Category Archives: ENG IND

ඉන්දියාව 2-1 කින් එංගලන්තය පරදවයි

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් අත්කරගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත් විය. කෙසේ වුවත් තරගාවලියේ මුල් තරග 2 ජයගැනීම නිසා තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

තෙවැනි තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 322 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 316 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිතර වූ කේදාර් ජාදව් පන්දු 75 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 90 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට මහත් උත්සාහයක් දැරුවද, ක්‍රිස් වෝක්ස් යැවූ ඉන්දීය ඉනිමේ අවසන් ඕවරයේ 5 වැනි පන්දුවේදී සෑම් බිලින්ග්ස් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යාමත් සමග ඔහුගේ උත්සාහය අසාර්ථක විය.

මුලු ලකුණු සංඛ්‍යාව 173 ක් වන විට ඉන්දීය ඉනිමේ 5 වැනි කඩුල්ලත් බිඳ වැටුණ අතර හර්දීක් පාණ්ඩ්‍යා (56) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 83 කදී ලකුණු 104 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට කේදාර් ජාදව් සමත් වුවද, ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය.

සිය 39 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් නායක විරාට් කෝලි එය හතරේ පහර 8 කින් අලංකාර කළ අතර යුවරාජ් සිං ලකුණු 45 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

එංගලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ බෙන් ස්ටොක්ස් ලකුණු 63 කට කඩුලු 3 ක් දවාගත් අතර ක්‍රිස් වෝක්ස් සහ ජේක් බෝල් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජේසන් රෝයි (65) සහ සෑම් බිලින්ග්ස් (35) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 104 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 65 කදී වාර්තා වූ රෝයිගේ 8 වැනි එක්දින අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගත වූ අතර බිලින්ග්ස්ගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.

පන්දු 64 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් සිය 14 වැනි එක්දින අර්ධ ශතකය ලබාගැනීමට සමත් වූ ජොනී බෙයාස්ට්‍රෝ, නායක ඔයින් මෝගන් (43) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 84 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය මෝගන්, සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් අලංකාර කළේය.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ බෙන් ස්ටොක්ස් (නොදැවී 57) සහ ක්‍රිස් වොක්ස් (34), 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. ස්ටොක්ස් සිය 8 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සැරසූ අතර වොක්ස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පිටියෙන් ඉවත් කිරීමට රවින්ද්‍ර ජදේජා සමත් වූ අතර ලකුණු 49 කට කඩුලු 3 ක් දවාගනිමින් එංගලන්ත ඉනිමේ මැද පෙළ සුනුවිසුණු කර දැමීමට හර්දීක් පාණ්ඩ්‍යා සමත් විය.

 

එංගලන්තය – ඕවර 50 කදී කඩුලු 8 කට 321
(ජේසන් රෝයි 65, සෑම් බිලින්ග්ස් 35, ජොනී බෙයාස්ට්‍රෝ 56, ඔයින් මෝගන් 43, බෙන් ස්ටොක්ස් නොදැවී 57, ක්‍රිස් වෝක්ස් 34, හර්දීක් පාණ්ඩ්‍යා 49/3, රවින්ද්‍ර ජදේජා 62/2)

ඉන්දියාව – ඕවර 50 කදී කඩුලු 9 කට 316
(විරාට් කෝලි 55, යුවරාජ් සිං 45, මහේන්ද්‍ර සිං දෝනි 25, කේදාර් ජාදව් 90, හර්දීක් පාණ්ඩ්‍යා 56, බෙන් ස්ටොක්ස් 63/3, ජේක් බෝල් 56/2, ක්‍රිස් වොක්ස් 75/2)

 

- 036

ජදේජා එංගලන්ත පිල කරකවා අතහරී


රවින්ද්‍ර ජදේජාගේ විශිෂ්ට පන්දු යැවීම නිසා සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව අතර චෙන්නාහියිදී පැවැති 5 වැනි සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 75 ක පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම අද (20 වැනිදා) සමත් විය. ඒ අනුව තරග 5 කින් සමන්විත වූ මෙම තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට 4-0 ක දැවැන්ත පරාජයකට මුහුණදීමට සිදුවිය.

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 282 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණ දී සිටි එංගලන්ත කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 207 ක් පමණි.  

එංගලන්ත පිතිකරුවන් අන්ද මන්ද කරමින් ලකුණු 48 කට කඩුලූ 7 ක් දවාගත් රවින්ද්‍ර ජදේජා ඉන්දීය කණ්ඩායමේ ජයග‍්‍රහණය පහසු කළේය. පළමු ඉනිමේදී දවාගත් කඩුලූ 3 ත් සමගින් ජදේජා මෙම තරගයේදී දවාගත් මුලූ කඩුලූ සංඛ්‍යාව 10 කි. ජදේජා ටෙස්ට් තරගයකදී කඩුලූ 10 ක් දවාගත් පළමු අවස්ථාව මෙය වන අතර ලකුණු 48 කට කඩුලූ 7 ක් දවාගැනීම ඉනිමකදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් විය.

එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක ඇලිස්ටෙයාර් කුක් (49) සහ කේට්න් ජෙනින්ස් (54) සමත් වූවද සෙසු පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම නිසා එංගලන්ත කණ්ඩායමට බලාපොරොත්තු නොවූ අන්දමේ පරාජයක් අත්විදීමට සිදුවිය.

පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දමමින් සිය 54 වැනි ටෙස්ට් අර්ධ ශතකයට ලකුණක් මෙපිටින් සිටි ඇලිස්ටෙයාර් කුක් පිටියෙන් ඉවත් කිරීමට රවින්ද්‍ර ජදේජා සමත් විය. ජදේජාගේ පන්දුවක් හමුවේ පිත්තේ පිටත දාරයේ වැදී ගිය පන්දුව ලෙග් ස්ලිප්හි පන්දු රකිමින් සිටි ලෝකේෂ් රාහුල්ගේ දැත් අතර සිරවන විට ඇලිස්ටෙයාර් කුක්ගේ ඉනිමට හතරෙ පහර 4 ක් ඇතුළත් වී තිබිණ.

කුක්ගේ දැවීයාමෙන් අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණු 7 ක් එක්වන විට කේට්න් ජෙනින්ස්වද ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට රවින්ද්‍ර ජදේජා සමත් වූයේ ඔහුගේ පන්දුවක් හමුවේ ඔහු අතටම ලැබුණ උඩ පන්දුවක් රැුකගනිමිනි. ඒ වන විට ජෙනින්ස්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත වී තිබිණ.

ආරම්භක පිතිකරුවන්ගේ දැවීයාම් වලින් අනතුරුව ලකුණු 19 ක් තුළ එංගලන්ත ඉනිමේ තෙවැනි සහ සිව්වැනි කඩුලූද බිඳවැටුණ අතර එහිදී ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ජෝ රූට් ලකුණු 6 කටද, ඉෂාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ රවිචන්ද්‍රන් අෂ්වින් අතට උඩ පන්දුවක් දෙමින් ජොනී බෙයාස්ට්‍රෝ එක් ලකුණකටද පිටියෙන් ඉවත්ව ගියහ.

ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මුයින් අලී (44) සහ බෙන් ස්ටොක්ස් (23) සමත් වූවද, එංගලන්ත කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය. ජදේජාගේ පන්දුවක් හමුවේ අෂ්වින් අතට උඩ පන්දුවක් දෙමින් මුයින් අලී දැවීයාමත් සමග එම සම්බන්ධතාවද බිඳවැටිණ.  

මුලූ ලකුණු සංඛ්‍යාව 192 ක් වන විට එංගලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස අලී දැවීගිය අතර ඔහුගේ දැවීයාමෙන් අනතුරුව ලකුණු පුවරුවට තවත් එක් ලකුණක් එක්වන විට බෙන් ස්ටොක්ස්ද ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට ජදේජා සමත් විය. කරුන් නයර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ස්ටොක්ස්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වි තිබිණ.

ලකුණු ලබාගැනීමට පෙර ලියෑම් ඬේව්සන්ගේ කඩුල්ල බිඳදැමීමට අමීත් මිෂ්රා සමත් වූ අතර උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ ජදේජා අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ආදිල් රෂීඞ් ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.

ඔවුන් දෙදෙනාගේ දැවීයාම් වලින් අනතුරුව ස්ටුවට් බ්‍රොඞ් එක් ලකුණකටද, ජේක් බෝල් ලකුණු ලබාගැනීමට පෙරද දවාගත් ජදේජා එංගලන්ත කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය. චෙතේෂ්වර් පුජාරා අතට උඩ පන්දුවක් දෙමින් ස්ටුවට් බ්‍රොඞ් දැවීගිය අතර ජේක් බෝල් දැවීගියේ කරුන් නයර් අතට උඩ පන්දුවක් දෙමිනි.

එංගලන්ත පළමු ඉනිම – සියලූ දෙනා දැවී 477

ඉන්දීය පළමු ඉනිම – කඩුලූ 7 ක් දැවී 759

එංගලන්ත දෙවැනි ඉනිම – සියලූ දෙනා දැවී 207
(ඇලිස්ටෙයාර් කුක් 49, කේට්න් ජෙනින්ස් 54, මුයින් අලී 44, බෙන් ස්ටොක්ස් 23, රවින්ද්‍ර ජදේජා 48/7)

- 036

 

නයර්ගේ ත්‍රිත්ව ශතකයෙන් ඉන්දියාව 750 න් ඔබ්බට

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව චෙන්නාහියිදී පැවැත්වෙන 5 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි වැනි දිනය වූ අද (19 වැනිදා) කරුන් නයර්ගේ අගනා ත්‍රිත්ව ශතකය (නොදැවී 303) නිසා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු කඩුලු 7 ක් දැවී ලකුණු 759 ක් රැස්කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ටෙස්ට් තරගයකදී එංගලන්ත කණ්ඩායමකට එරෙහිව කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙම ලකුණු 759 සටහන් වන අතර ඉන්දීය කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී ලකුණු 700 සීමාව ඉක්මවා ගිය සිව්වැනි අවස්ථාව ලෙසද එය වාර්තා අතරට එක්විය.

තෙවැනි දිනය වූ ඊයේ (18 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 391 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම, අද දිනයේදී සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 368 ක් එක්කර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා එංලගන්ත කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

ඒ අනුව සිව්වැනි දිනය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 12 ක් ලබා සිටියේය. ඒ වන විට ඇලිස්ටොර් කුක් ලකුණු 3 ක්ද, කීටන් ජෙනින්ස් ලකුණු 9 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර එංගලන්ත කණ්ඩායම කඩුලු 10 ම අතැතිව ඉන්දීය කණ්ඩායමට වඩා තවත් ලකුණු 270 ක් පසුපසින් සිටී.

අද දිනය ආරම්භ වන විට ලකුණු නොදැවී ලකුණු 71 ක් ලබාසිටි කරුන් නයර් දිවා ආහාරයට පෙර ලබාගත් සිය මංගල ශතකය, දිනය නිමා වීමට පැයකට පමණ පෙර පිටියෙන් ඉවත්ව යන විට ත්‍රිත්ව ශතකයක් බවට පත්කර ගැනීමට සමත්ව සිටියේය.

මේ වන විට ටෙස්ට් තරග 3 කට සහභාගි වී ඇති කරුන් නායර්ගේ පළමු සහ දෙවැනි ටෙස්ට් ඉනිම් පිළිවෙළින් ලකුණු 4 කට සහ 13 කට සීමා වුවද, තෙවැනි ඉනිමේදී ඔහු හයේ පහර 4 ක් සහ හතරේ පහර 32 ක් සමගින් නොදැවී ලකුණු 303 ක් රැස්කළේ ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරගයකද ත්‍රිත්ව ශතකයක් ලබාගත් දෙවැනි ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

මින් පෙර විරේන්ද්‍ර ෂෙවැග් දකුණු අප්‍රිකාවට එරෙහිව චෙන්නාහිදී ලකුණු 319 ක්ද, පාකිස්තානයට එරෙහිව මුල්ටාන්හිදී ලකුණු 309 ක්ද රැස්කරමින් ඉන්දියාව වෙනුවෙන් ත්‍රිත්ව ශතක ලබාගත් එකම පිතිකරුවා බවට පත්ව සිටියේය. කරුන් නායර් මෙම ත්‍රිත්ව ශතකය ලබාගන්නා විට ඔහුගේ වයස අවරුදු 25 යි දින 13 ක් වූ අතර ඔහු ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් ලබාගත් ලාබාලතම පිතිකරුවන් අතර 6 වැනි ස්ථානයටද පත් විය.

රවිචන්ද්‍රන් අෂ්වින් (67) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 181 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කරුන් නායර්, ඉන් නොනැවතී රවින්ද්‍ර ජදේජා (51) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 750 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

ස්ටුවට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට අෂ්වින්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබූ අතර ලයාම් ඬේව්සන්ගේ පන්දුවක් හමුවේ ජේක් බෝල් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ජදේජාගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සමත්විත වී තිබිණ.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලයාම් ඬේව්සන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරටද හසුවෙමින් දැවීයන විට හතරේ පහර 4 ක් සමගින් මුරලි විජේ ලබා සිටියේ ලකුණු 29 ක් පමණි.

 

එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 477


ඉන්දීය පළමු ඉනිම – කඩුලු 7 ක් දැවී 759
(ලෝකේෂ් රාහුල් 199, පාර්තිව් පතෙල් 71, කරුන් නායර් නොදැවී 303, මුරලි විජේ 29, රවිචන්ද්‍රන් අෂ්වින් 67, රවින්ද්‍ර ජදේජා 51, ස්ටුවට් බ්‍රෝඞ් 80/2, ලියෑම් ඬේව්සන් 129/2)

එංගලන්ත දෙවැනි ඉනිම – කිසිවකු නොදැවී 12


 

- 036

 

ලෝකේෂ් රාහුල්ට ද්විත්ව ශතකය අහිමිවෙයි

ලෝකේෂ් රාහුල්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දියාව සහ එංගලන්තය අතර චෙන්නායිහිදී පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (18 වැනිදා) තරගය නතර කරනවිට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 391 ක් රැස්කිරීමට ඉන්දියාව සමත්විය.

ලෝකේෂ් රාහුල් සිය මංගල ද්විත්ව ශතකය පෙනි පෙනී සිටියදී අදිල් රෂීඞ්ගේ පන්දුවකට ජොස් බට්ලර් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 199 කට දැවී ගියේය. පන්දු 311 කදී වාර්තාවූ ලෝකේෂ් රාහුල්ගේ ඉනිම හතරේ පහර 16 ක් සහ හයේ පහර තුනකින් අලංකාරවිය.

ලකුණු 199 දී අවාසානාවන්ත ලෙස දැවීගිය ලොව 11 වැනි පිතිකරුව බවට ලෝකේෂ් රාහුල් අද පත්විය.
මෙම වසරේ ජූලී මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 158 ක් ලබාගනිමින් මීට පෙර වාර්තා කරතිබූ හොදම ටෙස්ටි ඉනිම අද දිනයේදී අලුත් කිරීමට ලෝකේෂ් රාහුල් සමත් වූයේය.

සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 161 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ලෝකේෂ් රාහුල් සහ කරුන් නායර් සමත්වූහ. ලෝකේෂ් රාහුල්ට අනගි සහයක් ලබාදුන් කරුන් නායර් දිනය නිමාවන විටදී නොදැවී ලකුණු 71 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 30 ක් තුළදී චිතේස්වර් පුජාරා සහ විරාත් කෝලී දවාගැනීමට බෙන්ස්ටෝක්ස් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් සමත්වූහ.

අද දිනයේදී ඉන්දියා පිලේ පළමු කඩුල්ල ලෙස ලකුණු 71 ක් ලබාසිටි පාර්තීව් පටෙල් දැවීයන විටදී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 152 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්විය.

ඊයේ දිනය නිමාවන විටදී කිසිවකු නොදැවී ලකුණු 60 ක් රැස්කරගෙන සිටි ඉන්දියාව අද දිනයේදී තවත් ලකුණු 331 ක් කඩුලු 4 ක් දැවී රැස්කිරීමට සමත්විය.


එංගලන්ත පළමු ඉනිම – ඕවර 157.2 කදී සියලුදෙනා දැවී ලකුණු 477
ඉන්දියා පළමු ඉනිම – ඕවර 108 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 391

(ලෝකේෂ් රාහුල් 199, පාර්තීව් පටෙල් 71, කරුන් නායර් නොදැවී 71)

 

ඉන්දියාවෙන් ආරක්‍ෂාකාරී ආරම්භයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නාහියිදී පැවැත්වෙන 5 වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 60 ක් ලබා සිටියේය.

ලෝකේෂ් රාහුල් ලකුණු 30 ක්ද, පාර්තිව් පතෙල් ලකුණු 28 ක්ද ලබා දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර ඒ අනුව ඉන්දියානුවෝ කඩුලු 10 ම අතැතිව එංගලන්ත කණ්ඩායමට වඩා තවත් ලකුණු 417 ක් පසුපසින් සිටිති.

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියයේ වියෝවෙන් චෙන්නායි ජනතාව තවමත් ශෝක වෙමින් සිටියද අද දිනයේදී චිදම්බරම් ක්‍රීඩාංගණයේ ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වයක් දක්නට ලැබුණ අතර එය 16,000 ඉක්මවූ බවද නිල වාර්තා වලින් කියැවිණ.

පළමු දිනය වූ ඊයේ (16 වැනිදා) කඩුලු 4 ක් දැවී ලකුණු 284 ක් ලබා සිටි එංගලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 193 ක් එක්කරගත්හ.

රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ පාර්තිව් පතෙල් අතට උඩ පන්දුවක් දෙමින් දිනයේ පළමු කඩුල්ල ලෙස බෙන් ස්ටොක්ස් ලකුණු 6 කට දැවී ගියේය. ඉන් පසුව පිටියට පිවිසි ජොස් බට්ලර්ගේ ඉනිම ලකුණු 5 කට සීමා කිරීමට ඉෂාන්ත් ශර්මා සමත් වූයේ බට්ලර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි.

පළමු දිනය අවසන් වන විට නොදැවී ලකුණු 120 ක් ලබා සිටි මුයින් අලීට අද දිනයේ රැස්කළ හැකිවූයේ තවත් ලකුණු 26 ක් පමණි. උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ රවින්ද්‍ර ජදේජා අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 146 කට දැවීයන විට අලීගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 13 ක් අන්තර්ගත වී තිබිණ.

එතැන් සිට 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 සම්බන්ධතාවක් ගොඩනැගූ ලියාම් ඬේව්සන් (නොදැවී 66) සහ අදිල් රෂීඞ් (60) එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 450 සීමාවෙන් ඔබ්බට රැගන ගියහ. එම සම්බන්ධතාව බිඳ දමමින් ආදිල් රෂීඞ් පිටියෙන් ඉවත් කිරීමට උමේෂ් යාදව් සමත් වූ අතර පාර්තිව් පතෙල් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට රෂීඞ්ගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් වී තිබිණ.

ලකුණු 19 ක් ලබා සිටියදී ස්ටුවට් බ්‍රෝඞ් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ලෝකේෂ් රාහුල් සමත් වූ අතර අමීත් මිෂ්රාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 12 ක් ලබා සිටි ජේක් බෝල් එංගලන්ත කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස දැවී ගියේය.

එංගලන්ත ඉනිම නිමා වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂාකර ගෙන පන්දුවට පහරදුන් ලියෑම් ඬේව්සන් සිය මංගල අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් අලංකාර කළේය.


එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 477
(ජෝ රූට් 88, මුයින් අලී නොදැවී 146, ජොනී බෙයාස්ට්‍රෝ 49, ලියෑම් ඬේව්සන් නොදැවී 66, ආදිල් රෂීඞ් 60, ස්ටුවට් බ්‍රෝඞ් 19, රවින්ද්‍ර ජදේජා 106/3, ඉෂාන්ත් ශර්මා 42/2, උමේෂ් යාදව් 73/2)

ඉන්දීය පළමු ඉනිම – කිසිවකු නොදැවී 60  
(ලෝකේෂ් රාහුල් නොදැවී 30, පාර්තිව් පතෙල් නොදැවී 28)  

 

- 036

 

එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නායි නුවරදී අද (16 වැනිදා) ආරම්භ වූ පස්වැනි සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 284 ක් ලබා සිටි බැවින් සත්කාරක ඉන්දීය පිල එක්තරා ආකාරයකට විපිළිසරව සිටියේය.

මේ වන විටත් තරගාවලියේ ජයග‍්‍රහණය තමන් සතුකරගැනීමට සත්කාරක ඉන්දීය පිල සමත්ව සිටින නමුත් ඉන්දියානුවන්ගේ උත්සාහය වන්නේ එංගලන්තයට ජයග‍්‍රහණය කරා යාමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරා දැමීමයි.

දිනය ආරම්භයේදීම ලකුණු 21 කට එංගලන්ත කඩුලූ 2 ක් බිඳ වැටුණද ජෝ රූට් (88) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 146 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මුයින් අලී, ඉන් නොනැවතී ජොනී බෙයාස්ට්‍රෝ (49) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව ආසන්නයට ගෙන ආවේය.  

”දිනුමකුත් එක්ක ගෙදර යන්න තියෙනවා නම් ඉතාමත් හොඳයි. අපි අද කිසියම් තරමකට හිස එසවූවා. දැන් තියෙන්නේ හෙට ඒ තත්ත්වය තවත් ඉදිරියට ගෙන යාමයි” යයි අද දිනයේ කී‍්‍රඩාවෙන් පසු ජෝ රූට් වාර්තාකරුවන්ට පැවසීය. මොහාලි ටෙස්ට් තරගයෙන් පසුව පිතිකරු ලයිස්තුවේ උසස් වීමක් ලද මුයින් අලී ඉතාමත් සාර්ථක ලෙස නව අභියෝගයට මුහුණ දෙමින් මෙම සංචාරයේදී අගනා ශතක දෙකක්ම ලබාගත්තේය.

ලකුණු ලබාගැනීමට පොරතුව දුන් උඩපන්දුවක් මිඞ් විකට් හි සිටි පන්දු රකින්නා වෙතින් ගිළිහී යාමෙන් අනගි ප‍්‍රයෝජන ලබාගත් රැවුල්කාරයා සිය 5 වැනි ටෙස්ට් ශතකය ලබාගත් අතර එය හතරේ පහර 12 කින් සැරසීය. මුයින් අලී ලකුණු 120 ක්ද, බෙන් ස්ටෝක්ස් ලකුණු 5 ක්ද ලබා දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මෙම සංචාරයේදී ලබාගත හැකිව තිබූ දෙවැනි ශතකයට ලකුණු 12 ක් මෙපිටින් දැවී ගිය ජෝ රූට් වමතින් දග පන්දු යවන කී‍්‍රඩක රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක පාර්තිව් පතෙල් අතට උඩ පන්දුවක් දීමෙන් අනතුරුව කී‍්‍රඩාගාරයට ගියේය.

තමන් දැවී ගිය ආකාරය පිළිබඳ ජෝ රූට් නොසතුට පළකළ නමුත් රූපවාහිනී පුනරූපන වලින් තහවුරු වූයේ පන්දුව කඩුලූ රකින්නාගේ අතට යාමට පෙර එය රූට්ගේ පිත්තේ වැදුණු බවයි. රූට්ගේ ඉනිමට හතරේ පහර 10 ක් අන්තර්ගත වී තිබුණ අතර ජදේජාගේම පන්දුවක් හමුවේ ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට බෙයාස්ට්‍රෝගේ ඉනිම හයේ පහර 3 කින් සමන්විත වී තිබිණ.

එංගලන්ත ඉනිමේ ආරම්භක පිතිකරු සම්බන්ධතාව ලකුණු 7 කට සීමා කිරීමට ඉෂාන් ෂර්මා සමත් වූයේ කීටන් ජෙනින්ස් දවාගනිමිනි. නායක ඇලිස්ටෙයාර් කුක්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැුදී සිටීමට ඉඩක් නොලැබුණ අතර මුලූ ලකුණු සංඛ්‍යාව 21 ක් වන විට කුක් ලකුණු 10 කට දැවී ගිය නමුත් අද දිනයේ මුහුණ දුන් පළමු පන්දුවේදීම ටෙස්ට් ලකුණු 11,000 කඩයිම පසුකර යාමට එංගලන්ත නායකයා සමත් විය.

එංගලන්ත පළමු ඉනිම – කඩුලූ 4 කට 284
(ජෝ රූට් 88, මුයින් අලී නොදැවී 120, ජොනී බෙයාස්ට්‍රෝ 49, රවින්ද්‍ර ජදේජා 73/3)

 

-036

 

 

ඉන්දියාව ටෙස්ට් තරගාවලිය ජය ගනියි

සංචාරක එංගලන්ත කණඩායමට එරෙහිව මුම්බායිහිදී පැවැති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 36 ක ජයක් අත්කරගත් ඉන්දීය ක්‍රීඩකයෝ තවත් තරගයක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස තරග 5 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය ජයගැනීමට සමත් වූහ.

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 231 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 195 ක් පමණි.

තරගයේ අවසන් දිනය වූ අද (12 වැනිදා) තරගය ආරම්භ කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටි එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුලු 4 ලකුණු 13 ක් තුළ බිඳදැමීමට රවිචන්ද්‍රන් අෂ්වින් සමත් විය.

විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 55 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් වූ අතර පළමු ඉනිමේදී දවාගත් කඩුලු 6 ත් සමගින් ඔහු මෙම තරගයේදී දවාගත් මුලු කඩුලු සංඛ්‍යාව 12 ක් විය. අෂ්වින් ටෙස්ට් තරගයකදී කඩුලු 10 කට වඩා වැඩියෙන් දවාගත් 7 වැනි අවස්ථාව ලෙසද මෙය සටහන් විය.

සිව්වැනි දිනය වූ ඊයේ (11 වැනිදා) තරගය නතර කරන විට නොදැවී ලකුණු 50 ක් ලබා සිටි ජොනී බෙයාස්ටෝට අද දිනයේදී ලබාගත හැකිවූයේ එක් ලකුණක් පමණි. අද දිනයේදී ක්‍රියාත්මක වූ දෙවැනි ඕවරයේදීම රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසා බෙයාස්ටෝට ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවිය.

ඉන් පසුව පිටියට පිවිසි ක්‍රිස් වෝක්ස්ද ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට අෂ්වින් සමත් වූ අතර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී යන විට වෝක්ස් මුහුණදී සිටියේ පන්දු 6 කට පමණි.

ආදිල් රෂීඞ්ගේ ඉනිම ලකුණු 2 කට සීමා කළ අෂ්වින්, ජේම්ස් ඇන්ඩසන්ද ලකුණු 2 කට දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. අෂ්වින්ගේ පන්දු හමුවේ ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් ආදිල් රෂීඞ් දැවීගිය අතර උමේෂ් යාදව් අතට උඩ පන්දුවක් දෙමින් ජේම්ස් ඇන්ඩසන් දැවී ගියේය.

ද්විත්ව ශතකයක් ලබාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 600 සීමාවෙන් ඔබ්බට රැගෙන ගිය නායක විරාට් කෝලි (235) තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.

එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 400
(ඇලිස්ටෙයාර් කුක් 46, කේටන් ජෙනින්ස් 112, ජෝ රූට් 21, මුයින් අලී 50, බෙන් ස්ටොක්ස් 31, ජොස් බට්ලර් 76, ජේක් බෝල් 31, රවිචන්ද්‍රන් අෂ්වින් 112/6, රවින්ද්‍ර ජදේජා 109/4)

ඉන්දීය පළමු ඉනිම – සියලු දෙනා දැවී 631
(ලෝකේෂ් රාහුල් 24, මුරලි විජේ 136, චෙතේෂ්වර් පුජාරා 47, විරාට් කෝලි 235, රවින්ද්‍ර ජදේජා 25, ජයන්ත් යාදව් 104, ආදිල් රෂීඞ් 192/4 ජෝ රූට් 31/2, මුයින් අලී 174/2)

එංගලන්ත දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 195
(ඇලිස්ටෙයාර් කුක් 18, ජෝ රූට් 77, ජොනී බෙයාස්ට්‍රෝ 51, බෙන් ස්ටොක්ස් 18, රවිචන්ද්‍රන් අෂ්වින් 55/6, රවින්ද්‍ර ජදේජා 63/2)

 

- 036

 

එංගලන්තය පරාජයේ දොරටුව අභියස

ඉන්දීය කණඩායමට එරෙහිව මුම්බායිහිදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (11 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබා අසීරු තත්ත්වයකට සිටියේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ඉනිමක පරාජයකින් ගැලවීම සඳහා ලකුණු 49 ක් රැස්කළ යුතු අතර ඒ සඳහා ඔවුන් සතුව ඇත්තේ තවත් කඩුලු 4 ක් පමණි. දිනය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි ජොනී බෙයාර්ස්ට්‍රෝ ලකුණු 50 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.  

ලකුණු 231 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් කේටන් ජෙනින්ස් පිටියෙන් ඉවත් කිරීමට බුවනේෂ්වර් කුමාර් සමත් විය. මුහුණදුන් පළමු පන්දුවේදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ජෙනින්ස්ට ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම ආපසු ක්‍රීඩාගාරය වෙත යෑමට සිදුවිය.

නායක ඇලිස්ටෙයාර් කුක්ටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර හතරේ පහර 3 ක් සමගින් ලකුණු 18 ක් ලබා සිටියදී ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමට රවින්ද්‍ර ජදේජා සමත් විය.

සිව්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මුයින් අලීටද ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූ අතර රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ මුරලි විජේ අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට අලී මුහුණදී සිටියේ පන්දු 3 කට පමණි.

එතැන් සිට ජොනී බෙයාර්ස්ට්‍රෝ (නොදැවී 50) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජෝ රූට් (77)  එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීය. ජෝ රූට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමට ජයන්ත් යාදව් සමත් වීමත් සමග රූට් සහ බෙයාර්ස්ට්‍රෝ අතර ඇතිව තිබූ සම්බන්ධතාව බිඳ වැටිණ. ජෝ රූට්ගේ අර්ධ ශතකය හතරේ පහර 11 කින් සමන්විත වූ අතර ජොනී බෙයාර්ස්ට්‍රෝගේ අර්ධ ශතකය හතරේ පහර 2 කින් සමන්විත විය.

බෙන් ස්ටොක්ස්ක්ගේ ඉනිම ලකුණු 18 කට සීමා කළ රවිචන්ද්‍රන් අෂ්වින්, ඉන් නොනැවතී රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ජේක් බෝල්වද ලකුණු 02 කට දවාගනිමින් දිනය නිමා වන විට ඉන්දීය කණ්ඩායම අසීරු තත්ත්වයකට ඇද දැමුවේය. අෂ්වින්ගේ පන්දු හමුවේ මුරලි විජේ අතට උඩ පන්දුවක් දෙමින් බෙන් ස්ටොක්ස් දැවීගිය අතර කඩුලු රකින ක්‍රීඩක පාර්තිව් පතෙල් අතට උඩ පන්දුවක් දෙමින් ජේක් බෝල් දැවී ගියේය.

තෙවැනි දිනය සඳහා ඊයේ (10 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 451 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 180 ක් එක්කර ගැනීමට සමත් විය. එහිදී 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 241 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගූ වූ විරාට් කෝලි (235) සහ ජයන්ත් යාදව් (104) ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගෙනයෑමට දායක වූහ.

අද දිනයේදී සිය ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව මෙන්ම තෙවැනි ද්විත්ව ශතකයද ලබාගත් කෝලි, එය හයේ පහරකින් සහ හතරේ පහර 25 කින් අලංකාර කළේය. ක්‍රිස් වෝස්ක්ගේ පන්දුවක් හමුවේ ජෙම්ස් ඇන්ඩසන් අතට උඩ පන්දුවක් දෙමින් ඉන්දීය ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස කෝලි දැවී ගියේය. කෝලි මේ වන විට ලබාගෙන ඇති ද්විත්ව ශතක 3 ම මෙම වසරේදී (2016) ලබාගත් ඒවා වීමද සුවිශේෂී සිදුවීමකි.

සහභාගි වූ දෙවැනි ටෙස්ට් තරගයේදීම සිය මංගල ශතකය ලබාගැනීමට ජයන්ත් යාදව් සමත් වූ අතර ආදිල් රෂීඞ්ගේ පන්දුවක් හමුවේ ජොනී බෙයාර්ස්ට්‍රෝගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් දැවී යන විට යාදව්ගේ ශතකයට හතරේ පහර 15 ක් ඇතුළත් වී තිබිණ.  


එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 400
(ඇලිස්ටෙයාර් කුක් 46, කේටන් ජෙනින්ස් 112, ජෝ රූට් 21, මුයින් අලී 50, බෙන් ස්ටොක්ස් 31, ජොස් බට්ලර් 76, ජේක් බෝල් 31, රවිචන්ද්‍රන් අෂ්වින් 112/6, රවින්ද්‍ර ජදේජා 109/4)

ඉන්දීය පළමු ඉනිම – සියලු දෙනා දැවී 631
(ලෝකේෂ් රාහුල් 24, මුරලි විජේ 136, චෙතේෂ්වර් පුජාරා 47, විරාට් කෝලි 235, රවින්ද්‍ර ජදේජා 25, ජයන්ත් යාදව් 104, ආදිල් රෂීඞ් 192/4 ජෝ රූට් 31/2, මුයින් අලී 174/2)

එංගලන්ත දෙවැනි ඉනිම – කඩුලු 6 ක් දැවී 182
(ඇලිස්ටෙයාර් කුක් 18, ජෝ රූට් 77, ජොනී බෙයාස්ට්‍රෝ නොදැවී 50, රවිචන්ද්‍රන් අෂ්වින් 49/2, රවින්ද්‍ර ජදේජා 58/2)


- 036

 

කෝලිගේ ශතකයෙන් ඉන්දියාව ඉදිරියට

සංචාරක එංගලන්ත කණඩායමට එරෙහිව මුම්බායිහිදී වැන්කඬේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 451 ක් ලබා සිටියේය.

ඒ අනුව ඔවුන් තවත් කඩුලු 3 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 51 ක් ඉදිරියෙන් සිටින අතර දිනය නිමා වන විට විරාට් කෝලි ලකුණු 147 ක්ද, ජයන්ත් යාදව් ලකුණු 30 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මෙම තරගාවලියේදී ටෙස්ට් තරග 4 කදී විරාට් කෝලි මෙතෙක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 552 කි. මීට පෙර ටෙස්ට් තරගාවලියකදී වැඩිම ලකුණු ලබාගත පිතිකරුවා වී සිටියේ සුනිල් ගවස්කාර්ය. සුනිල් ගවස්කාර් 1978-79 තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කැරීබියන් දූපත් සමූහයේදී ලකුණු 732 ක් ලබාගත් අතර 1981-82 තරගවාරයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 500 ක් ලබාගත්තේය.

අද දිනයේදී තමාගේ 15 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට නායක විරාට් කෝලි සමත් වූ අතර ඊට හතරේ පහර 17 ක් ඇතුළත් විය. යාදව්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. මේ වන විට ඔවුන් දෙදෙනා එක්ව අටවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා ඇති නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 87 කි. ඊයේ (8 වැනිදා) දිනය නිමාවන විට කඩුල්ලක් දැවී ලකුණු 146 ක් ලබා සිටි ඉන්දීය කණඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 305 ක් එක්කර ගත්තේය.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 47 ක් ලබා සිටි චෙටේෂ්වර් පුජාරා පිටියෙන් ඉවත් කිරීමට ජේක් බෝල් සමත් වූ අතර අර්ධ ශතකය පෙනි පෙනී දැවීයන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ.

අද දිනයේදී සිය ටෙස්ට් දිවියේ 8 වැනි ටෙස්ට් ශතකය ලබාගත් මුරලි විජේ එය හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් සැරසීය. පුජාරාගේ දැවීයාමෙන් අනතුරුව විරාට් කෝලි සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මුරලි විජේ සමත් විය. මුලු ලකුණු සංඛ්‍යාව 262 ක් වන විට තෙවැනි කඩුල්ල ලෙස මුරලි විජේ පිටියෙන් ඉවත් කිරීමට ආදිල් රෂීඞ් සමත් වූයේ ඔහුගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබාගනිමිනි.

ඉන් පසුව පිටියට පිවිසි කරුන් නායර්ටද වැඩි වේලාවක් පිටියේ රැදීසිටීමට ඉඩ ලබානොදුන් මුයින් අලී, කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් ලකුණු 13 ක් ලබා සිටියදී ඔහුව ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීය.

පිට පිට යවන ලද ඕවර 2 කදී පාර්තිව් පතෙල්ගේ ඉනිම ලකුණු 15 කට සීමා කිරීමට සහ රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට ජෝ රූට් සමත් විය. රූට්ගේ පන්දු හමුවේ කඩුලු රකින ක්‍රීඩක ජෙනී බෙයාස්ට්‍රෝ අතට උඩ පන්දුවක් දෙමින් පතෙල් දැවීගිය අතර කීටන් ජෙනින්ස් අතට උඩ පන්දුවක් දෙමින් අෂ්වින් දැවී ගියේය.

රවින්ද්‍ර ජදේජා (25) සහ විරාට් කෝලි අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණ සම්බන්ධතාව ලකුණු 57 කට සීමා කිරීමට ආදිල් රෂීඞ් සමත් විය. ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් දිනයේ අවසන් කඩුල්ල ලෙස දැවීයන විට ජදේජාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.


එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 400
(ඇලිස්ටෙයාර් කුක් 46, කේටන් ජෙනින්ස් 112, ජෝ රූට් 21, මුයින් අලී 50, බෙන් ස්ටොක්ස් 31, ජොස් බට්ලර් 76, ජේක් බෝල් 31, රවිචන්ද්‍රන් අෂ්වින් 112/6, රවින්ද්‍ර ජදේජා 109/4)

ඉන්දීය පළමු ඉනිම – කඩුලු 7 ක් දැවී 451
(ලෝකේෂ් රාහුල් 24, මුරලි විජේ 136, චෙතේෂ්වර් පුජාරා 47, විරාට් කෝලි නොදැවී 147, රවින්ද්‍ර ජදේජා 25, ජයන්ත් යාදව් නොදැවී 30, ජෝ රූට් 18/2, මුයින් අලී 139/2, ආදිල් රෂීඞ් 152/2)

 
- 036

 

ඉන්දියාව සාර්ථක පිළිතුරකට සැරසෙයි

සංචාරක එංගලන්ත කණඩායමට එරෙහිව මුම්බායිහිදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (8 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 146 ක් ලබා සිටියේය.

ඒ අනුව ඔවුන් තවත් කඩුලු 9 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 254 ක් පසුපසින් සිටින අතර දිනය නිමා වන විට මුරලි විජේ ලකුණු 70 ක් සහ චෙතේෂ්වර් පුජාරා ලකුණු 47 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

අද දිනයේදී 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට මුරලි විජේ සමත් වූ අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය. පුජාරාගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය. මේ වන විට ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා ඇති නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 102 කි.

මුලු ලකුණු සංඛ්‍යාව 39 ක් වන විට ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 24 ක් ලබා සිටි ලෝකේෂ් රාහුල් පිටියෙන් ඉවත් කිරීමට මුයින් අලී සමත් විය.

ඊයේ (8 වැනිදා) දිනය නිමාවන විට කඩුලු 5 ක් දැවී ලකුණු 288 ක් ලබා සිටි එංගලන්ත කණඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 112 ක් එක්කර ගත්තේය.

බෙන් ස්ටොක්ස් (31) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජොස් බට්ලර් (76) ඉන් නොනැවතී ජේක් බෝල් (31) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් එංගලන්ත කණ්ඩායම ලකුණු 400 සීමාව කරා ගෙන ගියේය.

රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට බට්ලර්ගේ 6 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වී තිබිණ.

ඉන්දීය කණ්ඩායමට වේග පන්දු යවන්නන් තිදෙනෙක් ක්‍රීඩා කළද, ඔවුන් කිසිවකු කඩුලු දවාගැනීමට සමත් නොවූ අතර එංගලන්ත ඉනිමේ කඩුලු 10 ම ඉන්දීය දඟ පන්දුයවන්නන් දෙදෙනා වූ රවිචන්ද්‍රන් අෂ්වින් සහ රවින්ද්‍ර ජදේජා අතරේ බෙදී ගියේය.

 

එංගලන්ත පළමු ඉනිම – සියලු දෙනා දැවී 400
(ඇලිස්ටෙයාර් කුක් 46, කේටන් ජෙනින්ස් 112, ජෝ රූට් 21, මුයින් අලී 50, බෙන් ස්ටොක්ස් 31, ජොස් බට්ලර් 76, ජේක් බෝල් 31, රවිචන්ද්‍රන් අෂ්වින් 112/6, රවින්ද්‍ර ජදේජා 109/4)

ඉන්දීය පළමු ඉනිම – කඩුල්ලක් දැවී 146  
(ලෝකේෂ් රාහුල් 24, මුරලි විජේ නොදැවී 70, චෙතේෂ්වර් පුජාරා 47)

 

- 036