Category Archives: PAK in ENG 2016

එංගලන්තයට වාසිදායක අනාවැකි

සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ එක්දින තරගාවලියෙන් ලැබූ පරාජයේ වාඩුව පිරිමසා ගැනීමේ බලාපොරොත්තුවෙන් ද, මාස දෙකක තරම් දීර්ඝ සංචාරය ජයග්‍රාහී සෙයියාවෙන් නිමාවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ද හිත් පුරවා ගත් පාකිස්තානුවෝ මැන්චෙස්ටර් නුවර ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දෙපිල අතර එකම විස්සයි20 තරගයට අද (7) මුහුණ දෙති.

කෙටි මුහුණුවරකින් යුතු තරගවලදී කලෙක පටන් පාකිස්තානු පිල දැඩි පසුබෑමකට ලක්වී සිටින අතර එක්දින තරගාවලියේ අවසන් තරගය පවා ජයගත්තේ පළමු තරග 4 ම පරාජයට පත්වී සිටි මොහොතකදීය. කෙසේ වුවත් ඒ ජයග්‍රහණයෙන් ලැබූ උද්දාමයත්, අමුතු උත්තේජනයත් මත හෙට තරගයට ඉහළ මානසිකත්වයක් ගොඩ නගාගැනීමට පාකිස්තානුවෝ වාසනාවන්ත වී සිටිති.

අනිත් අතට පාකිස්තාන  පිලේ විස්සයි20 කණ්ඩායමේ නව නායක සර්ෆ්‍රාස් අහමඞ් මෙවර මුලු සංචාරයේදීම විස්මිත අයුරින් දස්කම් අතර සිටින බැවින් සිය නායකත්වයේ වගකිමත්, පිතිකරුවාගේ වගකිමත් දෙකම අකුරටම ඉටු කිරීමට උපරිම උත්සාහයක නිරතවනු ඇත. අද තරගයට ඔවුන් කණ්ඩායම අලුත් කොට ඇත්තේ අමාඞ් බට්, කාලිඞ් ලතීෆ් සහ සොහේල් තන්වීර් ඇතුලත් කරගනිමිනි. ඒ අනුව එක්දින පිලේ නායක අසාර් අලි, උමාර් ගුල්, සමී අස්ලාම්, යසීර් ෂා සහ හසන් අලී මේ වනවිටත් ගම්බිම් බලා පියාසර කරමින් සිටිති.

බෙන් ස්ටෝක්ස්

එක්දින තරගාවලිය 5-0 ක් ලෙස පහසුවෙන් පාකිස්තානුවන් බිමට සමතලා කරදැමීමට තිබු අවස්ථාවක් මග හැරීයාමෙන් තරමක් කනස්සල්ලෙන් යුතුව සිටින එංගලන්ත පිල එකම විස්සයි:20 තරගයේ දී ඒ කණගාටුව සතුටකට හරවා ගැනීමට සූදානමින් පසුවෙයි.

පාකිස්තානු පිලේ එංගලන්ත සංචාරය පටන්ගත් දිනයේ සිටම බුකී කරුවෝ සහ විචාරකයෝ එංගලන්තය පරාජය වූවත් නැතත් ඔවුන්ගේ වාසියට අනාවැකි පළ කළහ. සුපුරුදු පරිදි විස්සයි:20 තරගයත් සත්කාරකයෝ දිනන බවට ඔව්හු දැනටමත් පුරසාරම් දොඩවන්නට පටන් ගෙන සිටිති.

වත්මන් විස්සයි20 තරග බිමේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව එංගලන්තය 5 වැනි තැන පසුවන අතර පාකිස්තානය පසුවන්නේ 7 වැනි තැනය. මේ වසර මුල් භාගයේ බංග්ලාදේශයේ පැවැති විස්සයි20 ආසිායනු කුසලාන තරගාවලියේදිත්, විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදිත් වේලාසනින්ම ඉවතට විසිවූ පාකිස්තානයට කොහොමටත් ඒ හැටි වාසනාවක් නම් නැත.

විස්සයි20 ලෝක අනුශූරයන් වන එංගලන්තයට කෙටි මුහුණුවර යටතේ වැඩි දෙයක් කිරීමට තරම් සමත් පිතිකරුවන්ගෙන් මෙන්ම පන්දු යවන්නන්ගෙන් අඩුවක් නැත. කලක් ආබාධයකට ලක්ව සිට නැවත එක්දින කණ්ඩායමට එක්වූ තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එම තරගාවලියේදී සියලු අංශවලින් දස්කම් පෑවේ විස්සයි20 තරගයේදිත් පාකිස්තානුවන්ට ප්‍රබල අභියෝගයක් බවට කල්තියාම කියා පාමින

ස්ටෝක්ස් විස්සයි20 තරගයකට ක්‍රීඩා කරන්නේ පසුගිය විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ අවසන් පන්දු ඕවරය යවමින් ජීවිතය පුරා අමතක නොවන කටුක අත්දැකීමක් එකතු කරගැනීමෙන් පසුවය. එදා කල්කටා නුවර පැවැති විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ජයග්‍රහණයට බටහිර ඉන්දීය කොදෙව් පිලට ලකුණු 19 ක් අවශ්‍ය තිබූ අතර ස්ටෝක්ස්ට පිට පිට හයේ පහර 4 ක්ම වැදුණේ ඔහුගේ දෑස් කඳුලෙන් තෙත් කරවමිනි.


- 077

 

ෂොයිබ් – සර්ෆ්‍රාස් පාකිස්තානු ගෞරවය රකිති

තරග 5-0 ජයග්‍රහණයකින් සංචාරක පාකිස්තානුවන් බිමට සමතලා කිරීමට උදම් අනමින් සිටි එංගලන්තයේ බලාපොරොත්තුව බිඳ දැමූ සර්ෆ්‍රාස් අහමඞ් සහ ෂොයිබ් මලික් කඩා වැටුණු පාකිස්තානු ඉනිමට මුක්කු ගැසීම නිසා ලන්ඩනයේ කාඩිෆ් නුවරදී ඊයේ පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් ලබාගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය.

තරගාවලිය 4-1 කින් පරාජය වූ නමුත් සර්ෆ්‍රාස් සහ මලික් දෙදෙනා පාකිස්තානු ගෞරවය රැකගත්හ.
එංගලන්තය ලබා දුන් ලකුණු 303 ක අසීරු ඉලක්කය හඹා ගිය පාකිස්තානය කඩුලු 6 ක් පමණක් දැවී තරගය ජයගත්තේ තවත් ඕවරයකුත්, පන්දු 4 ක්ම ඉතිරිව තිබියදීය. එය ආසියාතික නොවන රටකට එරෙහිව ආසියාවෙන් පිටත දී පාකිස්තානු කණ්ඩායමක් විසින් ඉලක්කයක් කරා යමින් ලබාගන්නා ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාපොතට එක්විය.

ජේසන් රෝයි

පාකිස්තානු ඉනිම සිරිත් පරිදි කඩා බිඳ දැමීම ආරම්භ කරමින් ක්‍රිස් වෝක්ස් පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 22 කට සීමා කරමිනි. සාර්ජිල් ඛාන් දවාගැනීමෙන් පසුව මාක් වුඞ් එක් ඕවරයකදීම බාබර් අසාම් සහ නායක අසාර් අලී වේලාසනින්ම ක්‍රීඩාගාරයට හරවා යවද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 කට 77 ක් ලෙසිනි. අනතුරුව ෂොයිබ් මලික් සහ සර්ෆ්‍රාස් අහමඞ් කදිමට ඉනිම පිළිසකර කරමින් සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 163 ක් විය.

ලකුණු 9 ක් ලබා සිටියදී මලික් අසීරු උඩපන්දුවක් දුන්නත් ෂෝට් කවර් ස්ථානයේ සිට ඉදිරියට පැන එය ඩැහැ ගැනීමට ජෝ රූට් ගත් උත්සාහය අපතේ ගිය අවස්ථාව හැරුණු කොට එංගලන්ත පන්දු යැවීමේ බලඇණියට මේ දෙදෙනා සාර්ථකව මුහුණ දුන්හ.

පා ඉන්න පැත්තෙන් පන්දුව තල්ලු කර හරින්න සමත් සර්ෆ්‍රාස් මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ වමතින් දඟපන්දු යවන ලයාම් ඩෝසන්ට දරුණු ලෙස පහර දුන්නේය. ඩෝසන්ගේ පන්දු හමුවේ පකිස්තානු පිතිකරුවන් ලකුණු 70 ක් උදුරා ගැනීම නිසා  මේ අසරණ පන්දු යවන්නා මංගල එක්දින තරගයේදීම වැඩිම ලකුණු සංඛ්‍යාවක් තිළිණ කළ එංගලන්ත පන්දු යවන්නා බවට පත්විය.

ෂොයිබ් මලික් සහායකයාගේ භූමිකාව නිරූපනය කළේය. සිය සගයාට කදිම සහයක් දුන් වඩාත් පළපුරුදු දකුණත් පිතිකරුවා ඩෝසන් යැවූ පන්දුවකින් දැවී ගිය අතර සර්ෆ්‍රාස්ට මේ තරගාවලියේ ලබාගැනීමට තිබූ දෙවැනි ශතකය ගිලිහී ගියේ ලකුණු 10 කිනි.

මේ දෙදෙනාගේ දැවීයාමෙන් පසුව පාකිස්තානුවන් මෙවර එංගලන්ත සංචාරයේ සිය එකම එක්දින තරග ජයග්‍රහණය සඳහා ඕවර 10 කින් ලකුණු 47 ක් ගත යුතුව තිබිණි. එහෙත් මොහොමඞ් රිස්වාන් සහ වේල්සයේ උපන් ඉමාඞ් වසීම් තරගය වෙනස් කිරීමට කොහෙත්ම එංගලන්තයට ඉඩ දුන්නේ නැත. මෙවර එක්දින තරගාවලියේ සෑම තරගයකම නොදැවි සිටි වසීම් ඊයේ තරගයේදිත් කඩුල්ල රැක ගත්තේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමිනි.

ෂොයිබ් මලික්

එංගලන්තය නැවත වතාවක් සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් එහා මෙහා කර තිබූ අතර ආදිල් රෂීඞ් සහ මුයින් අලී විවේක ගන්වා තිබිණි. කාඩිෆ් වැනි වියළි ස්වභාවයක් උසුලන තණතීරුවක ඔවුන් දෙදෙනා වෙහෙස නොකොට බංග්ලාදේශ සහ ඉන්දියා සංචාරවලට සූදානමක් ලෙස හැම්ෂයර් ප්‍රාන්ත පිලේ ඩෝසන්ට තැනක් දී තිබිණි. එහෙත් එක් දඟපන්දු යවන්නකු පමණක් කණ්ඩායමට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව ගත් තීන්දුව වැරැදි සහගත එකක් බව තහවුරු කරමින් කාඩිෆ් තණතීරුව දඟපන්දු යවන්නන්ට කදිමට ගැලපුණි.

කාසියේ වාසිය දිනා එංගලන්තයට ඉනිම ආරම්භ කිරීමට ඉඩ සැලසූ පාකිස්තානු පිලේ නායක අසාර් අලීට කදිම පිළිතුරක් දුන් එංගලන්ත පිතිකරුවෝ ප්‍රතිවාදින්ට අසීරු ඉලක්කයක් ලබාදෙමින් ලකුණු 300 සීමාව පැනගත්තේ ආරම්භක පිතිකරු ජේසන් රෝයිට සහ මැදපෙළින් පැමිණි බෙන් ස්ටෝක්ස්ට පින්සිදු වන්නටය.

 ලකුණු 92 කට කඩුලු 3 ක් වැටී තිබියදී දෙදෙනා එක්ව සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව 72 කි. ජේසන් රෝයිගේ දැවීයාමෙන් පසුව ජොනීි බෙයාර්ස්ටෝ සමග එක්වූ ස්ටෝක්ස් පස්වැනි කඩුල්ලටත් ලකුණු 55 ක් එකතු කළේය.

මුලු ලකුණු සංඛ්‍යාව 219 ක්ව තිබියදී 38 වැනි ඕවරයේ බෙයාර්ස්ටෝ පස්වැනි කඩුල්ල ලෙස දැවීයාමෙන් ආරම්භ වූ මැදපෙළ කඩා වැටීම නිමාවූයේ ලකුණු 64 ක් තුළ පිතිකරුවන් පස් දෙනකුම ආපසු ක්‍රීඩාගාරයට හැරී යාමෙනි. ඉනිමේ අවසන් ඕවර අටට ඔවුන්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 42 ක් පමණි.

 


එංගලන්තය – ඕවර 50කදී කඩුලු 9ක් දැවී 302
(ජේසන් රෝයි 87, ඇලෙක්ස් හේල්ස් 23, බෙන් ස්ටෝක්ස් 75, ජොනී බෙයාර්ස්ටෝ 33, මොහොමඞ් ආමීර් 50/3, හසන් අලි 60/4)

පාකිස්තානය – ඕවර 48.2කදී කඩුලු 6ක් දැවී 304
(අසාර් අලී 33, බාබර් අසාම් 31, ෂොයිබ් මලික් 77, සර්ෆ්‍රාස් අහමඞ් 90, මොහොමඞ් රිස්වාන් නොදැවී 34, ඉමාඞ් වසීම් නොදැවී 16, මාක් වුඞ් 56/2, ලයාම් ඩෝසන් 70/2)


- 077

 

එංගලන්තය වාර්තා පොත අලුත් කරයි

වාර්තා පිට වාර්තා බිඳ දැමූ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් රැුස් කළ විශිෂ්ට ශතකය මත ඉනිම ගොඩ නැගූ එංගලන්තය ඊයේ ටෙ‍්‍රන්ට්බි‍්‍රජ්හී දී පාකිස්තානයට එරෙහිව පැවැති තුන්වැනි එක්දින තරගයෙන් ලකුණු 169 ක දැවැන්ත ජයක් ලබා එක්දින තරගාවලියේ ජයත් 3-0 ක් ලෙසින් වේලාසනින්ම අත්පත් කරගත්තේය.

සංචාරකයන් අන්ද මන්ද කළ පිති ප‍්‍රහාරයක නිරතවූ හේල්ස් ටෙ‍්‍රන්ට්බි‍්‍රජ් පිටිය දෙවනත් කළාට පසුව පැමිණි ජොස් බට්ලර් පන්දු 22 කදී අර්ධ ශතකයක් ලබාගනිමින් එංගලන්ත පිතිකරුවකු ලැබූ වේගවත්ම එක්දින අර්ධ ශතකයේ වාර්තාවට හිමිකම් කියමින් එංගලන්ත ඉනිම  ඕවර 50 අවසානයේ කඩුලූ 3 කට ලකුණු 444 ක් දක්වා ඉහළට ඔසවා තැබුවේ වාර්තාපොත තවත් අලූත් කරමිනි. ඊට පෙර 2007 නේපියර් හී දී පෝල් කොලින්වුඞ් පන්දු 24කින් අර්ධ ශතකයක් ලබාගනිමින් එම වාර්තාව තබා තිබිණි.

එංගලන්ත පිල ඊයේ බිඳ දැමුවේ මීට පෙර 2006 දී නෙදර්ලන්තයට එරෙහිව කඩුලූ 9 කට ලකුණු 443 ක් රැස්කරමින් ශී‍්‍ර ලංකාව තැබූ එක්දින පිටියේ එක් ඉනිමක  ඕනෑම කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි.

පළමු තරග දෙකම පරාජයට පත්වී සිටි පාකිස්තානයේ ඇතිවීම හෝ නැතිවීම මේ තරගයෙන් තීරණය කෙරෙන බවට පළවූ සියලූ විචාරක මත සහ තරගයේ ජයග‍්‍රහණය එංගලන්තයට හිමිවන බවට පළවූ සියලූ බුකීකරුවන්ගේ අනාවැකි එහෙම පිටින්ම සාර්ථක වීමත් කැපී පෙනුණි.

මේ සියල්ල සිය ඉනිමට ශක්තියක් කරගත් එංගලන්ත පිතිකරුවෝ ඊයේ සිය විස්මිත ඉනිම අතරතුර තැබූ වාර්තා සමහරක් මෙසේය.

පළමු  ඕවර 30 දී එංගලන්ත පිල කඩුලූ 2 කට ලකුණු 321ක් ලබා සිටි අතර ඒ වෙද්දී ඔවුන් සෑම පන්දු 4 කට වරක්ම හතරේ පහරක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.

එංගලන්ත පිල සිය ඉනිම පුරා ගැසූ හයේ හතරේ පහර සංඛ්‍යාව 59 කි. එය එක්දින තරගයක එක් ඉනිමක දී වාර්තා වු වැඩිම හයේ හතරේ පහර සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් විය. ඊට පෙර නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 443 ක ඉනිමක් සටහන් කළ ශී‍්‍ර ලංකා පිලත් එම තරගයේදී හතරේ පහර 56 ක් සහ හයේ පහර 3 ක් සමග එම වාර්තාව තැබුවේය.

එංගලන්ත පිතිකරුවන් වෙතින් හයේ පහර 16 ක් වාර්තා වූ අතර එය එංගලන්ත ඉනිමකදී මෙතෙක් වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව විය.

ජෝ රූට් ඊයේ තරගයේ දී ලකුණු 85 ක් රැස් කරමින් පිට පිට එක්දින අර්ධ ශතක 5 ක් ලැබූ 6 වැනි එංගලන්ත පිතිකරු ලෙස  වාර්තාපොතට එක්විය. මීට පෙර ජෙෆ්රි බොයිකොට්, ග්‍රෙහැම් ගූච්, ඇලෙක් ස්ටුවර්ට්, ජොනතන් ට්‍රොට් සහ ඇලෙක්ස් හේල්ස් එම දස්කම පෙන්වා තිබිණි.

පාකිස්තානයේ පන්දු රකින්නන් මුලූමනින්ම නරඹන්නන් බවට පත් කළ එංගලන්ත පිතිකරුවෝ මුහුණදුන් පන්දුවලින් වැඩි ප‍්‍රමාණයක් පිටියෙන් ඉවතට යැවූහ. ජේසන් රෝයි වේලාසනින් දැවීයාමෙන් පසුව පිටියට පිවිසි ඉතිරි පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක වාර්තා කිරිම කැපී පෙනුණි.

රෝයිගේ දැවීයාමෙන් පසුව මුලින්ම පැමිණි ජෝ රූට් සිය ආරම්භක පිතිකරු සගයාට නිදහසේ වැඩ කරන්නට ඉඩ දී තම සුපුරුදු පිතිහරඹයට පිිවිසියේය. සිය වාර්තාගත ඉනිමෙන් කී‍්‍රඩාලෝලීන් පිනවූ හේල්ස් ආපසු කී‍්‍රඩාගාරයට ගියේ දෙවැනි කඩුල්ලට ලකුණු 248 කුත් එකතු කළාට පසුවය.

අනතුරුව පිතිකරු ලයිස්තුවේ ඉහළින් පැමිණි ජොස් බට්ලර් පිටියේ සෑම දිසාවකටම පන්දුව යවමින් පාකිස්තානු පන්දු රකින්නන් කාර්ය බහුල කරවීය. ඒ වෙද්දී හේල්ස් විසින් පවත්වාගත් රිද්මයට නව ජීවයක් එක් කළ බට්ලර්ගේ ගිනිකෙළි සංදර්ශනයක් මෙන් වූ ඉනිමේ අර්ධ ශතකය පන්දු 22 කින් වාර්තා වූයේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. හේල්ස්ගේ දැවීයාමෙන් පසුව ඊළග  ඕවරයේදී රූට් දැවීගිය අතර පසුව එතෙක් වේලා කී‍්‍රඩාගාරයේ බලා සිටිි නායක ඔයින් මෝගන්  සිය සගයන්ගේ විස්මිත පිතිහරඹයෙන් ලද උත්තේජනයෙන් ඉනිම තවත් වර්ණවත් කළේය.

බට්ලර් සහ මෝගන් එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 161 ක් එකතු කළේ  ඕවර 12 කදීය. එය පාකිස්තානුවන්ට දැඩි වේදනාවක් ගෙන දුන් එකක් මෙන්ම තරගය නැරැුඹූ කී‍්‍රඩාලෝලීන්ට ඉමහත් ආස්වාදයක් ගෙන දුන් එකකි. බට්ලර්ට නොදෙවැනි පිතිහරඹය යෙදුණු නායක මෝගන් සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 24 කිනි.

එංගලන්තය පෙන්වූ ඉලක්කය කරා යන ගමනට පාකිස්තාන පිතිකරුවන් සාර්ථකව අවතීර්ණ වූවත් පරාජයට බලපෑ ලොකුම හේතුව වූයේ කඩුලූ අතර සම්බන්ධතා ගොඩනගා ගැනීමට නොහැකිවීමයි. ඉනිම ඉහළට ඔසවා තැබීමට පටන් ගන්නා සෑම අවස්ථාවක දීම ඔවුන්ගෙන් කිසිවකු ආපසු කී‍්‍රඩාගාරයට හැරී යන තැනට එංගලන්ත පිලේ පන්දු යවන්නෝ කටයුතු කළහ. ඒ අතරින් වැඩිම හානිය කරන ලද්දේ කඩුලූ 4 ක්ම බිඳ දමනු ලැබුවේ කි‍්‍රස් වෝක්ස් විසිනි.

ආරම්භක පිතිකරු සාර්ජිල් ඛාන් පන්දු 26 කින් සිය අර්ධ ශතකය රැස් කළත් ඔහුගේ දැවීයාමෙන් පසුව ඊට වඩා ලකුණු ප‍්‍රමාණයක් රැුස් කළ හැකි කිසිදු පිතිකරුවකු සිටියේ නැත. සර්ෆ‍්‍රාස් අහමඞ් සහ අගපෙළින් පැමිණි මොහොමඞ් නවාස් තරමක් වේගයෙන් පන්දුවට පහරදෙමින් ලකුණු තිස්ගණන් ලැබුවත් පිටියේ රැඳී සිටිමට හැකිවූයේ නැත.

අංක 11 පිතිකරු ලෙස පිටියට පිවිසි මොහොමඞ් අමීර් ඊයේ කිසිවකු අපේක්ෂා නොකළ පිතිහරඹයක යෙදෙමින් අර්ධ ශතකයක් වාර්තා කිරීම කැපී පෙනුණි. අවසන් මොහොතේ එංගලන්තයේ ජයග‍්‍රහණය පමා කළ අමීර්ගේ අර්ධ ශතකය වාර්තා වුයේ පන්දු 22 කිනි. ඔහු දැවීගියේ හතරේ පහර 5 කින් සහ හයේ පහර 4 කින් වර්ණවත් වූ ඉනිමක් කී‍්‍රඩා කිරීමෙන් පසුවය. ඊට පෙර අංක 11 න් පැමිණ අර්ධ ශතකයක් ලැබූ කිසිදු පිතිකරුවකු පාකිස්තානයේ පමණක් නොව සමස්ත එක්දින පිටියේ ද සිටියේ නැත. එහෙත් ජයග‍්‍රහණයට එය කිසිසේත්ම ප‍්‍රමාණවත් වූයේ නම් නැත.

එංගලන්තය –  ඕවර 50 කදී කඩුලූ 3 ක් දැවී 444

(ඇලෙක්ස් හේල්ස් 171, ජෝ රූට් 85, ජොස් බට්ලර් නොදැවී 90, ඔයින් මෝගන් නොදැවී 57, හසන් අලි 74/2)

පාකිස්තානය –  ඕවර 42.4කදී සියලූදෙනා දැවී 275

(සාර්ජිල් ඛාන් 58, සර්ෆ‍්‍රාස් අහමඞ් 38, මොහොමඞ් නවාස් 34, මොහොමඞ් අමීර් 58, කි‍්‍රස් වෝක්ස් 41/4, අදිල් රෂීඞ් 73/2)

-077

පාකිස්තානයට ඇතිවීම – නැතිවීම අතර තරගයක්

තරග 2-0කින් එක්දින තරගාවලියේ පෙරමුණ අත්පත් කරගෙන සිටින එංගලන්ත පිල හෙට (30 වැනිදා) නොටිංහැම් හී ටේ‍රන්ට්බි්‍රජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය ජයගෙන සංචාරක පාකිස්තානුවන් අන්ත පරාජයකට පත්කරනු ඇතැයි විචාරකයන්ට වඩා බුකීකරුවෝ දැනටමත් අනාවැකි පළ කරමින් සිටිති.

පෙරේදා ලෝඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබීමත් සමග එංගලන්ත පිල සිය දස්කම් මුවහත් කරගෙන සිටින අතර හෙට තරගයේදී පන්දුවෙන් දස්කම් දක්වමින් සිය පීඩනය දුරු කරගැනීමට එංගලන්ත පිලේ තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පුල පුලා බලා සිටී. දණහිසේ ඇතිවූ ආබාධයක් නිසා මෙවර ගිම්හානය එහෙම පිටින්ම විනාශ කරගත් 25 හැවිරිදි මේ ක්‍රීඩකයා පසුගිය එක්දින තරග 2 දීම ක්‍රීඩා කළේ විශේෂඥ පිතිකරුවකු ලෙස පමණි.

පාකිස්තාන පිතිකරුවන් අසීරුවට පත් කරමින් මාක් වුඞ්, ක්‍රිස් වෝක්ස් සහ ලියම් ප්ලන්කට් සිත්ගන්නා සුළු පන්දුයැවීමක නිරත වූ අතර අනිත් අතට පිතිකරුවන් පෙනෙන හැටියට දැනටමත් ඔවුනොවුන්ගේ සුපුරුදු රිද්මය සොයා ගෙන තිබේ.

ලකුණු අතරේ සිටින ජෝ රූට් පෙරේදා තරගයේදී ලකුණු 89 ක්ම ලබාගනිමින් පිට පිට සිවුවැනි එක්දින අර්ධ ශතකයක් වාර්තා කළ අතර නායක ඔයින් මෝගන් ද නැවත දස්කම් අතරට සේන්දු වී සිටි. හෙට තරගයේ දී එය එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට හොඳටෝම ප්‍රමාණවත් වන බැවින් තරගාවලිය ජයගැනීමේ කිසිදු සැක සංකාවක් එංගලන්ත කඳවුරේ නොමැත. හෙට තරගයට එංගලන්ත පිලේ පිතිහරඹ ලැයිස්තුව වෙනස් නොකිරීමට එයම හේතුවක් වනු ඇත.

මේ අතර පාකිස්තානයේ හිටපු ශ්‍රේෂ්ඨ වමත් වේගපන්දු යවන්නා වන වසීම් අක්රාම් ඊයේ පෙරේදා කී පරිදි ඔවුන්ගේ එක්දින ක්‍රිකට් පිල දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ අනූව දශකයේ දී ක්‍රීඩා කළ අයුරින් ඉතා දුර්වල මට්ටමකය.

පෙරේදා තරගයේදී පාකිස්තානු පිලේ කඩුලු රකින්නා වන සෆ්රාස් අහමඞ් ලකුණු 105 ක් රැස් නොකරන්නට පාකිස්තානයට ඊටත් වඩා අන්ත පරාජයකට මුහුණ පාන්නට වනු ඇත. එම තරගයේදී  ලකුණු 2 කට මුල්පෙළ පිතිකරුවන් තිදෙනකුටම ආපසු ක්‍රීඩාගාරයේ විවේක ගැනිමට සිදුවූ අතර තරගයේ ඉතිරි කොටස ඇදගෙන යාමේ සම්පූර්ණ වගකීම කරපින්නාගත්තේ අහමඞ්ය.

ලකුණු 251 ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිතිකරුවන්ට කිසිදු ආකාරයක තර්ජනයක් දීමට ඔවුන්ගේ පන්දු යවන්නන් අසමත්වීම හෙට තරගයට පෙර කණ්ඩායමේ කළමනාකාරීත්වයේ අවධානයට යොමු විය යුතු බව වසීම් අක්රම්ගේ අදහස වී තිබේ.

බැලූ බැල්මට නම් හෙට තරගය සඳහා පාකිස්තානුවන් වෙනස්කම් කිහිපයක්ම සිදුකිරිමට නියමිත අතර මේ  තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමේ තරගයක් මෙන්ම ඇතිවීම සහ නැතිවිම අතර තරගයක් බවට ද පත්වී තිබේ.


- 077

 

එංගලන්තය 2-0 කින් පෙරමුණ ගනී

කාසියේ වාසිය දිනා තිබියදීත් තණකොළ සහිත තණතීරුවක පළමුව පන්දුවට පහරදීම තෝරාගැනීමේ ඵල විපාක අඩුවැඩි නොමැතිව පාකිස්තානයට තෑගි කළ එංගලන්තය ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 4 කින් ජයගත්තේ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 කින් පෙරමුණ ගනිමිනි.

පාකිස්තානු පිලේ නායක අසාර් අලි මුලින්ම පන්දුවට පහරදීමට ගත් තීරණය කෙතරම් දරුණු දැයි තහවුරු කළ ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඞ්  පාකිස්තානුවන්ගේ ආරම්භය එහෙම පිටින්ම විනාශ කරමින් එක පිට එක කඩුලු 3 ක්ම උදුරා ගත්හ. සිවුවැනි ඕවරයේ පළමු  පන්දුවෙන් පාකිස්තානු නායකයා ලකුණු ලබාගැනීමටත් පෙර ආපසු හරවා යවද්දී පාකිස්තානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 කට ලකුණු 2 ක් ලෙසිනි.

අනතුරුව සර්ෆ්‍රාස් අහමඞ්ගේ සුපිරි ශතකයට හා ඉමාම් වසීම්ගේ අගනා අර්ධ ශතකයට පින්සිදු වන්නට ලකුණු 250 සම්පූර්ණ කොට තරගයක් දිය හැකි තත්ත්වයක් උදා කරගත්තේය. එහෙත් ජෝ රූට් සහ නායක ඔයින් මෝගන් එක්ව විශිෂ්ට අර්ධ ශතක දෙකක් රැස් කරමින් එංගලන්තයට ජයමාවත විවරකොට දුන්හ.

එංගලන්තයේ ආරම්භක පිතිකරුවන්ට ද  දැඩි තර්ජනයක් එල්ල කරමින් පාකිස්තානුවන් තරගයට අවතීර්ණ වූ අතර මොහොමඞ් අමීර් යැවූ ඉනිමේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවෙන්ම ජේසන් රෝයි ලකුණු නොලබා දැවීයාමත්, ඇලෙක්ස් හේල්ස්ගේ කඩුල්ල බිඳ දැමීමට ඉමාඞ් වසීම් සමත්වීමත් මත 9 වැනි ඕවරයේ අවසන් පන්දුව වෙද්දී එංගලන්තය ලබා සිටියේ කඩුලු 2 ක් දැවී ලකුණු 35 ක් පමණි. නමුත් පන්දු රකින්නන්ගේ හිඩැස් අතරින්  පන්දුව රිංගා යැවීමට කදිම ප්‍රතිභාවක් පෙන්වන ජෝ රූට් සහ නායක මෝගන් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 112 ක් එක් කළේ පාකිස්තානුවන් වෙතින් තරගය ඉවතට ඇද දමමිනි.  

පිට පිට සිවුවැනි එක්දින අර්ධ ශතකය රැස් කිරීමට ජෝ රූට් සමත්වූ අතර නායක මෝගන් එම හපන්කම පෑවේ එක්දින තරග ඉනිම් 13 කට පසුවය. ඉමාඞ් වසීම්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මෝගන් දැවීයාමෙන් පසුව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටෝක් පන්දු 30 ක දී ලකුණු 42 ක්ම ලබා එංගලන්ත ඉනිම තවත් ශක්තිමත් කළේය. එබැවින් ඔහුගේ සහ පසුව පැමිණි ජොස් බට්ලර්ගේ මෙන්ම රූට්ගේ ද කඩුලු බිඳ වැටීමෙන් එංගලන්තය පිලේ ජයග්‍රහණයට බාධාවක් වූයේ නැත.

වසර 2012 ට පසුව එංගලන්ත පිල ලෝඞ්ස් පිටියේ ලැබූ පළමු එක්දින තරග ජය මෙය වූ අතර තුත්වැනි තරගයේදිත් පාකිස්තානුවන් මෙල්ල කරමින් තරගාවලියේ ජයග්‍රහණය අත්පත් කරගැනීමේ අරමුණින් අද ටේ‍රන්ට්බි්‍රජ් බලා පිටත්ව යයි.

සර්ෆ්‍රාස් අහමඞ් පිටියට පිවිසියේ පාකිස්තානුවන් අන්තිම අසීරු අඩියකට වැටී සිටියදීය. ඒ වනවිට ආරම්භක පිතිකරු සර්ජීල් ඛාන් සහ නායක අසාර් අලී ලකුණු නොලබා හරවා යැවීමට වෝක්ස් සමත්ව සිටි අතර වුඞ්ගේ පන්දුවකට සමි ඉස්ලාම් දැවී ගියේ එක් ලකුණකටය.

අනතුරුව බාබර් අසාම් හා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 64 ක් ගොඩ නඟමින් ඉනිම පිළිසකර කරන්නට පටන්ගත් හෙතෙම ෂොයිබ් මලික් සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 59 ක් ද, ඉමාඞ් වසිම් සමග 6 වැනි කඩුල්ලට ලකුණු 77 ක් ද එක් කරමින් සිය කණ්ඩායම ලකුණු 200 න් ඔබ්බට ඇදගෙන යාමට සමත්විය. පන්දු 124 කින් සිය ශතකය රැස් කළ අහමඞ් ලෝඞ්ස් පිටියේ එක්දින ශතකයක් ලැබූ පළමු පාකිස්තානු පිතිකරුවා ලෙස වාර්තාපොතට එක්විය.

දඟපන්දු යවන ක්‍රීඩක ආදිල් රජීඞ්ගේ පන්දුවකට ඩීප් මිඞ් විකට් කලාපයේ සිටි ඇලෙක්ස් හේල්ස් අතටම උඩපන්දුවක් දී අහමඞ් දැවී ගියේ ශතකය වාර්තා කිරීමෙන් පසුව ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට උත්සාහක කිරීමේදීය. අනතුරුව ඉමාඞ් වසීම්ට සිදුවූයේ හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරන්නටය.

වෝක්ස් හා වුඞ් යළි පැමිණ පාකිස්තානුවන්ගේ ඉනිම එක් පන්දුවක් තිබියදී නිමාවට පත්කළේ දෙදෙනා අතර කඩුලු 3 බැගින් බෙදා හදා ගනිමිනි.


පාකිස්තානය – ඕවර 49.5 ක දී සියලුදෙනා දැවී 251
(බාබර් අසාම් 30, සර්ෆ්‍රාස් අහමඞ් 105, සොයිබ් මලික් 28, ඉමාඞ් වසීම් නොදැවී 63, මාක් වුඞ් 46/3, ක්‍රිස් වෝක්ස් 42/3)

එංගලන්තය – ඕවර 47.3 කදී කඩුලු 6ක් දැවී 255
(ජෝ රූට් 89, ඔයින් මෝගන් 68, බෙන් ස්ටෝක්ස් 42, මුයින් අලී නොදැවි 21, ඉමාඞ් වසීම් 38/2)


- 077

 

එංගලන්තයට පහසු ජයක්

පාකිස්තානයට එරෙහිව සදම්ප්ටන් හී රෝස් බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 44 ක ජයක් අත්කරගැනීමට එංගලන්තය සමත්විය. පිත්තෙන් දස්කම් පාමින් ලබන්නට තිබූ විශිෂ්ට ජයග්‍රහණයක අවසන් තීන්දුව වර්ෂාව බාරගනු ලැබුවත් එක්දින තරගාවලියේ පෙරමුණ ගැනීමට හැකිවීම ගැන එංගලන්ත ක්‍රීඩකයෝ උද්දාමයට පත්වූහ.


මෙය පාකිස්තානයට එරෙහිව පැවැති අවසන් එක්දින තරග 10 දී එංගලන්තය ලැබූ 9 වැනි ජයග්‍රහණය ලෙස වාර්තා වූවත් සත්කාරකයෝ වඩාත් තෘප්තියට පත්වූයේ එය සදම්ප්ටන් හීදී එක දිගට එක්දින තරග 5 ක් පරාජයට පත්වී සිටීමේ ශාපය නිමා කරගැනිමට හැකිවීමය.


පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 42.1 දී කඩුලු 4 ක් දැවී ලකුණු 218 ක් ලබා සිටියත් වර්ෂාව ඇද වැටීම නිසා ලද විරාමයෙන් පසුව යළි ප්‍රාණවත් වූ එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ඕවර 50 නිමාවනවිට පාකිස්තානයට රැස් කිරිමට හැකිවූයේ කඩුලු 6 කට ලකුණු 260 ක් පමණි.


වාසනාව නිසාම එංගලන්තයේ ආධිපත්‍යයට තරගය නතු වූ අවස්ථා දෙකක් ද මේ තරගයේදී පාකිස්තානයට හරහට හිටියේ දෛවයේ සරදමකට මෙනි. ආදිල් රෂීඞ්ගේ පන්දුවකට බාබර් අසාම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම එහි පළමුවැන්න වූ අතර සැබැවින්ම එංගලන්ත පිලේ ක්‍රීඩකයන්ගේ ඉල්ලීම ඉවත නොදැමීමට තරම් පිටියේ විනිසුරු අන්දමන්ද වී සිටියේය. එය අභියෝගයකට ලක් කරමින් තුන්වැනි විනිසුරුගේ පිහිට පැතීමට අසාම්ට අවස්ථාවක් ඉතිරිව නොතිබුණේ ඒ වනවිටත් මාක් වුඞ්ගේ පන්දුවකට සාර්ජිල් ඛාන් සිය පිත්තේ වැදී කඩුලු රකින්නා අතට ගිය සැබෑ උඩපන්දුවකට එරෙහිව තුන්වැනි විනිසුරුගේ පිහිට පතා එය අහිමිකරගත් නිසාය. මේ තෘෂ්ණාවත්, ආත්මාර්ථකාමීත්වයත් අන්තිමේදී බාබර් අසාම්ගේ පිත්තේ අග වැදී පිටතට ගිය පන්දුවකට අන්තිමේදී ඔහු කඩුල්ල මුවා කිරීමේ නොතිබු වරදට නිකරුණේ දැවී ගියේය.


එංගලන්තයට වාසනාව ගෙනා ඊළඟ සිදුවීම වූයේ පාකිස්තානුවන් ඉතා හොඳින් ප්‍රතිවාදී පන්දු යවන්නන් මෙල්ල කරගනිමින් සිටියදී වර්ෂාව කඩා පාත්වීමය. ඊට කළින් සර්ෆ්‍රාස් අහමඞ් සිය නායකයා වූ අසාර් අලී සමග ලකුණු 65 ක යස සම්බන්ධතාවක් ගොඩනගා සිටියේය. පාකිස්තානුවන්ගේ වැඩිම ලකුණු ලාභියා වූ අසාර් ලකුණු 9 ක් ලබා සිටියදී ගලී කලාපයේ සිටි ඇලෙක්ස් හේල්ස්ට දුන් ඉතා පහසු උඩපන්දුවකින් ද, කඩුලු රකින ජොස් බට්ලර්ට දුන් ඉතා අපහසු උඩපන්දුවකින් ද කඩුල්ල බේරා ගත්තේ යාන්තමිනි.


පිතිකරුවන්ටම කියාපු රෝස් බෝල් තණතීරුවේ පාකිස්තානුවන් රැස් කළ ලකුණු සංඛ්‍යාව කොහෙත්ම  ප්‍රමාණවත් නොවන බව මුලදිම පෙනෙන්නට තිබිණි. යසීර් ෂා තරගයට ඇතුලත් නොකිරීමට තීරණය කිරීමෙන්ම ජයග්‍රහණයට තිබූ සංචාරකයන්ගේ බලාපොරොත්තුවේ අඩුලුහුඩුකම් පෙනෙන්නට තිබිණි.


ජේසන් රෝයි සහ ජෝ රූට් එක්ව දෙවැනි කඩුල්ලට නිදහසේ ලකුණු 89 ක්ම එකතු කරද්දී එංගලන්ත විවේකාගාරය සැනසුම් සුසුම්වලින් පිරී ගොස් තිබිණි.


වර්ෂාවේ කලබගෑනිය නිසා එංගලන්තයේ ඉලක්කය පළමුවරට ඕවර 48 කදී ලකුණු 252 ක් වෙද්දී ඔවුන් ඕවර 34 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටි අතර ඊට පන්දු තුනකට පසුව දෙවැනි වරටත් වර්ෂාව කඩාපාත්වීමෙන් තරගය නතරකිරීමට සිදුවෙද්දී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එතැන වැඩිපුරත් ලකුණු 44 ක් තිබිණි.


පාකිස්තානය ඕවර 50 කදී කඩුලු 6ක් දැවී 250
(අසාර් අලී 82, බාබර් අසාම් 40, සර්ෆ්‍රාස් අහමඞ් 55, ආදිල් රෂීඞ් 51/2)


එංගලන්තය ඕවර 34.3 කදී කඩුලු 3ක් දැවී 194
(ජේසන් රෝයි 65, ජෝ රූට් 61, ඔයින් මෝගන් නොදැවී 33, උමාර් ගුල් 46/1, මොහොමඞ් නවාස් 31/1)


- 077

 

පාකිස්තානුවෝ තරගාවලිය සමකරති

දරුණු පරාජයන් දෙකකට පසුව වූවත් සාර්ථකව නැගී සිටීමේ ක්‍රමවේදය ඉන්තේරුවෙන්ම දැන සිටි මිිස්බා උල් හක් ඇතුලු පාකිස්තාන ක්‍රිකට් පිල ලන්ඩනයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිමාවට පත්වූ සිවුවැනි ටෙස්ට් තරගයෙන්  සත්කාරක එංගලන්තය කඩුලු 10 ක් පරදවා තරගමාලාව 2-2 කින් සම කරගත්තේය. එය ඊයේ යෙදී තිබූ පාකිස්තානු නිදහස් දිනය සැමරීමට ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි පාකිස්තානුවන්ට කදිම උත්තේජනයක් ද විය.
 
තරගයේ ජයග්‍රහණයෙන් පසුව පාකිස්තානු ක්‍රීඩාලෝලීහු දකුණු ලන්ඩනයේ දී තරගයේ ජයග්‍රහණයත්, ඔවුන්ගේ නිදහස් දිනයත් දෙකම එකටම සමරන්නට පටන් ගත්හ.  

තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ පාකිස්තානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 126 ක් පසුපසින් ද, කඩුලු 6 ක් අතැතිව ද සිටිමින් නැවත පිතිහරඹයට පිවිසි එංගලන්තය පසුව ලකුණු 50 කට වැඩි කඩුලු සම්බන්ධතා දෙකක් ද ගොඩ නගමින් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළේය.

යසීර් ෂා

එහෙත් දිවා ආහාරයෙන් පසුව වහාබ් රියාස්ගේ ඕවරයේදී ධෛර්ය සම්පන්න ලකුණු 81 ක් රැස් කළ ජොනී බෙයාර්ස්ටෝගේ කඩුල්ලත් සමග පිට පිට කඩුලු 2ක් බිඳ වැටීමෙන් එංගලන්තයේ දෙවැනි ඉනිම අන්තිමේදී ලකුණු 253 කට සීමා වූයේ ලකුණු 40 ක පහසු ඉලක්කයක් පාකිස්තානුවන් හමුවේ තබමිනි. සත්කාරක එංගලන්තයේ දෙවැනි ඉනිම වැනසූ යසීර් ෂා කඩුලු 5 ක් දවාලූ අතර තේ පානයෙන් පසුව අසාර් අලී ජයග්‍රාහී ඉලක්කය කරා හයේ පහරකින් අවතීර්ණ විය.

සොහේල් ඛාන්ගේ පන්දුවකට කඩුලු රකින සර්ෆ්‍රාස් අහමඞ්ට උඩපන්දුවක් දී ගැරී බැලැන්ස් ආපසු ක්‍රීඩාගාරයට යාමට පෙර ඔහු සමග 5 වැනි කඩුල්ලට ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙයාර්ස්ටෝ ඉන් අනතුරුව මුයින් අලි සමග 6 වැනි කඩුල්ලට ලකුණු 55 ක් එක් කළේය. එංගලන්ත පළමු ඉනිමේ දී පාකිස්තානයට හිසරදයක් ගෙනදී ශතකයක් ලැබූ මුයින් අලී දැවී දවාලූ යසීර් ෂා සිය කඩුලු 5 සම්පූර්ණ කරගත්තේ  ස්ටුවර්ට් බ්‍රෝඞ් දවාලමිනි.

ස්ටීවන් ෆින් සහ ජේම්ස් ඇන්ඩර්සන් අතරේ අවසන් කඩුල්ලට ලකුණු 32 ක සම්බන්ධතාවක් ගොඩ නගමින් තිබියදී ඉෆ්තිකාර් අහමඞ් ඔහුගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ඇන්ඩර්සන් කඩුල්ල මුවා කිරිමේ වරදට හසුකර ගැනීමත් සමග එංගලන්ත ඉනිම නිමාවට පත්විය.

මේ චමත්කාරජනක ටෙස්ට් තරගමාලාවේ ජය පරාජය තීන්දු කරන්නට දෙපිල අතර පස්වැනි තරගයත් තිබුණා නම් හොඳ බැව්  වැඩි දෙනකුගේ අදහස විය. ඒ කෙසේ වුවත් මීළඟට දෙපිල හමුවන්නේ එක්දින තරග බිමේදීය.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 24 වැනිදා ආරම්භ වන අතර ඊට පසුව සැප්තැම්බර් 7 වැනිදා විස්සයි20 තරගයක් ද පැවැත්වීමට නියමිතය.

අවසන් ටෙස්ට් තරගයේදී එංගලන්තය ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානය සොයා ගියත් අවසානයේ පියවරක් ඉදිරියට තබමින් ඒ ස්ථානයට ළඟාවීමේ ඉඩකඩ ඇතිකරගත්තේ පාකිස්තානයයි. ඉන්දීය පිල ලබන සතියේ පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයෙන් බටහිර ඉන්දීිය කොදෙව් පිල පරාජය නොකරන්නේ නම්, ශ්‍රී ලංකාව සමග දැන් පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයෙන් ඔස්ටේ්‍රලියාව ජය නොගන්නේ නම් ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට පාකිස්තානයට හැකිවනු ඇත.


එංගලන්තය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 328 යි.
(ඇලිස්ටෙයාර් කුක් 35. ජෝ රූට් 26. ජොනී බෙයාර්ස්ටෝ 55, මුයින් අලී 108, ක්‍රිස් වෝක්ස් 45, මොහොමඞ් ආමීර් 80/2, සොහේල් ඛාන් 68/5, වහාබ් රියාස් 93/3)

පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 542 යි.
(අසාර් අලී 49, යසීර් ෂා 26, අසාඞ් ශෆීක් 109, යූනුස් ඛාන් 218, සර්ෆ්‍රාස් අහමඞ් 44, මොහොමඞ් ආමීර් නොදැවී 39, ජේම්ස් ඇන්ඩර්සන් 78/1, ස්ටුවර්ට් බ්‍රෝඞ් 99/1, ස්ටීවන් ෆින් 110/3, ක්‍රිස් වෝක්ස් 82/3, මුයින් අලී 128/2)

එංගලන්තය දෙවැනි ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 253 යි.
(ජෝ රූට් 39, ජොනී බෙයාර්ස්ටොව් 81, මුයින් අලී 32, සොහේල් ඛාන් 50/1, වහාබ් රියාස් 48/2, යසීර් ෂා 71/5, ඉෆ්තිකාර් අහමඞ් 1/1)

පාකිස්තානය දෙවැනි ඉනිම – කඩුලු නොදැවී ලකුණු 42 යි.
(සමී ඉස්ලාම් නොදැවී 12, අසාර් අලී නොදැවී 30)


- 077

 

යුනිස් ඛාන් – යසීර් ෂා සුදුසුම වේලාව තෝරා ගනිති

පාකිස්තාන ක්‍රිකට් වංශ කතාවේ වාර්තා ගණනාවක්ම අලුත් කළ ජ්‍යෙෂ්ඨ පිතිකරු යූනුස් ඛාන් එංගලන්තයට එරෙහිව ලන්ඩනයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිවුවැනි හා අවසන් ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ දවස වර්ණවත් කරමින් සිය 6 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය රැස් කළේය.

දෙවැනි දිනයට තරගය නවත්වනවිට පාකිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 340 ක් ලබා සිටි අතර යූනුස් ඛාන් නොදැවී ලකුණු 101 ක් ලබා සිටියේය. ඊයේ පාකිස්තාන ඉනිමේ මුලු බරම කරට ගත් යූනුස් ඛාන් පස්වරු තේ පානයට මොහොතකට පෙර ජේම්ස් ඇන්ඩර්සන් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී ගියේ සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 531 දක්වා ඉහළට ඔසවා තැබීමෙන් පසුවය. ඊට මොහොතකට පසුව පාකිස්තානු ඉනිම ලකුණු 542 කට බිඳ වැටුණු අතර ලකුණු 214 ක අවාසියක් සමග සිය දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්තයෙන් කඩුලු 4 ක්ම උදුරාගත් පාකිස්තානු පන්දු යවන්නෝ යූනුස් ඛාන්ගේ වාර්තාගත ද්විත්වය ශතකයේ වටිනාකම සුරක්ෂිත කළෝය.

යූනුස් ඛාන්ගේ මහානුභාවසම්පන්න ද්විත්ව ශතකය පාකිස්තානයට මෙවර ටෙස්ට් තරගමාලාව 2-2 කින් සමකර ගැනීමේ අවස්ථාව කදිමට සකසා දී තිබේ. කඩුලු 6ක් පමණක් අතැතිව තවත් ලකුණු 126 ක්ම පසුපසින් සිටින එංගලන්තයට දරුණු පරාජයක් අත්කර දීමේ අටියෙන් පාකිස්තානු පන්දු යවන්නෝ උපරිම දස්කම් දක්වමින් සිටිති.

ඉන් වැඩිම හානිය කළ දඟපන්දු යවන ක්‍රීඩක යසීර් ෂා එංගලන්තයෙන් කඩුලු 3 ක්ම උදුරා ගත්තේය. නායක ඇලිස්ටෙයාර් කුක් ඇතුලු මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනාටම ලකුණු 74 කදී නැවත ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමට සිදුවූ අතර මේ අනපේක්ෂිත ඇද වැටීමෙන් අන්දමන්ද වූවත් ගැරී බැලන්ස් සහ ජොනී බෙයාර්ස්ටෝ කඩුලු රැක ගනිමින් දිනය නිමාවෙද්දී සිය කණ්ඩායම ලකුණු 88 දක්වා අසීරුවෙන් තල්ලු කරගෙන ගියහ.  

ඊයේ පස්වරු තේ පානයට පෙර සිය දීර්ඝ ඉනිම හමාර කළ යූනුස් ඛාන්ට ක්‍රීඩාලෝලීන් හුනස්නෙන් නැගී සිටිමින් අත්පොලොසන් දී ආචාර කළහ. පන්දු 308 ක දීර්ඝ ඉනිම අතරතුර දී මේ 38 හැවිරිදි පිතිකරුවා පා ඉන්න අන්තයෙන් මුයින් අලිට එල්ල කළ හයේ පහර 4 ත් සමග තවත් හතරේ පහර 31ක් සිය ඉනිමට එකතු කරගත්තේය. සිවුවැනි හයේ පහර ඔහු මුයින් අලීට ගැසුවේ සිය ද්විත්ව ශතකය සම්පුර්ණ කරන්නටය.

ඉතා අලංකාර ඩ්‍රයිව් පහර රැසකින්ම සිය ඉනිම වර්ණවත් කළ යූනුස් ඛාන්ගේ ඉනිමේ කැපී පෙනෙන අවස්ථාව උදාවූයේ සර්ෆ්‍රාස් අහමඞ් ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවීගියාට පසුවය. ඉන් අනතුරුව වහාබ් රියාස්ගේ කඩුල්ල ආරක්ෂා කරමින් ඕවරයෙන් ඕවරය පන්දුවට පහරදීමේ වාරය උදාකරගත් යූනුස් ඛාන් 8 වැනි කඩුල්ලට ලකුණු 35ක සම්බන්ධතාවක් ගොඩනගද්දී වහාබ් ලබා සිටියේ ලකුණු 4 ක් පමණි. ඊළඟට මොහොමඞ් අමීර් නොදැවී ලකුණු 39 ක් රැස් කරමින් එංගලන්තයට බරපතලම හානිය කළ අතර  ඔහු යූනුස් ඛාන් සමග එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් ඕවර 21 ක් පුරා එංගලන්ත පන්දු යවන්නන් දැඩි වෙහෙසට පත්වූහ.

යූනුස් ඛාන්ගේ 6 වැනි ද්විත්ව ශතකය ඔහුට හිටපු විශිෂ්ට පිතිකරු ජවේඞ් මියැන්ඩාඞ්ගේ ද්විත්ව ශතක වාර්තාව සමකිරීමට උපකාරී වූ අතර ඉන් ද්විත්ව ශතක 3 ක්ම ඔහු අවුරුදු 35 න් පසු වාර්තා කිරීම නිසා එම විරල වාර්තාවට හිමිකම් කියන කුමාර් සංගක්කාර හා සම තත්ත්වයට ද පත්විය. ප්‍රතිවාදී රටවල් 6 කටම එරෙහිව ටෙස්ට් ද්විත්ව ශතක වාර්තා කළ පිතිකරුවන් වන්නේ කුමාර් සංගක්කාර සහ යූනුස් ඛාන් පමණි.

ඊයේ එංගලන්ත ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 14 ක්ව තිබියදී වහාබ් රියාස්ගේ පන්දුවක් හමුවේ නායක ඇලෙස්ටෙයාර් කුක් දැවීයාමෙන් පසුව ඇලෙක්ස් හේල්ස්, ජේම්ස් වින්ස් සහ ජෝ රූට් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට යසීර් ෂාට ඒ හැටි වෙලාවක් ගත වූයේ නැත. කවුරුත් කීවේ ඔහු කලට වෙලාවට දස්කම්වලට ආරූඩ වී ඇති බවකි. පාකිස්තානුවන්ට ජයගෙන දුන් ලෝඞ්ස් ටෙස්ට් තරගයේදී ලකුණු 141 කට කඩුලු 10 ක් දවාගත් පසුව මේ දඟපන්දු යවන්නට එංගලන්තය ජයගත් ඉතිරි තරග 2 දිම බිඳ දැමීමට හැකිවූයේ කඩුලු 4 ක් පමණි.


එංගලන්තය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 328යි.
(ඇලෙස්ටෙයාර් කුක් 35. ජෝ රූට් 26. ජොනී බෙයාර්ස්ටෝව් 55, මුයින් අලී 108, ක්‍රිස් වෝක්ස් 45, මොහොමඞ් ආමීර් 80/2, සොහේල් ඛාන් 68/5, වහාබ් රියාස් 93/3)

පාකිස්තානය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 542යි.
(අසාර් අලී 49, යසීර් ෂා 26, අසාඞ් ශෆීක් 109, යූනුස් ඛාන් 218, සර්ෆ්‍රාස් අහමඞ් 44, මොහොමඞ් ආමීර් නොදැවී 39, ජේම්ස් ඇන්ඩර්සන් 78/1, ස්ටුවර්ට් බ්‍රෝඞ් 99/1, ස්ටීවන් ෆින් 110/3, ක්‍රිස් වෝක්ස් 82/3, මුයින් අලී 128/2)

එංගලන්තය දෙවැනි ඉනිම – කඩුලු 4ක් දැවී ලකුණු 88යි.
( ජෝ රූට් 39, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 14, වහාබ් රියාස් 15/1, යසීර් ෂා 15/3)


- 077

 

පාකිස්තානුවෝ ඉදිරියට පැනගනිති

අසාඩ් ශෆීක්ගේ සහ යූනුස් ඛාන්ගේ ලකුණු අස්වැන්නෙන් සිය පළමු ඉනිම සාරුසාර කරගත් පාකිස්තානුවන් එංගලන්තයට එරෙහිව ලන්ඩනයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිවුවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය  වූ ඊයේ (12 වැනිදා) සවස තරගය නිමාවට පත්වනවිට කඩුලු 6 කට ලකුණු 340 ක් රැස් කරමින් ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියට යාමට සමත්වූහ. තරගය නවත්වනවිට ඔවුන් කඩුලු 4 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 12 ක් ඉදිරියෙන් සිටියේය.

ලකුණු 7 ක් ලබා සිටියදී ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ දුන් උඩපන්දුව දෙවැනි ස්ලිප් හී සිටි ජේම්ස් ඇන්ඩර්සන් අතින් ගිලිහීයාමෙන් නිසි ඵල නෙලාගත් ශෆීක් අනතුරුව ඉතා පරිස්සම් සහගතව පිත්ත හසුරුවමින් ශතකයක් රැස් කරගත්තේය.  ඒ අතරතුර කාලයේ ඔහුට කදිම සහයක් යූනුස් ඛාන් ඊයේ සිය 32 වැනි ශතකය සම්පූර්ණ කරමින් දිනය අවසන් වෙද්දීත් කඩුල්ල රැක ගැනීමට සමත්ව සිටියේය.

පෙරේදා පළමු දිනයේ අන්තිම මොහොතේ සිය පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පැමිණි පාකිස්තානුවන් ස්ටුවර්ට් බ්‍රෝඞ් යැවූ දෙවැනි ඕවරයේදීම පළමු කඩුල්ල බිඳ ගත්තත් ඊයේ දවස පුරාම ඔවුන්ගේ කඩුලු 5 කට වඩා වැටුණේ නැත.

ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පැමිණි අසාර් අලී ඊයේ උදෑසන කාලයේ ඉතා සාර්ථක පිතිහරඹයක නිරතවෙමින් මුරකරු පිතිකරු ලෙස පෙරේදා පිටියට පැමිණි යසීර් ෂා සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකූණු 49 ක් එකතු කිරිම කැපී පෙනුණි.  ෂා ගේ දැවීයාමෙන් පසුව ශෆීක් සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 75 ක්ම රැස් කළ අසාර් අලී අන්තිමේදී සිය අර්ධ ශතකයට ලකුණක් අඩුවී තිබියදී දැවී ගියේ මුයින් අලිගේ පන්දුවකට කඩුලු රකින ජොනී බෙයාර්ස්ටෝ වෙත උඩපන්දුවක් දෙමිනි.

ශෆීක්ගේ සහ යූනුස්ගේ අනගි සම්බන්ධතාව ඇතිවූයේ ඉන් පසුවය. එංගලන්ත පිලට කලෙකට අමතක නොවන පිතිහරඹයක යෙදුණු මේ දෙදෙනා හවස් වනතුරු පාකිස්තානු ඉනිම ඉහළට තල්ලුකරගෙන ගිය අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 150 ක සම්බන්ධතාවක් ද ගොඩනැගූහ.

එංගලන්තයට ජය හිමීවූ එජ්බැස්ටන් පිටියේ පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේ දී අංක 6 ස්ථානයෙන් පිටියට පිවිස ඉනිම් 2 දීම ලකුණු නොලබා දැවී ගිය ශෆීක් ඊයේ උදෑසන පිටියට පා තැබුවේ පාකිස්තානු ලකුණු පුවරුව 52 කට කඩුලු 2ක් ලෙස  තිබියදීය. ඊයේ සිය ශතකය වාර්තාවීමත් සමග මේ පිතිකරුවා වසර 58 ක් පැරැණි වාර්තාවක් වූ ටෙස්ට් තරගයක ඉනිම් 2 දීම බිංදුවට දැවීගොස් ඊළඟ තරගයේ ශතකයක් රැස් කිරීමේ විරල වාර්තාව සම කළේය. පාකිස්තානය වෙනුවෙන් අවසන් වරට එවැනි දස්කමක් පෙන්වා තිබුණේ 1958 දී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ශතකයක් ලැබූ වසීර් මොහොමඞ්ය.

ශෆීක් මෙන්ම පසුබෑමට ලක්ව සිටි පළපුරුදු පිතිකරු යූනුස් ඛාන් නිමාවට පත්වූ ටෙස්ට් ඉනිම් 6 දීම ලබා සිටියේ ලකුණු 33 ක් පමණි. සිය පැරැණි දස්කම් නැවත ඉස්මතු නොකළත් 38 හැවිරිදි මේ පිතිකරුවා ඊයේ එංගලන්තයේ වේගපන්දු යවන්නන් හමුවේ සාර්ථක පිතිහරඹයක නිරතවූ අතර මුයින් අලිගේ සහ ජෝ රූට්ගේ පන්දුවලට එළව එළවා පහර දුන්නේය.

ශෆික්ගේ දැවීයාමෙන් පසුව පිටියට පැමිණි නායක මිස්බා උල් හක් සහ සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ ඉෆ්ටිකාර් අහමඞ් පන්දු 4 ක් ඇතුලත ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ක්‍රිස් වෝක්ස් සමත්විය.


එංගලන්තය පළමු ඉනිම – සියලුදෙනා දැවී ලකුණු 328යි.
(ඇලිස්ටෙයාර් කුක් 35. ජෝ රූට් 26. ජොනී බෙයාර්ස්ටෝ 55, මුයින් අලී 108, ක්‍රිස් වෝක්ස් 45, මොහොමඞ් අමීර් 80/2, සොහේල් ඛාන් 68/5, වහාබ් රියාස් 93/3)

පාකිස්තානය පළමු ඉනිම – කඩුලු 6ක් දැවී ලකුණු 340 යි.
(අසාර් අලී 49, යසීර් ෂා 26, අසාඞ් ශෆීක් 109, යූනිස් ඛාන් නොදැවී 101, සර්ෆ්‍රාස් අහමඞ් නොදැවී 17, ස්ටුවර්ට් බ්‍රෝඞ් 59/1, ස්ටීවන් ෆින් 71/2, ක්‍රිස් වෝක්ස් 52/2, මුයින් අලී 83/1)


- 077

 

මුයින් අලීගෙන් මුක්කුවක්

පාකිස්තානු වේගපන්දු යවන්නන්ගේ අනපේක්ෂිත ආක‍්‍රමණය හමුවේ බිඳ වැටෙමින් තිබුණු එංගලන්ත ඉනිමට මැද භාගයේදී මුක්කුවක්  ගැසූ මුයින් අලී ලන්ඩනයේ කෙනින්ටන්  ඕවල් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඊයේ (11 වැනිදා) ආරම්භ වූ සිවුවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දී අගනා ශතකයක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ගෞරවය රැක ගත්තේය. ඔහුගේ මේ ශතකය හේතුවෙන් ඊයේ දිනයේ අවසන් මොහොතේ එංගලන්තයේ පළමු ඉනිම නිමාවට පත්වූවත් ලකුණු 328ක් රැස් කිරීමට ඔවුහු සමත්වූහ.

ලකුණු 110 කට කඩුලූ 5 ක්ව තිබියදී පිටියට පිවිසි මුයින් අලී ලකුණු 9 දී සහ 15 දී දුන් උඩපන්දු පාකිස්තාන පන්දු රකින්නන් රැුකගත්තා නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට තිබිණි. ඒ උඩපන්දු දෙකම අතහැරියේ අසාර් අලීය.

ඉන් පසුව ජොනී බෙයාර්ස්ටෝ සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මුයින් අලී ශතකය වාර්තා කරනතුරු පිත්ත බිම තැබුවේ නැත. බෙයාර්ස්ටෝගේ දැවීයාමෙන් පසුව අලි සමග එක්වූ කි‍්‍රස් වෝක්ස් 7 වැනි කඩුල්ලට ලකුණු එකතු කරමින් එංගලන්ත කණ්ඩායම ඉහළට ඔසවා තැබුවේය.

දෙපිල අතර එජ්බැස්ටන් නුවර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කොට නැවත මේ තරගයට කැඳවූ වහාබ් රියාස් ඊයේ දිනයේ එංගලන්ත පිතිකරුවන්ට වැඩිම භීතිකාවක් ගෙනදුන් පන්දු යවන්නා බවට පත්වූ අතර එංගලන්ත පිලේ මුල්පෙළ පිතිකරුවන්ගේ බිඳ වැටීමට මූලික හේතුව ඔහු විය. දිවා ආහාරයෙන් පසුව ගැරී බැලන්ස් දවා ගැනීමට පෙර ලකුණු අතරේ සිටින ජෝ රූට් සහ ජේම්ස් වින්ස් වහබ් රියාස් විසින් පන්දු 3 ක් ඇතුලතදී දවාගන්නා විට එංගලන්ත ලකුණු පුවරුව දිස්වූයේ කඩුලූ 4 කට 74 ක් ලෙසිනි.

ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් දැවීගියේ මොහොමඞ් අමීර්ගේ පන්දුවකට ස්ක්වෙයාර් ලෙග් කලාපයේ සිට යසීර් ෂා විසින් රැකගනු ලැබූ මතභේදාත්මක උඩපන්දුවකිනි. පන්දුව නිසිපරිදි රැකගත්තේදැයි යන්න පැහැදිලි නොවූවත් තුන්වැනි විනිසුරු දැවීයාම තහවුරු කළේය. සොහේල් ඛාන්ගේ පන්දුවට නායක ඇලෙස්ටෙයාර් කුක් පූල් පහරකට යාමෙන් ආපසු කී‍්‍රඩාගාරයට යාමට සිදුවිය. එංගලන්ත පිලත් සමග දිගුකාලයක් කී‍්‍රඩා කිරීමට බලා සිටියත් හේල්ස්, වින්ස් සහ බැලැන්ස් එක්ව කණ්ඩායමට ලබාදුන්නේ ලකුණු 15 ක් පමණි.

මේ වසරේ මුල් භාගයේ සිට මෙතෙක් එංගලන්ත කණ්ඩායම වෙතින් වාර්තා වූ ශතක 9 න් 4 ක්ම ලබා තිබුණේ අංක 7 පිතිකරුවාය. තවත් දෙකක් අංක 6 පිතිකරු රැස් කොට තිබූ අතර මුල්පෙළ පිතිකරුවන් පස්දෙනා අතරින්ම ශතක 3 කට වඩා වාර්තා නොවීම කැපී පෙනෙයි.

පාකිස්තානු පිලේ දුර්වල පන්දු රැුකීම මැද වුවත් පිට පිට දෙවැනි වතාවටත් කඩුලූ 5 ක් බිඳ දමමින් එංගලන්ත ඉනිමට වැඩිම අලාභ හානිය කිරීමට සොහේල් ඛාන් සමත්විය.

සිය පළමු ඉනිම ආරම්භ කිරීමට ඊයේ දිනයේ අවසන් මිනිත්තු කිහිපයේදී පිටියට පැමිණි පාකිස්තානුවන් සිය පළමු කඩුල්ල අහිමි කරගත්තේ ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ විස්මිත පන්දුවකිනි. සමි ඉස්ලාම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් පසුව මුරකරු පිතිකරු ලෙස යසීර් ෂා පිටියට ආවේය. ඉන් පසුව දිනය නිමාවනතෙක් ඔවුහු ලකුණු සොයන්නට නොගියහ.

තරගමාලාව පුරා ලකුණු අහේනියකින් පසුවූ පාකිස්තානු පිලේ ආරම්භක පිතිකරු මොහොමඞ් හෆීස් මෙම තරගයෙන් ඉවත් කරමින් ඉෆ්ටිකාර් අහමඞ්ට ටෙස්ට් වරම් ලබා දී තිබිණ.

එංගලන්තය පළමු ඉනිම – සියලූදෙනා දැවී ලකුණු 328
(ඇලිස්ටෙයාර් කුක් 35. ජෝ රූට් 26. ජොනී බෙයාර්ස්ටෝ 55, මුයින් අලී 108, කි‍්‍රස් වෝක්ස් 45, මොහොමඞ් අමීර් 80/2, සොහේල් ඛාන් 68/5, වහාබ් රියාස් 93/3)

පාකිස්තානය පළමු ඉනිම -එක් කඩුල්ලක් දැවී ලකුණු 3
(ස්ටුවර්ට් බ්‍රෝඞ් 2/1)

 

- 077