Category Archives: SA AUS

කවාජාගේ ශතකයෙන් ඕස්ට්‍රේලියානුවෝ ඉදිරියට

උස්මන් කවාජාගේ ශතකයක් සිය මංගල ටෙස්ට් තරගයේදීම පීටර් හෑන්ස්කෝම්බ් ලබාගත් අර්ධ ශතකයත් නිසා පෙරමුණට පැමිණි ඕස්ටේලියානුවෝ ටෙස්ට් තරගාවලියේ පළමු වතාවට දකුණු අප්‍රිකානුවන්ට පරාජයේ අනතුරු ඇඟවීම කළහ. දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඇඞ්ලේඞ් ඕවල් පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (25 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සත්කාරක ඕස්ටේ්‍රලියනු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 307 ක් ලබා සිටියේය.


දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක් වන මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 259 ක් ලබා සිය මුල් ඉනිම අවසන් කළ හෙයින් සත්කාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම මේ වන විට කඩුලු 4 ක් අතැතිව ලකුණු 48 ක් ඉදිරියෙන් සිටී.


දකුණු අප්‍රිකානුවන්ගේ පන්දු 285 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 138 ක් ලබාගත් කවාජා සිය ටෙස්ට් දිවියේ පස්වැනි ශතකය සමපූර්ණ කළේ තරගාවලියේ පළමු වතාවට සංචාරකයන්ට වඩා තම කණ්ඩායම ඉදිරියට ගෙන යමිනි.


නවක පිතිකරු මැතිව් රැන්ෂෝ (10) සහ ඬේවිඞ් වෝනර් (11) දෙදෙනාම ලකුණු 37 ක් තුළදී ආපසු ක්‍රීඩාගාරයට ගිය නමුත් නායක ස්ටීවන් ස්මිත් සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට කවාජා සමත් විය. පසුව කෝඩුකාරයා වූ පීටර් හෑන්ස්කොම්බ් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක තවත් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැංවූ කවාජාගේ ඉනිම හතරේ පහර 12 කින් සමන්විත විය.


අද පෙරවරුවේ පළමු හෝරාවේදීම කඩුලු දෙකක් දවාගත් කයිල් ඇබට්ගේ පන්දුවක් හමුවේ පීටර් හෑන්ස්කොම්බ්ගේ ඉනිම මෙන්ම සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාවද නිමා විය.


කෙසේ වෙතත් තුන්වැනි දිනය සඳහා ඕස්ටේ්‍රලියානුවන්ට තවත් බලාපොරොත්තුවක් ඉතිරි වී ඇත්තේ අවස්ථානුකූලව පිත්ත හැසිරවීමේ හැකියාවක් ඇති මිචෙල් ස්ටාක් (නොදැවී 16) සමග එක්වීමට කවාජාට ඉඩකඩ සැලසී තිබෙන බැවිනි.


මේ වන විටත් 0-2 ක් ලෙසින් ටෙස්ට් තරගාවලිය පරාජය වී සිටින නමුත් ඕස්ටේ්‍රලියානුවන්ගේ අභිප්‍රාය වන්නේ මෙම තරගය ජයගනිමින් 3-0 ක තරගාවලි පරාජයෙන් අත්මිදීමයි. යම් හෙයකින් එවැන්නකට මුහුණ දීමට ඕස්ටේ්‍රලියාවට සිදුවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලද 3-0 තරගාවලි පරාජයෙන් පසුව පිට පිටම මුහුණ දෙන දෙවැනි 3-0 තරගාවලි පරාජය ලෙසින් එය ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් වාර්තා පොතට එක්වනු ඇත.

එපමණක් නොවේ. ඕස්ටේ්‍රලියානු කණ්ඩායමක් සිය මවුබිමේදී එවන් ඉරණමකට පත්වන පළමු අවස්ථාව ලෙසින්ද එය සටහන් වනු ඇත.


ඬේල් ස්ටේන් උරහිසේ ආබාධයකට ලක්වීම නිසා දකුණු අප්‍රිකානු පිලට එක්වූ කයිල් ඇබට් හොබාර්ට්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 77 කට කඩුලු 6 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු පිල ඉනිමක ජයක් කරා කැඳවාගෙන ගියේය. ඇඩිලේඞ්හිදීත් විශිෂ්ට පන්දු යැවීමක නිරතව සිටින ඇබට්ගේ පන්දු යැවීමේ වාරයක් අද පෙරවරුවේ සටහන් වූයේ 10-6-07-2 ලෙසිනි.


දකුණු අප්‍රිකාව – පළමු ඉනිම කඩුලු 9 ක් දැවී 259

ඕස්ට්‍රේලියාව – කඩුලු 6 ක් දැවී 307
(උස්මන් කවාජා නොදැවී 138, මැතිව් රැන්ෂෝ 10, ඬේවිඞ් වෝනර් 11, ස්ටීවන් ස්මිත් 59, පීටර් හෑන්ස්කොම්බ් 54, වර්නන් පිලැන්ඩර් 82/1, කයිල් ඇබට් 38/3, කගීෂෝ රබාඩා 61/1)

 

ෆෆ් ඩු ප්ලෙසි වික්‍රමාන්විත ඉනිමක

පන්දුවේ කෙළ තැවරීයයි ලද චෝදනා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව හමුවේ වග උත්තර බැඳීමට සිදුවීමෙන් පන්නරය ලැබූ ෆෆ් ඩු ප්ලෙසි ඕස්ටේ්‍රලියානුවන් හමුවේ වික්‍රමාන්විත පිතිහරඹයක යෙදෙමින් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම ශතකය ලබාගත්තේය. ඇඩිලේඞ්හිදී අද (24 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගයේදී ප්ලෙසි ලබාගත් ශතකය නිසා සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 259 ක් ලබා ගත් දකුණු අප්‍රිකානුවෝ කිසිවකු අපේක්‍ෂා නොකළ මොහොතක සිය ඉනිම අහවර කළහ.


දිනය නිමා වීමට පෙර ඕස්ටේ්‍රලියානුවන් ඕවර 12 කට මුහුණ දුන් නමුත් එම ඕවර 12 දී ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 14 ක් පමණි. ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් සිය උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පිටියෙන් ඉවත ගොස් සිටි බැවින් ඔහුට ඉනිම ආරම්භ කළ නොහැකි විය.


දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක් වූ මෙම තරගයේදී රෝස පැහැ පන්දුවට මුහුණ දුන් පළමු දකුණු අප්‍රිකානුවා ලෙස ස්ටීවන් කුක් ඉතිහාසයට එක්විය. වර්ණ භේදවාදය හේතුවෙන් අන්තර්ජාතික තරග තහනමකට ලක්ව සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම 1991 දී නැවතත් අන්තර්ජාතික තරග බිමට පිවිසීමෙන් පසුව සුදු පැහැ පන්දුවට මුහුණ දුන් මුල්ම දකුණු අප්‍රිකානුවා වූයේ ස්ටීවන් කුක්ගේ පියා වන ජිමී කුක්ය.


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් මිචෙල් ස්ටාක් සහ ජොස් හේසල්වුඞ් දෙදෙනාගේ තර්ජනාත්මක පන්දු යැවීම හේතුවෙන් දකුණු අප්‍රිකානු පිලේ පළමු කඩුලු 3 ක් ලකුණු 44 දී බිඳ වැටිණ. තර්ජනය දිගටම පවත්වාගෙන ගිය ඕස්ටේ්‍රලියනු පන්දු යවන්නෝ මුලු ලකුණු සංඛ්‍යාව 161 වන විට දකුණු අප්‍රිකානුවන්ගේ කඩුලු 7 ක් බිම දමා තිබුණද කයිල් ඇබට් සමග එක්වූ ෆෆ් ඩු ප්ලෙසි සැබෑ නායකයකුගේ වගකීම කරට ගනිමින් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක් එක් කළේය.


කයිල් ඇබට් දැවී ගියද නායකයා පන්දු 147 කින් සිය ශතකය ලබාගත්තේ හැකි සෑම අවස්ථාවකදීම පසුපෙළ පිතිකරුවන් ආරක්‍ෂා කරගනිමිනි. ෆෆ්ගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත් වූ නමුත් ඔහුගේ ඉනිම කිසි සේත්ම ප්‍රහාරාත්මක ඉනිමක් යැයි වර්ගීකරණය කළ නොහැක්කේ සිය සහායක පිතිකරුවා ආරක්‍ෂා කරගැනීම සඳහා ඔහුට තනි සහ ද්විත්ව ලකුණු අතහැර හතරේ සීමාව සොයා යාමට සිදුවූ බැවිනි.


හොබාර්ට්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවේ කෙළ තැවරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව හමුවේ වරදකරු වූ ෆෆ් ඩු ප්ලෙසිට ඉතිරිව තිබුණේ ලකුණු රැස්කිරීමෙන් තමන්ගේ කීර්තිය නැවත අත්පත් කරගැනීම පමණි. තරගයෙන් අනතුරුව ඔහු පැවසුවේ මෙය ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම බවයි


“මා එයින් පන්නරය ලැබුවා. මට හිතුණේ මගේ ධෛර්යය පරීක්‍ෂා කිරීමට මෙය හොඳම අවස්ථාව බවයි. ඒකට හොඳම ක්‍රමය ලකුණු ලබාගැනීමයි” යයි පැවසූ ෆෆ් ඩු ප්ලෙසි පිටියට පිවිසෙන අවස්ථාවේදී ඕස්ටේ්‍රලියානු නරඹන්නන්ගෙන් ඔහුට ලැබුණේ ‘හූ’ සංග්‍රහයකි.


දකුණු අප්‍රිකානු පිලේ නිත්‍ය නායක ඒ. බී. ඩිවිලියර්ස් ආබාධයකට ලක්ව සිටින හෙයින් මෙම තරගාවලියේදී දකුණු අප්‍රිකානු නායකත්වය ෆෆ් ඩු ප්ලෙසිට පැවරී තිබේ. තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් දකුණු අප්‍රිකානු පිල මේ වන විට 2-0 ක් ලෙසින් තරගාවලිය ජයගෙන සිටියද දකුණු අප්‍රිකානුවන්ගේ උත්සාහය මෙම තරගයත් ජයගනිමින් 3-0 ක තරගාවලි ජයක් ලබාගැනීමයි.


3-0 ක තරගාවලි පරාජයෙන් ගැලවීමේ අරමුණ ඇතිව කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් තුනක් කළ ඕස්ටේ්‍රලියානුවෝ කෝඩුකාරයන් වන පීටර් හැන්ස්කොම්බ්, නික් මැඩින්සන් සහ මැතිව් රෙන්ෂෝ කණ්ඩායමට කැඳවූහ.


දකුණු අප්‍රිකාව – පළමු ඉනිම කඩුලු 9 ක් දැවී 259
(ස්ටීවන් කුක් 40, ෆෆ් ඩු ප්ලෙසි නොදැවී 118, ක්වින්ටින් ඩි කොක් 24, කයිල් ඇබට් 17, තබ්රිස් ශම්සි නොදැවී 18, මිචෙල් ස්ටාක් 78/2, ජොස් හේසල්වුඞ් 68/4, ජැක්සන් බර්ඞ් 57/2, නේතන් ලයන් 45/1)

ඕස්ට්‍රේලියාව – කිසිවකු නොදැවී 14

 

ඕස්ට්‍රේලියානුවන්ට 5-0 ක සුද්දයක්

ඕස්ට්‍රේලියානු එක්දින තරග ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ දකුණු අප්‍රිකානුවෝ කේප් ටවුන් හී නිව්ලෑන්ඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (12 වැනිදා) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන්ද ලකුණු 31 ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ පළමු වැනි 5-0 ක එක්දින තරගාවලි පරාජයද දකුණු අප්‍රිකානුවෝ කැන්ගරුවන්ට ඉතිරි කළහ. 


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු 8 කට රැස් කළ ලකුණු 327 හඹා ගිය ඕස්ට්‍රේලියානුවන්ට ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 296 ක් පමණි.


ප්‍රවේගකාරී පිතිහරඹය නිරතවූ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් මෙවර තරගාවලියේ සිය දෙවැනි ශතකය වාර්තා කිරීමට ඊයේ සමත්වූ අතර ඉනිමේ අවසාන හරිය වනතුරු කඩුල්ලේ රැඳී සිටිමින් සත්කාරකයන්ගේ හෘද ස්පන්දනය වැඩි කරමින් ජයග්‍රහණය තරමක් පමා කරවීය. ඔහුගේ හයියට කිසිවකු සිටියේ නම් තරගයේ තීරණය වෙනස්වීමට ද ඉඩ තිබිණි. 


වචනයේ  පරිසමාප්ත අර්ථයෙන්ම හුදෙකලා සටනක යෙදුණු මේ වමත් පිතිකරුවා ඊයේ දැවී ගියේ සිය එක්දින තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 6 ක් අඩුවී තිබියදීය. පන්දු 136 කට මුහුණු දුන් වෝනර් පන්දුව ඉහළින් නොයවන්නට කෙතරම් පරිස්සම් සහගත වූවාද කිවහොත් ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් හෝ ගැසුවේ නැත. ඊට එක්වූයේ හතරේ පහර 24 ක් පමණි. 


ඉනිමේ 48 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් ඔහු 9 වැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී යනවිට මුලු ලකුණු සංඛ්‍යාව 288 ක් ලෙස සටහන්ව තිබිණි.


සත්කාරක පන්දු යවන්නන්ගෙන් ලද පීඩනය කෙතරම් ද කිවතොත් ඒරන් ෆින්ච්ට සහ වෝනර්ට පළමු කඩුල්ලට ලකුණු 72ක් (ඉන් වැඩි හරියක් ලකුණු වෝනර්ගෙනි) ගොඩනැගීමට ඕවර 13.4 ක්ම වැයවිය. මුල සිටම අමාරුවේ වැටී සිටි ෆින්ච් 14 වැනි ඕවරයේදී දැවී ගියේ ඉම්රාන් තාහීර්ගේ විමතිය දනවන සුලු පන්දුවකිනි. 


පන්දුව ෆින්ච්ගේ කඩුල්ල තුළට රිංගුවේ ඇසිපිය හෙලන සැනිනි. අනතුරුව පිටියට පැමිණි නායක ස්ටීවන් ස්මිත්ට යැවූ පන්දුව ඊටත් වඩා පුදුමාකරය. පන්දු දෙකකට වඩා පිටියේ රැඳී සිටීමට ඕස්ටේ්‍රලියානු නායකයාට ඉඩ නොදුන් තාහීර් සිය ඕවරයේ අන්තිම පන්දුව ස්මිත්ගේ කඩුල්ල තුලට රිංගවූයේ ඕස්ට්‍රේලියානු නායකයා අන්දමන්ද කරවමිනි.


අන්දිලි පෙලුක්වායෝගේ පන්දුවකින් ජොර්ජ් බේලිගේ කඩුල්ල බිඳ වැටෙද්දී මුලු ලකුණු සංඛ්‍යාව දිස්වූයේ කඩුලු 3 කට 75 ක් ලෙසිනි. ඉන් අනතුරුව මිචෙල් මාෂ් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ටේ්‍රලියානු ඉනිම ලකුණු 139 දක්වා ඉහළට ඔසවා තැබූ වෝනර් ඊළඟට ට්‍රැවිස් හෙඞ් සමග එක්ව ඉනිම ඇදගෙන ගියේ පස්වැනි කඩුල්ලට ලකුණු 90 ක සම්බන්ධතාවක් එක් කරමිනි. එහෙත් හෙඞ්ගේ දැවීයාමෙන් පසුව වෝනර්ට සහයවීමට කිසිවකු ඉදිරිපත්වූයේ නැත. 


කෝඩුකාර පන්දු යවන්නන් පිරිසකගෙන් මුලු තරගාවලියම ඇදගෙන ගිය ඕස්ට්‍රේලියානු නායකයාගේ පීඩනය ඊයේ තරමක් අඩු වූයේ ස්කොට් බෝලන්ඞ්, ක්‍රිස් ටේ්‍රමින් සහ ජෝ මෙනී එක්ව සත්කාරයන්ගේ මුල්පෙළ පිතිකරුවන් දැඩි පසුබෑමකට ලක් කිරීමෙනි. ඉන් නොනැවතුණු මේ තරුණ පන්දු යවන්නන් වඩාත් අනතුරුදායක ඉදිරිපෙළ පිතිකරුවන් වන ක්වින්ටන් ඩි කොක්, හසිම් අම්ලා සහ නායක ෆෆ් ඩු ප්ලෙසිස් තිදෙනාම මුලු ලකුණු සංඛ්‍යාව 52 ක් වෙද්දී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්වූහ. 


එහෙත් ජේ. පී. ඩුමිනි පැමිණීමෙන් පසුව අත දිග හරින්නට පටන් ගත් රිලී රුසෝව් බිඳ වැටුණු ඉනිම පිළිසකර කළේ විශිෂ්ට ශතකයකට හිමිකම් කියමිනි. ඔහුට අනගි සහයක් දුන් ඩුමිනි ලකුණු 73 ක් රැස් කළේ රුසෝව් හා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 178 ක සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි. 


ඩුමිනිගේ දැවීයාමෙන් පසුව ඬේවිිඞ් මිලර්ගෙන් රුසෝව්ට ලැබුණේ කදිම සහයකි. මේ දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 51 ක් ගොඩ නැගුවේ ඕවර 6 ක් තුල දීය. වේගවත් පිතිහරඹයක නිරතවූ මිලර් ලකුණු 39 ක් ලැබුවේ පන්දු 29 කිනි. 


මෙවර තරගාවලිය පුරා ලකුණු අතරේ සිටි රුසෝව් පළමු තරග දෙකේදීම අර්ධ ශතක රැස් කළ අතර තරගාවලිය නිමාවීමට පෙර අගනා ශතකයකින් සිය කණ්ඩායම ගොඩ ගැනීම කැපී පෙනුණි. තරගාවලිය නිමාවනවිට මුලු ලකුණු 311 ක් ලබා සිටි හෙතෙම තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය. 


සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ වෝනර් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවත් සංචාරකයන් අස්වසන්නට එය කොහෙත්ම ප්‍රමාණවත් නොවීය. 


දකුණු අප්‍රිකාව – ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 327
(හෂීම් අම්ලා 25, රිලී රුසෝව් 122, ජේ.පී.දුමිනි 73, ඬේවිඞ් මිලර් 39, ක්‍රිස් ටේ්‍රමින් 64/3, ස්කොට් බෝලන්ඞ් 68/2, ජෝ මෙනී 49/3)


ඕස්ට්‍රේලියාව – ඕවර 48.2කදී සියලු දෙනා දැවී 296
(ඬේවිඞ් වෝනර් 173, මිචෙල් මාෂ් 35, ටේ්‍රවිස් හෙඞ් 35, කයිලි ඇබෝ 48/2, කගීසෝ රබාඩා 84/2, ඉම්රාන් තාහීර් 42/2)

 

ඕස්ට්‍රේලියානුවන් අගාධය අබියස

ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 5 ක එක්දින තරගාවලියක් එහෙම පිටින්ම ජයගන්නා පළමු කණ්ඩායම ලෙස ඉතිහාස ගතවීමට කුරුමානම් අල්ලන දකුණු අප්‍රිකාව අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00 ට කේප් ටවුන් හී නිව්ලෑන්ඞ්ස් ක්‍රීඩාංගණයේ දී ඇරැඹෙන පස්වැනි හා අවසන් එක්දින තරගයට සිය ශක්තිමත්ම කණ්ඩායම යොදවන බව නායක ෆෆ් ඩු ප්ලෙසිස් ඊයේ කීවේය.

දැනටමත් තරග 4-0 කින් එක්දින තරගාවලිය ජයගෙන සිටින සත්කාරක දකුණු අප්‍රිකාව සිය පිතිහරඹ අංශයේ ශක්තිමත් බව වැඩිකිරීම සඳහා ටෙම්බා බවුමා ද කැඳවාගෙන සිටී. ආරම්භක පිතිකරු රිලී රුසෝව් (ඇඟිල්ලක ආබාධයක්), ෆර්හාන් බෙහාර්ඩීන් (කලවේ නහරයක ආබාධයක්) සහ ඬේවිඞ් මිලර් (කටී පෙදෙසේ ආබාධයක්) ආබාධ වළාකුළකට වැසී සිටියත් මේ තිදෙනාම ඊයේ පැවැති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වූහ.

“හැමෝම ශක්තිමත්ව සිටිනවා. ඒක තමා වැදගත්ම දේ…” ඩු ප්ලෙසිස් එසේ කීවේ ඊයේ නිව්ලෑන්ඞ්ස් පිටියේ පුහුණුවීම් අතරතුර දීය.

“අපේ ශක්තිමත්ම කණ්ඩායම ක්‍රීඩා කරවීමට ආපහු අවස්ථාවක් ලැබී තිබෙනවා. කයිල් (ඇබට්) කළින් තරගයේ දී හිතපු නැති විදිහට දස්කම් දැක්වුවා. ඒ වගේ හාදයෙක් එළියට දාන්නත් බෑ. ඇරත් හැමෝම වගේ යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත්වෙලයි ඉන්නේ. වැඩි හොඳට ටෙම්බාවත් ගෙනල්ලයි තියෙන්නේ. ඒ කියන්නේ තේරීම් කමිටුව එයා ගැනත් හිතලා තියෙනවා. මිනිහා අයර්ලන්තයට එරෙහිව හොඳ ශතකයක් ලබාගත්තා” යයි ඩු ප්ලෙසිස් කීවේය.

සිවුවැනි තරගයට ක්‍රීඩා නොකළ වේගපන්දු තුරුම්පුව ඬේල් ස්ටේන් සහ ඔහුගේ අලුත්ම සගයා වන කගීසෝ රබාඩා අද තරගයට කැඳවා තිබෙන්නේ සංචාරකයන් තවදුරටත් දුර්වල කර දැමීමේ අදිටනිනි.

ඕනෑවට වඩා ඉහළින් සිතාගෙන සිටි දුර්වල පන්දු යැවීමේ බලඈණියක් සමග පළමුවතාවට දකුණු අප්‍රිකාවට ගොඩ බට ඕස්ටේ්‍රලියානුවන් එහි පලවිපාක හොඳ හැටි භුක්ති විඳිමින් සිටී. ඕස්ටේ්‍රලියානු නායක ස්ටීවන් ස්මිත්ගේ දැන් කල්පනාව වී ඇත්තේ තරග 5-0 වේ සුද්දයෙන් ගැලවෙන පොටක් පාදා ගැනීමටය. එහෙත් ඔහුට එහා මෙහා ඇදීමට සිටින්නේ පළමු තරගයේ සිටම දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගෙන් හොඳ හැටි බැට කෑ තරුණ වේගපන්දු යවන්නන් කිහිපදෙනා පමණි.

ඒ අතරවාරයේ ෆෆ් ඩු ප්ලෙසි සමීපවෙමින් සිටින්නේ මීට කලින් කිසිම දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායකයකු ළඟා නොවූ ඉලක්කයක් වෙතය. එය ඕස්ටේ්‍රලියාවේ කීර්තියට කළු පැල්ලමක් එක් කරන වාර්තාවක් වුවත් දකුණු අප්‍රිකානුවන්ට ඉහටත් උඩින් ගිය වාර්තාවකි.

ඕස්ටේ්‍රලියාවට එරෙහිව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියක් එහෙම පිටින්ම සුද්ද කිරීම ලෙහෙසි පහසු වාර්තාවක් වන්නේ නැත. ඇරත් වර්තමානයේ ලෝක එක්දින ශ්‍රේණිගත කිරිම්වල නොම්මර එකේ කණ්ඩායම වන ඕස්ටේ්‍රලියාවට එවැනි පරාජයක් අත්කර දීමත් විස්මිත එකකි.

ටෙස්ට් ශ්‍රේණිගත අංක 1 ස්ථානය හිමිකරගෙන සිටි ඕස්ටේ්‍රලියාව ශ්‍රී ලංකාව හමුවේ 3-0 ට තරගාවලි පරාජයකට මුහුණ දුන්නේය. දැන් එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 1 හිමිකරගෙන සිටිමින්ම දකුණු අප්‍රිකානුවන් හමුවේ 5-0 පරාජයෙන් ගැලවීමට ඕස්ටේ්‍රලියානුවන්ට සිදුවී තිබේ.

“තරගාවලිය පුරාම හැමෝම ක්‍රීඩා කළේ විශ්වාසනීයත්වයෙනුයි”

“එකිනෙකාගේ දස්කම් ගැන හැමෝටම විශ්වාසයක් තිබුණා. ඔවුන් පිටියේ දී පැවැරෙන රාජකාරිය අකුරටම ඉටු කළා. එයාලා දස්කම් දැක්විමට අතිශයින්ම පිපාසයෙන් පෙලෙන බවක් මට දැනෙනවා. ඒක නායකයා හැටියටත් මට ලොකු සහනයක්” යයි ඩු ප්ලෙසිස් කීවේය.


- 077

 

ෂම්සි – ඇබට් ඕස්ට්‍රේලියාව වනසති

සංචාරක ඕස්ට්‍රේලියානු ඉනිම එහෙම පිටින්ම සෝදා පාළුවට ලක් කළ සත්කාරක දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ පෝර්ට් එලිසබෙත් නුවර සාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින තරගයේ දීත් කඩුලු 6 ක ජයක් කරා යාමට මාවත විවර කරගත්හ. ඒ සමගම තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී 4-0 ක් ලෙසින් ඉදිරියට ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම දැන් සැරසෙන්නේ සංචාරකයන්ට සම්පූර්ණයෙන්ම සුද්දයක් දීමටය.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් මුහුදු සුළං තදින් හමන ශාන්ත ජොර්ජ් තණතීරුවේ මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. වෙනස්කම් 4 ක් සමග ඊයේ තරගයට එක්වූ සත්කාරක පිලේ කයිල් ඇබට් සහ ටබ්රිස් ෂම්සි එක්ව ගෙන දුන් පීඩනය මුහුදු සුළඟට වඩා බරපතල එකක් වීය.

ඉනිම ආරම්භ කළ ඬේවිඞ් වෝනර්ට සහ ඒරන් ෆින්ච්ට හුස්මක් කටක් ගන්නට ඉඩ නොතැබූ ඇබට් තුන්වැනි පන්දුවෙන්ම ෆින්ච්ගේ කඩුල්ල ගලවා දැමූ අතර සිය දෙවැනි ඕවරයේ දී වෝනර්ගේ කඩුල්ලත් බිඳ දමන විට ඕස්ටේ්‍රලියානුවන්ගේ ඉනිම දිස්වූයේ කඩුලු 2 කට ලකුණු 9 ක් ලෙසිනි. ඊට තවත් ලකුණු 3 ක් එක්වෙද්දී ජෝර්ජ් බේලි එක් ලකුණකට දැවී ගියේ ඞ්වේන් ප්‍රිටෝරියස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.

මුළු ලකුණු සංඛ්‍යාව 49 ක්ව තිබියදී නායක ස්ටීවන් ස්මිත් කඩුල්ල මුවා කිරිමේ වරදට හසුකර ගත් ෂම්සි එම ඕවරයේදීම ට්‍රැවිස් හෙඞ්වත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකොට ආ විගසම ආපසු යැවීමෙන් ඕස්ට්‍රේලියානුවන්ගේ ඉනිම බිඳ වැටෙන්නට පටන් ගත්තේය. කෙසේවුවත් මිචෙල් මාෂ් සහ මැතිව් වේඞ් එක්ව ඉනිම පිළිසකර කරමින් මුලු ලකුණු සංඛ්‍යාව 111 දක්වා ඉහළ නොදැමුවානම් පරාජය ඊටත් අන්තය.

හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක අගනා සම්බන්ධතාවක්ද ගොඩ නැගූ මේ දෙදෙනා අර්ධ ශතක වාර්තා කරමින් සංචාරකයන්ගේ ඉනිමට තරමක ජීවයක් ගෙන දුන්හ. එහෙත් දෙදෙනාගේ දැවීයාමෙන් පසුව අගපෙළ ඉතා ඉක්මනින් බිඳ දැමූ ඇබට් සහ ෂම්සිට ඒරන් පැන්ගිසෝ ද අගනා සහයක් ලබා දුන්නේය.
මේ තිදෙනාම ඊයේ තරගයට අලුතින් එක්වී සිටීම විශේෂත්වයකි. ඔවුන් තිදෙනාට අමතරව ෆර්හාන් බෙහාර්ඩීන් ද කණ්ඩායමට එක් ව සිටියේ  ඬේවිඞ් මිලර්, ඬේල් ස්ටේන්, ඉම්රාන් තාහීර් සහ කගීසෝ රබාඩා වැනි පළපුරුදු ක්‍රීඩකයන්ට විවේකය ගෙන එමිනි.

ලකුණු 168 ක පහසු ඉලක්කයක් හඹා ගිය සත්කාරකයන්ට ඉනිම ආරම්භයේ සිටම පීඩනයක් දුන් ක්‍රිස් ටි්‍රමේන් මුලු ලකුණු සංඛ්‍යාව 29 ක් වෙද්දී හෂීම් අම්ලා සහ ක්වින්ටන් ඩි කොක් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීය. එහෙත් නායක ෆෆ් ඩු ප්ලෙසිස් සහ ජේ.පී. ඩුමිනි එක්ව ඉනිම ගොඩ දැමූවේ තුන්වැනි කඩුල්ලට ලකුණු 56 ක සම්බන්ධතාවක් ද එක් කරමිනි.

ඩුමිනිගේ දැවීයාමෙන් පසුව රිලී රුසෝව් හා එක්ව සිවුවැනි කඩුල්ලට තවත් ලකුණු 55 ක් එක් කළ ඩු ප්ලෙසිස් අගනා අර්ධ ශතකයක් ලැබීමෙන් පසුව දැවීයද්දී ජයග්‍රහණයට අඩුවී තිබුණේ ලකුණු 18 ක් පමණි.


ඕස්ට්‍රේලියාව- ඕවර 36.4 කදී සියලුදෙනා දැවී ලකුණු 167
(ස්ටීවන් ස්මිත් 21, මිචෙල් මාෂ් 50, මැතිව් වේඞ් 52, ක්‍රිස් ටි්‍රමේන් නොදැවී 23, කයිල් ඇබට් 40/4, ටබ්රිස් ෂම්සි 36/3, ඒරන් පැන්ගිසෝ 17/2)

දකුණු අප්‍රිකාව ඕවර 35.3 කදී – කඩුලු 4ක් දැවී ලකුණු 168
(ෆෆ් ඩු ප්ලෙසිස් 69, ජේ.පී. දුමිනි 25, රිලී රුසෝව් නොදැවී 33, ක්‍රිස් ට්‍රිමේන් 48/2)

 

 – 077

 

දකුණු අපි‍්‍රකානුවෝ එක්දින තරගාවලිය දිනති

ඕස්ටේ‍්‍රලියානුවන් අන්ද මන්ද කළ දකුණු අපි‍්‍රකාවේ මැදපෙළ පිතිකරු ඬේවිඞ් මිලර් ලබාගත් වේගවත් ශතකය නිසා ඩර්බන්හි කිංග්ස්මීඞ් කී‍්‍රඩාංගණයේ ඊයේ (5 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයෙන් වාර්තාගත කඩුලූ 4 ක ජයක් අත්කරගත් දකූණු අපි‍්‍රකනු කණ්ඩායම තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජයග‍්‍රහණය තමන් සතු කරගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියාව  ඕවර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලැබූ ලකුණු 371 ක දැවැන්ත ඉලක්කය හඹා ගිය දකුණු අපි‍්‍රකානුවන් තරගය ජයගත්තේ පන්දු 4 ක් ඉතිරිව තිබියදීමය.

කිංග්ස්මේඞ් පිටියේ මෙතෙක් එක්දින ඉනිමක වාර්තාවූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ  ඕස්ටේ‍්‍රලියානු පිල විසිනි. එහෙත් කිංග්ස්මේඞ් පිටියේ දී හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස දකුණු අපි‍්‍රකානුවෝ එය අලූත් කළහ.

එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේ හඹා ගොසින් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත් වාර්තාපොතට එක්විය. දෛවෝපගත සිද්ධියක් වන්නේ එහි වාර්තාවට අයිතිවාසිකම් කියන්නේ ද  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව වසර 2006 දී ජොහැනස්බර්ග් නුවර වොන්ඩර්ස් පිටියේදී ලකුණු 435 ක් හඹාගොස් ජයගත් දකුණු අපි‍්‍රකානුවන්ම වීමය.

තවමත් 27 හැවිරිදි වමත් පිතිකරුවකු වන ඬේවිඞ් මිලර් ඊයේ පිටියට එද්දී දකුණු අපි‍්‍රකානුවන්ට  ඕවර 26 කුත්, පන්දු 2 කදී ලකුණු 193 ක් ගත යුතුව තිබිණ. ඔවුන් සතුවූයේ කඩුලූ 6 ක් පමණි. ඒ වෙද්දී නම් දැරූ පිතිකරුවන් සියලූදෙනා කී‍්‍රඩාගාරයට හරවා යැවීමට  ඕස්ටේ‍්‍රලියානුවන් සමත්ව සිටියා පමණක් නොව වටින් ගොඩින් ජයග‍්‍රහණය සමරන්නටත් පටන් ගෙන සිටියහ.

වැඩිවේලා නොගොස් ජෝන් හේස්ටිංග්ස්ගේ 32 වැනි  ඕවරයේ පන්දුවකට ජේ.පී. ඩුමිනි දැවීයාමත් සමග දකුණු අපි‍්‍රකානුවන් අඩියටම ඇද වැටිනි. එම  ඕවරය නිමාවීමෙන් පසුව ඉලක්කය දිස්වූයේ  ඕවර 15 කදි ලකුණු 155 ක් තරම් බැරැරුම් එකක් ලෙසටය.

ඉතිරිව සිටි අගපෙළ පිතිකරුවන් එක් අන්තයක තැබූ මිලර් වගකීම සිය කර මත පටවා ගත් අතර අන්තිමේදී පන්දු 12 කට ලකුණු 17 ක් දක්වා ඉලක්කය ගෙන ඒමට සමත්වූයේ  ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත් අයාගත් මුවින් යුතුව බලා සිටියදීය.

හේස්ටිංග්ස් යැවූ 49 වැනි  ඕවරයේ දී මිලර්ට අනගි සහයක් දුන් යොවුන් කී‍්‍රඩක ඇන්ඩිලි පෙලූක්වායෝ හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 14 ක්ම උදුරාගැනීමෙන් පසුව අන්තිම  ඕවරයට ලබාගත යුතුව තිබුණේ ලකුණු 3 ක් පමණි.

සිය පළමු ලකුණු 50 ට පන්දු 45 ක් වැය කළ මිලර්ට ශතකයට වැයවූයේ පන්දු 69 ක් පමණි. හතරේ පහර 10 කින් සහ හයේ පහර 6 කින් ඉනිම වර්ණවත් කොට දකුණු අපි‍්‍රකානුවන්ට නොතිබූ ජයක් අත්කර දෙමින් නොදැවී ආපසු කී‍්‍රඩාගාරයට එද්දී මිලර්ට කී‍්‍රඩාලෝලින්ගෙන් ලද ගෞරවනීය ආචාරය ඔහුගේ  පිතිහරඹය මෙන්ම සෑහෙන වේගවත් එකකි. ඒ වෙද්දී මේ දෙදෙනා අතර 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 107 ක නොබිඳුණු එකක් විය.

කාසියේ වාසිය ලැබූ  ඕස්ටේ‍්‍රලියානුවන්ට සාර්ථක ආරම්භයක් ගෙනදීමට ඬේවිඞ් වෝනර් සහ ඒරන් ෆින්ච් සමත්වූයේ පළමු කඩුල්ලට  ඕවර 13.1 කදී ලකුණු 110 ක්ම එක් කරමිනි. මේ අතරින් දකුණු අපි‍්‍රකානුවන්ට දැඩි හිසරදයක් බවට පත්වූ ෆින්ච් සිය අර්ධ ශතකය ලැබුවේ පන්දු 32 කිනි. ඒ  සමගම ඔහු ඉම්රාන් තාහීර්ගේ පන්දුවකට දැවීයාමෙන් පසුව පිටියට පිවිසි නායක ස්ටීවන් ස්මිත් කලෙකට අමතක නොවන ඉනිමක් කී‍්‍රඩා කරමින් වෝනර් හා එක්ව  ඕස්ටේ‍්‍රලියානු ඉනිම ලකුණු 234 කින් ඉහළට ඔසවා තැබීමට සමත්වූයේ දෙවැනි කඩුල්ලට ලකුණු 124 ක සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි.  ඒ අතරතුර කාලයේ විශිෂ්ට ශතක දෙකක් දෙදෙනා අතර බෙදාහදාගත් වෝනර් හා ස්මිත් සත්කාරක කී‍්‍රඩාලෝලීන්වත් මොහොතකට නිහ`ඩ කොට තැබූහ.

35 වැනි  ඕවරයේදී තාහීර්ගේ පන්දුවකටම වෝනර් දැවීයාමෙන් පසුව  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ලකුණු ලැබීමේ වේගය තරමක් අඩාල වුයේ මැදපෙළ කඩුලූ දෙකක්ම ඉක්මනින් බිඳ වැටීම නිසාය. එහෙත් අංක 6 න් පිටියට පැමිණි ට‍්‍රැවිස් හෙඞ් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් ඉනිම පිළිසකර කළ අතර ස්මිත්ගේ දැවීයාමෙන් පසුව ඉනිම ලකුණු 350 න් ඔබ්බට ඇදගෙන යාමට ද සමත්විය.

 

ඕස්ටේ‍්‍රලියාව – කඩුලූ 6ක් දැවී  ඕවර 50ක දී ලකුණු 371
(ඬේවිඞ් වෝනර් 117, ඒරන් ෆින්ච් 53, ස්ටීවන් ස්මිත් 108, ජෝර්ජ් බේලි 28, ට‍්‍රැවිස් හෙඞ් 35, ඬේල් ස්ටේන් 96/2, ඉම්රාන් තාහිර් 54/2)

දකුණු අපි‍්‍රකාව – කඩුලූ 6ක් දැවී  ඕවර 49.2කදී ලකුණු 372
(ක්වින්ටින් ඩි කොක් 70, හසිම් අම්ලා 45, ෆෆ් ඩු ප්ලෙසිස් 33, ඬේවිඞ් මිලර් නොදැවී 118, ඇන්ඩිලි පෙලූක්වායෝ නොදැවී 42, ජෝන් හේස්ටිංග්ස් 79/2)

- 077

 

දකුණු අප්‍රිකාව 2-0 කින් පෙරමුණ ගනී

ඕස්ටේලියානුවන්ට අභාග්‍යසම්පන්න සති අන්තයක අමිහිරියාව විඳ ගැනීමට සැලැස්සූ සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ජොහැනස්බර්ග් නුවර නිව් වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේ ඊයේ (1 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 142 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ 2-0 කින් ඉදිරියට ගියහ. 


අන්තර්ජාතික එක්දින පිටියේ නොම්මර එකේ කණ්ඩායම ලෙස දකුණු අප්‍රිකාවට ගොඩබට ඕස්ටේ්‍රලියානුවන්ගේ කටුක සති අන්තය ආරම්භ වූයේ පසුගිය සිකුරාදා සෙන්චූරියන් හී පැවැති පළමු එක්දින තරගය කඩුලු 6 කින් පරාජය වීමෙනි. ඊයේ ලද දෙවැනි එක්දින තරගයේ පරාජය ඊටත් වඩා නින්දා සහගත එකක් බවට පත්වූයේ එය සංචාරකයන්ගේ පස්වැනි විශාලම එක්දින පර්ාජය වීම නිසාය. 


මේ වසර මුල් භාගයේදීම ඔවුන් නවසීලන්තයට ලකුණු 159 කින් පරාජය වූ අතර ඊට පෙර වසර 1987 දී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 164 කින් ද, 2006 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 196 කින් ද, 1986 දී යළිත් නවසීලන්තය හමුවේ ලකුණු 206 කින්ද ඕස්ටේ්‍රලියානුවන් පරාජයට පත්වී තිබිණි. 


කාසියේ වාසිය ඕස්ටේ්‍රලියානුවන්ට හිමිවූවත් පළමුව පන්දුවට පහරදීමට ඇරියුම් ලැබීමෙන් පසු දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු 6 කට රැස් කළ ලකුණු 361 ට පිළිතුරු ලෙස ඕස්ටේ්‍රලියානුවෝ ඕවර 37.4 කදී  ලකුණු 219 කට දැවී ගියහ.


දකුණු අප්‍රිකානුවන්ගේ දැවැන්ත ඉනිම වර්ණවත් කළ වැඩ බලන නායක ෆෆ් ඩු ප්ලෙසිස් ඊයේ පිත්ත බිම තැබුවේ ලකුණු 111 ක්ම රැස් කළාට පසුවය. 


පළමු තරගයේ පෙරළිකාර ඉනිමක් ක්‍රීඩා කළ ක්වින්ටන් ඩි කොක්ගේ ඉනිම වැඩි කාලයක් මිඩංගු නොකොට කඩා ගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත්වූවත් ඒ වනවිටත් ආරම්භක පිතිකරුවන් ඕවර 11ක් තුල පළමු කඩුල්ලට ලකුණු 70 ක් ගොඩනගා තිබිණි. කෙසේවෙතත් ඉන් අනතුරුව ඊයේ දිනය තමගේ නමට වෙන් කරගත් සෙයක් පෙන්වූ ඩු ප්ලෙසිස් සිය ආරම්භක පිතිකරු සගයා වන රිලී රුසොව් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 76 ක් එක් කළේ අඩපණවූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් එක්ක සෙල්ලම් කරමිනි. 


මුලු ලකුණු සංඛ්‍යාව 146 ක්ව තිබියදී රූසොව් ආපසු ක්‍රීඩාගාරයට හරවා යවන්නට ජෝන් හේස්ටිංග්ස් සමත්වූවත් ඒ වෙද්දි රුසොව් පිට පිට දෙවැනි එක්දින අර්ධ ශතකයත් වාර්තා කොට හමාරය. ඉන් අනතුරුව  ජේ. පී. දුමිනි සමග එක්වූ ඩු ප්ලෙසිස් නිව් වොන්ඩර්ස් පිටියට රැස් වූ ක්‍රීඩාලෝලීන් හමුවෙ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව මතක හිටින ඉනිමක් ක්‍රීඩා කළේය. 


තුන්වැනි කඩුල්ලට ලකුණු 150 ක සම්බන්ධතාවක් ගොඩනගමින් විශිෂ්ට ශතකයකට හිමිකම් කී ඩු ප්ලෙසිස් පන්දු 84 කදී හතරේ පහර 13 කින් සිය ශතකය සම්පූර්ණ කරද්දී සිය නායකයාට නොදෙවැනි ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ දුමිනි හතරේ පහර 8 ක් සමග සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 44 කිනි. 


ඕස්ට්‍රේලියානුවන්ගේ පන්දු යැවීමේ බලඈණිය ශක්තිමත් කිරීමට ස්කොට් බෝලන්ඞ් හා ඩැනියෙල් වොරල් වෙනුවට අලුතින් ගෙන්වූ 25 හැවිරිදි ක්‍රිස් ටි්‍රමේන් සහ 27 හැවිරිදි ජෝ මෙනී ඉනිමේ ආරම්භක පන්දු යවන්නන් ලෙස කටයුතු කරමින් සිය මංගල තරගයේදීම රිදෙන්නට පහර කෑවෝය. යන්තමින් කඩුල්ලක් දවාගත් ටි්‍රමේන්ගේ ඕවර 10 ට ලකුණු 78 ක් වැදුණු අතර කඩුලු නොලැබූ මෙනීගේ ඕවර 10 නිමාවට පත්වූයේ ලකුණු 82 ක්ම තිළිණ කළාට පසුවය.  


කෙසේවෙතත් දකුණු අප්‍රිකානුවන්ගේ ඉනිම 361 කින් නැවත්වීමට ඕස්ටේ්‍රලියානුවන් සමත්වූයේ මේ දෙදෙනාගේ දැවීයාමෙන් පසුව අවසන් පන්දු ඕවර කිහිපයේදී හේස්ටිංග්ස් සහ මිචෙල් මාෂ් එක්ව සෙසු පිතිකරුවන් තරමක් මෙල්ල කරගැනීමෙනි.


ලකුණු හඹායාම ආරම්භ කළ ඕස්ටේ්‍රලියානුවන්ට නිව් වොන්ඩර්ස් තණතීරුවේ පන්දු යවන හැටි කියා දුන් දකුණු අප්‍රිකානුවන් 11 වැනි ඕවරය නිමාවෙද්දී පිතිකරුවන් තිදෙනකුම ක්‍රීඩාගාරයට හරවා යැව්වේ ලකුණු 55 ක් ඇතුලතදීය. ආරම්භක පිතිකරු ඒරාන් ෆින්ච් එක් ලකුණකටත්, නායක ස්ටීවන් ස්මිත් ලකුණු 14 කටත්, ජෝර්ජ් බේලි ලකුණු 9 කටත් සීමා කළ දකුණු අප්‍රිකානු පළමු පන්දු යවන්නන් තිදෙනා කඩුල්ල බැගින් සමගියෙන් බෙදා ගත්හ. ඔවුන් අතරින් සංචාරකයන්ට වැඩිම පීඩනය දැමුවේ 21 හැවිරිදි කගීසෝ රබාඩාය. ඔහුගේ වේගයත්, දෝලනයත් ඕස්ටේ්‍රලියානු පිතිකරුවන් අන්ද මන්ද කිරිමට ප්‍රමණවත් විය. 


කඩුලු අතර සම්බන්ධතාවක් ගොඩනැගීමට උත්සාහ කළ සෑම අවස්ථාවකදීම කඩුල්ලක් දවාලමින් මැනවින් තරගයේ පාලනය නඩත්තු කළ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඕස්ටේ්‍රලිනුවන්ගේ අවසන් කඩුලු 5 ම ලකුණු 36ක් තුලදී බිම දැමූහ. 


මුලු ලකුණු සංඛ්‍යාව 114 දී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ විගස ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් දැවීයාමෙන් පසුව ට්‍රැව්ස් හෙඞ් සහ මැතිව් වේඞ් එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 69 ක් එක් කරන්නට සමත්වූවත් පිට පිට ඕවර 2 කදී දෙදෙනාම දැවීයාමෙන් පසුව තරගයට ජීවයක් කැවීමට කිසිවකුට හැකිවූයේ නැත. 


වේන් පානෙල් සහ ඇන්ඩිලි පෙලුක්වායෝ එක්ව මැදපෙළ එහෙම පිටින්ම කඩා දැමූහ.  තරගයේ ජයග්‍රහණය පෙනි පෙනී උද්දාමයට පත්ව සිටි ක්‍රීඩාලෝලීන්ගේ උද්යෝගය ඉහළ ගියේ කඩුලු 3 ක් බිඳ දැමූ පානෙල් ඒ සෑම අවස්ථාවකදීම පොග්බා එස්කියු මෝස්තරයෙන් සතුට සමරන්නට වීම නිසාය. 


දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී ඕවර 50 කදී ලකුණු 361
(ක්වින්ටින් ඩි‘ කොක් 22, රිලී රුසොව් 75, ෆෆ් ඩු ප්ලෙසිස් 111, ජේ.පී. ඩුමිනි 82, ඬේවිඞ් මිලර් 26, ජෝන් හේස්ටිංග්ස් 57/3. මිචෙල් මාෂ් 68/2)


ඕස්ට්‍රේලියාව – සියලුදෙනා දැවී ඕවර 37.4කදී ලකුණු 219
(ඬේවිඞ් වෝනර් 50, ට්‍රැවිස් හෙඞ් 51, මැතිව් වේඞ් 33, ජෝන් හේස්ටිංග්ස් 23, කගීසෝ රබාඩා 31/2, වේන් පානෙල් 40/3, ඇන්ඩිලි පෙලුක්වායෝ 59/2)


- 077

 

දකුණු අප්‍රිකානුවන්ට අම්ලාත් එක්වෙයි

ක්වින්ටන් ඩි‘ කොක්ගේ අනපේක්‍ෂිත ප්‍රහාරයෙන් දකුණු අප්‍රිකාව හමුවේ පළමු එක්දින තරගයෙන් අන්ත පරාජයක් ලැබූ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (2) ජොහැනස්බර්ග් හී නිව් වොන්ඩර්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සත්කාරකයන් සමග දෙවැනි එක්දින තරගයට එක්වන්නේ දෙගිඩියාව මුසු හැඟුම් සමුදායක් තුරුළු කරගනිමිනි.


දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවාගේ බලාපොරොත්තු රහිත නැගී සිටීමෙන් විපිලිසර වූ සිය කණ්ඩායමට හෙට දිනයේ දී හිස ඔසවා එකිනෙකා දෙස උජාරුවෙන් බැලීමට හැකිවනු ඇතැයි ඔවුන් අතරම විශ්වාසයකි.

එසේ වුවත් අද පැවැත්වෙන දෙවැනි තරගයේදී ප්‍රහාරයට සූදානම් වන්නේ ක්වින්ටින් ඩි’කොක්ද නැතිනම් වෙනත් අයකුද යන්න පිළිබඳ කැන්ගරුවන් සිටින්නේ දෙගිඩියාවෙනි.


ජයග්‍රාහී මනසකින් යුතුව  සිටිමින්  ප්‍රතිවාදීන්ට දමන පීඩනය ලිහිල් නොකර සිටීමේ අදිටනින් දකුණු අප්‍රිකානු පිල ශක්තිමත් කිරීමට ජ්‍යෙෂ්ඨ පිතිකරු හෂීම් අම්ලාත් කණ්ඩායමට එක්වී සිටී. වයිරස් ආසාදනයක් නිසා පළමු එක්දින තරගයට ක්‍රිඩා නොකළ මේ පළපුරුදු පිතිකරුවා අද තරගයේ දී ක්‍රීඩා කිරීමේ අභිලාෂයෙන් ඊයේ පුහුණුවීම්වලටත් එක්විය.


හසිම් අම්ලා යනු එක්දින තරග 137 ක අත්දැකීම් ඇති, ශතක 10 ක් සමගින් එක්දින ලකුණු 4500 කට ආසන්න සංඛ්‍යාවක් රැස්කර ඇති ක්‍රීඩකයෙකි.


පිතිහරඹයටම නම ගිය සෙන්චූරියන් තණතීරුව තමාට නිදහසේ සුපුරුදු පහරවල් කරා යාමට ඉඩ දුන් බවත්. නිසැකවම තවත් තණතීරු එකක් හෝ දෙකක් එවැනි ආකාරයට හැඩ ගැසෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් තරගයෙන් පසුව ක්වින්ටන් ඩි’කොක් කීවේය.


“එදා මගේ දවස..කොහොමවුණත් මම නිදහසේ පිත්ත හැසිරවූවා”


“නිසැකවම තවත් එවැනි තණතිරු කිහිපයක් ඉදිරියේ දී ලැබේවි. එවිට අපිට නැවත විනෝද විය හැකියි.” යයි ක්වින්ටින් ඩි’කොක් පැවසීය.


ඔහුගේ මේ ප්‍රකාශය ඕස්ටේ්‍රලියානුවන්ගේ හිසදරය වැඩි කිරීමට සමත්වී ඇත්තේ එවැනි පෙරළි කළ හැකි වර්ගයේ පිතිකරුවන් තවත් කිහිපදෙනකුම දකුණු අප්‍රිකානුවන් සතු වන බැවිනි.


කවදාවත් නොමැති ලෙස දුර්වල පන්දු යැවීමේ බලඈණියක් කැටුව දකුණු අප්‍රිකාවට පැමිණි ඕස්ට්‍රේලියානුවන්ට එහි ප්‍රතිවිපාක ඇස් පනාපිටම පෙනෙන්නට වීමෙන් පසුවන්නේ දැඩි කනස්සල්ලෙන් යුතුවය. එකම පළපුරුදු පන්දු යවන්නා වූ ජෝන් හේස්ටිංග්ස් හැරුණුවිට අත්දැකීම් නැති සෙසු සියලුම පන්දුයවන්නෝ පළමු තරගයේදී දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ නොමඳ සංග්‍රහයට පාත්‍ර වූහ. එබැවින් දැන් ඔවුන්ගේ සිදුවී ඇත්තේ සිය පන්දු යවන්නන්ගේ වැඩි බරත් කරමත පටවාගෙන පිතිහරඹයේ යෙදීමය.


 – 077

 

ඩි’කොක් ඕස්ටේ‍්‍රලියානුවන් දණගස්වයි

අන්තර්ජාතික එක්දින පිටියේ නොම්මර එකේ කෙරුමා ලෙස ඕස්ටේ‍්‍රලියාවට තිබූ කීර්තිය බිංදුවටම ඇද දැමූ ක්වින්ටන් ඩි’කොක් දකුණු අපි‍්‍රකාවේ සෙන්චූරියන් නුවර ‘සුපර් ස්පෝර්ට්’ කී‍්‍රඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේ වාර්තාගත ඉනිමක් කී‍්‍රඩා කරමින් දකුණු අපි‍්‍රකාවට කඩුලූ 6 ක ජයක් ගෙන දුන්නේය.

සිය එක්දින තරග දිවියේ හොඳම ඉනිම කී‍්‍රඩා කරමින් පන්දු 113 කදී ලකුණු 178 ක් රැස් කළ ක්වින්ටින් ඩි’කොක් කී‍්‍රඩාලෝලීන්ට අමතක නොවන ඉනිමක් කී‍්‍රඩා කළා පමණක් නොව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ඉතිරි තරගවල දී සිය දුර්වල පන්දුයැවීමේ අංශය ප‍්‍රතිසංස්කරණය කරගන්න යයි ඕස්ටේ‍්‍රලියානුවන්ට කල්තියාම අනතුරු ඇගවීය.

සිය ප‍්‍රධානතම තුරුම්පු කිසිවක් නොමැතිව දකුණු අපි‍්‍රකාවට ගොඩ බට ඕස්ටේ‍්‍රලියානුවන් සත්කාරකයන් මෙල්ල කිරීමේ වැඩි බර පැටවූයේ දගපන්දු යවන්නන්ටය. තරග 12 කට පමණක් කී‍්‍රඩා කර ඇති නවක වේග පන්දු යවන කී‍්‍රඩක ස්කොට් බෝලන්ඞ් හැරුණු විට දකුණු අපි‍්‍රකාවට අභියෝගයක් එල්ල කිරිමට සෙසු පන්දු යවන්නෝ අසමත්වූහ.

කාසියේ වාසිය අහිමි කරගැනීමෙන් පසුව මුලින්ම පිති හරඹයට වන්  ඕස්ටේ‍්‍රලියානුවෝ සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 294 ක් රැස්කරගත්හ. එහෙත් ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක්ගේ හිත්පිත් නැති ප‍්‍රහාරය නිසා දකුණු අපි‍්‍රකානුවන් කිසි කරදරයකින් තොරව ඉලක්කය කරා අවතීර්ණ වූයේ කඩුලූ 4 ක් පමණක් දැවී  ඕවර 13 කුත් පන්දු 4ක් ඉතිරිව තිබියදීය.

වැලමිටේ සැත්කමක් නිසා දකුණු අපි‍්‍රකාවේ නිත්‍ය නායක ඒ.බී. ඩි’විලියර්ස්ද, හදිසියේම වයිරස් ආසාදනයක් ඇතිවීම නිසා ජ්‍යෙෂ්ඨතම පිතිකරු හෂීම් අම්ලාද නොමැතිව දකුණු අපි‍්‍රකානු පිල තරගයට එක්වෙද්දී  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ට තරමක සැහැල්ලූවක් දැනුණි.

එහෙත් ඒ සැහැල්ලූව සුළු වේලාවකින් නිමාවට පත්වූයේ 23 හැවිරිදි ඩි’කොක්ගේ විස්මිත ප‍්‍රහාරයත් සමගිනි.

ඕස්ටේ‍්‍රලියානුවන්ට ඊයේ කී‍්‍රඩා කළ එකම අත්දැකීම් බහුල වේගපන්දු යවන්නා වූ ජෝන් හේස්ටිංග්ස්ගේ  ඕවර 7 කින් කඩුලූ නොදී ලකුණු 52 ක්ම මිරිකා ගැනීමට සත්කාරකයෝ සමත්වූහ. සිය දෙවැනි තරගයට කී‍්‍රඩා කළ ආරම්භක වේගපන්දු යවන්නා වූ ඩැනියෙල් වොරල්ගේ  ඕවර 7 ට කඩුලූ ලකුණු 50 කින් සංග‍්‍රහ කළ දකුණු අපි‍්‍රකානුවෝ මිචෙල් මාෂ්ගේ  ඕවර 8 න් ලකුණු 66 කුත් ගුග්ලි විශාරදයකු යයි කියන ඇඩම් සම්පාගේ  ඕවර 5 න් ලකුණු 44 කුත් උදුරා ගත්තේ  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ සැලසුම් සියල්ලම අවුල් කර දමමිනි.

මේ කිසිදු පන්දු යවන්නකු තඹේකට මායිම් නොකළ ඩි’කොක් පන්දු 113 කදී හතරේ පහර 16 කුත්, හයේ පහර 11 කුත් සිය ඉනිමට ඇතුළත් කරමින් පිටිය දෙවනත් කළේය. ස්කොට් බෝලන්ඞ් යැවූ 34 වැනි  ඕවරයේ සිවුවැනි පන්දුවෙන් ට‍්‍රැවිස් හෙඞ්ට උඩපන්දුවක් දී ආරම්භක පිතිකරුවා දැවී යද්දී දකුණු අපි‍්‍රකානු ජයග‍්‍රහණයට අවශ්‍යවී තිබුණේ ලකුණු 15 ක් පමණි.

සිය ආරම්භක සගයා වූ රිලී රුසෝව් සමග එක්ව පළමු කඩුල්ලට  ඕවර 17.1 කදී ලකුණු 145 ක් එකතු කළ ඩි’කොක් අනතුරුව වැඩ බලන නායක ෆෆ් ඩු ප්ලෙසිස් හා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 123 ක් එකතු කළේ  ඕවර 14 කුත් පන්දු 3 කිනි.

වාර්තා පිට වාර්තා තැබූ කොක් ඊයේ රැුස් කළේ දකුණු අපි‍්‍රකානුවකු එක්දින තරග බිමේ රැස් කළ ඉහළම දෙවැනි ලකුණු සංඛ්‍යාවය. ඊට පෙර හිටපු ආරම්භක පිතිකරු ගැරී කර්ස්ටන් 1996 ලෝක කුසලාන තරගමාලාවේ දී එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිලට එරෙහිව නොදැවී ලකුණු 188 ක් රැස් කරමින් ඒ වාර්තාවට අයිතිය තබාගෙන සිටී.

කෙසේ වෙතත් ක්වින්ටින් ඩි’කොක්ගේ ඉනිම දකුණු අපි‍්‍රකාවේ පැවැති එක්දින තරගයකදී පිතිකරුවකු ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත් වාර්තාපොතට එක්විය. එපමණක් නොව පන්දු 101 කින් ලකුණු 150 සිමාවට එක්වූ හෙතෙම වේගවත්ම ලකුණු 150 ලැබූ 7 වැනි  පිතිකරු ලෙසත් වාර්තා පොතට ඇතුළත් විය.

සුපුරුදු ආක‍්‍රමණශීලී පිතිප‍්‍රහාරය ආරම්භ කළ  ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු යුගලය ඬේවිඞ් වෝනර් සහ ඒරන් ෆින්ච් 10 වැනි  ඕවරය වෙද්දී ලකුණු 64 ක් ඉනිමට එක් කිරීමට සමත්වූවත් වේන් පානෙල්ගේ පන්දුවක් හමුවේ වෝනර් දැවීයාමෙන් පසුව ඉනිම අඩපණ වූයේ 20 හැවිරිදි තුන්ඉරියව් කී‍්‍රඩක ඇන්ඩිලි පෙලූක්වායෝගේ විස්කම නිසාය. අයර්ලන්තයට එරෙහිව පසුගියදා එක්දින තරග වරම් ලැබූ හෙතෙම සිය දෙවැනි තරගයේදීම ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානුන් අන්දමන්ද කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූයේ 13 වැනි  ඕවරයේ පළමු පන්දුවෙන් ෆින්ච්වත්, සිවුවැනි පන්දුවෙන් නායක ස්ටීවන් ස්මිත්වත් දවාලමිනි. ඉන් නොනැවතී ඉනිම පුරා කඩුලූ 4 කට වග කී මේ තරුණ කී‍්‍රඩකයා සංචාරකයන් දැඩි පීඩනයකට ද ඇද දැමුවේය.

ඇද වැටුණු ඉනිම පිළිසකර කළ ජෝර්ජ් බේලි කල්පනාකාරීව පිත්ත හැසිරවූ අතර ලකුණු 192 කට කඩුලූ 6 ක් බිඳ වැටී තිබියදී ජෝන් හේස්ටිංග්ස් සමග එක්ව ලකුණු 271 දක්වා ඉනිම ඇදගෙන ගියේ අගනා අර්ධ ශතකයකටත් හිමිකම් කියමිනි. ඔහුට අනගි සහයක් ලබා දුන් හේස්ටිංග්ස් ඊයේ ලැබුවේ සිය එක්දින තරග දිවියේ පළමු අර්ධ ශතකයයි.

ඕස්ටේ‍්‍රලියාව – කඩුලූ 9ක් දැවී  ඕවර 50ක දී ලකුණු 294
(ඬේවිඞ් වෝනර් 40, ඒරොන් ෆින්ච් 33, ජෝර්ජ් බේලි 74, මිචෙල් මාෂ් 31, ජෝන් හේස්ටිංග්ස් 51, ඬේල් ස්ටේන් 65/2, ඇන්ඩිලි පෙලූක්වායෝ 44/4)

දකුණු අපි‍්‍රකාව – කඩුලූ 4ක් දැවී  ඕවර 36.2කදී ලකුණු 295
(ක්වින්ටන් ඩි කොක් 178, රිලී රුසොව් 63, ෆෆ් ඩු ප්ලෙසිස් 26, ස්කොට් බෝල්න්ඞ් 67/)

 

-077

 

සම්පා ගැන බලාපොරොත්තු රැඳවෙයි

අන්තර්ජාතික එක්දින ක්‍රිකට් පිටියේ නොම්මර එකේ කණ්ඩායම වන ඕස්ට්‍රේලියාව දැනට එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි තැන සිටින දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් යුතු එක්දින තරගාවලියට ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේ ඉහළ පෙලේ වේගපන්දු යවන්නන් නොමැතිවය. මිචෙල් ස්ටාක් සහ ජොස් හේස්ල්වුඞ් විවේක ගන්වා ඇති අතර නේදන් කූල්ටර්නයිල්, ජේම්ස් පැටින්සන්, පැට් කමින්ස්, ජේම්ස් ෆෝක්නර් සහ පීටර් සිඞ්ල් එළියේ සිටින්නේ තුවාල ලබා ඇති බැවිනි.

මෙම කාරණා හේතුවෙන් සෙන්චූරියන්හිදී අද (30 වැනිදා) පැවැත්වෙන තරගාවලියේ පළමු එක්දින තරගයට අලුත් වේගපන්දු යවන්නන් තිදෙනෙක් ඇතුලත්වී සිටිති. ඕස්ට්‍රේලියානුවන් පසුගිය අඟහාරුවාදා බිනෝනි හී දී අයර්ලන්තයට එරෙහිව කඩුලු 9 ක ජයක් අත්කර ගත් තරගයෙන් එක්දින තරග වරම් ලැබූ ඩැනියෙල් වොරල්, ක්‍රිස් ටේ‍රමේන් සහ ජෝ මෙනී සංචිතයට එක්වි ඇත්තේ දැනට ඉතිරිව සිටින අත්දැකීම් බහුල එකම වේගපන්දු යවන්නා වන ජෝන් හේස්ටිංස්ට සහයවීමටය.

කෙසේවුවත් අද ඇරැඹෙන එක්දින තරගාවලියේ දී ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රධානතම පන්දු යැවීමේ තුරුම්පුව බවට පත්වී සිටින්නේ 24 හැවිරිදි පාදඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පාය. පසුගිය පෙබරවාරියේ එක්දින තරග වරම් දිනාගත් සම්පා මේ දක්වා එක්දින තරග 13 කදී කඩුලු 25 ක්ම බිඳ දමා ඇති නමුත් තරමක් පොඩි ක්‍රීඩාංගණ ඇති  නිසාත්, සෙන්චූරියන් සහ ජොහැන්නස්බර් වැනි තැන්වල තද සුළං ඇති නිසාත් ඔහුගේ හැකියාව කෙතරම් දුරට සාර්ථක වේදැයි කිව නොහැකිය.

පසුගිය සතියේ දකුණු අප්‍රිකාවට ගොඩ බට විගස ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන් කීවේ කණ්ඩායමේ ස්වභාවය අනුවත්, තරගයේ ස්වභාවය අනුවත් පන්දු යවන්නන් මාරු කිරිම අත්‍යවශ්‍ය කරුණක් වනු ඇති බවයි.

ඒ අතරම පන්දු යවන්නන්ගේ අඩුලුහුඬුකම් මැද සිටින ඕස්ට්‍රේලියානුවන්ගේ අස්වැසිල්ලට හේතුවී ඇත්තේ ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල නොම්මර එකේ පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස් වැලමිටේ සැත්කමකට සහභාගිවන බැවින් මෙවර එක්දින තරගාවලියට සහ ලබන නොවැම්බරයේ දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමය. එසේ වුවත් ක්වීන්ටන් ඩි කොක්, හෂීම් අම්ලා සහ වැඩ බලන නායක ෆෆ් ඩු ප්ලෙසිස් පෙරමුණ ගත් සෑහෙන තරමේ ශක්තිමත් පිතිහරඹ පෙළ ගැස්මක් දකුණු අප්‍රිකානුවන් සතුව පවතී.

එක්දින තරගමාලාවේ දී ඔවුන්ට වැඩි වාසියක් සැලසෙනු ඇත්තේ පන්දු යැවීමේ අංශයෙනි. පූර්ණ ශාරිරික යෝග්‍යතාවයෙන් යුතුව ඬේල් ස්ටේන් නැවත කණ්ඩායමට එක්වී සිටින අතර ඔහු කගීසෝ රබාඩා සමග එක්ව නව පන්දුවෙන් ප්‍රතිවාදීන් පරීක්’ෂාවට භාජනය කරනු ඇත. ඒ අතරම නියම තුන්ඉරියව් ක්‍රීඩකයකු වීමට බලාපොරොත්තුවෙන් සිටින ජේ. පී. ඩුමිනි ද වැඩිපුර ඕවර සංඛ්‍යාවක් යැවීමට දැනටමත් බලාපොරොත්තු සහගතව බලා සිටී.

සිය අන්තිම එක්දින තරගමාලා 6 අතරින් 5 ක්ම දිනා සිටින දකුණු අප්‍රිකාව මාන බලන්නේ 6 වැනි එක්දින තරගමාලාවත් තමන් සන්තකයට ගැනීමටය. එහෙත් පන්දු යවන්නන්ගෙන් දුර්වල කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියාව හමුවේ දී වූවත් වැඩිපුර සැහැල්ලුවට ගැනීම හොඳ නැති බව ඔවුන් කල්තියාම දැන සිටී.


දකුණු අප්‍රිකානු සංචිතය

ෆෆ් ඩු ප්ලෙසිස් (නායක), කයිල් ඇබෙට්, හෂීම් අම්ලා. ෆර්හාන් බෙහාර්ඩීන්, ක්වින්ටන් ඩි කොක්, ජේ.පී. ඩුමිනි, ඬේවිඞ් මිලර්, වේන් පානෙල්, ඒරන් පැන්ගිසෝ, අන්ඩිලි පෙහ්ලුවායෝ, ඞ්වේන් ප්‍රිටෝරියස්, කගීසෝ රබාඩා, රිලී රූසොව්, ටබ්‍රේයිස් ෂම්සි, ඬේල් ස්ටේන් සහ ඉම්රාන් තාහීර්.


ඕස්ට්‍රේලියානු සංචිතය
ස්ටීවන් ස්මිත් (නායක), ජෝර්ජ් බේලි, ස්කොට් බෝලන්ඞ්, ඒරොන් ෆින්ච්, ජෝන් හේස්ටිංස්, ට්‍රැවිස් හෙඞ්, උස්මාන් කවාජා, මිචෙල් මාෂ්. ජෝ මෙනී, ක්‍රිස් ටේ‍රමේන්. මැතිව් වේඞ්, ඬේවිඞ් වෝනර්, ඩැනියෙල් වොරල් සහ ඇඩම් සම්පා.


 – 077