Category Archives: WI PAK

පාකිස්තානුවන්ට හරස්වූ බ්‍රැත්වෙයිට් බාධකය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සමගින් පැවැති තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය පරාජය වීම හේතුවෙන් පාකිස්තානය අහිමි කරගත්තේ ප්‍රසාද ලකුණු 2 ක් පමණක් නොවේ. අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අතරේ මුදුනට නැගීමට තිබූ අවස්ථාවත් පාකිස්තානුවෝ අහිමි කරගත්හ. එම තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට පාකිස්තානයට හැකිවූයේ නම් යළිත් ශ්‍රේණීගත කිරීම්හී පළමු ස්ථානයට පැමිණීමට අවස්ථාවක් තිබුණී.

නවසීලන්තය සහ ඉන්දියාව අතර පසුගියදා අවසන්වූ තරගාවලිය 3-0 ක් ලෙස ජයගත් ඉන්දියානුවෝ ටෙස්ට් ශ්‍රේණීගත කිරීම්හී පළමු ස්ථානයේ සිටි පාකිස්තානය දෙවැනි ස්ථානයට ඇද දමමින් පළමු තැන හිමිකරගත්හ.

කොදෙව්වන්ට අනපේක්‍ෂිත ජයක් අත්කර දෙමින් පාකිස්තානයේ බලාපොරොත්තු සුන්කර දමන ලද්දේ අන් කිසිවකු නොව එම තරගයේ ඉනිම දෙකේදීම නොදැවී ලකුණු 202 ක් රැස්කළ ක්‍රෙග් බ්‍රැත්වෙයිට් විසිනි. මුල් ඉනිමේදී නොදැවී ලකුණු 142 ක් ලබාගත් බ්‍රැත්වෙයිට් දෙවැනි ඉනිමේදීත් නොදැවී ලකුණු 60 ක් ලබාගනිමින් ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම නොදැවී සිටි ලොව පළමු වැනි ආරම්භක පිතිකරුවා බවට පත්විය.

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගත්තද 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තද ශ්‍රී ලංකාවේ ශ්‍රේණීගත ලකුණු වල කිසිදු වෙනසක් සිදු නොවනු ඇත. එයට හේතුවී ඇත්තේ ටෙස්ට් ශ්‍රේණීගත කිරීම්හී අවසන් ස්ථානයේ සිම්බාබ්වේ කණ්ඩායම රැදී සිටීමයි. එහෙත් ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගාවලියේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා කණ්ඩායමට බලපෑමක් ඇතිකරයි.

ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර දැන් පැවැත්වෙන තරගාවලිය යම් හෙයකික් ඕස්ටේ්‍රලියාව  ජයගතහොත් ඔවුන් දෙවැනි ස්ථානයට පත්වන අතර දකුණු අප්‍රිකාව හයවැනි ස්ථානය දක්වා පසුබසිනු ඇත. දැනට හයවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවට පස්වැනි ස්ථානය දක්වා උසස්වීමක් ලැබෙනු ඇත.

නමුත් යම් හෙයකින් තරගාවලිය දකුණු අප්‍රිකාව ජයගතහොත් ඕස්ටේ්‍රලියාවට සිව්වැනි ස්ථානය දක්වා පහත වැටීමට සිදුවන්නේය.

 

ස්ථානය රට තරග ලකුණු ප්‍රසාද ලකුණු
1 ඉන්දියාව 29 3328 115
2 පාකිස්තානය 29 3151 109
3 ඕස්ට්‍රේලියාව 36 3905 108
4 එංගලන්තය 44 4631 105
5 දකුණු අප්‍රිකාව 25 2412 96
6 ශ්‍රී ලංකාව 32 3055 95
7 නවසීලන්තය 35 3189 91
8 බටහිර ඉන්දීය කොදෙව් 30 2077 69
9 බංගලාදේශය 15 978 65
10 සිම්බාබ්වේ 7 54 8

කොදෙව්වන්ට සැනසුම් සුසුමක්

පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර සාජා ක්‍රීකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ට ජයක් අත්කර ගනිමින් සැනසුම් සුසුම් හෙළීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (03 වැනිදා) සමත්විය. තෙවැනි තරගය පරාජයට පත්වුවද තරගාවලිය 2–1 ක් ලෙස ජයගැනීමට පාකිස්තානය සමත්විය.


තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ ක්‍රීඩාව නතර කරනවිට කඩුලු 5 ක් දැවී ලකුණු 114 ක් රැස්කරගෙන සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරගය ජයගැනීම සදහා තවත් ලකුණු 39 ක් අවශ්‍ය විය. අද උදෑසන තරගය ආරම්භවී ඕවර 7.5 කදී ඉලක්කය සපුරා ගැනීමට ක්‍රෙග් බ්‍රැත්වේට් සහ ෂේන් ඩවුරිච් සමත්වූහ.


ලකුණු 67 කට කඩුලු 5 ක් දැවී අසීරු තත්වයක සිටි කොදෙව් පිල ජයග්‍රහණය දක්වා රැගෙනගිය ක්‍රෙග් බ්‍රැත්වේට් සහ ෂේන් ඩවුරිච් හයවැනි කඩුල්ල සදහා ලකුණු 87 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත් වූහ.


පළමු ඉනිමේදී නොදැවී ශතකයක් (142) ලබාගත් ක්‍රෙග් බ්‍රැත්වේට් දෙවැනි ඉනිමේදීද නොදැවී අර්ධ ශතකයක් (60) ලබාගත්තේය. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක පිතිකරුවකු ඉනිම දෙකෙහිදීම නොදැවී ඉනිම අවසන් වනතුරු රැදී සිටි පළමු ක්‍රීඩකයා වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටූවීමට ක්‍රෙග් බ්‍රැත්වේට් සමත්විය.


ක්‍රෙග් බ්‍රැත්වේට්ට අනගි සහයක් ලබාදුන් ෂේන් ඩවුරිච් තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් නොදැවී අර්ධ ශතකයක් (60) රැස්කිරීමට සමත්වූයේය.


2000 වසරෙන් පසුව තම රටෙන් පිටතදී ටෙස්ට් තරග 76 කට ක්‍රීඩා කර ඇති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග 56 ක් පරාජයට පත්වී ඇති අතර තරග 3 ක් පමණක් ජයගැනීමට සමත්වී ඇත. බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ පාකිස්තානයට එරෙහිව එම ජයග්‍රහණ වාර්තා වී තිබේ.


බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් තරග 12 කට නායකත්වයදී ඇති අතර ජයගත් පළමු තරගය ලෙස මෙම තරගය වාර්තා විය.


තරගයේ වීරයා සම්මානය කොදෙව් පිලේ ක්‍රෙග් බ්‍රැත්වේට්ට හිමිවූ අතර තරගාවලියේ වීරයාට හිමි සම්මානය කඩුලු 21 ක් දවාගත් පාකිස්තාන් පිලේ යසීර් ෂා විසින් හිමිකර ගන්නා ලදී.


පාකිස්තානය පළමු ඉනිම – සියලූදෙනා දැවී ලකුණු 281 යි.

කොදෙව් පිල පළමු ඉනිම – සියලූදෙනා දැවී ලකුණු 337 යි.

පාකිස්තානය දෙවැනි ඉනිම – සියලූදෙනා දැවී ලකුණු 208යි

කොදෙව් පිල දෙවැනි ඉනිම – කඩුලූ 5 ක් දැවී ලකුණු 154 යි
(ක්‍රෙග් බ්‍රැත්වේට් නොදැවි 60, ශේන් ඩවුරිච් නොදැවී 60, යසීර් ෂා 40/3, වහාබ් රියාස් 46/2)

 

කොදෙව්වෝ පාකිස්තානු බලකොටුව සොළවති

වසර ගණනාවක් පුරා සිය දෙවැනි නිවහන බවට පත්කර ගත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සෑම තණතීරුවකම සිය ආධිපත්‍යය හිතේ හැටියට පැතිර වූ පාකිස්තානයේ බල පරාක්‍රමයට අභියෝග කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ සාජා නුවර දී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (2 වැනිදා) සත්කාරකයන්ගේ දෙවැනි ඉනිම ලකුණු 208 කට සීමා කළහ. එපමණකින් නොනැවතුණු කොදෙව්වෝ ටෙස්ට් තරගයේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 153 ක් දක්වා අඩු කරගත්තේ මේ වන විටත් පරාජය වූ තරගාවලියේ සැනසුම් සුසුමක් හෙළිමේ අවස්ථාවක් පිළිබඳ සිහින දකිමිනි.

කොදෙව් ටෙස්ට් ඉතිහාසයේ ලකුණු 200 ට වඩා අඩුවෙන් ලැබුණු ඉලක්ක 56 කින් 51 ක්ම සපුරාගෙන සිටින හෙයින් මෙම ඉලක්කය කරා යාම බැලූ බැල්මට එතරම් අපහසු එකක් ලෙස නොපෙනුණි. එහෙත් පරාජය බාරගැනීමේ කිසිදු සූදානමක් නැති පාකිස්තානුවන් අද දිනය නිමාවනවිට තරගය දෙපිලටම විවෘත එකක් බවට පත් කරමින් සංචාරකයන්ගේ කඩුලු 5 ක් ලකුණු 114 කට බිඳ දැමූහ.

කඩුලු 5 ක් අතැතිව සිටින කොදෙව් පිලට මේ ඓතිහාසික ජයග්‍රහණය අත්කරගැනීම සඳහා අවශ්‍ය වී ඇත්තේ තවත් ලකුණු 39 ක් පමණි. කොදෙව් පිලේ බලාපොරොත්තු රඳවා තබාගෙන සිටින ක්‍රෙග් බ්‍රැත්වේට් සහ ශේන් ඩවුරිච් කඩුල්ලේ රැඳී සිටිති.

පෙරේදා පස්වරුවේ තරගය නවත්වනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටි පාකිස්තානු දෙවැනි ඉනිම අද තේ පානයට පෙර නිමාවට පත් කිරීමේ පුරෝගාමීයා වූ කොදෙව් පිලේ නායක ජේසන් හෝල්ඩර් සිය තරග 20 ක ටෙස්ට් දිවියේ පළමුවතාවට කඩුලු 5 ක් දවාලමින් සියලු ගෞරව ප්‍රශංසාවල එකම හිමිකාරයා බවට පත්විය.

අද උදෑසන පිටියට පිවිසි අසාර් අලී සහ සර්ෆ්‍රාස් අහමඞ් පස්වැනි කඩුල්ලට ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත්වූවත් දේවේන්ද්‍ර බිෂූගේ පන්දුවකින් සර්ෆ්‍රාස් දැවීයාමෙන් පසුව සෙසු පිතිකරුවන්ගෙන් අසාර් අලීට කිසිදු සහයක් නොලැබිණ.

මොහොමඞ් නවාස් පමණක් අසාර් අලී සමග එක්ව යන්තම් 6 වැනි කඩුල්ලට ලකුණු 41 ක් එකතු කිරීමට සමත්වූවත් මුලු ලකුණු සංඛ්‍යාව 175 ක්ව තිබියදී ඔහුගේ දැවීයාමෙන් පසුව ඉතිරි කඩුලු 4 ම ලකුණු 33 ක් ඇතුළත බිඳ වැටුණේ හෝල්ඩර්ට කඩුලු 5 සම්පූර්ණ කර දෙමිනි.


පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 281 යි.
කොදෙව් පිල පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 337 යි.
පාකිස්තානය දෙවැනි ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 208යි

(අසාර් අලී 91, සර්ෆ්‍රාස් අහමඞ් 42, ජේසන් හෝල්ඩර් 30/5, දේවේන්ද්‍ර බිෂූ 46/3)

කොදෙව් පිල දෙවැනි ඉනිම – කඩුලු 5 ක් දැවී ලකුණු 114 යි
(ක්‍රෙග් බ්‍රැත්වේට් නොදැවි 44, ශේන් ඩවුරිච් නොදැවී 36, වහාබ් රියාස් 30/2, යසීර් ෂා 30/3)


- 077

 

බ්‍රැත්වෙයිට් කොදෙව් සටනට පණපොවයි

ක්‍රෙග් බ්‍රැත්වේට්ගේ ධෛර්යවත් ක්‍රීඩා විලාසය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත් වන විට පාකිස්තානුවන්ගේ නළළත රැළි නැංවීමට කොදෙව්වෝ සමත් වූහ. පාකිස්තානු පිල මුල් ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 281 ක් වූවත් දෙවැනි දින ක්‍රීඩාව නතර කරන විට කොදෙව් පිල කඩුලු 6 ක් දැවී ලකුණු 244 ක්  ලබා සිටියේය.


තවමත් 24 හැවිරිදි කොදෙව් ආරම්භක පිතිකරුවා සිය පස්වැනි ටෙස්ට් ශතකය පෙනෙන තෙක් මානයට සේන්දු වීමට ද සමත්විය.


එක් අන්තයකින් පිතිකරුවන් දඩයම් කිරීමට පටන් ගත් පාකිස්තානු පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් වූ බ්‍රැත්වේට් අනික් අන්තයෙන් සිය කඩුල්ල රැක ගනිමින් නිරත වූ අගනා ඉනිම කාගෙත් පැසසුමට ලක්වූ එකකි.


පෙරේදා දිනය නිමාවනවිට කඩුලු 8 ක් දැවී ලකුණු 255ක් ලබා සිටි පාකිස්තානු ඉනිම ඊයේ උදෑසන ඕවර 7 ක් ඇතුළත නිමාවට පත් කිරීමට කොදෙව්වෝ සමත් වූහ.


කොදෙව් පිතිකරුවන් සිවුදෙනකුම ලකුණු 68 ක් තුල ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට පාකිස්තානුවන් සමත්වූවත් අංක 6 න් පිටියට පැමිණි රොස්ටන් චේස් සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 83 ක සැනසිලිදායක සම්බන්ධතාවක් ගොඩනැගීමට බ්‍රැත්වේට් සමත්විය. ඔහුට අගනා සහයක් දුන් චේස් ඉතා නිර්භිතව පාකිස්තානු පන්දු යවන්නන්ට මුහුණදුන් අතර මොහොමඞ් ආමීර්ගේ පන්දුවක් හමුවේ දැවීයද්දී සිය අර්ධ ශතකය සම්පූර්ණ කොට තිබිණි.


කඩුලු රකින පිතිකරු ශේන් ඩවුරිච් හා එක්ව 6 වැනි කඩුල්ලටත් ලකුණු 83 ක් එක් කරමින් මුලු ලකුණු සංඛ්‍යාව 234 දක්වා ඉහළ දැමුවේය. ඊට පන්දු ඕවර 4 කට පසුව දිනය හමාර වනවිට නායක ජේසන් හෝල්ඩර් හා එක්වෙමින් ඉනිම නැවතත් පිළිසකර කිරීමේ රාජකාරියට උරදෙමින් සිටියේය.


දෙවැනි දින ක්‍රීඩාව නතර කරන විට කොදෙව්වන් පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 37 කින් පසුපසින් සිටියද පාකිස්තානයට අභියෝග කළ හැකි ඉනිමක් කරා යාමට තවත් කඩුලු 4ක් ඔවුන් සතුව තිබිණ.


පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 281යි.
(සමි අස්ලම් 74, යූනිස් ඛාන් 51, මිස්බා උල් හක් 53, සර්ෆ්‍රාස් අහමඞ් 51, ෂැනොන් ගේබි්‍රයල් 67/3, දේවේන්ද්‍ර බිෂූ 77/4)


කොදෙව් පිල පළමු ඉනිම – කඩුලු 6ක් දැවී ලකුණු 244යි.
(ක්‍රෙග් බ්‍රැත්වේට් නොදැවී 95, රොස්ටන් චේස් 50, ශේන් ඩවුරිච් 47, මොහොමඞ් ආමීර් 44/2, වහාබ් රියාස් 65/2, යසිර් ෂා 56/1, සුල්ෆිකාර් බාබර් 45/1)

 

-077

 

පාකිස්තානුවෝ තවත් සුද්දයකට සූදානම් වෙති

විස්සයි20 සහ එක්දින තරගාවලි දෙකේදීම තරග 3-0 කින් බටහිර ඉන්දීය කොදෙව් පිල සම්පූර්ණයෙන්ම සුද්ද කළ පාකිස්තානය සිය නොමසුරු සත්කාරකත්වය මැද තුන්වැනි වරටත් සංචාරකයන්ව එහෙම පිටින්ම සුද්ද කිරීමේ අරමුණින් හෙට (30) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා  ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙයි. හෙට ආරම්භ වන්නේ දෙපිල අතර තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයයි.

මිස්බා උල් හක්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තානු පිල ඉදිරියේ දැනටමත් තරග 2-0 කින් ටෙස්ට් තරගමාලාව පරාජයට පත්වී සිටින කොදෙව් පිලේ අරමුණ වී ඇත්තේ හෙට ඇරැඹෙන ටෙස්ට් තරගය ජයගෙන සැනසිලිදායක මානසිකත්වයෙන් නැවත ගෙදර යාමටය. අඩුතරමේ තරගය පරාජය නොවී සිටීමට වත් කොදෙව්වන්ට හැකිවුවහොත් එයද සැනසීමක් වනු ඇත.

එසේ වුවත් වසර 2014 දී නවසීලන්තයට පරාජය වූවාට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ප්‍රතිවාදින් හමුවේ ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති පාකිස්තානය හෙට තරගයේ දී අබිබවා යාමට කොදෙව් පිල සමත්වනු ඇතැයි මෙතෙක් කිසිදු අනාවැකියක් පළවී නැත. හැම අනාවැකියකින්ම කියැවෙන්නේ කොදෙව් පිලට හිස් අතින්ම නැවත ගම්බිම් කරා යාමට සිදුවනු ඇති බවයි.

ජයපරාජය කෙසේ වුවත් හෙට ඇරැඹෙන්නේ මිස්බා උල් හක් නායකත්වය දරන 49 වැනි ටෙස්ට් තරගයයි. එය ටෙස්ට් තරග 48 කදී කණ්ඩායම මෙහෙයවමින් පාකිස්තානය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක දී නායකත්වය දැරූ ක්‍රීඩකයා ලෙස වාර්තාපොතේ ඉදිරියෙන්ම සිටි ඉම්රාන් ඛාන් අභිබවා යාමකි.  

පාකිස්තාන ඉදිරිපෙළ පිතිකරු හමුදාවේ අසාර් අලී, සමි අස්ලාම්, මිස්බා උල් හක්, යූනිස් ඛාන් සහ අසාඞ් ශෆීක් සියලු දෙනාම ලකුණු අතරේ සිටිති. මෙතෙක් ප්‍රතිවාදීන්ගේ කඩුලු 17 ක්ම උදුරා ගනිමින් කොදෙව්වන්ට දැඩි හිසරදයක් බවට පත්වී සිටින යසීර් ෂා මෙන්ම වහාබ් රියාස්, මොහොමඞ් ආමීර්, රහත් අලී, සොහේල් ඛාන් සහ මොහොමඞ් නවාස් පන්දු යවන්නන් වශයෙන් අකුරටම රාජකාරිය ඉටු කරමින් සිටිති. එබැවින් සත්කාරකයන්ගෙන් එල්ලවන පීඩනය හමුවේ නොසැලී සිටීම කොදෙව්වන්ට ලෙහෙසි වන්නේ නොවේ.  

පාකිස්තානයට සාපේක්ෂව බටහිර ඉන්දීය කොදෙව් පිලේ ශක්තිමත්භාවය අස්ථාවර එකක් වූවත් ඔවුන් පරාජය කිරිමට ඉස්පාසුවක් නොමැතිව බලා සිටින පාකිස්තානුවන්ට පසුගිය තරග 2 දීම කොදෙව් පිල පරාජයෙන් බේරීමට දුන් සටනත් අමතක නොවේ.

ඩැරන් බ්‍රාවෝ, ජර්මේන් බ්ලැක්වුඞ්, ක්‍රෙග් බ්‍රැත්වේට් සහ මාලන් සැමුවෙල්ස්ට හෙට තරගයේදී පැවැරී ඇත්තේ බරපතල වගකීම් සමුදායකි. සමස්ත කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ බලවේගය ලෙස ඔවුන් හෙට තරගයේදි රැස් කරන ලකුණු සංඛ්‍යාව මත පන්දු යැවීමේ සගයන්ගේ ආත්ම විශ්වාසය රඳා පවතිනු ඇත.


පාකිස්තානු කණ්ඩායම
මිස්බා උල් හක් (නායක), අසාඞ් ශෆීක්, අසාර් අලී, ඉම්රාන් ඛාන්, සැමි අස්ලාම්, සර්ෆ්‍රාස් අහමඞ්, සොහේල් ඛාන්, වහාබ් රියාස්, යසීර් ෂා, මොහොමඞ් නවාස්, යූනිස් ඛාන්.


කොදෙව් කණ්ඩායම
ජේසන් හෝල්ඩර් (නායක), ක්‍රෙග් බ්‍රැත්වේට්, ලියොන් ජොන්සන්. ඩැරන් බ්‍රාවෝ, මාලන් සැමුවෙල්ස්, ජෙරමින් බ්ලැක්වුඞ්, රොස්ටන් චේස්, ෂැනොන් ගේබ්්‍රයෙල්, දේවේන්ද්‍ර බිෂූ, ශේන් ඩවුරිච්, ඇල්සාරී ජොශප්.


- 077

 

පාකිස්තානුවෝ ටෙස්ට් තරගාවලිය දිනති

සිය කණ්ඩායම පරාජයේ ආගාධයෙන් ගොඩ ගැනිමට කොදෙව් පිලේ අගපෙළ පිතිකරුවන්ගේ සියලූ උත්සාහයන් ව්‍යවර්ථ කළ යසීර් ෂා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශේක් සයිඞ් කී‍්‍රඩාංගණයේ දී අද නිමාවට පත්වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 133 ක විශිෂ්ට ජයක් සිය කණ්ඩායමට අත්කර දුන්නේය.

මේ ජයග‍්‍රහණයත් සමග තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 2-0 කින් ලෙසින් වේලාසනින්ම ජයගැනීමට පාකිස්තානයට හැකිවිය.

සිය දගපන්දු දැලෙන් සංචාරකයන් එහෙම පිටින්ම වෙලා දැමූ 30 හැවිරිදි පන්දු යවන්නා අද පස්වරුවේදී නිදහසේ තේ පානය කිරීමට සිය කණ්ඩායමට ඉඩ සලසා දුන්නේ කඩුලූ 6 ක්ම බිඳ දමමිනි. කොදෙව් පිලේ අගපෙළ පිතිකරුවන් ඇද බැඳ තබාගත් හෙතෙම වැරැදි පහරවල් කරා යාමට ප‍්‍රතිවාදින් පොළඹවා ගත්තේ කළින් සැලසුම් කළ පරිද්දෙනි.

ඔහුගේ මේ උගුලට හසුවූ කොදෙව් පිලේ අගපෙළ පිතිකරුවන්ට කඩුල්ල බේරා ගැනීමට සෑහෙන සටනක් දීමට සිදුවෙද්දී අනෙක් අන්තයෙන් පන්දු යැවීමට පටන්ගත් සුල්ෆිකාර් බාබර් ගෙන දුන්නේ ඊට නොදෙවැනි අන්දමේ පීඩනයකි.

ඊයේ දිනයේ නොදැවි සිටි මැදපෙළ පිතිකරු ජර්මේන් බ්ලැක්වුඞ් පාකිස්තානුවන්ගේ ජයග‍්‍රහණය තරමක් පමා කරන්නට සමත්වූවත් යසීර් ෂාගේ පන්දුවකින් කඩුල්ල බිඳ දමාගත්තේ සටන්කාමී ශතකයකට ලකුණු 5 ක් අඩුවී තිබියදීය.

මිගෙල් කමින්ස්ගේ කඩුල්ල දවාගනිමින් මේ තරගයේ සිය කඩුලූ 10 සම්පුර්ණ කිරීමට ද යසීර් ෂා  සමත්විය.

කොදෙව් පිලේ අවසන් භාගය එක් කොනකින් සිරකොට තබාගැනීමට සමත්ව සිටි දේවේන්ද්‍ර බිෂූ වරදට පොළඹවා ගත් බාබර් කොදෙව් ඉනිම නිමාවට පත්කළේ මතක සටහන් ලෙස කඩුලූ ගලවා ගැනීමට පුල පුලා බලා සිටි සිය කී‍්‍රඩකයන්ගේ බලාපොරොත්තු ඉටු කරමිනි.

දැන් සත්කාරකයන්ගේ එකම අරමුණ වී ඇත්තේ ලබන 30 වැනිදා සාජා නුවර දී ආරම්භ වන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ ජය ලබා සමස්ත තරගමාලාවෙන්ම කොදෙව් පිල සුද්ද කිරිමටය.

පාකිස්තානය පළමු ඉනිම – සියලූදෙනා දැවී ලකුණු 452

කොදෙව් පිල පළමු ඉනිම – සියලූදෙනා දැවී ලකුණු 224

පාකිස්තානය දෙවැනි ඉනිම – කඩුලූ 2ක් දැවී ලකුණු 227

කොදෙව් පිල දෙවැනි ඉනිම – සියලූදැවී ලකුණු 322

(ක්‍රෙග් බ‍්‍රැත්වේට් 67, මාලන් සැමුවෙල්ස් 23, ජර්මේන් බ්ලැක්වුඞ් 95, ශායි හෝප් 41, දේවේන්ද්‍ර බිෂූ 26, රහත් අලි 69/1, යසීර් ෂා 124/6, සුල්ෆිකාර් බාබර් 51/2, මොහොමඞ් නවාස් 29/1)

 

- 077

 

පාකිස්තානුවෝ තවත් ජයකට මාවත සරසති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේ තණතීරුව පන්දු යවන්නන්ට කොහෙත්ම බුරුලක් නොපෙන්වූවත් හදිසි ආක්‍රමණයකින් මුල්පෙළ පිතිකරුවන් සිවුදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ පාකිස්තානු ක්‍රීඩකයෝ බටහිර ඉන්දීය කොදෙව් පිල ඇදගෙන යමින් සිටිති.


කඩුලු 2 ක් පමණක් බිඳ වැටී ලකුණු 227 ක් ලබා පළමු ඉනිමේ වාසියත් සමගින් ලකුණු 456 ක අසීරු ඉලක්කයක් සංචාරකයන්ට දුන් සත්කාරකයෝ දැන් කුරුමානම් අල්ලමින් සිටින්නේ තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ ජය 2–0 ක් ලෙසින් වේලාසනින්ම අත්පත් කර ගැනීමටය.


ඊයේ උදෑසන සිටම ශෙයික් සයිඞ් තණතීරුවේ සැඟවී තිබූ ලකුණු මල්ල එළියට ඇද ගත් අසාර් අලී සහ අසාඞ් ශෆීක් දෙවැනි කඩුල්ලට ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ. අසාර්ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි නායක මිස්බා උල් හක් තරගයේ ප්‍රතිඵලයක් දැක බලා ගැනීමට ඇති තරම් කාලය ඉතිරි කරගනිමින් ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ශෆීක් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 63 ක නොබිඳුණු සම්බන්ධතාවක් ද ගොඩ නැගීමෙන් පසුවය.


දිවා ආහාරයෙන් පසුව ඉනිම ආරම්භ කළ කොදෙව් පිලේ ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වේට් සටන්කාමී අර්ධ ශතකයක් රැස් කිරිමට සමත්වූවත් දිනය හමාර වීමට පෙර ඔහු දවාලමින් කොදෙව් පිලට නොසිතූ පීඩනයක් ගෙනදීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වූහ. ඉතා විශ්වාසනීය අයුරින් පිත්ත හැසිර වූ බ්‍රැත්වේට් අලංකාර ඩ්‍රයිව් පහරවලින් මෙන්ම පන්දුව තල්ලු කර හරිමින්ද සත්කාරක පන්දු යවන්නන්ගේ ඉවසීම පරික්ෂා කර බැලුවේය.


ඔහු යසිර් ෂාට, මොහොමඞ් නවාස්ට සහ සුල්ෆිකාර් බාබර්ට මුහුණදුන් ආකාරය කොදෙව් කඳවුරේ විශ්වාසය ඉහළ දැමීමට තරම් සමත්වූ එකක් විය. එහෙත් පාකිස්තානු පිලේ එකිනෙකට වෙනස් ආකාරයේ පන්දු යැවීමේ අභියෝගය හමුවේ එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී බ්‍රැත්වේට් කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයකට ඇද වැටිණි.


කෙසේ වෙතත් තරගය ජයගැනීමට නම් පාකිස්තානු පිලට අවසන් දිනයේදී අවශ්‍ය වන්නේ කඩුලු 6 ක් පමණි. ඒ සඳහා ඕවර 90 ක් ඉතිරිව තිබේ. කොදෙව් පිල තරගය ජයගැනීමට නම් ඉතිරි කඩුලු 6 ත් පරෙස්සම් කරගනිමින් තවත් ලකුණු 285 ක් ලබාගත යුතුය. එය සුළුපටු අභියෝගයක් නොවේ.


පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 452 යි.

කොදෙව් පිල පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 224 යි.

පාකිස්තානය දෙවැනි ඉනිම – කඩුලු 2ක් දැවී ලකුණු 227 යි.
(සැමි අස්ලම් 50, අසාර් අලී 79, අසාඞ් ශෆීක් නොදැවි 58, මිස්බා උල් හක් නොදැවී 29, ෂැනොන් ගේබි්‍රයල් 36/1, මිගේල් කමින්ස් 26/1)

කොදෙව් පිල දෙවැනි ඉනිම – කඩුලු 4 ක් දැවී ලකුණු 171 යි
ක්‍රෙග් බ්‍රැත්වේට් 67, මාලන් සැමුවෙල්ස් 23, ජර්මේන් බ්ලැක්වුඞ් නොදැවී 41, රහත් අලි 40/1, යසීර් ෂා 60/2, මොහොමඞ් නවාස් 14/1)
    
-077

පාකිස්තානුවෝ ලකුණු 342 ක් ඉදිරියෙන්

ලකුණු ගලා ඒම බෙහෙවින් මන්දගාමී වූවත් පිත්ත සහ පන්දුව අතර කදිම පොරයක් නිර්මාණය කළ පාකිස්තානු – බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය පුරා දෙපිලටම රැස් කිරීමට හැකිවූයේ ලකුණු 232 ක් පමණි. ඒ අතරතුර කාලයේ දෙපාර්ශවයෙන්ම කඩුලු 5 කුත් බිඳ වැටිණි.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශේක් සයිඞ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයත් ජයගැනීම සඳහා කොදෙව්වන්ට ඉලක්කයක් දීමේ අරමුණ ඇතිව පිති අතට ගත් පාකිස්තානුවෝ තුන්වැනි දිනය නිමා වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 114 ක් ලබා සිටියහ.

ඊයේ උදෑසන සිටම පාකිස්තානු පන්දු යවන්නන්ගේ විවිධාකාර පන්දු හමුවේ දුෂ්කරතා රැසකට මුහුණ දුන් කොදෙව් ක්‍රීඩකයෝ දිවා ආහාරය වෙද්දී කඩුලු 6 කට ලකුණු 151 ක් ලබා සිටියත් ඕවර 80 න් පසුව නව පන්දුව ලබාගත් පාකිස්තානුවන් තවත් ඕවර 14 කදී කොදෙව්වන්ගේ ඉතිරි කඩුලු 4 ම බිඳ දැමුවේ ලකුණු 75 ක් ඇතුළතදීය.

පාකිස්තානුවන්ගේ පන්දු යැවීමේ ගුණදොස් විවරණයක යෙදෙන්නට සිදුවූ කොදෙව් පිලට හරහට හිටියේ සොහේල් ඛාන්, යසීර් ෂා සහ රහත් අලීය. මේ තිදෙනා එක්ව කොදෙව්වන් සිරකොට තැබුවා පමණක් නොව ඔවුන් අතර කඩුලු 9 ක් ද බෙදා ගත්හ. ඉන් හතරක්ම අත්පත්කරගනු ලැබුවේ යසීර් ෂා විසිනි.

කඩුලු අතර සම්බන්ධතා ඇති කරගැනීමට ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් නොදුන් පාකිස්තානුවන් එවැනි උත්සාහයක් දැරූ සෑම අවස්ථාවකදීම ආපසු ක්‍රීඩාගාරයට යන්නට පිතිකරුවකුට සිදුවිය.

තේ පානයට පෙර සිය දෙවැනි ඉනිම ආරම්භ කළ පාකිස්තානුවන් දිනය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී පළමු කඩුල්ල බිඳ දමා ගත්තේ නිරපරාදේය. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අර්ධ ශතක රැස් කිරීමට සමත්වූ අතර පළමු කඩුල්ලට ලකූණු 93 ක් ද එකතු කළහ. දවසේ තුන්වැනි භාගය වෙද්දී තණතීරුව ඉතාමත් මන්දගාමී වූ අතර ලකුණු රැස් කිරීමට අසාර් අලීටත්, සමි අස්ලාම්ටත් සෑහෙන සටනක් දීමට සිදුවී තිබිණි.

අර්ධ ශතකය රැස් කිරිමෙන් පසුව ෂැනොන් ගේබි්‍රයල්ගේ පන්දුවක් හමුවේ සමී අස්ලාම් දැවීයාමෙන් පසුව අසාර් අලී ද සිය අර්ධ ශතකය රැස් කිරීමට සමත්වූ අතර  නොදැවී කඩුල්ල රැකගැනීමටත් සමත්විය. යූනිස් ඛාන් වෙනුවට අංක 3 න් ඊයේ පිටියට ආවේ අසාඞ් ශෆීක්ය.

ඉරිදා තේ පානයට පෙර පන්දුවෙන් දස්කම් පෑ පාකිස්තානුවෝ දිනයේ අවසන් භාගයේ දී පිත්තෙන් ද ඉහළ දස්කම් පෙන්වීමට සමත් වූහ. දිනය නිමා වන විට පාකිස්තානුවන් තවත් කඩුලු 9 ක්ම අතැතිව ලකුණු 342 ක්ම ඉදිරියෙන් පසුවෙති.


පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 452 යි.
(අසාඞ් ශෆීක් 68, යූනිස් ඛාන් 127, මිස්බා උල් හක් 96, සර්ෆ්‍රාස් අහමඞ් 56, මොහොමඞ් නවාස් 25, සොහේල් ඛාන් 26, ෂැනොන් ගේබි්‍රයල් 96/5, ජේසන් හෝල්ඩර් 47/3)

කොදෙව් පිල පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 224 යි.
(ඩැරන් බ්‍රාවෝ 43, මාලන් සැමුවෙල්ස් 30, ජේසන් හෝල්ඩර් නොදැවී 31, රහත් අලී 45/3, සොහේල් ඛාන් 35/2, යසීර් ෂා 86/4)

පාකිස්තානය දෙවැනි ඉනිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 114 යි.
(සමි අස්ලම් 50, අසාර් අලී නොදැවි 52, ෂැනොන් ගේබි්‍රයල් 21/1)


- 077

 

යුනිස් – මිස්බා පැරණි වයින් වල රස කියාදෙති

පැරැණි වයින් වඩාත් රස බැව් කොදෙව් ක්‍රීඩකයන්ට අපූරුවට කියා දුන් පාකිස්තානයේ යූනිස් ඛාන් සහ නායක මිස්බා උල් හක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ශේක් සයිඞ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වනවිට පාකිස්තානු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 304  දක්වා ඉහළට ඔසවා තැබීමට සමත්වූහ.

මේ පරිණත පිතිකරුවන් දෙදෙනා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 175 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූ අතර ඒ අතරින් කැපී පෙනෙන පිතිකරු බවට පත්වූ යූනිස් ඛාන් තරගයට එක්වූයේ ඩෙංගු උණ වැළඳී සති කිහිපයක්ම කණ්ඩායමෙන් ඉවත්වී සිටීමෙන් පසුවය.

කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් පාකිස්තානයට ආරම්භය කිසිසේත්ම සුබ එකක් නොවීය. ෂැනොන් ගේබි්‍රයල්ගේ සහ දේවේන්ද්‍ර බිෂූගේ පන්දු හමුවේ කඩුලු බිඳ දමාගත් සැමි අස්ලම් ලකුණු 6 කටත්, අසාර් අලී ලකුණු නොලබාත් දැවීයාමෙන් පසුව සත්කාරකයෝ අන්දමන්ද වූහ.

එහෙත් අසාඞ් ශෆීක් සමග එක්වූ යූනිස් ඛාන් පාකිස්තානු ඉනිම 129 දක්වා ඉහළ දැමුවේ තුන්වැනි කඩුල්ලට ලකුණු 87 ක සම්බන්ධතාවක්ද ගොඩ නඟමිනි.

ඉතාමත් හොඳින් පන්දුවට මුහුණු දෙමින් සිටි අසාඞ් ශෆීක් ගේබි්‍රයල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීයාමෙන් පසුව පිටියට පැමිණි නායක මිස්බා උල් හක් එන එන කොදෙව්  පන්දු යවන්නාට දඬුවම් කරමින් සිටි සිය සගයාට දුන්නේ අමිල සහයෝගයකි.

මේ දෙදෙනා එක්ව පාකිස්තානු ඉනිම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට තල්ලු කළේ සිවුවැනි කඩුල්ලට ලකුණු 175 ක අනගි සම්බන්ධතාවක් ගොඩ නගමිනි.

ක්‍රෙග් බ්‍රැත්වේට්ගේ පන්දුවකට රොස්ටන් චේස් වෙත දුන් උඩපන්දුවකින් යූනිස් ඛාන් දැවීයද්දී පන්දු 205 කට මුහුණ දෙමින් හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමග සිය 33 වැනි ටෙස්ට් ශතකය වාර්තා පොතට ඇතුළත් කිරීමට මෙම ජ්‍යෙෂ්ඨ පිතිකරුවා සමත් වී සිටියේය.

අවුරුදු 39 යේ එළිපත්තේ සිටින මේ ජ්‍යෙෂ්ඨ දකුණත් පිතිකරුවා අද සිය තාරුණ්‍යයේ දී මෙන්ම ඉවක් බවක් නොමැතිව කොදෙව් පන්දු යවන්නන් හඹා යාම කැපී පෙනුණි. මෙයින් වසර 16 කට ඉහතදී, ශ්‍රී ලංකාවට එරෙහිව රාවලිපිණ්ඩිහිදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ යුනිස් ඛාන් එහිදීද දෙවැනි ඉනිමේ ශතකයක් ලබාගත්තේ මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් පිතිකරුවන්ගේ සමාජයට ඇතුළත් වෙමිනි. නිතරම සිනා මුසු මුහුණින් සිටින, දැඩි ඉස්ලාම් භක්තිකයකු වන යුනිස් ඛාන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අතර ජනප්‍රියව ඇත්තේ ‘සිනා ඛාන්’ ලෙසිනි.

පිටියේ ආලෝක තත්තවය මඳවීම නිසා දවසේ නියමිත ඕවර ප්‍රමාණයට ඕවර 6 ක් අඩුවෙන් තරගය නිමාවට පත්වනවිට ඔහුට අගනා සහයක් ලබා දෙමින් සිටි 42 හැවිරිදි නායක මිස්බා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ශතකයට ලකුණු 10ක් අඩුවෙනි.


පාකිස්තානය පළමු ඉනිම – කඩුලු 4ක් දැවී ලකුණු 304 යි.
(අසාඞ් ශෆීක් 68, යූනිස් ඛාන් 127, මිස්බා උල් හක් නොදැවී 90, ෂැනොන් ගේබි්‍රයල් 43/2, දේවේන්ද්‍ර බිෂූ 92/1, ක්‍රෙග් බ්‍රැත්වේට් 36/1)


- 077

 

දඟ පන්දු යවන්නෝ කරළියට පිවිසෙති

ආසියානු ටෙස්ට් කි‍්‍රකට් පිටියේ මංගල දිවා රාතී‍්‍ර ටෙස්ට් තරගයට හිටි හැටියේම ජීවය කැවූ කොදෙව් සහ පාකිස්තානු දග පන්දු යවන්නෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමාවනවිට තරගයේ ස්වභාවය එහෙම පිටින්ම කණපිට හරවා දැමීමට සමත්වූයේ අසාමාන්‍ය ලෙස දවසේ බිඳ වැටුණු කඩුලූ 16 න් 11 ක් ම බෙදා හදා ගනිමිනි.

පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙසින් ආරම්භයේ සිට පෙනෙන්නට තිබූ මේ තරගයේ සිවුවැනි දිනය දගපන්දු යවන්නන්ගේ තෝතැන්නක් බවට මුලින්ම පත්කරගත් පාකිස්තානයේ යසීර් ෂා කොදෙව් පිලේ පළමු ඉනිමේ ඉතිරිව තිබූ කඩුලූ 4 න් 3 ක්ම දවාලූයේ සිය ටෙස්ට් තරග දිවියේ කඩුලූ 100 සම්පූර්ණ කරමිනි. එය ඔහු ටෙස්ට් ඉනිමක දී කඩුලූ 5ක් දවාලූ 7 වැනි අවස්ථාව ලෙස වාර්තාපොතට එක්විය.

සිය 17 වැනි ටෙස්ට් තරගයේදී මේ හපන්කම කළ හෙතෙම අඩුම ටෙස්ට් තරග ප‍්‍රමාණයකින් කඩුලූ 100 සම්පූර්ණ කළ දෙවැනි පන්දු යවන්නා ලෙස වාර්තා පොතට නම දමාගත්තේය. මීට පෙර 18 වැනි සියවසේ අගභාගයේ එංගලන්තයේ හිටපු පන්දු යවන්නකු වූ ජෝර්ජ් ලෝමෑන් ටෙස්ට් තරග 16 කින් කඩුලූ 100 සම්පූර්ණ කරමින් වේගවත්ම කඩුලූ 100 වාර්තාවට හිමිකම් කියයි.

එහි දෙවැනි තැනට යසීර් ෂා එක්වූයේ 18 වැනි සියවසේ අගභාගයේදීම  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් පන්දු යැවූ චාලි ටර්නර්, එංගලන්තයේ සිඞ්නි බාන්ස් සහ  ඕස්ටේ‍්‍රලියාවේ ක්ලියරි ගි‍්‍රමෙට් සමග සමග එකම කුලකයකට ඇතුළත් වෙමිනි.

අනතුරුව ලකුණු 221 ක වාසියක් ද සමග සිය දෙවැනි ඉනිම ආරම්භ කළ පාකිස්තානය අන්දමන්ද කළ කොදෙව් පිලේ 31 හැවිරිිදි වමත් දගපන්දු යවන්නා වන දේවේන්ද්‍ර බිෂූ සත්කාරකයන්ගේ ඉනිම වනසා දමමින් කඩුලූ 8 ක් දවාලීමට සමත්විය. එය ආසියානු ටෙස්ට් පිටියට ඇවිත් එවැනි හපන්කමක් කළ දෙවැනියා ලෙස බිෂු වාර්තාපොතට රැගෙන ගියේය.

මීට පෙර 1996 ඉන්දියාවේ කල්කටා නුවර ඊඞ්න් ගාඞ්න්හී දී දකුණු අපි‍්‍රකාවේ ලාන්ස් ක්ලූස්නර් ලකුණු 64 කට කඩුලූ 8 ක් දවාලීමට සමත්වී තිබිණි. බිෂූගේ විස්මිත පන්දු යැවීමට හසුවූ පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 123 කදී බිඳ වැටුණේ රාතී‍්‍ර ආහාරයෙන් මොහොතකට පසුවය.

ඉනිමේ ආරම්භයේ සිටම පාකිස්තානුවන්ට හුස්මක් ගැනීමට ඉඩ නොතැබූ කොදෙව් ද`ග පන්දු යවන්නා විසින් අසාඞ් ශෆීක් ලකුණු 5 කට දවාලමින් ආරම්භ කළ කඩුලූ දඩයම නතර වූයේ අවසන් පිතිකරු මොහොමඞ් ආමීර්ගේ කඩුල්ලත් බිඳ දමමිනි. සමි අස්ලාම් සමග බාබර් අසාම්, නායක මිස්බා උල් හක් සහ සර්ෆ‍්‍රාස් අහමඞ් හැරෙන්නට වෙනත් පිතිකරුවකුට ලකුණු 10 සීමාවටවත් ළ`ගාවීමට ඔහු ඉඩ තැබුවේත් නැත.

කෙසේවෙතත් ලකුණු 346 ක ඉලක්කයක් අතැතිව ඊයේ දිනයේ අවසන් භාගයේ සිය දෙවැනි ඉනිම ආරම්භ කළ කොදෙව් පිල තරගය නතර කරද්දී කඩුලූ 2 ක් බිඳ වැටී ලකුණු 95 ක් ලබා සිටියේය. ජයග‍්‍රහණය සඳහා අද දිනයේදී කොදෙව් පිලට තවත් ලකුණු 251 ක් අවශ්‍ය වී ඇති අතර ඒ සඳහා පාකිස්තානයට තවත් කඩුලූ 8 ක් අවශ්‍යවී තිබේ.

පාකිස්තානය පළමු ඉනිම – කඩුලූ 3ක් දැවී ලකුණු 579
(සමී අස්ලාම් 90, අසාර් අලී නොදැවී 302, අසාඞ් ශෆීක් 67, , බාබර් අසාම් 69, මිස්බා උල් හක් නොදැවී 29, දේවේන්ද්‍ර බිෂූ 125/2, රොස්ටන් චේස් 109/1)

කොදෙව් පිල පළමු ඉනිම – සියලූදෙනා දැවී ලකුණු 357
(ක්‍රෙග් බ‍්‍රැත්වේයිට් 32, ඩැරන් බ‍්‍රාවෝ 87, මාලන් සැමුවෙල්ස් 76, ජර්මේන් බ්ලැක්වුඞ් 37, ෂේන් ඩවුරිච් 32,, සොහේල් ඛාන් 56/1, යසීර් ෂා 121/5, වහාබ් රියාස් 65/2, මොහොමඞ් නවාස් 38/2)

පාකිස්තානය දෙවැනි ඉනිම – සියලූදෙනා දැවී ලකුණු 123
(සැමී අස්ලාම් 44, බාබර් අසාම් 21, දේවේන්ද්‍ර බිෂූ 49/8)

කොදෙව් පිල දෙවැනි ඉනිම – කඩුලූ 2 ක් දැවී ලකුණු 95
(ලියොන් ජොන්සන් 47, ඩැරන් බ‍්‍රාවෝ නොදැවී 26, මොහොමඞ් ආමීර් 26/2)
    


-077