෝඩ්ස් තණතීරුවේ දී මට ශී‍්‍රමත් ඉයන් බෝතම් එක්ක සම්මුඛ සාකච්ඡුාවක නිරතවීමේ භාග්‍ය ලැබුණා. බලන්න..ඒවා හිතාගන්න බැරි මතක සටහන්.

එම්.සී.ජී, එස්.සී.ජී. වගේ දැවැන්ත කී‍්‍රඩාංගණවල. ඊළඟට මට පැරැණි හෙඩින්ග්ලි විස්තර විචාරක කුටියේ විස්තර විචාරයේ යෙදෙන්න ලැබුණා. ඒක හරිම පොඩි විචාරක කුටියක්. ඒකේ ඉඳගත්තම මට හිතුනේ මෙතැන නේද මාධ්‍යයේ දැවැන්ත චරිත වැඩ කළේ කියලා. ඒ වගේ දේවල්. ඒ වගේම එක් එක් රටවල්වල කණ්ඩායම නියෝජනය කළ කි‍්‍රකට් නායකයන් එක්ක එකම තලයක එකට ඉඳගන්නත් මට අවස්ථාවන් ලැබුණා. ශ්‍රේෂ්ඨයන් විදිහට සුපිරි තරු විදිහට හිටපු එයාලා එක්ක වාද විවාද කරන්න එයාලගේ මතවලට එකඟවීම් හෝ එකඟ නොවීම්…මගේ මතයට එයාලා අවනතවීම්..ඒ වගේ දේවල්..බොහෝ අත්දැකීම්.


එක්ව වැඩ කරන්න කැමැති විස්තර විචාරකයා කවුරුන්ද ?

මට වැඩිපුර ඉඩක් ලබානොදුන්නු  විස්තර විචාරකයන් කිහිපදෙනෙක් සමග වැඩ කරලා අත්දැකීම් තිබෙනවා. එයාලා කැමැතියි වැඩිපුර කතා කරන්න. එයාලා කැමැතියි අන්තිම වචනය පවා කියන්න.  

සමහර වෙලාවට නරඹන්නෙක් වගේ වෙලා පොඩි වැඩ කොටසක් තමයි කරන්න සිද්ධවුණේ. ඉතින් එවැනි විස්තර විචාරකයෝ ඉන්නවා. එයාලා එක්ක වැඩ කිරීමෙන් සතුටක් ලැබෙන්නේ නෑ. මොකද එතැන ඉඳගත්තම..මට තවම මතකයි ටෝනි ග්‍රෙග්. ජීවිතයෙන් සමුගත් ටෝනි ග්‍රෙග්.

මම වැඩියෙන්ම ගෞරවය කරන කෙනෙක්. ඔහු මට එක අවවාදයක් දුන්නා. ඔහු කිව්වා ඔබ විස්තර විචාරය පටන් ගත්තම…ඔබ එතැන ඉඳගත්තම..මං මේ කියන්නේ ඔහුගේම වචනවලින් එතැන ඉඳගත්තම ඔබ හිතන්න ඔබ දැන් ඉන්නේ අවන්හලක කියලා. අවන්හලක ස්ටූලයක් මත කියලා. ඔබේ මිතුරෙක් සමග. ඔබේ සගයෙක් සමග. මධුවිත තොලගාන ගමක් සතුටු සාමිචියේ යෙදෙනවා කියලා.

අන්න ඒකට තමයි ඔබ හරියටම විස්තර විචාරක යෙදෙද්දී හැඩ ගැසිය යුත්තේ කියලා.

මට ගොඩාක් මිනිස්සු මුණගැහිලා තියෙනවා. සුනිල් ගවස්කර්, ටෝනි ග්‍රෙග්, රමීස් ඒ වගේ ලොකු ලැයිස්තුවක්.. මට නම් පවා අමතක වෙන තරම්. ඒ වගේ අය එක්ක විස්තර විචාරයේ යෙදීමට ලැබීම සතුටක් ගෙන දෙන්නක්. සමහරවිට කැම්මැලිකමක් දැනුණු, අපහසුතා දැනුණු අවස්ථාවලූත්  මගේ විචාරක ජීවිතයේ තියෙනවා. නමුත් ඒවා හරි අඩුයි. ඇත්තටම හරි අඩුයි.


ඔබ ළහිරු තිරිමාන්න වෙනුවෙන ගොඩාක් කතා කරනවා නේද ?

ළහිරු තිරිමාන්න කියන්නේ තරුණ කී‍්‍රඩකයෙක්. තවම තරුණවියේ පසුවන කී‍්‍රඩකයෙක්. ඔහු මගේ කි‍්‍රකට් සමාජයට බැඳුණේ අවුරුදු 15 දී පමණ. එයාව අපේ කි‍්‍රකට් සමාජයට හඳුන්වලා දුන්නේ එයාගේ මාමා විරාජ් තිරිමාන්න. එයා ළහිරුටයි එයාගේ සොයුරු තුළනිතුටයි ලොකු අත්වැලක් සැපයූවේ. මොකද එයාලගේ තාත්තා නෑ. ළහිරු රාගම කි‍්‍රකට් කණ්ඩායමට එක්වුණාට පස්සේ ඔහු නිරායාසයෙන්ම තහවුරු කළා. අපි ඔහු වෙතින් දැකපු දේවල්. අපේ කී‍්‍රඩා සමාජයකට කී‍්‍රඩා කරද්දී ඔහු ලොකු ගමනක් ඉදිරියට යාවි කියලා හොඳින්ම දැනුණා.

මම විශ්වාස කරනවා. මම ප‍්‍රසිද්ධියේම කියලා තියෙනවා මට ඒ ගැන ප‍්‍රශ්නයකුත් නෑ. මම ඒ ගැන ලියලත් තියෙනවා අපේ කි‍්‍රකට් වල අපේ පිතිහරඹය තුළ තාක්ෂණ ගැටලූවලට වඩා ඔබ්බට ගිය දේවල් තියෙනවා කියලා. මම දන්නේ නෑ ඒක තාක්ෂණික ගැටළුවක් ද කියලා. නමුත් මගේ තර්කය ඒකයි.

හරි..අපි ඒ සමීකරණයෙන් ළහිරුව අයින් කරමු.
ඇන්ජලෝ මැතිව්ස්ව අයින් කළොත් මොකද වෙන්නේ බලමු. මට කියන්න ලකුණු රැස් කරන්න ඉන්න එක පිතිකරුවෙක්. එක පිතිකරුවෙක්.  එයා හොඳයි නේද කියන්න පුලූවන් තරමේ සැකයක් ඇති කරන කෙනෙක්. එහෙම කවුරුවත් නෑ.

නමුත් කවදාහරි විශිෂ්ඨත්වයට පත්වීමේ හැකියාව ඇති දෙන්නෙක් කියලා මං හිතන දෙන්නා තමයි ළහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල්. මම අෂාන් පි‍්‍රයංජන ගැනත් ගොඩාක් හිතුවා. නමුත් අවාසනාවකට ඔහු මගදි කඩා වැටුණා. නමුත් මට තවමත් හිතෙන්නේ ඔහුට නැවත නැගී සිටිය හැකියි කියලයි.

බලන්න චන්දිමාල් ආරම්භ කළ විදිහ ගැන. ඔහු ලෝඞ්ස් පිටියේ ශතකයක් ලැබුවා.

ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය අත්කරගත්තු ඒ තරගයේදී ඔහු කී‍්‍රඩා කළ විදිහට හැමෝගෙම හිතට කා වැදුණා. ඔබ ළහිරුව අරන් බලන්න. ඔහු 2014 ආසියානු කුසලාන තරගමාලාවේ වීරයා වුණා. ඔහු ශ‍්‍රී ලංකාව ජයගත්තු විස්සයි20 ජාත්‍යන්තර තරගාවලියේ සෑහෙන දෙයක් කළා. ඔහු ඔස්ටේ‍්‍රලියාවේ හා නවසීලන්තයේ පැවැත්වුණු 2015 ලෝක කුසලාන තරගමාලාවේදී ලකුණු අතර හිටියා. ඊළඟට මම දැක්කා ඔහු සිඞ්නිවල දී ගුවන්යානයෙන් ගොඩ බහිනවා. ශී‍්‍ර ලංකාව පසුබහිද්දී එහි දී ඔහු ලකුණු 90ක් ලැබුවා.

අංක 3 ස්ථානයෙන් පිටියට ඇවිත් මිචෙල් ජොන්ස්න්, සිඞ්ල් සහ අනික් අයට එරෙහිව. මම ඔහු ගැන කියන්න උත්සාහ දරන්නේ මේ අය සාමාන්‍යය හෝ සාමාන්‍යය තරමට වඩා පහළින් සිටි අය නම් එයාලට එවැනි මට්ටමක දස්කම් දක්වන්න හැකිවෙන්නේ නෑ. දක්වන්නෙත් නෑ.

 ඉතින් ඔබට පෙනේවි එයාලා ඒ දේවල් කරලා තියෙනවා කියලා. පිතිකරුවකුගේ ජිවිතයේ තාවකාලික ඇද වැටීම් දකින්න ලැබෙනවා. නමුත් එයාලා ආපහු ඒක යථා තත්ත්වයට පත්කරගන්නවා. එයාලා එයාලගේ සාමාන්‍යය හොඳින් නඩත්තු කරනවා. නැතිනම් දස්කම් තවත් ඉදිරියට ගෙන යනවා.

නමුත් මගේ ප‍්‍රශ්නය ඇයි අපේ පිතිකරුවන්, විශේෂයෙන් මේ දෙන්නා, මේ විදිහට ඇද වැටෙන්නේ.

මම තිරිට ගොඩක් සහයෝගය දෙනවා මොකද එයා මගේ කී‍්‍රඩා සමාජයෙන් ආපු නිසා නමුත් මම තරුණ කී‍්‍රඩකයන්ට සහය පළ කරනවා මොකද එයාලගේ දස්කම් කිසිම සැකයක් නෑ. මම නිතරම විශ්වාස කරනවා එයාලා දස්කම් ඇති කී‍්‍රඩකයන් කියලා. මම සතුටුවෙනවා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ක්ෂේත‍්‍රයෙන් බිිහිවුණු ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයෙක් වන අරවින්ද ද සිල්වා තිරි ගැන කියපු දේවල්වලට. මගේ අදහස අනුව ඒ කතාවෙන් ලොකු විවාද තර්ක විතර්ක ඇතිවුණා අනිත් අය අතර. අරවින්ද වගේ කෙනෙක් එහෙම කතාවක් කිව්වම. ඔහු කිව්වේ අපි තිරිට ඉඩදෙන්න  ඕනා කියලා.


එංගලන්ත සංචාරය ගැන මොනවාද හිතෙන්නේ ?

ඒක ඉතා අභියෝගාත්මක සංචාරයක්. ඒක ඉතා අසීරු සංචාරයක්. නමුත් මට උවමනා කරන්නේ ඒ ගැන සුබවාදී විදිහට හිතන්නයි. මට කියන්න  ඕනේ මේ සංචාරය වීරයෝ බිහිවිය හැකි සංචාරයක් කියලයි.

මේක ශී‍්‍ර ලංකාව ආපහු සුපුරුදු දස්කම් අතරට එන්න සටන් කරන සංචාරයක්. පළවැනි ටෙස්ට් තරගය හෙඩින්ග්ලිවල. ඒක පන්දුව හොඳට ගමන් කරන තණතීරුවක්. ඉංගී‍්‍රසි වේගපන්දු යවන්නන්ට කියාපු එකක්.

දෙවැනි ටෙස්ට් තරගය ඩරම්වල. ඒක හෙඩින්ග්ලි වගේම පිතිකරුවන්ට අයහපත් එකක් ආසියානු උපමහාද්වීපය එක්ක බලද්දී. හොඳටම පැහැදිලියි එංගලන්තයට සැලසුමක් තිබෙන බව. එයාලා උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාව දුර්වල කරවන්නයි.

එයාලා උත්සාහ කරන්නේ පළමු හා දෙවැනි ටෙස්ට් තරගවලදී දරුණු ප‍්‍රහාරයක් එල්ල කරලා ඊළඟට ලෝඞ්ස් පිටියට අරන් ගිහිල්ලා පුලූවන් වුණොත් එහෙම පිටින්ම බිමට ඇද දමන්නයි. ඊළඟට ඒ වෙද්දී දුර්වල වෙලා කියලා හිතන ශී‍්‍ර ලංකා කණ්ඩායම එක්දින තරගාවලියට එකතු කරගන්නයි.

ඒ වෙද්දී දරුණු පසුබෑමකට ලක්වෙලා ඉන්න කණ්ඩායමක් විදිහට එයාලාව තවත් බිමට සමතලා කරදමන්නයි එංගලන්තයේ උත්සාහය වෙලා තියෙන්නේ. මේ කණ්ඩායම අත්දැකීම් අඩු කණ්ඩායමක්. එයාලා එංගලන්තයේ වැඩිපුර සෙල්ලම් කරලා නෑ. ඉතින් මේක අභියෝගයක් වේවි.

ඒත් අපේ වේගපන්දු යවන්නන් හොඳයි. අත්දැකීම් ඇති සංයෝගයක් තියෙනවා  පිතිකරුවන්ට වඩා. අනික් අතට පිතිකරුවන් ගැන කියනවානම්…ඇත්ත එයාලා දුෂ්කර අවස්ථාවක තමයි ඉන්නේ. ඒත් පිතිකරුවන් ගැන කියනවානම් මේක වීරයෝ බිහිවිය හැකි සංචාරයක්. එක්කෙනෙක්ට දෙන්නෙක්ට හැකියාව තියෙනවා ඉදිරියට ඇවිත් යමක් කරලා තරගයකින් දෙකකින් ශී‍්‍ර ලංකාව බේරාගන්න. ඒ විදිහට තමයි මං හිතන්නේ. එත් කලින් කිව්වා වගේ මේක ඉතාමත්ම අභියෝගාත්මක සංචාරයක්. අපි ඒක අවබෝධ කරගත යුතුයි. අපි පරාජයට පත්වුණොත් පුදුම වෙන්න කිසිම දෙයක් නෑ. නමුත් ශී‍්‍ර ලංකාවට පුලූවන් නම් ජය පරාජයෙන් තොරව ඉවර කරගන්න…එහෙම නැත්තම් ඉන් ඔබ්බට යන්න නිකමට කියනවානම් 1-0 කින් වගේ පරදින්න…මං හිතන්නේ ඒකත් එක්තරා විදිහක ජයග‍්‍රහණයක්.


ඔබේ වෘත්තිය සහ පවුලේ තොරතුරු….

මම අලෙවිකරණ වෘත්තිකයෙක්. මගේ ජීවිතය පුරාම මම කළේ අලෙවිකරණයි. ඒක මගේ වෘත්තීමය ජීවිතය. මේ මොහොතේ මම සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙක්. ඒක ප‍්‍රමුඛතම විලවුන් ආලේපන අලෙවිකරණ සමාගමක්. ඒක තමයි රස්සාව හැටියට මම කරන්නේ.

මගේ බිරිඳ කි‍්‍රෂාන්ති. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතාට වයස 25ක් වෙනවා. එයා වෛද්‍ය සිසුවෙක්. මගේ දුව නීති සිසුවියක්. සැබැවින්ම එයා නීති උපාධිධාරිනියක්. බාල පුතා ව්‍යාපාරික පරිපාලනයට එකතුවෙන්නයි ඉන්නේ. එයා දැනට ව්‍යාපාර උපාධි පාඨමාලාවක් හදෑරිමට සූදානමිනුයි ඉන්නේ.

 

කි‍්‍රකට්, ව්‍යාපාරය සහ පවුලේ කටයුතු සමබරව පවත්වාගෙන යාම…


මගේ ආයතනයට ඉතා හොඳ කාර්ය මණ්ඩලයක් ලැබීමට තරම් මම භාග්‍යවන්තයි.

ඉතා කාර්යක්ෂමව එයාලා වැඩ කටයුතු කරනවා. ඉතින් ආයතනයේ කටයුතු හොඳින් කෙරීගෙන යන බව දන්න නිසා මට මාස 6ක් පමණ වුණත් ඉන් පිටත ගත කරන්න හැකියාව තිබෙනවා. එහෙම සිද්ධවෙලත් තියෙනවා.

වතාවක් කි‍්‍රකට් කී‍්‍රඩාව මාව රැකියාවෙන් ඉවතට රැගෙන ගියා. මට සම්පූර්ණයෙන්ම වාගේ දින 130ක් පමණ…දින 100ක් 130ක් අතර කාලයක් විදෙස් රටවල හා දේශීය කි‍්‍රකට් පිටියේ ගත කිරීමට සිදුවුණා. ඒක සම්පූර්ණයෙන්ම වාගේ බැලූවොත් වසරකට 3 න් එකක වගේ කාලයක්. ඒ කාලයේ වුණත් හැමදේම හොඳින් කෙරුණා.

පවුලේ කටයුතු වුණත්. මගේ බිරිඳ මට විශාල ශක්තියක්. ඇය ගෙදරදොරේ වැඩ කටයුතු ඉතා හොඳින් කෙරෙන බවට සහතික කළා. දරුවන්ගේ වැඩ කටයුතු ගැන සොයා බලමින්. ඒක පහසු දෙයක් නෙවෙයි. ඒක හරි අසීරු අභියෝගයක්.

විශේෂයෙන් පවුලේ අයට. මොකද මම මුළුමනින්ම එයාලා අතරේ නෑ. මට ගොඩාක් උපන්දින මග හැරිලා තිබෙනවා. සංවත්සර ගණනාවක් මග හැරිලා තිබෙනවා. විවාහ මංගලෝත්සව ගණනාවක්ම මග හැරිලා තිබෙනවා.

නමුත් ඒකේ අනිත් පැත්ත ගත්තම අපි කරන දේවල්වලින් අපිට උපරිම සතුටට පත්වෙන්න අවස්ථාව ලැබෙනවා.  මොනවහරි  පී‍්‍රතිමත් මතක සටහන් එකතු කරගන්න කී‍්‍රඩාවට සමීපවූණාම තමයි එවැනි අවස්ථාව ලැබෙන්නේ. පස්සේ අපිට ඒවා නරඹලා සතුටු වෙන්න පුලූවනි. ඒකේ අනිත් පැත්ත තරමක් පවුලේ අයගෙන් ඈත්වෙලා ඉන්න සිද්ධවෙනවා. ඉතින් ඒක හරියට සමබර කරගන්න සිද්ධවෙනවා.

මේ දක්වා මට ඒක හසුරුවා ගන්න හැකිවුණා.

 


- 077

 

හැදෙන ගහක පෙති විහිදෙන හැඩ

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාම ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ශී‍්‍ර ලංකා පිලේ මැද පෙළ කඩා වැටුණ බව සැබෑවකි. කඩා වැටීම කොතෙක් දරුණු වූයේද යත් එය තාවකාලිකව හෝ නවතා ගැනීමට ගැසීමට මුක්කුවක් වත් සොයාගත නොහැකි විය.

ස්ථාවර කී‍්‍රඩකයන් විශ‍්‍රාම යාම නිසා සිදුවන මෙම කඩාවැටීම ශී‍්‍ර ලංකා කණ්ඩායමට පමණක් නොව,  ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව යන රටවලටත් පොදු ධර්මතාවකි.

වසරක පමණ කාලයක් තිස්සේ ශී‍්‍ර ලංකා පිතිකරු පෙළේ සිදුවන නායයෑම මේ වසර මුලදී පැවැති නවසීලන්ත සංචාරයේදී මෙන්ම දැන් පැවැත්වෙන එංගලන්ත සංචාරයේදී පහසුවෙන්ම දැකගත හැකිය.

වන්නාටය. තවදුරටත් බලා සිටීමේ තේරුමක් නැත. නිර්භය තීරණයක් ගත යුතුව තිබේ.

සංගාගෙන් හිස්වූ අංක 3 ස්ථානයට ස්ථාවර විසඳුමක් අවශ්‍යම වී ඇති බැවින් එක්කෝ ළහිරු තිරිමාන්න වැනි පළපුරුදු කී‍්‍රඩකයකුට එම ස්ථානය බාර කළ යුතුය. නැතහොත් කුසල් මෙන්ඩිස් වැනි තරුණයකුට වගකීම පවරා ඉවසීමෙන් බලා සිටිය යුතුය.

”අංක 3 ස්ථානයේ මා මීට පෙරත් කී‍්‍රඩා කරලා තියෙනවා. කී‍්‍රඩා සමාජ මට්ටමේදී වගේම සංවර්ධන සංචිත පිල වෙනුවෙනුත්….කොහොම වුණත් මේක විශාල වගකීමක්” යයි පවසන කුසල් මෙන්ඩිස්…

”මෙතැන කී‍්‍රඩා කරන විට මා මොන විදිහට කී‍්‍රඩා කළ යුතුද? ඒ වෙනුවෙන් මා සතුවිය යුතු දේවල් මොනවාද? කියන එක ගැන මා විශාල අවධානයක් යොමුකළා…ඒ කොහොම වුණත් එක දෙයක් පැහැදිළියි. මේ ස්ථානය තියාගන්න වගේම කණ්ඩායමේ රැඳී ඉන්නත්  ඕන නම් මට විශාල වශයෙන් ලකුණු ලබාගන්න සිද්ධ වෙනවා” යයි කුසල් මෙන්ඩිස් පැවසූවේ ටෙස්ට් කණ්ඩායමක අංක 3 ස්ථානයේ කී‍්‍රඩා කිරිම කෙතරම් බැ?රුම් වගකීමක්ද යන්න පැහැදිළි කරමිනි.

තවමත් 21 වැනි වියේ සිටියද හැමදාමත් අවුරුදු නැති බව කුසල් වටහාගෙන සිටී. එංගලන්තයේ ඇතැම් තණතීරු වලදී හොඳින් ලකුණු ලබාගත හැකි නමුත් තවත් තණතීරු මතදී එතරම් පහසුවෙන් තමන්ට රිසි පහර කරා යා නොහැකි බව ඔහු දනී.
ඒ වෙනුවෙන් අවශ්‍ය ඉවසීම කුසල්ට තිබේ.

කණ්ඩායමේ ‘පොඩි එකා’ වුවද කුසල්ට වෙනසක් නොදැනෙයි. සියල්ලෝම ඔහුට දිරි දෙති. ඔහු අගය කරති. ඔහු දස්කම් අතර සිටියත් නැතත් කණ්ඩායමේ සහයෝගය එලෙසින්ම තිබේ.

”මගේ පිතිහරඹය වෙනස් කරන්න කවුරුවත් උත්සාහ කළේ නෑ”
”ඔවුන් මට කිව්වේ මා කී‍්‍රඩා කරලා පුරුදු විදිහට කී‍්‍රඩා කරන්න කියලයි. ඒත් හිත හොල්ලා ගන්නේ නැතිව ඉන්න ඔවුන් මට කියලා දුන්නා” යයි කී කුසල් මෙන්ඩිස්…

”ඔවුන් මට කිව්වේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ මේ තලයේදී ගොඩාක් ඉවසන්න පුරුදු වෙන්න කියලයි. මොකද මේක දින 5 කී‍්‍රඩාවක්. ඔවුන් ඒ බව අවධාරණය කළා”

”පන්දු යවන්නන් මට එක එක දේවල් කියන්න උත්සාහ කළොත් ඒවාට ප‍්‍රතිචාර දක්වන විදිහත් ඔවුන් මට කියා දුන්නා….අපි පන්දු යවන්නන් එක්ක එකට එක කියන්න ගියොත් පිතිහරඹය ගැන තියෙන අවධානය නැති වෙනවා. ඒ නිසා ඉවසීමයි තරගය කෙරේ අවධානය තියාගන්න එකයි හරිම වැදගත්” යයිද කුසල් පැවසීය.

කුසල් මෙන්ඩිස් ඉක්මනින් ඉගෙන ගන්නා අයෙකි.

සිය පළමු ටෙස්ට් තරගයේ (බටහිර ඉන්දීය පිලට එරෙහිව කොළඹදී) දෙවැනි ඉනිමේදී ලකුණු 39 ක් ලබාගත් කුසල් දෙවැනි සහ තුන්වැනි තරග වලදී සිය හොඳම ටෙස්ට් ඉනිම ලකුණු 46 දක්වා ඉහළ දමාගත්තේය. සිවුවැනි තරගයේදී එය ලකුණු 53 ක් දක්වා ඉහළ දමාගැනීමට කුසල් සමත් විය.

එංගලන්ත සංචාරයේදී මෙතෙක් පැවැති තරග තුනේදී අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 200 ක් ලබා සිටින කුසල් මෙන්ඩිස් හෙඩිංග්ලි ටෙස්ට් තරගයේදී ගැසූ අලංකාර ‘ඔන් ඩ‍්‍රයිව්’ පහර කිහිපයකින් තමන්ගේ ලකුණ සටහන් කළේය.

පැයට කිලෝ මීටර 80 ඉක්මවා ඇදී එන ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දු පිට ඉන්න එල්ලයේ වැටී කඩුල්ල තුළට දෝලනය වුවද නිසිලෙස කාලය මැනගත් කුසල් මෙන්ඩිස් එයින් පන්දු කිහිපයක්ම මිඞ් විකට් කලාපය හරහා හතරේ සීමාවට යැවූයේ විස්තර විචායේ නිරතව සිටි මහේල ජයවර්ධන, ඬේවිඞ් ලොයිඞ් සහ ශී‍්‍රමත් ඉයන් බොතම්ගේ නොමඳ ප‍්‍රශංසාවට ලක්වෙමිනි.

නවසීලන්ත සංචාරය සහ වත්මන් එංගලන්ත සංචාරය සංසන්දනය කරන මෙම යොවුන් පිතිකරුවා නවසීලන්තයේදී තරග කිරීමත් මෙවැනිම වූ සීතලේ පන්දුව දෝලනය වන තත්ත්වයන් යටතේ වුවද එංගලන්ත පන්දු යවන්නන් නවසීලන්ත පන්දු යවන්නන්ට වඩා මනා පාලනයකින් යුතුව පන්දු යැවූබව කියයි.

”එංගලන්ත පන්දු යවන්නන් වඩාත් අමාරු තැන්වල පන්දුව පතිත කළා. මා හිතනවා ඊළග තරගයේදී අපට පුළුවන් කියා වඩාත් හොඳින් ඔවුන්ට මුහුණ දෙන්න” යයි පවසා ඇත්තේ ආත්ම විශ්වාසය ඇතිවය.

තිරිමාන්න පිළිබඳ සියලූ බලාපොරොත්තු නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් අතහරිනු ලැබ සිටියද තේරීම් කමිටුවේ විශ්වාසය වූයේ තිරිමාන්න නැවතත් ලකුණු අතරට පැමිණ මැතිව්ස්ට සහාය වනු ඇති බවයි. එහෙත් ටෙස්ට් තරගයට පෙර පැවැති පුහුණු තරග දෙකේදී කුසල් මෙන්ඩිස් විසින් පෙන්වන ලද දස්කම් මත ඔහුට අංක 3 ස්ථානය බාර කෙරිණ.

තවමත් ටෙස්ට් තරග 4 කට පමණක් සහභාගි වී ඇති මේ හුරුබුහුටි දකුණත් පිතිකරුවා වසර දෙකකට ඉහතදී එංගලන්තයට එන විට පාසලෙන් පිටට අඩිය තිබ්බා පමණි. ඒ වන විටත් 19 හැවිරිදි කී‍්‍රඩකයකු වූ කුසල් මිඞ්ල්සෙක්ස් ප‍්‍රාන්ත ලීගයේ ‘සවුත්ගේට්’ පිල වෙනුවෙන් කී‍්‍රඩා කළේ සිතලේ ගැහෙමිනි.

ඒත් කාට කියන්නද? සියල්ලම විඳදරා ගත යුතුව තිබිණ. එය එංගලන්තයේදී කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන් කුසල්ට හොඳ අත්දැකීමක් විය.

හෙඩිංග්ලි ටෙස්ට් තරගයේදී ඔහුගේ පිතිහරඹය පිළිබඳව බොහෝ දෙනා ‘හොඳ’ කී නමුත් කුසල්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ ඔහුගේ පා කි‍්‍රයාකාරීත්වයේ දුර්වලතා පිළිබඳ දුන් උපදෙස් ගැනය. එය දියුණු වීමේ ලකුණකි.

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යයි පැරැන්නන් කීවේ මෙවැනි චරිත අරභයාය.