Category Archives: Cricket

මුම්බායි ඉන්දියන්ස් ආධිපත්‍යය පෙන්වති

දහවැනි වරටත් පැවැති අයි. පී. එල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලසිත් මාලිංග ක්‍රිඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි. පී. එල් තරගාවලියේ ශූරතාවය දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර ඔවුන් තරගාවලිය පුරාම සිය අධිපත්‍යය විදහා පෙන්වූයේ මූලික වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි කණ්ඩායමක් තරගාවලියේ ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථවද සටහන් කරමිනි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධනයි.

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී ඊයේ (21 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ලකුණක තියුණු ජයක් අත්කර ගනිමින් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.

මෙවර තරගාවලියේ මූලික වටයේදී මුණගැසුණ අවස්ථා දෙකේදී මෙන්ම අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැති පළමු තරගයේදීද පූනේ කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ මුම්බායි කණ්ඩායම, අවසන් මහ තරගය ජයගත්තේ පිට පිටම තෙවරක් පූනේ කණ්ඩායම හමුවේ ලබා සිටි පරාජයන්ට තිත තබමිනි.

මින් පෙර 2013 සහ 2015 යන වසරවලදීද මුම්බායි කණ්ඩායම අයි. පී. එල් ශූරතාවට දිනාගෙන ඇති අතර 2013 වසරේදී සචින් තෙන්ඩුල්කාර් විසින්ද, 2015 වසරේදී සහ මේ වසරේදී (2017) රෝහිත් ශර්මා විසින්ද මුම්බායි කණ්ඩායම මෙහෙයවනු ලැබීය.

මෙවර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සම්මාන දිනාගත් අතර වැඩිම හයේ පහර සංඛ්‍යාවකට හිමිකම් කී ක්‍රීඩකයා ලෙස කිංස් XI පංජාබ් කණ්ඩායමේ නායක ග්ලේන් මැක්ස්වෙල්ද (හයේ පහර 26), වේගවත්ම අර්ධ ශතක ලාභියා ලෙස කොල්කටා නයිට් රයිඞ්ස් කණ්ඩායමේ සුනිල් නරේන්ද (පන්දු 15 කදී) සම්මාන දිනාගත්හ.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට හිමිවන තැඹිලි පැහැති හිස්වැස්ම සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඬේවිඞ් වෝනර් (ලකුණු 641) ට හිමි වූ අතර වැඩිම කඩුලු ලාභියාට හිමිවන දම් පැහැති හිස්වැස්ම හිමිවූයේ එම කණ්ඩායමේම වේග පන්දුයවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර් (කඩුලු 26) ටය. හයිද්‍රාබාද් කණ්ඩායමට තවත් සම්මානයක් හිමිකර දෙමින් එම කණ්ඩායමේ යුවරාජ් සිං තරගාවලියේ අලංකාරම පහරට හිමි සම්මානය තමන් සතුකර ගත්තේය.

ඬේවිඞ් වෝනර් මෙන්ම බුවනේශ්වර් කුමාර්ද මෙම සම්මාන ද්විත්වයට හිමිකම් කී දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඬේවිඞ් වෝනර් 2015 වසරේදීද, බුවනේශ්වර් කුමාර් 2016 වසරේදීද පළමු වරට එම සම්මාන වලට හිමිකම් කියා තිබිණ.

මෙවර තරගාවලියේ විනයානුකූලම කණ්ඩායම ලෙස ගුජරාට් ලයන්ස් කණ්ඩායම සම්මානයට ප්‍රාත්‍ර වෙද්දී, එම කණ්ඩායමේ නායකත්වය දැරූ සුරේෂ් රයිනා හොඳම උඩ පන්දු රැක ගැනීමට හිමිවන සම්මානය දිනාගැනීමට සමත් විය. ගුජරාට් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක බැසිල් තම්පි තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

තරගාවලයේ සුවිශේෂී සම්මාන

වටිනාම ක්‍රීඩකයා – බෙන් ස්ටෝක්ස් (රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම)

වැඩිම ලකුණු (තැඹිලි පැහැති හිස්වැස්ම) – ඩේවිඩ් වෝනර් (සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම) – ලකුණු 641

වැඩිම කඩුලු (දම් පැහැති හිස්වැස්ම) – බුවනේශ්වර් කුමාර් (සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම) – කඩුලු 26

වැඩිම හයේ පහර – ග්ලේන් මැක්ස්වෙල් (කිංස් XI පංජාබ් කණ්ඩායම) – හයේ පහර 26

වේගවත්ම අර්ධ ශතකය – සුනිල් නරෙයින් (කොල්කටා නයිට් රයිඞ්ස් කණ්ඩායම) – පන්දු 15

හොඳම පහර – යුවරාජ් සිං (සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම)

හොඳම උඩපන්දුව – සුරේෂ් රයිනා (ගුජරාට් ලයන්ස්කණ්ඩායම

විනයානුකූලම කණ්ඩායම – ගුජරාට් ලයන්ස් කණ්ඩායම

නැගී එන ක්‍රීඩකයා – බාසිල් තම්පි (ගුජරාට් ලයන්ස්කණ්ඩායම)

 

ඡායාරූප අනුග්‍රහය – IPL

- 036

 

මුම්බායි ඉන්දියන්ස් තෙවැනි වරටත් ශූරතාව දිනයි

දහවැනි අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලසිත් මාලිංග ක්‍රිඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල් තරගාවලියේ ශූරතාවය දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2013 සහ 2015 යන වසරවලදීද ඔවුන් ශූරතාවට හිමිකම් කියා තිබේ.


රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී ඊයේ (21 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ලකුණක තියුණු ජයක් අත්කර ගනිමින් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.  ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.


ජයග්‍රහණය සදහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි. තරගය ජයගැනීම සදහා අවසන් ඕවරයේදී ලකුණු 11 ක් රැස්කරගත යුතුව තිබුණද නායක ස්ටීවන් ස්මිත් (51) ප්‍රමුඛ පූනේ පිතිකරුවෝ එම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට අපොහොසත් වූහ.


අවසන් ඕවරයේදී පූනේ කණ්ඩායමේ කඩුලු 3 ක් බිඳවැටුණු අතර ඉන් දෙකකටම හිමිකම්කී මිචෙල් ජොන්සන් තරගයේ ජයග්‍රහණය මුම්බායි කණ්ඩායම වෙත නතුකර දුන්නේය. පූනේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අජින්ක්‍යා රහනේගේ (44) කඩුල්ලත් සමගින් ලකුණු 26 කට ජොන්සන් දවාගත් කඩුලු සංඛ්‍යාව තුනකි.


පන්දු 50 කදී වාර්තා වූ ස්මිත්ගේ අර්ධ ශතකයට හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් වූ අතර පන්දු 38 කදි වාර්තා වූ රහනේගේ ඉනිම හතරේ පහර පහකින් සමන්විත විය.


කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 129 ක් රැස්කිරීමට සමත් වූහ. පූනේ කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් වූ ජයදේව් උනඩ්කට්ගේ සහ වොෂින්ටන් සුන්දර්ගේ පන්දු යැවීම හමුවේ මුම්බායි පිතිකරුවන්ට පළමු ඕවර 5 තුළදී කඩුලු දෙකක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 16 ක් පමණි.


දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජයදේව් උනඩ්කට් ඕවර 4 ක් යවමින් ලකුණු 19 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර කඩුලු ලබාගැනීමට නොහැකිවුවද මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන්හට දැඩි පීඩනයක් එල්ල කළ වොෂින්ටන් සුන්දර් සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කිරීමට සමත් විය.


සෙසු පිතිකරුවන් අසාර්ථක වනවිට සාර්ථක පිතිහරඹයක නිරත වූ කෘනාල් පාණ්ඩ්‍යා පන්දු 38 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 47 ක් රැස්කරමින් පූනේ කණ්ඩායමට තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා මුම්බායි කණ්ඩායම රැගෙන ගියේය.

 

මුම්බායි ඉන්දියන්ස් – ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 129
(රෝහිත් ශර්මා 24, කෘනාල් පාණ්ඩ්‍යා 47, ජයදේව් උනඩ්කට් 19/2, ඇඩම් සම්පා 32/2, ඩැනියල් ක්‍රිස්ටියන් 34/2)

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 128
(අජින්ක්‍යා රහනේ 44, ස්ටීවන් ස්මිත් 51, මිචෙල් ජොන්සන් 26/3, ජස්ප්‍රීට් බුම්රා 26/2)

 

මුම්බායි ක්‍රීඩකයෝ තුන්වැනි කිරුළ සොයා යති

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේදී තෙවැනි වරටත් කිරුළ හිමිකර ගැනීම සදහා මුම්බායි ඉන්දියන්ස් පිලත් පළමු වරට කිරුළ හිමිකර ගැනීම සදහා රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලත් හයිද්‍රාබාද්හී රාජිව් ගාන්ධී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) මුණගැසෙති. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 තරගය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වන අතර ලසිත් මාලිංගද මුම්බායි පිල වෙනුවෙන් ක්‍රීඩා කරයි. ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පූනේ සුපර්ජයන්ට්ස් පිලේ නායකයා වන අතර පුහුණුකරුවා වන්නේ නවසීලන්ත පිලේ හිටපු නායක ස්ටීවන් ෆ්ලෙමින්ය.

මෙවර තරගාවලියේදී මෙම කණ්ඩායම දෙක තෙවරක් මුණගැසී ඇති අතර තරග තුනේදීම ජය හිමිකර ගැනීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල සමත්විය.

අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කළ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. ඉවත්වීමේ තරගයේදී සන්රයිස් හයිද්‍රාබාද් පිලට එරෙහිව ජය හිමිකරගත් මුම්බායි ඉන්දියන්ස් පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවන තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජයට පත්කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයේ රැඳී සිටින ස්ටීවන් ස්මිත් තරග 14 කට ක්‍රීඩාකරමින් අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 421 ක් රැස්කර ඇති අතර තරග 15 කදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 391 ක් රැස්කර සිටින පාර්තිව් පතෙල් මුම්බායි ඉන්දියන්ස් පිලේ පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන්නේය.

තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් පන්දුයවන්නන් අතර ජෙයිදේව් උනද්කට් තරග 11 කදී කඩුලු 22 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන අතර තරග 12 කදී කඩුලු 18 ක් ලබාගත් ඉම්රාන් තහීර් සිවුවැනි ස්ථානයේ පසුවන්නේය. නමත් ඉම්රාන් තහීර් මේ වනවිටත් අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්ව මව්රට බලාගොස් ඇත. තරග 14 කදී කඩුලු 19 ක් ලබාගනිමින් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතරින් තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මිචෙල් මැක්ලෙනගන් සමත්වී ඇති අතර ජස්ප්‍රීට් බුම්රා තරග 15 කදී කඩුලු 18 ක් හිමිකර ගනිමින් පස්වැනි ස්ථානයේ පසුවන්නේය.

ආබාධයකට ලක්වීම හේතුවෙන් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයට ක්‍රීඩා නොකළ මිචෙල් මැක්ලෙනගන් අවසන් තරගයේදීද ක්‍රීඩා කිරීම අවිනිෂ්චිත තත්වයක ඇත.

මුම්බායි ඉන්දියන්ස් පිලේ පාර්තිව් පතෙල් (391), කරන් පොලාඞ් (378), නිතිෂ් රානා (333) සහ රෝහිත් ශර්මා (309) පිත්තෙන් දස්කම් දක්වන අතර මිචෙල් මැක්ලෙනගන් (19), ජස්ප්‍රීට් බුම්රා (18), කාන් ශර්මා (13) සහ ලසිත් මාලිංග (11) පන්දුවෙන් දස්කම් දක්වති.

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලේ ස්ටීවන් ස්මිත් (421), රාහුල් ත්‍රීපාති (388), අජින්ක්‍යා රහනේ (338) සහ මනෝජ් තිවාරී (317) පිතිකරණ අංශය ශක්තිමත් කරන අතර ජෙයිදේව් උනද්කට් (22), ශර්දුල් ඨාකූර් (11) සහ ඩැනියෙල් ක්‍රිස්ටියන් (9) පන්දුකරණ අංශය ශක්තිමත් කරති. පිත්තේ මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ බෙන් ස්ටෝක්ස්ට සහ පන්දුවෙන් දස්කම් දැක්වූ ඉම්රාන් තහීර්ට මව්රට බලායෑමට සිදුවීම රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලට සිදුවූ බලවත් පාඩුවකි.

 

මුම්බායි ඉන්දියන්ස් පිල අවසන් මහ තරගයට

දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගය ලෙස  කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව බැංගලෝර්හිදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කරගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 108 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ ඕවර 14.3 ක් අවසානයේ එම ඉලක්කය් පසුකර ගියහ. පන්දු 30 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස්කළ හර්දීක් පාණ්ඩ්‍යා මුම්බායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

නායක රෝහිත් ශර්මා (26) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුනාල් පාණ්ඩ්‍යා සමත් වූ අතර පන්දු 24 කදී වාර්තා වූ රෝහිත් ශර්මාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඕවර 18.5 අවසානයේ ලකුණු 107 කට සීමා කිරීමට මුම්බායි ඉන්දියන්ස් පන්දුයවන්නෝ සමත් වූහ.

විශිෂ්ට පන්දුයැවීමක නිතර වූ පා දඟ පන්දුයවන ක්‍රීඩක කරන් ශර්මා ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් කොල්කටා ඉනිම සුනුවිසුණු කර දැමුවේය. ලකුණු 7 කට කඩුලු 3 ක් දවාගත් ජස්ප්‍රීත් බුම්රා සහ ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගත් මිචෙල් ජොන්සන් කොල්කටා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ශර්මාට අනගි සහායක් දුන්හ. එහිදී ප්‍රතිවාදීන්ට ලකුණු 24 ක් ලබාදුන් ලසිත් මාලිංගට දවාගත හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.

කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සූර්යකුමාර් යාදව් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 33 ක් රැස්කළ අතර ඉෂංක් ජග්ගි පන්දු 31 කදී ලකුණු 28 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

මේ දක්වා පැවැති අයි. පී. එල්. තරගාවලියේ 10 තුළදී මෙම කණ්ඩායම් දෙක 20 වරක් එකිනෙකාට එරෙහිව තරග වැදී තිබේ. ඉන් 15 වරක් මුම්බායි කණ්ඩායම ජය ලබා ඇති අතර 5 වරක් කොල්කටා කණ්ඩායම ජය ලබා තිබේ.

මෙහිදී සුවිශේෂී සිදුවීම වන්නේ අවසන් වරට මෙම කණ්ඩායම් දෙක මුණගැසුණ අවස්ථා 4 දීම කොල්කටා කණ්ඩායම පරාජය කිරීමට මුම්බායි කණ්ඩායම සමත් වීමයි. ඒ අනුව මුම්බායි කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් මෙම තරගයට පිවිසෙනු ඇත.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම – ඕවර 18.5 කදී සියලු දෙනා දැවී 107
(සූර්යකුමාර් යාදව් 31, ඉෂංක් ජග්ගි 28, කරන් ශර්මා 16/4, ජස්ප්‍රීත් බුම්රා 7/3, මිචෙල් ජොන්සන් 28/2)

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම – ඕවර 14.3 කදී කඩුලු 4 ක් දැවී 111
(පාර්තිව් පටේල් 14, රෝහිත් ශර්මා 26, කුනාල් පාණ්ඩ්‍යා නොදැවී 45, පියුෂ් චවුලා 34/2)

-036

 

කොල්කටා පිලට කඩුලු 7 ක ජයක්

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ බැංගලෝර් හිදී පැවැති ඉවත්වීමේ තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 7 ක ජයක් හිමිකරගත් කොල්කටා නයිට් රයිඩර්ස් පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට අද (17 වැනිදා) සමත්විය. සන්රයිසස් හයිද්‍රාබාද් ඉනිම අවසන් වනවාත් සමගින් ආරම්භවූ වර්ෂාව හේතුවෙන් තරගය පැය දෙක හමාරකට ආසන්න කාළයක් පැවැත්වීමට නොහැකි විය.


වර්ෂාවෙන් පසු ආරම්භවූ තරගය ඕවර 6 කට සීමාවූ අතර කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ලකුණු 48 ක ඉලක්කයක් හිමිවිය. ජයග්‍රහණය සදහා ලකුණු 48 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 5.2 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.


පන්දු 7 ක් තුළඳී ලකුණු 12 කට කඩුලු 3 ක් බිඳ වැටුණද සිවුවැනි කඩුල්ල සදහා පන්දු 25 කදී ලකුණු 36 ක් සම්බන්ධතාවයක් ගොඩනැගූ ගෞතම් ගාම්බීර් සහ ඉශාන් ජග්ගී කොල්කටා නයිට් රයිඩර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. පන්දු 19 කට මුහුණදුන් ගෞතම් ගාම්බීර් හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස්කිරීමට සමත්විය.


පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි.


කොල්කටා නයිට් රයිඩර්ස් පන්දු යවන්නන් හමුවේ මන්දගාමී පිතිහරඹයක නිරතවූ සන්රයිසස් හයිද්‍රාබාද් පිතිකරුවන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාවක් හිමි නොවීය. 


මෙවර තරගාවලියේ ලකුණු 600 සීමාව පසුකර පළමු සහ එකම පිතිකරුවාවූ ඬේවිඞ් වෝනර්ටද අද දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 37 ක් පමණි. ආරම්භයේ සිටම මන්දගාමී පිතිහරඹයක නිරතවූ ඬේවිඞ් වෝනර් පන්දු 35 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් විය.


නේතන් කූල්ටර්නයිල් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 4 කදී ලකුණු 20 කට කඩුලු තුනක් දවාගත් අතර උමේෂ් යාදව් ඕවර 4 කදී ලකුණු 21 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායක ගෞතම් ගාම්බීර් පළමුව පන්දු යැවිමට තීරණය කළේය.

 

සන්රයිසස් හයිද්‍රාබාද් – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 128 
(ඬේවිඞ් වෝනර් 37, කේන් විලියම්සන් 24, විජේ ශංකර් 22, නේතන් කූල්ටර්නයිල් 20/3, උමේෂ් යාදව් 21/2)

කොල්කටා නයිට් රයිඩර්ස් – ඕවර 5.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 48
(ගෞතම් ගාම්බීර් නොදැවී 32)

පූනේ සුපර්ජයන්ට්ස් අවසන් තරගයට

දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැති අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ලකුණු 20 ක ජයක් හිමිකරගත් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (16 වැනිදා) සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.


තනි සටනක නිරතවූ පාර්තිව් පතෙල්ට අනෙක් පිතිකරුවන්ගෙන් නිසි සහයෝගයක් නොලැඹීම හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිලට සිදුවිය. පන්දු 43 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 52 ක් රැස්කිරීමට පාර්තිව් පතෙල් සමත්විය.


වොෂිංටන් සුන්දර් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 4 කදී ලකුණු 16 කට මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකු දවාගනිමින් ජයග්‍රහණය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල වෙත නතු කිරීමට සමත්විය. ශාර්දුල් ඨාකූර්ට ඕවර 4 ක් යවමින් ලකුණු 37 කට කඩුලු තුනක් දවාගැනීමට සමත්විය.


පළමුවෙන් පන්දුවට පහරදුන් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 162 ක් ලබාගත්තේය.


ලකුණු 9 කට කඩුලු 2 ක් බිඳ වැටී පූනේ කණ්ඩායම අසරණ තත්ත්වයට පත්ව තිබූ අවස්ථාවේ ආරම්භක පිතිකරු අජින්ක්‍යා රහනේ (56) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මනෝජ් තිවාරි (58) සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබීය.


පන්දු 43 කදී වාර්තා වූ රහනේගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 48 කදී වාර්තා වූ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.


පූනේ ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ මහේන්ද්‍ර සිං දෝනි පන්දු 26 කදී නොදැවී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 5 ක් සමගිනි.


කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.


රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල – ඕවර 20 කදී කඩුලු 4 කට 162
(අජින්ක්‍යා රහනේ 56, මනෝජ් තිවාරි 58, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 40)

මුම්බායි ඉන්දියන්ස් – ඕවර 20 කදී කඩුලු 9 කට 142
(පාර්තිව් පතෙල් 52, වොෂිංටන් සුන්දර් 16/3, ශාර්දුල් ඨාකූර් 37/3)


-036
 

 

මුම්බායි – පූනේ – කොල්කටා – හයිද්‍රාබාද් අවසන් වටයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස්, රයිසිං පූනේ සුපර්ජයන්ට්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් සමත් වී තිබේ.

මූලික වටයේ තරග 56 නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 20 ක් ලබා සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වූ අතර රයිසිං පූනේ සුපර්ජයන්ට්ස් (ලකුණු 18), සන්රයිසස් හයිද්‍රාබාද් (ලකුණු 17) සහ කොල්කටා නයිට්රයිඩර්ස් (ලකුණු 16) යන කණ්ඩායම් පිළිවෙලින් එහි දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථාන වල පසුවිය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් සහ රයිසිං පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. ඉන් ජයගන්නා කණ්ඩායම ඍජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා අතර පරාජය වන කණ්ඩායමට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට සිදුවේ.

සන්රයිසස් හයිද්‍රාබාද් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් පිළිමළුන් පිටුදැකීමේ තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත අතර ඉන් ජයගන්නා කණ්ඩායම, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් පරාජය වන කණ්ඩායමට එරෙහිව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයේදී තරග වැදීමට සිදුවේ.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඬේවිඞ් වෝනර් මූලික වටයේ තරග වලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින අතර තරග 13 කදී ශතකයක් සහ අර්ධ ශතක 4 ක් සමගින් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 604 කි. කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 126 වෝනර්ගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 60.40 ක් ලෙස සටහන් වේ.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ශිකර් ධවාන් (තරග 13 කදී ලකුණු 468) සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර් (තරග 14 කදී ලකුණු 454) පිළිවෙළින් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙති.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ බුවනේෂ්වර් කුමාර් සමත්ව සිටින අතර තරග 13 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 25 කි. කිංග්ස් XI පංජාබ් කණ්ඩායමට එරෙහිව ලකුණු 19 කට කඩුලු 5 ක් දවාගැනීම බුවනේෂ්වර්ගේ හොඳම පන්දු යැවීම වන අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 14.32 ක් ලෙස සටහන් වේ.

රයිසින් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ජයදේව් උනාඞ්කට් තරග 10 කදී කඩුලු 21 ක් දවාගෙන වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර එම කණ්ඩායමේම ඉම්රාන් තහීර් තරග 12 කදී කඩුලු 18 ක් දවාගෙන එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.

 

කණ්ඩායම තරග  ජය පරාජ විසඳුමක් නැති  ප‍්‍රසාද ලකුණු
මුම්බායි ඉන්දියන්ස් 14 10 4 0 20
රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් 14 9 5 0 18
සන්රයිසර්ස් හයිද්‍රාබාද් 14 8 5 1 17
කොල්කටා නයිට්රයිඩර්ස් 14 8 6 0 16
කිංග්ස් XI පන්ජාබ්  14 7 7 0 14
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් 13 6 7 0 12
ගුජරාට් ලයන්ස් 14 4 10 0 8
රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර්  13 2 10 1 5

 

- 036

සුන්දර ජයග්‍රහණයකින් මිස්බා – යුනිස් සමුගනිති

බටහිර ඉන්දීය කොදෙව් පිල අන්දමන්ද කළ විස්මිත පන්දු යැවීමක නිරතවූ යසීර් ෂා ඩොමිනිකා රාජ්‍යයේ රොසියු නගරයේ වින්ඞ්සර් උද්‍යාන ක්‍රීඩාංගණයේදී ඊයේ (14) නිමාව දුටු තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් පාකිස්තානු පිලට ලකුණු 101 ක විශිෂ්ට ජයක් ගෙන දුන්නේය. මෙම ජයත් සමගින් සංචාරක පාකිස්තානුවෝ ටෙස්ට් තරගමාලාව 2-1 කින් ජයගත්හ. 

පාකිස්තානුවන් බටහිර ඉන්දීය කොදෙව් භූමියේදී ටෙස්ට් තරගමාලාවක් ජයගත් පළමු අවස්ථාව මෙයයි. මෙම ජයග්‍රහණයත් සමගින් ටෙස්ට් පිටියෙන් සමුගත් නායක මිස්බා උල් හක්ට සහ ප්‍රවීණ පිතිකරු යූනිස් ඛාන්ට මේ ඓතිහාසික ජයග්‍රහණය කදිම තෑග්ගක් විය. 

කොදෙව් පිලේ 9 වැනි කඩුල්ල බිඳ වැටෙද්දී දිනය නිමාවීමට ඉතිරිව තිබුණේ ඕවර 8 ක් පමණි. 
ලකුණු අතරේ සිටින පිතිකරු රොස්ටන් චේස් එක් අන්තයකින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් ශතකයක් ලබා සිටි අතර පාකිස්තානුවන්ගේ ජයග්‍රහණය නතර කරන්නට නොගත් වෑයමක් නැත. දිනයේ අන්තිම මොහොත වනතුරුත් පාකිස්තානුවන්ගේ හදගැස්ම වැඩි කළ මේ යොවුන් පිතිකරුවා ඊයේ රැස් කළේ ඔහුගේ තුන්වැනි ටෙස්ට් ශතකයයි. 

ඉනිමේ අවසන් පිතිකරු ෂැනොන් ගේබ්‍රියෙල් පැය භාගයකට වඩා පරිස්සම් කරගත් කඩුල්ල  අන්තිමේදී දිනය නිමාවීමට එක් ඕවරයක් පමණක් ඉතිරිව තිබියදී යසීර් ෂා ට පූජා කරමින් මේ ඓතිහාසික ජයග්‍රහණයේ සතුට සැමරීමට පාකිස්තානුවන්ට අවස්ථාව ලබා දුන්නේ ආරක්ෂාකාරී වීම වෙනුවට අපරික්ෂාකාරීව පහරක් ගැසීමට යාමෙනි. ඔහු දැවී ගියේ යසිර් ෂාගේ ඕවරයේ අවසන් පන්දුවටය. එය යසීර් ෂා ටෙස්ට් ඉනිමක කඩුලු 5 ක් සම්පූර්ණ කළ 11 වැනි අවස්ථාව වූ අතර මේ තරගාමලාවේ ඔහු දවාගත් 25 වැනි කඩුල්ලද විය. 

ඊයේ දිනය පුරාම තරගය මැනවින් පාලනය කළ පාකිස්තානුවන් දිවා ආහාරය වෙද්දී සත්කාරකයන්ගේ කඩුලු 4 ක් බිඳ දැමීමට සමත්වූයේ ලකුණු 73 කටය. ඉන් පසුව මුලු ලකුණු සංඛ්‍යාව 93 ක් වෙද්දී නම ගිය පිතිකරුවෝ හය දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. 

කෙසේ වෙතත් රොස්ටන් චේස් සමග එක්වූ නායක ජේසන් හෝල්ඩර් 7 වැනි කඩුල්ලට ලකුණු 58 ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්විය. ඔවුන් දෙදෙනා එක්ව කොදෙව් ඉනිම ලකුණු 151 දක්වා ඉහළ දැමූ අතර සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන හසන් අලීගේ පන්දුවක් හමුවේ කොදෙව් නායකයා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් පසු චේස්ට සිදුවූයේ හුදෙකලා සටනක නිරතවීමටය. 

මේ පිතිකරුවා දෙවතාවක්ම කඩුල්ල රැක ගැනීමට සමත්වුණේ හසන් අලිට සහ මොහොමඞ් අබ්බාස්ට පින්සිදු වන්නටය. චේස් ලකුණු 67 ක් ලබා සිටියදී පන්දු යැවූ හසන් අලිටම දුන් පහසු උඩපන්දුවත් ඔහුගෙන් ගිලිහී ගිය අතර ලකුණු 91 ක් ලබා සිටියදී මොහොමඞ් අබ්බාස්ගේ පන්දුවකට ස්ලිප් පෙදෙසට දුන් උඩපන්දුවෙන් කඩුල්ල බේරාගත්තේ එය නිපන්දුවක් වීම හේතුවෙනි.
 
කෙසේ වෙතත් පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් දෙදෙනාගේ අවසන් ටෙස්ට් තරගයේදී ඔවුන් දෙදෙනාටම සුන්දර මතක සටහනක් ඉතිරිකිරීමට තරම් දෙවියෝ කාරුණික වූහ. තරගය අහවර වීමට ඕවරයක් පමණක් ඉතිරිව තිබියදී ෂැනන් ගේබ්‍රියෙල් හිතුවක්කාර පහරකට පෙළඹීමෙන් මිස්බා සහ යුනිස් ඛාන් බලාපොරොත්තු වූ ජයග්‍රණය පාකිස්තානයට ලැබිණ. 

 

පාකිස්තානය පළමු ඉනිම – ඕවර 146.3කදී සියලුදෙනා දැවී ලකුණු 376
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම – ඕවර 115කදී සියලු දෙනා දැවී ලකුණු 247
පාකිස්තානය දෙවැනි ඉනිම – ඕවර 57කදී කඩුලු 8ක් දැවී ලකුණු 174 
බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම – ඕවර 96කදී සියලුදෙනා දැවී ලකුණු 202

(ශිම්රොන් හෙට්මියර් 25, ෂායි හෝප් 17, රොස්ටන් චේස් නොදැවී 101, ජේසන් හෝල්ඩර් 22, මොහොමඞ් අමීර් 22/1, මොහොමඞ් අබ්බාස් 31/1, යසීර් ෂා 92/5, හසන් අලි 33/3)

 

- 077

ශ්‍රී ලංකා පිල පල්ලෙකැළේදී සාර්ථක පුහුණුවක

ශූරයින්ගේ කුසලාන සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති දින හයක නේවාසික පුහුණු කඳවුරකට සහභාගීවූ අතර අද (14 වැනිදා) පැවැති පුහුණු තරගයෙන් පසුව සාර්ථකව නේවාසික පුහුණු කඳවුර අවසන් කෙරුණි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 18 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

එංගලන්තය බලා යාමට පෙර පවුලේ සාමාජිකයින් සමග කාළය ගතකිරීමට සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් හට දින තුනක විවේක කාලයක් දී තිබේ.

පිතිහරඹය, පන්දු යැවීම සහ පන්දු රැකීම සදහා විශේෂඥ පුහුණුව, කාය බල සහ අනුකූලතා පුහුණුව, ආකල්ප සංවර්ධනය කිරීමේ පුහුණුව, කණ්ඩායම නඟාසිටුවිම සහ පෙළඹවීම යනාදී විශේෂ පුහුණුකිරීම් රාශියක් පිළිබඳව මෙම පුහුණු කඳවුරේදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මෙම පුහුණු සැසිවාර සදහා ප්‍රවීණ පුහුණු කරුවන් යොදාගත් අතර කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ප්‍රශ්න ඇසිම් වලින් යුතුවූ උපායමාර්ගික සම්බන්ධීකරණ සාකච්ඡාද මෙම සැසියට ඇතුළත් විය. ක්‍රීඩකයින් ගැන තනි තනිව අවධානය යොමුකරමින් ඔවුන්ගේ තාක්ෂණය සහ කුසලතා වර්ධනය කිරීමට මෙම පුහුණුවේදී අවස්ථාව හිමිවිය.

පුහුණු කඳවුර පිළිබඳව අදහස් දැක්වූ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ මෙම නේවාසික පුහුණු සැසියේදී 100 % දායකත්වයක් දීමට හැකිවීම මෙවැනි වැදගත් තරගාවලියකට සුදානම් වීමේදී අත්‍යාවශ්‍ය සාධකයක් බවය. ආබාධ සහ වෙනත් සාධක හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී කණ්ඩායමක් වශයෙන් එක්ව ක්‍රීඩා කිරීමට නොහැකිවූ බවත් එකට වැඩකිරීමත්, වැඩකිරීමට ඉගෙන ගැනීමත් එකිනෙකාව තේරුම් ගැනීමට හැකිවීමත් විශේෂ දෙයක් බවද මැතිව්ස් පැවසීය.

“සාර්ථකව වැඩසටහන කරගෙන යාමට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති පහසුකම් බෙහෙවින් ඉවහල්වුනා. වැඩකරගෙන යාමේදී මෙම වෘත්තීමය තත්වයන් ඇත්තටම ප්‍රසාද දීමනාවක් වගෙයි.”

“අපට ගෘහස්ථ පුහුණුවීමේ තාක්ෂණය නියම වෙලාවට ලැබීම මගින් අපගේ හැකියාවන් වර්ධනය කරගැනීමට හැකිවුනා” යැයි මැතිව්ස් වැඩිදුරටත් පැවැසීය.

 

(ඡායාරූප – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි)

බැංගලෝර් පිලට ලකුණු 10 ක ජයක්

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ බැංගලෝර් හිදී පැවැති 56 වන තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට එරෙහිව ලකුණු 10 ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල අද (14 වැනිදා) සමත්විය.


ජයග්‍රහණය සදහා ලකුණු 162 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට ඕවර 20 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 151 ක් පමණී.


ලකුණු 119 කට කඩුලු 7 ක් දැවී තිබියදී මොහොමඞ් ශාමී තනි සටනක නිරත වුවද අවසන් මොහොතේ පවන් නෙගීගේ පන්දුවක් හමුවේ ස්ටම්ප්ස් කිරීමකට හසුව ලකුණු 21 කට දැවී ගියේය. පන්දු නවයකට මුහුණදුන් මොහොමඞ් ශාමීගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර තුනක් ඇතුළත් විය.


දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ වැඩිම ලකුණු ලාභියාවූ රිෂාබ් පාන්ට් පන්දු 34 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 45 ක් රැස්කිරීමට සමත්විය.


පවන් නෙගි ඕවර දෙකක් යවමින් ලකුණු 10 කට කඩුලු තුනක් දවාගත් අතර හර්ෂල් පතෙල් ඕවර හතරකදී ලකුණු 43 කට කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 161 ක් රැස්කිරීමට සමත්විය.


දෙවැනි කඩුල්ල සදහා පන්දු 50 කදී ලකුණු 66 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට විරාට් කෝලී සහ ක්‍රිස් ගේල් සමත්වූහ.


පන්දු 45 කට මුහුණදුන් විරාට් කෝලී ලකුණු 58 ක් රැස්කළ අතර හයේ පහර තුනකින් සහ හතරේ පහර තුනකින් ඉනිම අලංකාර විය. කෝලිට අනගි සහයක් ලබාදුන් ක්‍රිස් ගේල් පන්දු 38 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 48 ක් රැස් කළේය.


පැට් කමින්ස් ඕවර හතරක් යවා ලකුණු 21 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දක්වන්නට සමත්විය.

 

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 161
(ක්‍රිස් ගේල් 48, විරාට් කෝලී 58, පැට් කමින්ස් 21/2)

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් – ඕවර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(කරුන් නායර් 26, ශ්‍රියාස් අයියර් 32, රිෂාබ් පාන්ට් 45, මොහොමඞ් ශාමී 21, පවන් නෙගි 10/3, හර්ෂල් පතෙල් 43/3, ට්‍රැවිස් හෙඞ් 30/2)