Category Archives: Videos

‘ඩයලොග්’ ක්‍රිකට් සම්මාන උළෙල හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල 2016 බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී හෙට (30) රාත්‍රී 7.00 සිට පැවැත්වේ.


 ඩයලොග් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පිට පිටම සිවුවැනි වරටත් පැවැත්වෙන මෙම ක්‍රිකට් සම්මාන උළෙලේදී 2015 වසරේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සම්මාන ලබති. මෙහිදී දේශිය තරගාවලිවලදී සහ අන්තර්ජාතික තරගවලදී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සම්මාන 65 ක් ලැබීමට නියමිතය.


 ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ අන්තර්ජාතික දස්කම්වලට විශේෂ සම්මාන 11 ක්ද, කාන්තා කණ්ඩායමේ දස්කම්වලට විශේෂ සම්මාන 3 ක්ද, පිරිනැමේ. ඒ අනුව වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා, ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා, දක්‍ෂතම ටෙස්ට් පිතිකරු, දක්‍ෂතම ටෙස්ට් පන්දු යවන්නා, දක්‍ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා, දක්‍ෂතම එක්දින පිතිකරු, දක්‍ෂතම එක්දින පන්දු යවන්නා, දක්‍ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා, දක්‍ෂතම විස්සයි20 පිතිකරු, දක්‍ෂතම විස්සයි20 පන්දු යවන්නා සහ වසරේ නැගී එන ක්‍රීඩකයා යන සම්මාන පිරිමි කණ්ඩායමට පිරිනැමීමට නියමිතය.


කාන්තා අංශයෙන් වසරේ දක්‍ෂතම පිතිකාරිනිය, දක්‍ෂතම පන්දු යවන්නිය සහ දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාවට සම්මාන පිරිනැමේ.


එම සම්මානවලට අමතරව වසරේ අන්තර්ජාතික විස්තර විචාරකයා, වසරේ මාධ්‍යවේදියා සහ වසරේ අන්තර්ජාතික විනිසුරුවරයා සඳහාද සම්මාන ද පිරිනැමේ.  

කොදෙව්වෝ අතිරේක ප්‍රසාද ලකුණත් ගනිති

බ්ලූ මවුන්ටන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ හරාරේහිදී අද (16 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිලට එරෙහිව ලකුණු 62 ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය. ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු තුනම ලකුණු 14 ක් තුළදී දවාගත් කොදෙව් පන්දු යවන්නෝ ලකුණු 228 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 165 කට සීමා කරමින් අතිරේක ප්‍රසාද ලකුණද ලබාගත්හ.

බටහිර ඉන්දීය කොදෙව් 
ජොන්සන් චාල්ස් – ඇ. කුසල් පෙරේරා ප. ලක්මාල්  2
ක්‍රේග් බ්‍රැත්වේට් – දුවද්දී දැවී ගියා  14
එවින් ලුවිස් – ඇ. දික්වැල්ල ප.පතිරණ  27
ශේ හෝප් – ප. ගුණරත්න  47
ජොනතන් කාටර් – ඇ. ද සිල්වා ප. කුලසේකර  54
රෝමන් පවෙල් – ඇ. දික්වැල්ල ප.ප්‍රදීප්  44
කාලෝස් බ්‍රැත්වේට් – ඇ. ලක්මාල් ප. ප්‍රදීප්  14
ජේසන් හෝල්ඩර් – දුවද්දී දැවී ගියා  2
ඈෂ්ලී නර්ස් – නොදැවී  5
සුලෙයිමාන් බෙන් – ක.මු.කළා ප. කුලසේකර 7
ශැනන් ගේබ්‍රියල් – ක.මු.කළා ප. ලක්මාල්  0
අතිරේක (පා-6, ව-5) 11
එකතුව ඕවර 49.2 කදී සියලුදෙනා දැවී     227
කඩුලු වැටීම 
1-7 (චාල්ස්), 2-27 (ක්‍රේග් බ්‍රැත්වේට්), 3-76 (ලුවිස්), 4-129 (හෝප්), 5-172 (කාටර්), 6-209 (පවෙල්), 7-214 (කාලෝස් බ්‍රැත්වේට්), 8-215 (හෝල්ඩර්), 9-226 (බෙන්), 10-227 (ගේබ්‍රියල්)
පන්දු යැවීම
නුවන් කුලසේකර  10-1-37-2 ව-3
සුරංග ලක්මාල්  9.2-1-45-2  
නුවන් ප්‍රදීප්  10-1-55-2 ව-2
ශෙහාන් ජයසූරිය  4-0-19-0  
සචිත් පතිරණ   6-0-25-1  
අසේල ගුණරත්න  10-1-40-1  
ශ්‍රී ලංකාව 
ධනංජය ද සිල්වා – ඇ. හෝප් ප. හෝල්ඩර්  3
කුසල් පෙරේරා – දුවද්දී දැවී ගියා  4
නිරෝෂන් දික්වැල්ල – ඇ. බෙන් ප. ගේබ්‍රියල්  28
කුසල් මෙන්ඩිස් – ඇ. නර්ස් ප. හෝල්ඩර්  4
උපුල් තරංග – ඇ. සහ ප. නර්ස්  12
අසේල ගුණරත්න – ක.මු.කළා ප. නර්ස්  18
ශෙහාන් ජයසූරිය – ඇ. පවෙල් කාලෝස් බ්‍රැත්වේට්  31
සචිත් පතිරණ – ඇ. ලුවිස් ප. නර්ස්  45
නුවන් කුලසේකර – ඇ. ලුවිස් ප. ගේබ්‍රියල්  16
සුරංග ලක්මාල් – ප. ගේබ්‍රියල්  0
නුවන් ප්‍රදීප් – නොදැවී  0
අතිරේක (ව-4) 4
එකතුව ඕවර 43.1 කදී සියලුදෙනා දැවී     165
කඩුලු වැටීම 
1-7 (ද සිල්වා), 2-8 (කුසල් පෙරේරා), 3-16 (මෙන්ඩිස්), 4-51 (දික්වැල්ල), 5-64 (තරංග), 6-79 (ගුණරත්න), 7-139 (පතිරණ), 8-151 (ජයසූරිය), 9-160 (ලක්මාල්), 10-165 (කුලසේකර)
පන්දු යැවීම
ශැනන් ගේබ්‍රියල්  8.1-0-31-3 ව-2
ජේසන් හෝල්ඩර් 8-0-16-2 ව-1
කාලෝස් බ්‍රැත්වේට් 9-0-34-1 ව-1
ජෝනතන් කාටර් 1-0-4-0  
ඈෂ්ලී නර්ස් 10-1-46-3  
සුලෙයිමාන් බෙන්  7-1-34-0  

මෙම ජයග්‍රහණය කොදෙව් කණ්ඩායමක් මාස 20 කට පසුව සිය මවුබිමෙන් පිටතදී ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසින් වාර්තාවේ. කොදෙව් කණ්ඩායමක් සිය මවුබිමෙන් පිටතදී අවසන් වරට ලබාගත් ජයග්‍රහණය ලෙසින් සටහන් වන්නේ 2015 මාර්තු 15 වැනිදා නවසීලන්තයේ නේපියර් නුවර පැවැති ලෝක කුසලාන තරගයකදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල පරාජය කිරීමයි.

මංගල එක්දින තරගයේදී පන්දුවෙන් කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත්වූ ඇෂ්ලී නර්ස් ලකුණු 46 කට කඩුලු තුනක් දවාගැනීමට සමත්වූයේය. තරගයේ වීරයාට හිමි සම්මානය ඕවර 8 ක් තුළදී ලකුණු 16 කට කඩුලු දෙකක් දවාගත් ජේසන් හෝල්ඩර්ට හිමිවිය.

ශ්‍රී ලංකා ඉනිමේ හොදම සම්බන්ධතාවය හත්වැනි කඩුල්ල සදහා ගොඩනැගීමට ෂෙහාන් ජයසූරිය සහ සචිත් පතිරණ සමත් වූහ. ඉදිරියට පැන ලෝන්ග් ඕෆ් කලාපයට ඉහළින් යන පරිදි ගැසූ පහරින් ඉහළ ගිය පන්දුව එවින් ලුවිස් රැකගැනීමත් සමගින් ලකුණු 45 ක් ලබාසිටි සචිත් පතිරණගේ ඉනිම අවසන්විය. සචිත් පතිරණගේ පන්දු 40 ඉනිමට හතරේ පහර පහක් සහ හයේ පහර දෙකක් ඇතුළත්විය. හත්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්දු 75 කදී ලකුණු 60 ක් ලෙස වාර්තාවිය.

එක් අන්තයක ආරක්ෂාකාරීව පන්දුවට පහර දෙමින් සිටි නායක උපුල් තරංග ලකුණු 12 කට දවාගැනීමට ඇෂ්ලී නර්ස් සමත් වීමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටි පළපුරුදුම පිතිකරුවා අහිමි විය.

කඩාවැටුණු ඉනිම ගොඩනැගීම සදහා නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරග දැඩි උත්සාහයක් ගත් අතර ශැනන් ගේබ්‍රියෙල්ගේ පන්දුවක් ඉහළ නැග එද්දී පන්දුවේ වේගය උපයෝගී කරගනිමින් එය තර්ඞ් මෑන් කලාපයට ඉහළින් යැවීම දික්වැල්ලගේ අපේක්‍ෂාව විය. ඔහුගේ අවාසනාවට මෙන්ම තර්ඞ් මෑන්හි සිටි සුලෙයිමන් බෙන් උඩපන්දුව ගිලගත්තේය. ඉතාමත් හොඳින් පන්දුව ස්ථානගත කරමින් සිටි නිරෝෂන් දික්වැල්ල දැවී යන විට 4 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 35 ක් විය.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියකට ඇද දමමින් ලකුණු 16 වන විටදී මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකුම ක්‍රිඩාගාරයට හරවා යැවීමට කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ. කුසල් ජනිත් (4) දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට ජොන්සන් චාල්ස් සමත්වූ අතර ධනංජය සිල්වා (3) සහ කුසල් මෙන්ඩිස්ගේ (4) කඩුලු දවාගනිමින් තරගයේ වාසිය තම පිල වෙත ඇදගැනීමට ජේසන් හෝල්ඩර් ට හැකිවිය.

ලකුණු 55 ක් තුළදී කොදෙව් පිලේ අවසන් කඩුලු හය දවාගැනීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට හැකිවූ නමුත් අවසන් පන්දු 56 දී ලකුණු 70 ක් ලබාගැනීමට කොදෙව් පිතිකරුවෝ සමත් වූහ. ඕවර 40 ක් අවසන් වන විට කොදෙව් පිලේ ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ කඩුලු 4 කට 157 ක් ලෙසිනි.

ඉනිමේ අවසන් ඕවර 10 දී තරමක් වේගවත් පිතිහරඹයකට අවතීර්ණ වූ රෝමන් පවෙල් පන්දු 29 කදී ලකුණු 44 ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 3 කින් සහ හතරේ පහර දෙකකින් සිය ඉනිම අලංකාර කරමිනි. දැවී යාමට පෙර කාලෝස් බ්‍රැත්වේට් සමගින් හයවැනි කඩුල්ල සදහා පන්දු 19 කදී ලකුණු 37 ක සම්බන්ධතාවයක් පැවැත්වූ පවෙල්ගේ මංගල එක්දින තරගය මෙයයි.

නායක ජේසන් හෝල්ඩර් දුවද්දී දැවීයාමකට හසුකර ගත් නුවන් කුලසේකර මෙම තරගයේදී කඩුල්ලට පන්දුව දමාගසමින් පිතිකරුවන් දෙදෙනකු දවාගත්තේය.

අවසන් ඕවර 5 ඉතිරිව තිබියදී ලකුණු 209 ක් ලබා සිටි කොදෙව් පිල සතුව කඩුලු 4 ක් තිබුණද කොදෙව්වන්ගේ බලාපොරොත්තු සුන්කරමින් මුළු ලකුණු 214 ක් වනවිටදී ප්‍රවේගකාරී පිතිකරු කාලෝස් බ්‍රැත්වේට් දවාගැනීමට නුවන් ප්‍රදීප් සමත්විය. අනතුරුව ඉතිරි වූයේ පන්දු යවන්නන් පමණි.

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ශේ හෝප් කොදෙව් බලාපොරොත්තු ඉහළ නංවමින් සාර්ථක ලකුණු රැස්කිරීමක නිරතවුවද ලකුණු 47 ක් ලබාසිටියදී අසේල ගුණරත්නගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. පන්ද 81 කට මුහුණ දුන් මෙම දකුණත් පිතිකරුවා අලංකාර කවර් ඩ්‍රයිව් පහර කිහිපයකින් පන්දුව හතරේ සීමාව කරා යැවූ අතර අසේල ගුණරත්නගේ පන්දුවක් මනස්කාන්ත ඔන් ඩ්‍රයිව් පහරකින් පිටියේ සීමාවෙන් ඉවතට යවමින් ලකුණු 6 ක් ලබාගත්තේය. එහෙත් පන්දු තුනකට පසුව හෝප්ගේ ඉනිම අවසන් කිරීමට අසේල ගුණරත්න සමත් විය. ශේ හෝප් සහ ජොනතන් කාටර් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැංවූයේ පන්දු 71 කිනි.

නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ එවින් ලුවිස් දුන් පහසු උඩපන්දුවක් නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහීයාම හේතුවෙන් ශේ හෝප් සමගින් එක්ව තවත් ලකුණු 31 ක් කණ්ඩායමට එක් කිරීමට එවින් ලුවිස්ට හැකිවිය. එම උඩපන්දුව රැකගත්තා නම් 12 වැනි ඕවරයේදීම ලකුණු 35 කට තුන්වැනි කඩුල්ලත් බිම දමාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට තිබිණ.

සුරංග ලක්මාල්ගේ පන්දුවක් මිඞ් ඕන් කලාපයට තල්ලු කරමින් ලකුණක් කරා දිවගිය බ්‍රැත්වෙයිට් ලකුණ සම්පූර්ණ කිරීමට පෙර සීමාඉර අසළදී ඔහුගේ අතින් පිත්ත අතින් ගිලිහී ගියේය. පිත්තේ අත රැඳී තිබුණේ නම් සිය කඩුල්ල රැකගැනීමේ අවස්ථාව බ්‍රැත්වෙයිට්ට තිබුණ නමුත් නුවන් කුලසේකර දමාගැසූ පන්දුව කඩුල්ලේ වදින විට බ්‍රැත්වේට් ඔහුගේ සීමාවෙන් ඉවත සිටියේය.

මුළු ලකුණු සංඛ්‍යාව 7 ක් වන විටදී පළමු කඩුල්ල ලෙස ජොන්සන් චාල්ස් ලකුණු 2 කට දවාගැනීමට සුරංග ලක්මාල් සමත්විය. පිට ඉන්නට ඈතින් පතිත වූ පන්දුවට කිසිදු වග විභාගයකින් තොරව චාල්ස් ගැසූ පහරින් ඉහළ ගිය පන්දුව ඩීප් තර්ඞ්මෑන් කලාපයේ සිට පැමිණ ඉතා දක්‍ෂ ලෙසින් රැකගැනීමට කුසල් ජනිත් සමත්වූයේය.