Category Archives: BAN in NZ 2017

විලියම්සන්-ටේලර් තරගය කණපිට පෙරළති

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව වෙලින්ටංහිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද (16 වැනිදා) සමත් විය.

තරගයේ අවසන් දිනය වූ අද දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසු ජයග්‍රහණය සඳහා ලකුණු 217 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ, කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් නොදැවී 104 ක් රැස්කරමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 90 කදී වාර්තා වූ විලියම්සන්ගේ 15 වැනි ටෙස්ට් ශතකය හතරේ පහර 15 කින් සමන්විත විය.

රොස් ටේලර් (60) සමග එක්ව නවසීලන්ත කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 163 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද විලියම්සන් සමත් වූ අතර සුබාෂිස් රෝයිගේ පන්දුවක් හමුවේ මෙහෙදි හසන් අතට උඩ පන්දුවක් දෙමින් ටේලර් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ. දැවීයන විට ටේලර්ගේ 26 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ. මුලු ලකුණු සංඛ්‍යාව 39 ක් වන විට නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ටොම් ලේතම් ලකුණු 16 කටත්, ජීත් රාවල් ලකුණු 13 කටත් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට මෙහෙදි හසන් සමත් විය.

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (15 වැනිදා) ක්‍රීඩාව නරත කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 66 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායමට අද දිනයේදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ තවත් ලකුණු 94 ක් පමණි. බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සබීර් රෙහෙමාන් (50) හතරේ පහර 9 ක් සමගින් සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළේය. පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය ඉම්රුල් කේයස්, 7 වැනි කඩුල්ල බිඳවැටීමෙන් අනතුරුව නැවතත් පන්දුවට පහරදීම සඳහා පැමිණි අතර ඉනිම නිමා වන විට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 53 කට කඩුලු 3 ක් දවාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් මිචෙල් සන්ට්නර් සහ නීල් වැන්ගර් කඩුලු 2 බැගින් දවාගත්හ. මෙම තිදෙනාගේ පන්දු යැවීම නිසා බංග්ලාදේශ ඉනිම ලකුණු 160 කට සීමා විය.


බංග්ලාදේශ පළමු ඉනිම – කඩුලු 8 ක් දැවී 595
(ටමීම් ඉක්බාල් 56, මොමිනුල් හක් 64, මහමදුල්ලා 26, සකීබ් අල් හසන් 217, මුෂ්ෆිකුර් රහීම් 159, සබීර් රෙහෙමාන් නොදැවී 54, නීල් වැන්ගර් 151/4, ටේ‍රන්ට් බෝල්ට් 131/2, ටිම් සවුති 158/2)

නවසීලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 539
(ජීත් රාවල් 27, ටොම් ලේතම් 173, කේන් විලියම්සන් 53, රොස් ටේලර් 40, හෙන්රි නිකලස් නොදැවී 53, බී. ජේ. වෙට්ලින් 49, මිචෙල් සන්ට්නර් 73, නීල් වෝග්නර් 18, කම්රුල් ඉස්ලාම් 87/3, මහමදුල්ලා 15/2, සකීබ් අල් හසන් 78/2, සුබාෂිස් රෝයි 89/2)

බංග්ලාදේශ දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 160  
(ටමීම් ඉක්බාල් 25, ඉම්රුල් කේයස් 36, මොමිනුල් හක් 23, සබීර් රොහෙමාන් 50, ටේ‍රන්ට් බෝල්ට් 53/3, මිචෙල් සන්ට්නර් 36/2, නීල් වැන්ගර් 37/2)

නවසීලන්ත දෙවැනි ඉනිම – කඩුලු 3 ක් දැවී 217  
(ටොම් ලේතම් 16, කේන් විලියම්සන් නොදැවී 104, රොස් ටේලර් 60, මෙහෙදි හසන් 66/2)


- 036

 

බංග්ලාදේශය ලකුණු 122 ක් ඉදිරියට එයි

නවසීලන්තය සහ බංග්ලාදේශය අතර වෙලින්ංටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (15 වැනිදා) ක්‍රීඩාව නතර කරනවිට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශය කඩුලු තුනක් දැවී ලකුණු 66 ක් රැස්කරමින් නවසීලන්තයට වඩා ලකුණු 122 ක් ඉදිරියෙන් සිටීමට සමත්විය.

ආරම්භක පිතිකරු ඉම්රුල් කයීස් ලකුණු 24 ක් ලබාසිටියදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ අතර මොමිනුල් හක් ලකුණු 10 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටී.

තම ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ටොම් ලෙතම්, ශකීබ් අල් හසන්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීයන විටදී ලකුණු 177 ක් ලබාසිටි අතර සිව්වැනි කඩුල්ල සදහා හෙන්රි නිකොල්ස් සමගින් එක්ව ලකුණු 142 ක සම්බන්ධතාවයක්ද පැවැත්වීමට ඔහු සමත්විය.

හෙන්රි නිකොල්ස් සහ මිචෙල් සැන්ට්නර් අර්ධ ශතකය ලබාගනිමින් නවසීලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

ඊයේ (14 වැනිදා) ක්‍රීඩාව නතර කරනවිට කඩුලු තුනක් දැවී ලකුණු 292 ක් රැස්කරමින් පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තයට අද දිනයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 539 ක් පමණි. නවසිලන්ත පළමු ඉනිමේ අවසන් කඩුලු හතර ලකුණු 68 ක් තුළදී දවාගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ දෙවැනි ඉනිම ඇරඹීමට පෙර ලකුණු 56 ක වාසියක් ලබාගැනීමට සමත්වූහ.

ටෙස්ට් තරගය ආරම්භයේදී නම් කරන ලද කඩුලු රකින්නාවූ මුෂ්ෆීකරු රහීම් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වීම නිසා කඩුලු රැකීමේ වගකිම බාරගත් ඉම්රුල් කයීස් උඩපන්දු පහක් රැකගනිමින් ඉනිමකදී කඩුලු රකින්නා නොවන ක්‍රීඩකයකු කඩුලු රකිමින් රැකගත් වැඩිම උඩපන්දු සංඛ්‍යාවේ ටෙස්ට් වාර්තාව අලුත් කිරීමට සමත්විය.


බංග්ලාදේශය පළමු ඉනිම – ඕවර 152 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 595
නවසීලන්ත පළමු ඉනිම – ඕවර 148.2 කදී සියලුදෙනා දැවී ලකුණු 539

(ජීත් රාවල් 27, ටොම් ලෙතම් 177, කේන් විලියම්සන් 53, රොස් ටේලර් 40, හෙන්රි නිකොල්ස් 53, බී.ජේ. වොට්ලින් 49, මිචෙල් සැන්ටර් 73, කම්රුල් ඉස්ලාම් 87/3, මහමුදුල්ලා 15/2, ශකීබ් අල් හසන් 78/2, සුභාශීස් රෝයි 89/2)

බංග්ලාදේශය දෙවැනි ඉනිම – ඕවර 18.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 66
(ටමීම් ඉක්බාල් 25, ඉම්රුල් කයීස් නොදැවී 24)

ටොම් ලෙතම්

නවසීලන්තයත් සාර්ථක පිළිතුරකට සැරසෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව වෙලින්ටංහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (14 වැනිදා) ක්‍රීඩාව නරත කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 292 ක් ලබා සිටියේය. දිනය නිමා වන විට නවසීලන්ත කණ්ඩායම බංග්ලාදේශයට වඩා තවත් ලකණු 303 ක් පසුපසින් සිටි අතර ටොම් ලේතම් ලකුණු 119 ක්ද, හෙන්රි නිකල්ස් ලකුණු 35 ක්ද ලබා නොදැවී කඩුල්ලේ සිටියහ.

තමන්ගේ 6 වැනි ටෙස්ට් ශතකය අද දිනයේදී ලබාගැනීමට සමත් වූ ටොම් ලේතම් (119), එය හතරේ පහර 13 කින් සැරසීය. නායක කේන් විලියම්සන් (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලේතම්, ඉන් නොනැවතී රොස් ටේලර් (40) සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 74 ක්ද, හෙන්රි නිකල්ස් (නොදැවී 35) සිව්වැනි කඩුල්ලට ලකුණු 87 ක්ද එක් කරමින් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

පන්දු 55 කදී වාර්තා වූ විලියම්සන්ගේ 25 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 51 කදී වාර්තා වූ රොස් ටේලර්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය.

පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 54 කට සීමා කරමින් ආරම්භක පිතිකරු ජීත් රාවල් පිටියෙන් ඉවත් කිරීමට කම්රුල් ඉස්ලාම් සමත් විය. ඉම්රුල් කේයස් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ජීත් රාවල් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 27 ක් ලබා සිටියේය. මුලු ලකුණු සංඛ්‍යාව 131 ක් වන විට නවසීලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඉම්රුල් කේයස් අතට උඩ පන්දුවක් දෙමින් කේන් විලියම්සන් දැවී ගියේ ටස්කින් අහමඞ්ගේ පළමු ටෙස්ට් කඩුල්ල බවට පත්වෙමිනි.

දිනයේ අවසන් කඩුල්ල ලෙස කම්රුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මහමදුල්ලා අතට උඩ පන්දුවක් දෙමින් රොස් ටේලර් දැවීයන විට ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 205 ක් ලෙස සටහන් විය.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (13 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 542 ක් ලබා සිටි අතර අද දිනයේදී තවත් කඩුල්ලක් දැවී ලකුණු 53 ක් ලබා ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවීමට ඔවුහු තීරණය කළහ.

බංග්ලාදේශ කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි. 2013 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 638 ක් ලබාගැනීම ඔවුන්ගේ ඉහළම ටෙස්ට් ඉනිම ලෙස සටහන් වේ. අද පෙරවරුවේදී සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට සබීර් රෙහෙමාන් (නොදැවී 54) සමත් වූ අතර ඊට හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නීල් වෝග්නර්ගේ පන්දුවක් හමුවේ ටිම් සවුති අතට උඩ පන්දුවක් දෙමින් දිනයේ පළමු කඩුල්ල ලෙස ටස්කින් අඩමඞ් ලකුණු 3 කට දැවී ගියේය.


බංග්ලාදේශ පළමු ඉනිම – කඩුලු 8 කට 595
(ටමීම් ඉක්බාල් 56, මොමිනුල් හක් 64, මහමදුල්ලා 26, සකීබ් අල් හසන් 217, මුෂ්ෆිකුර් රහීම් 159, සබීර් රෙහෙමාන් නොදැවී 54, නීල් වෝග්නර් 151/4, ටේ‍රන්ට් බෝල්ට් 131/2, ටිම් සවුති 158/2)

නවසීලන්තය පළමු ඉනිම – කඩුලු 3 කට 292
(ජීත් රාවල් 27, ටොම් ලේතම් නොදැවී 119, කේන් විලියම්සන් 53, රොස් ටේලර් 40, හෙන්රි නිකලස් නොදැවී 35, කම්රුල් ඉස්ලාම් 52/2)


- 036

 

බංග්ලාදේශයෙන් දැවැන්ත ඉනිමක්

නායක මුෂ්ෆිකුර් රහීම් (159) සහ සකීබ් අල් හසන් (217) එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 359 ක වාර්තාගත සම්බන්ධතාව නිසා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වෙලින්ටංහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 500 සීමාව ඉක්මවා යෑමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

දෙවැනි දිනය වූ අද (13 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 542 ක් ලබා සිටියේය.

බංග්ලාදේශ කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී රැස්කළ සිව්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර මින් පෙර ශ්‍රී ලංකාවට එරෙහිව (2013 දී) ලකුණු 638 ක්ද, බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට එරෙහිව (2012 දී) ලකුණු 556 ක්ද, පාකිස්තානයට එරෙහිව (2015 දී) කඩුලු 6 කට ලකුණු 555 ක්ද රැස්කර තිබේ. ඒ අනුව ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අභිබවා යෑම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට මෙම තරගයේදී තවත් ලකුණු 96 ක් අවශ්‍ය වේ. කෙසේ වුවත් ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ තවත් කඩුලු 3 ක් පමණි.

වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය (12 වැනිදා) ඕවර 40.2 කට සීමා වුණ අතර දෙවැනි දිනය ආරම්භ වන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 154 ක් ලබා සිටියේය.

අද දිනයේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට සකීබ් අල් හසන් සමත් වූ අතර එය ඔහුගේ ඉහළම ටෙස්ට් ඉනිමද විය. නීල් වැග්නර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට සකීබ්ගේ ද්විත්ව ශතකයට හතරේ පහර 31 ක් අන්තර්ගත වී තිබිණ.

බංග්ලාදේශය වෙනුවෙන් ද්විත්ව ශතකයක් ලබාගත් තෙවැනි ක්‍රීඩකයා සකීබ් අල් හසන් වන අතර මින් පෙර ටමීම් ඉක්බාල් (206) සහ මුෂ්ෆිකුරු රහීම් (200) ද බංග්ලාදේශය වෙනුවෙන් ශතකයක් ද්විත්ව ශතක ලබාගෙන තිබේ. ඒ අනුව බංග්ලාදේශ ක්‍රීඩකයෙක් ටෙස්ට් තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද සකීබ්ගේ ඉනිම වාර්තා අතරට එක් විය.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 64 ක් ලබා සිටි මොමිනුල් හක් පිටියෙන් ඉවත් කිරීමට ටිම් සවුති සමත් වූ අතර කඩුලු රකින ක්‍රීඩක බී. ජේ. වොට්ලිං අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහුගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වී තිබිණ.

මොමිනුල් හක්ගේ (159) දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි නායක මුෂ්ෆිකුර් රහීම් සමග එක්ව බංග්ලාදේශ ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 359 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සකීබ් අල් හසන් සමත් විය.

ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ බී. ජේ. වොට්ලිං අතට උඩ පන්දුවක් දෙමින් රහීම් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ. පැය 4 කට වැඩි කාලයක් කඩුල්ලේ රැදී සිටි රහීම්, සිය සිව්වැනි ටෙස්ට් ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 23 කින් සැරසුවේය.

බංග්ලාදේශ කණ්ඩායමේ ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ ඉහළම සම්බන්ධතාවේ වාර්තාව බිඳ දැමීමට සකීබ්ගේ සහ රහීම්ගේ මෙම සම්බන්ධතාව සමත් වූ අතර මින් පෙර 2015 වසරේදී ඉම්රුල් කේයස් සහ ටමීම් ඉක්බාල් එක්ව පාකිස්තානයට එරෙහිව ලකුණු 312 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.


බංග්ලාදේශ පළමු ඉනිම – කඩුලු 7 කට 542
(ටමීම් ඉක්බාල් 56, මොමිනුල් හක් 64, මහමදුල්ලා 26, සකීබ් අල් හසන් 217, මුෂ්ෆිකුර් රහීම් 159, නීල් වෝග්නර් 124/3, ටේ‍රන්ට් බෝල්ට් 121/2, ටිම් සවුති 144/2)


- 036

 

නවසීලන්තය 3-0 කින් තරගාවලිය ජයගනී

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 27 කින් ජයගත් නවසීලන්ත කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත ඕවර 20 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167 ක් පමණි.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සෞම්‍ය සාර්කර් පන්දු 28 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 42 ක් රැස්කළ අතර සකීබ් අල් හසන් හතරේ පහර 4 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළේ පන්දු 34 කිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ටමීම් ඉක්බාල් (24) සහ සෞම්‍ය සාර්කර් සමත් වුවද, ඉන් අනතුරුව සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට සෙසු පිතිකරුවන් අසමත්වීම බංග්ලාදේශ කණ්ඩායමේ පරාජයට බෙහෙවින්ම බලපෑවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කෝරි ඇන්ඩසන් පන්දු 41 කදී නොදැවී ලකුණු 94 ක් රැස්කළේ හයේ පහර 10 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

නායක කේන් විලියම්සන් (60) සමග එක්ව නවසීලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 124 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඇන්ඩසන් සමත් වූ අතර රුබෙල් හුසේන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් විලියම්සන් දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ. පන්දු 57 කදී වාර්තා වූ විලියම්සන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ රුබෙල් හුසේන් ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ වඩාත් සාර්ථක පන්දුයවන්නා බවට පත්විය.


නවසීලන්තය – ඕවර 20 කදී කඩුලු 4 කට 194
(කේන් විලියම්සන් 60, ජේම්ස් නීෂම් 15, කෝරි ඇන්ඩසන් නොදැවී 94, රුබෙල් හුසේන් 31/3)

බංග්ලාදේශය – ඕවර 20 කදී කඩුලු 6 කට 167
(ටමීම් ඉක්බාල් 24, සෞම්‍ය සර්කාර් 42, සබීර් රෙහෙමාන් 18, සකීබ් අල් හසන් 41, මහමදුල්ලා 18, ඉෂ් සෝධි 22/2, ටේ‍රන්ට් බෝල්ට් 48/2)

 

විස්සයි20 ඉනිමකදී වැඩිම හයේ පහර ගණනක් එල්ල කළ ක්‍රීඩකයෝ
හයේ පහර ක්‍රීඩකයා රට  තරගය
14 ඒරන් ෆින්ච්  ඕස්ට්‍රේලියාව එංගල්තයට එරෙහිව 
13 රිචඩ් ලෙවී දකුණු අප්‍රිකාව නවසීලන්තයට එරෙහිව
11 ක්‍රිස් ගේල්  බ.ඉ. කොදෙව් එංගල්තයට එරෙහිව 
10 ක්‍රිස් ගේල්  බ.ඉ. කොදෙව් දකුණු අප්‍රිකාවට එරෙහිව
10 කෝරි ඇන්ඩසන්  නවසීලන්තය බංගලාදේශයට එරෙහිව


- 036

 

මුන්රෝගේ ශතකය නවසීලන්තයට ජය ගෙනෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ බේ  ඕවල් කී‍්‍රඩාංගණයේදී ඊයේ (6 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 47 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට  ඕවර 18.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සබීර් රෙහෙමාන් පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 48 ක් රැස්කළ අතර සෞම්‍ය සර්කාර් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 39 ක් රැස්කළේ පන්දු 26 කිනි.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ ඉෂ් සෝදි ලකුණු 36 කට කඩුලූ 3 ක් දවාගත් අතර බෙන් වීලර් සහ නායක කේන් විලියම්සන් කඩුලූ 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට කොලින් මුන්රෝ (101) සමත් වූ අතර එය ඔහුගේ ඉහළම විස්සයි20 ඉනිමද විය. පන්දු 54 කදී වාර්තා වූ මුන්රෝගේ ශතකය හයේ පහර 7 කින් සහ හතරේ පහර 7 කින් අලංකාර විය.

ටොම් බෘස් (59) සමග එක්ව නවසීලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 123 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද මුන්රෝ සමත් වූ අතර පන්දු 39 කදී වාර්තා වූ බෘස්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

ලකුණු 37 කට කඩුලූ 3 ක් දවාගත් රුබෙල් හුසේන් බංග්ලාදේශය කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

නවසීලන්තය –  ඕවර 20 කදී කඩුලූ 7 කට 195
(කොලින් මුන්රෝ 101, ටොම් බෘස් 59, රුබෙල් හුසේන් 37/3)

බංග්ලාදේශය –  ඕවර 18.1 කදී සියලූ දෙනා දැවී 148  
(සබීර් රෙහෙමාන් 48, සෞම්‍ය සර්කාර් 39, මහමදුල්ලා 19, ඉෂ් සෝධි 36/3, බෙන් වීලර් 16/2, කේන් විලියම්සන් 16/2)

 

-036

 

විලියම්සන් නවසීලන්තයේ ජය මාවත සකසයි

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ නේපියර්හිදී අද (3 වැනිදා) පැවැති පළමු විස්සියි20 ජ්‍යාතන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ පන්දු 12 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.


නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 73 ක් රැස්කරමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.


කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් (නොදැවී 41) සමග එක්ව නවසීලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 81 ක නොබිදුණ වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද විලියම්සන් සමත් විය. පන්දු 22 කදී වාර්තා වූ ග්‍රෑන්ඞ්හෝම්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට මහමදුල්ලා (55) සමත් වූ අතර පන්දු 47 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. ලොකී ෆර්ගියුසන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මහමදුල්ලා දැවී ගියේය.


දක්ෂ පන්දුයැවීමක නිරත වූ ෆර්ගියුසන්, මහමදුල්ලාගේ කඩුල්ලද සමගින් ලකුණු 32 කට කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් වූ අතර බෙන් වීලර් ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගත්තේය.


බංග්ලාදේශය – ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 141  
(සබීර් රෙහෙමාන් 16, සකීබ් අල් හසන් 14, මහමදුල්ලා 52, මොසද්දික් හුසේන් 20, ලොකී ෆර්ගියුසන් 47/3, බෙන් වීලර් 22/2)

නවසීලන්තය – ඕවර 18 කදී කඩුලු 4 කට 143
(කේන් විලියම්සන් නොදැවී 73, කෝරි ඇන්ඩසන් 13, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් නොදැවී 41)

 

-036

නවසීලන්තයට ලකුණු 77 ක ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ ක්‍රියිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 77 ක ජයක් අත්කරගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 342 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 264 ක් පමණි. ලොකී ෆර්ගසන් සහ ජේම්ස් නීෂම් කඩුලු 3 බැගින් බිඳහෙළමින් බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමූහ.

බංග්ලාදේශ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මොසද්දික් හුසේන් පන්දු 44 කදී නොදැවී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක්ද සමගිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 81 ක් වන විට බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 4 ම බිඳ වැටුණ අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සකීබ් අල් හසන් (59) සහ මුෂ්ෆිකුර් රහීම් (42) සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට මහත් පරිශ්‍රමයක් දැරූහ.

පන්දු 54 කදී වාර්තා වූ සකීබ් අල් හසන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 48 කදී වාර්තා වූ මුෂ්ෆිකුර් රහීම්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ටොම් ලේතම් (137) සමත් වූ අතර පන්දු 121 කදී වාර්තා වූ ලේතම්ගේ දෙවැනි එක්දින ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 7 කින් සමත්විත විය. මුස්තෆිසුර් රෙහෙමාන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අතට උඩ පන්දුවක් දෙමින් ලේතම් දැවී ගියේය.

කොලින් මුන්රෝ (87) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 107 කදී ලකුණු 158 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමටද ලේතම් සමත් විය. වේගවත් පිතිහරඹයක නිරත වූ මුන්රෝ, පන්දු 61 කදි වාර්තා වූ සිය අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 8 කින් අලංකාර කළේය.

බංග්ලාදේශ පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ දැඩි ලෙස නවසීලන්ත පිතිකරුවන්ගේ පහර කෑමකට ලක් වූ අතර යම් තරමක හෝ සාර්ථකත්වයක් පෙන්නුම් කළ සකීබ් අල් හසන් ලකුණු 69 කට කඩුලු 3 ක් දවාගත්තේය.


නවසීලන්තය – ඕවර 50 කදී කඩුලු 7 කට 341
(මාටින් ගප්ටිල් 15, ටොම් ලේතම් 137, කේන් විලියම්සන් 37, නීල් බෲම් 22, කොලින් මුන්රෝ 87, සකීබ් අල් හසන් 69/3, මුස්තෆිසුර් රෙහෙමාන් 62/2, ටස්කින් අහමඞ් 70/2)

බංග්ලාදේශය – ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 264
(තමීම් ඉක්බාල් 38, ඉම්රුල් කේයස් 16, සකීබ් අල් හසන් 59, මුෂ්ෆිකුර් රහීම් 42, සබීර් රෙහෙමාන් 16, මොසද්දික් හුසේන් නොදැවී 50, ජේම්ස් නීෂම් 36/3, ලොකී ෆර්ගියුසන් 54/3, ටිම් සවුති 63/2)


- 036