Category Archives: Windies v India 2016

ඉන්දියාව ඉනිමකින් ජයගනී

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 92 ක ජයක් අත්කරගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (24 වැනිදා) සමත් විය. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 323 ක් රැස්කිරීමේ අභියෝගයට මුහුණදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 231 කට සීමා කිරීමට රවිචන්ද්‍රන් අෂ්වින් ප්‍රමුඛ ඉන්දීය පන්දුයවන්නෝ සමත් වූහ.

තරගයේ තෙවැනි දිනය (23 වැනිදා) අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 21 ක් ලබා සිටි කොදෙව්වන්ට සිව්වැනි දිනයේදී සිය ලකුණු පුවරුවට අලුතින් එක් කරගත හැකිවූයේ ලකුණු 210 ක් පමණි.  

තම ටෙස්ට් දිවියේ දෙවැනි හොඳම පන්දුයැවීම වාර්තා කරමින් තරගයේ පාලනය සියතට ගත් රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 87 කට කඩුලු 7 ක් දවාගනිමින් කොදෙව් ඉනිම සුණුවිසුණු කර දැමුවේය.

කොදෙව් දෙවැනි ඉනිමේදී අර්ධ ශකයක් ලබාගැනීමට මාලන් සැමුවෙල්ස් (50) සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් විය. රාජේන්ද්‍ර චන්ද්‍රික (31) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සැමුවෙල්ස් සමත් විය.

කොදෙව් ඉනිමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කාර්ලෝස් බ්‍රැත්වෙයිට් (නොදැවී 51) සහ දේවේන්ද්‍ර බිෂෝ (45) සමත් වුවද, ඉනිමක පරාජයෙන් ගැලවීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. කාර්ලෝස් බ්‍රැත්වෙයිට්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර දේවේන්ද්‍ර බිෂෝගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

ලකුණු 113 ක් රැස්කරමින් සහ කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද එකසේ දස්කම් දැක්වූ රවිචන්ද්‍රන් අෂ්වින් තරගයේ වීරයා බවට පත්විය.

කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිමද ලකුණු 243 කට සීමා වූ අතර එහිදී ක්‍රෙග් බ්‍රැත්වෙයිට් (74) සහ ෂේන් ඩොව්රිච් (නොදැවී 57) අර්ධ ශතක ලබාගැනීමට සමත් වුහ. දක්ෂ පන්දුයැවීමක නරත වූ උමේෂ් යාදව් සහ මොහොමඞ් සාමි කඩුලු 4 බැගින් දවාගනිමින් කොදෙව් පළමු ඉනිම අඩපණ කළහ.

විරාට් කෝලිගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය (200) සහ රවිචන්ද්‍රන් අෂ්වින්ගේ තෙවැනි ටෙස්ට් ශතකය (113) හේතුවෙන් පළමු ඉනිම සඳහා ලකුණු 566 ක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය.


ඉන්දියාව පළමු ඉනිම – කඩුලු 8 ක් දැවී 566
(ශිකාර් ධවාන් 84, චෙටේෂ්වර් පුජාරා 16, විරාට් කෝලි 200, අජින්ක්‍යා රහනේ 22, රවිචන්ද්‍රන් අෂ්වින් 113, රිදිමන් සාහා 40, අමීත් මිෂ්රා 53, මොහොමඞ් සාමි නොදැවි 17, ක්‍රේග් බ්‍රැත්වෙයිට් 65/3, දේවේන්ද්‍ර බිෂෝ 163/3, ශැනොන් ගේබි්‍රයෙල් 65/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම – සියලු දෙනා දැවී 243
(රාජේන්ද්‍ර චන්ද්‍රික 16, ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 74, රොස්ටන් චේස් 23, ෂේන් ඩොව්රිච් නොදැවී 57, ජේසන් හෝල්ඩර් 36, උමේෂ් යාදව් 41/4, මොහොමඞ් සාමි 66/4, අමීත් මිෂ්රා 4/2)

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී 231
(රාජේන්ද්‍ර චන්ද්‍රික 31, මාලන් සැමුවෙල්ස් 50, ජේසන් හෝල්ඩර් 16, කාර්ලෝස් බ්‍රැත්වෙයිට් නොදැවී 51, දේවේන්ද්‍ර බිෂෝ 45, රවිචන්ද්‍රන් අෂ්වින් 83/7)


- 036

 

ඉන්දීය පිලට හොඳ ආරම්භයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (21 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 4 ක් දැවී ලකුණු 302 ක් ලබා සිටියහ.

අගනා පිතිහරඹයක නිරත වූ නායක විරාට් කෝලි නොදැවී ලකුණු 143 ක් රැස්කළේ හතරේ පහර 16 ක් සමගිනි.

ඉන්දීය කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශිකර් ධවාන් සමග එක්ව ලකුණු 105 ක ශතක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කෝලි සමත් විය. ධවාන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.

ඊට අමතරව දෙවැනි කඩුල්ල වෙනුවෙන් චෙටේෂ්වාර් පුජාරා සමග එක්ව ලකුණු 60 ක සම්බන්ධතාවක්ද, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අජින්ක්‍යා රහනේ සමග එක්ව ලකුණු 57 ක සම්බන්ධාතවක්ද, පස්වැනි කඩුල්ල වෙනුවෙන් රවිචන්ද්‍රන් අෂ්වින් සමග ලකුණු 66 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනැගූ කෝලි, ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.  

කොදෙව් කණ්ඩායමේ සාර්ථකම පන්දුයවන්නනා බවට පත්වූ දේවේන්ද්‍ර බිෂෝ ලකුණු 108 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය.  


ඉන්දියාව පළමු ඉනිම – කඩුලු 4 කට 302
(ශිකර් ධවාන් 84, චෙතේෂ්වර් පුජාරා 16, විරාට් කෝලි නොදැවී 143, අජින්ක්‍යා රහනේ 22, රවිචන්ද්‍රන් අෂ්වින් නොදැවී 22, දේවේන්ද්‍ර බිෂෝ 108/3)


- 036

ශිකර් ධවාන් සහ විරාට් කෝලි

 

ඉන්දීය පිතිකරුවෝ දඩබිමට පිවිසෙති

වසර ගණනාවක් පුරා මවුබිමේදී පෙන්වූ දස්කම් මත රඳා තිබූ ඉන්දියාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව එතැනින් ඉහළට ඔසවා තැබීමේ වගකීම නව පුහුණුකරු අනිල් කුම්බල් මහතා විසින් බාරගනු ලැබ ඇත. කුම්බ්ල් මහතා පවසන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩාංගණ වල තත්ත්වයන්ට හුරුවීම ඉන්දීය ක්‍රීඩකයන්ට එතරම් අසීරු නොවන බවයි.

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (21 වැනිදා) ඇන්ටිගුවා හිදී ආරම්භ වේ.

වසර 2011 දී ඉන්දීය පිලේ කොදෙව් සංචාරයේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඉන්දීය පිල 1-0 ක් ලෙසින් තරගාවලිය ජයගත්තේය. එහෙත් එතැන් සිට මේ දක්වා ඉන්දීය පිල ආසියානු කලාපයෙන් පිටත පැවැති තරගාවලි 6 ක් එක දිගට පරාජය වී තිබේ. එහි තරග වාර්තාව වන්නේ තරග 20 කින් තරග 15 ක් පරාජය වූ සැටියකි.

කෙසේ වෙතත් පසුගිය වසරෙදී ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය 2-1 කින් ජයගැනීම මෙම වාර්තාවට ඇතුළත් කර නැත්තේ එය ආසියානු කලාපයේදී පැවැති තරගාවලියක් බැවිනි. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය පිල මේ වන විට ඕස්ටේ්‍රලියාවට පමණක් දෙවැනි වී සිටී.

කණ්ඩායමේ විනය පිළිබඳ දැඩි පිළිවෙතක් අනුගමනය කරන නව පුහුණුකරු පමාවී පැමිණෙන සෑම දෙනාටම ඩොලර් 50 ක දඩයක් නියම කර තිබේ.

අනිල් කුම්බල් මහතාට සිය පළමු තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලම ලැබී තිබීම විශාල සහනයකි. කොදෙව් පිලේ පවතින පරිපාලනමය ප්‍රශ්න සහ ඇතැම් ක්‍රීඩකයන් ටෙස්ට් ක්‍රිකට් තරග වලින් ඉවත්වී සිටීම නිසා කොදෙව් පිල බෙහෙවින් දුර්වල වී සිටී. වේග පන්දු යවන ක්‍රීඩක ජෙරම් ටේලර්ද මෑතකදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ සීමිත ඕවර තරග සහ විස්සයි:20 තරග කෙරේ වැඩි උනන්දුවක් දැක්වීමේ අදහසනි.

මෙම තත්ත්වය අනුව ඉන්දීය පිතිකරුවන් මේ පිවිසෙන්නේ පහසුවෙන් දඩයම් සොයගත හැකි දඩබිමකටය.
වසර 4 ක් ඇතුළත විස්සයි:20 ලෝක කුසලානය දෙවරක්ම (2012 සහ 2016) දිනාගත් නමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව කොදෙව් පිල සිටින්නේ 9 වැනි ස්ථානයේය.

එහෙත් විස්සයි:20 ලෝක කුසලාන අවසන් මහ තරගයේ අවසන් පන්දු 4 දී පිට පිටම හයේ පහර 4 කින් ක්‍රිස් වෝක්ස්ට සංග්‍රහ කරමින් කොදෙව් පිලට ලෝක කුසලානය දිනා දුන් කාලෝස් බ්‍රැත්වෙයිට් කියන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන් ඉවසිලිවන්ත විය යුතු බවයි.

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවන් වශයෙන් අපි වැඩි කාලයක් තණතීරුවේ ගතකරන්න ඕනෑ. මේ දවස්වල අපේ ක්‍රීඩකයන්ගේ කාමරයේ තියෙන එකම දේශනාව ඕක තමයි” යයි කාලෝස් බ්‍රැත්වෙයිට් කියයි.


කෙදෙව් – ඉන්දීය ටෙස්ට් තරගාවලිය

ජූලි 21-25     : පළමු ටෙස්ට් තරගය ඇන්ටිගුවාහිදී
ජූලි 30-අගෝ 3    : දෙවැනි ටෙස්ට් තරගය ජැමෙයිකාවේදී
අගෝ 9-13    : තුන්වැනි ටෙස්ට් තරගය ශාන්ත ලුසියාහිදී
අගෝ 18-22    : සිවුවැනි ටෙස්ට් තරගය ටි්‍රනිඩෑඞ්හිදී